Skip to content

පටුනට යන්න

සාක්ෂිවලින් හෙළි වන්නේ කුමක්ද?

සාක්ෂිවලින් හෙළි වන්නේ කුමක්ද?

සාක්ෂිවලින් හෙළි වන්නේ කුමක්ද?

ඔබ සිටින්නේ පාළු දූපතක කියා සිතන්න. මුහුදු වෙරළේ ඇවිදිමින් සිටින විට කලු ගලක “John 1800” කියා කොටා තිබෙනවා ඔබ දකිනවා. ඒ ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? පාළු දූපතක් නිසා එය කෙටුණේ ජල පහරකින් හෝ සුළඟින් කියා ඔබ නිගමනය කරනවාද? එසේත් නැත්නම් එය පුද්ගලයෙකු විසින් කළ දෙයක් කියා ඔබ සිතනවාද? එය වෙනත් භාෂාවකින් තිබුණත් එහි අක්ෂර හා අංකවලට පැහැදිලි රටාවක් තිබෙන නිසා එය අහඹු සිදුවීමක් නොවන බව ඔබ තීරණය කරයි. ඒ වගේම ඊට යම් තේරුමක් තිබෙන බව ඔබට හැඟෙන නිසා එය අනිවාර්යයෙන්ම බුද්ධිමත් කෙනෙකු කළ දෙයක් බවට ඔබ තීරණය කරනවාට කිසිම සැකයක් නැහැ.

එදිනෙදා ජීවිතයේ තොරතුරු සටහන් කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. උදාහරණයකට ඒ සඳහා යම් හෝඩියක අක්ෂර, අංක, රූප සටහන් සහ බ්‍රේල් අකුරු වැනි දේවල් භාවිත කරනවා. ඒ කුමන ක්‍රමය භාවිත කළත් තොරතුරු සටහන් කිරීමට බුද්ධිමත් කෙනෙක් සිටිය යුතුයි. සෛලයක් ගැන සිතා බලන්න. එහි තොරතුරු රාශියක් සටහන් වී තිබෙනවා. එසේනම් ඒවා සටහන් කළේ කවුද? පරිණාමවාදීන් පවසන්නේ එහි තොරතුරු ඉබේ සටහන් වූ බවයි. එය සත්‍යයක් විය හැකිද?

දත්ත ඉබේ සටහන් වුණාද?

ඔබේ ශරීරයේ සෛල ට්‍රිලියනයක් පමණ තිබෙනවා. ඒ සෑම සෛලයක්ම න්‍යෂ්ටියකින් සමන්විතයි. එහි ඩිඔක්සිරයිබොනියුක්ලික් අම්ලය (DNA) තිබෙනවා. එහි හැඩය දඟර ගැසුණු ඉණිමඟක් හා සමානයි. සෛලයක ආරම්භය, වර්ධනය, නඩත්තුව හා නැවත නිපදවීම වැනි ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය තොරතුරු DNA අණුවක ඇතුළත්. එම DNA අණුව සෑදී තිබෙන මූලික රසායනික ද්‍රව්‍ය හඳුන්වන්නේ නියුක්ලියෝටයිඩ ලෙසයි. එය A, C, G හා T නමැති රසායනික ද්‍රව්‍යයන් හතරකින් සමන්විතයි. * A, C, G හා T නමැති රසායනික ද්‍රව්‍ය විවිධාකාරයෙන් සම්බන්ධ වීමෙන් විවිධ සංයෝග සාදනවා. එය හරියට අකුරු හතරක් විවිධාකාරයට පෙළගැස්වීමෙන් විවිධ වචන රාශියක් සාදනවා හා සමානයි. සෛලවල යම් ක්‍රියාකාරීත්වයකට අදාළ උපදෙස් එම සංයෝගවල අන්තර්ගතයි.

DNA අණුවක ගබඩා වී ඇති සියලුම තොරතුරුවල එකතුව හඳුන්වන්නේ ජෙනෝමය ලෙසයි. DNA අණුවක ඔබට පමණක් ආවේණික තොරතුරුද තිබෙනවා. උදාහරණයකට ඔබේ ඇස්වල පාට, සමේ පාට, නාසයේ හැඩය යන සියල්ල එහි ඇතුළත්. ඔබ ගැන සෑම තොරතුරක්ම අඩංගු එම කුඩා ජෙනෝමය පුස්තකාලයකට සමාන කළ හැකියි. එම තොරතුරු සියල්ල එකතු වී ඇති වන අවසාන ප්‍රතිඵලය ඔබයි.

ජෙනෝමය නමැති පුස්තකාලය කොතරම් විශාලද? එහි ඇති තොරතුරු සටහන් කිරීමට පිටු 1,000කින් යුත් දුරකතන නාමාවලියක් තරම් විශාල පොත් 200ක් අවශ්‍ය බව ජෙනෝමය ගැන පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායමක් පවසනවා.

ඒ තොරතුරු ගැන සලකා බලන විට අවුරුදු 3,000කට පමණ පෙර බයිබලයේ සඳහන් මෙම වදන් අපේ මතකයට නැඟෙනවා. “මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.” (ගීතාවලිය 139:16) එම වචන වාර්තා කළ ලේඛකයා කලලය ගැන විද්‍යාත්මක ප්‍රකාශයක් කළේ නැති වුණත් දෙවි තම බලය හා ප්‍රඥාව කොතරම් පුදුමසහගත ආකාරයකින් යොදාගන්නවාද කියා පැහැදිලි කිරීමට උපමාලංකාරයෙන් “ලියවිල්ලෙහි සටහන් කර තිබිණ” කියා සඳහන් කළා.

දත්ත ඇතුළත් කළේ කවුද?

මෙම ලිපියේ මුලින් සඳහන් කළ “John 1800” ගල මත කෙටීමට කෙනෙක් සිටිය යුතු බව ඔබට පැහැදිලි වන්න ඇති. එය ඉතා සරලයි. නමුත් DNA අණුවක ඇති සංකීර්ණ තොරතුරු සටහන් කිරීමට මිනිසුන්ට වඩා බුද්ධිමත් කෙනෙක් සිටිය යුතු බව ඔබ සිතන්නේ නැද්ද! විද්‍යාඥයෙක් වන ඩොනල්ඩ් ඊ. ජොන්සන් පැවසූ පරිදි DNA අණුවක විවිධ කාර්යයන් හා තොරතුරු ගබඩා වීම සිදු වන්නේ රසායනික ක්‍රියාවලීන් රාශියක ප්‍රතිඵලයක් වශයෙනුයි. රසායනික විද්‍යාවේ හා භෞතික විද්‍යාවේ මූලධර්මවලට අනුව එවැනි රසායනික ක්‍රියාවලීන් අහඹු ලෙස සිදු වෙන්න බැහැ. ඒ වගේම යම් දෙයක සංකීරණ බව වැඩි වෙන්න වැඩි වෙන්න දත්ත ඇතුළත් කරන පුද්ගලයාගේ බුද්ධියද වැඩි විය යුතුයි. එක් පොතක මෙවැනි දෙයක්ද සඳහන් වුණා. “ජීව විද්‍යාවට සම්බන්ධ දේවල් ගැන සොයාගැනීම් කරන තරමට ඒවා ඉතා සංකීර්ණයි කියා අපට තව තවත් තහවුරු වෙනවා.”—Nature සඟරාව.

DNA අණුවක ඇති තොරතුරු ඉබේ සටහන් වුණා කියා පැවසීමට කිසිම සාක්ෂියක් නැහැ. * එවැනි දෙයක් විශ්වාස කරන කෙනෙකුට තිබෙන්නේ අන්ධ විශ්වාසයක්.

දෙවි සෑම දෙයක්ම නිර්මාණය කළා යන අදහස පිළිගැනීමට අකමැති නිසා පරිණාමවාදීන් වැරදි මත ඉදිරිපත් කර තිබෙනවා. උදාහරණයකට ජෙනෝමයෙන් සියයට 98ක්ම කිසි වැඩකට නැති බව ඔවුන් පවසා තිබෙනවා.

ඇත්තටම ප්‍රයෝජනයක් නැද්ද?

කාලයක් පුරා ජීව විද්‍යාඥයන් පැවසුවේ DNA අණුවකින් සිදු වන එකම කාර්යය ප්‍රෝටීන නිපදවීම බවයි. නමුත් DNA අණුවකින් ප්‍රෝටීන නිපදවීමට භාවිත වන්නේ සියයට දෙකක් පමණක් බව පසු කාලයකදී හෙළි වුණා. එසේනම් ඉතුරු සියයට 98න් කෙරෙන්නේ කුමක්ද? අණුක ජීව විද්‍යාඥයෙක් වන ජෝන් එස්. මැටික් මෙසේ පවසනවා. “ඉතුරු සියයට 98 කිසිම ප්‍රයෝජනයක් නැති බව තීරණය කිරීමට විද්‍යාඥයන් ඉක්මන් වුණා.”

එම මතය මුලින්ම ඉදිරිපත් කළේ පරිණාමවාදියෙක් වන සූසූමෝ ඕනෝ යන විද්‍යාඥයයි. ඔහු මෙසේ සඳහන් කළා. ‘DNA අණුවක සියයට 98ක්ම තිබෙන්නේ තවදුරටත් ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය තොරතුරු නොවෙයි. මීට වසර ලක්ෂ ගණනකට පෙර ඒවා මගින් යම් ජීවීන් බිහි කිරීමට හැකියාව තිබුණත් ඒ ජීවීන් දැන් වඳ වී ගොස් තිබීමෙන් පැහැදිලි වන්නේ ස්වභාවධර්මයා විසින් ගත් ඒ උත්සාහය අසාර්ථක වී ඇති බවයි. සොයාගෙන ඇති දහසකුත් පොසිලවලින් එය තවත් තහවුරු වෙනවා.’

එම මතය ජාන පිළිබඳව කරන පර්යේෂණවලට බලපෑවේ කොහොමද? අණුක ජීව විද්‍යාඥයෙක් වන වොයිචෙක් මාකාලොව්ස්කි පවසන්නේ එම මතය නිසා DNA අණුවේ සියයට 98න් කෙරෙන කාර්යය ගැන අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයන් වැළකී සිටි බවයි. නමුත් ස්වල්පදෙනෙක් අනික් අයගේ අපහාසවලට ලක් වීමට සිදු වන බව දැන සිටියත් ඒ ගැන සෙවීම නතර කළේ නැහැ. ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස DNA ගැන තිබූ වැරදි මතය 1990 ගණන්වල මුල් කාලයේදී වෙනස් වෙන්න පටන්ගත්තා. කලින් කිසි වැඩකට නැහැ කියා සිතූ සියයට 98 දැන් “වටිනා නිධානයක්” ලෙස ජීව විද්‍යාඥයන් සලකනවා.

මැටික් තවදුරටත් පවසන්නේ “තොරතුරු සොයන්නේ බලන්නේ නැතුව විද්‍යාඥයන් තීරණවලට එළඹීම සම්බන්ධයෙන් එය හොඳ උදාහරණයක්” බවයි. ඒ වගේම “අණුක ජීව විද්‍යා ඉතිහාසය තුළ කර තිබෙන විශාලම අත් වැරැද්ද මෙය” බව ඔහු පවසනවා. ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? විද්‍යාත්මකව යමක් ඔප්පු කළ යුත්තේ සාක්ෂි මත මිස ජනප්‍රිය මත අනුව නොවන බවයි. එසේනම් සාක්ෂිවලින් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද?

ප්‍රයෝජනය කුමක්ද?

වාහන සාදන කර්මාන්ත ශාලාවක ඒ සඳහා භාවිත කරන මූලික යන්ත්‍ර තිබෙනවා. එය හරියට සෛලයක තිබෙන ප්‍රෝටීන හා සමානයි. එම කර්මාන්තයේ අමතර වැඩකටයුතු සඳහා ආධාරක යන්ත්‍රද භාවිත කරනවා. ඒවා DNA අණුවල ඇති RNA නමැති සංකීර්ණ අණු (රයිබොනියුක්ලික් අම්ලය) හා සමානයි. RNA යනු DNA අණුවල ප්‍රෝටීන නිපද නොවන ඉතුරු සියයට 98යි. ඒවා සෛල නිපදවීම, වර්ධනය හා ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. * ජීව විද්‍යාඥයෙකු වන ජොෂුවා ප්ලොට්කින් මෙවැනි දෙයක් සඳහන් කරනවා. “ඉතා පුදුමසහගත RNA අණුවලින් අපට පැහැදිලි වී තිබෙන්නේ මූලික දේවල් පිලිබඳව වුණත් අපට තිබෙන දැනුම ඉතා අල්ප” බවයි.—Nature සඟරාව.

ජීව විද්‍යාඥයෙකු වන ටෝනි පෝසන් පැවසුවේ මෙසේයි. “සෛල ක්‍රියා කරන්නේ සංවිධානාත්මක ලෙසයි. එම ක්‍රියාවලිය කලින් සිතුවාට වඩා හුඟක් සංකීර්ණයි. සෛලයක් තුළ මෙන්ම සෛල සෛල අතර සිදු වන ක්‍රියාවලිය තවමත් අභිරහසක්.”

සෛලයක අලුත් සොයාගැනීමක් කරන සෑම අවස්ථාකදීම එය මොන තරම් සංකීර්ණ මෙන්ම මනා පිළිවෙළකට සැකසී තිබෙනවාද කියා ඔප්පු වෙනවා. මෙතරම් සාක්ෂි තිබියදීත් එවැනි දෙයක් ඉබේ ඇති වුණා කියා සිතීම සාධාරණද?

[පාදසටහන්වල]

^ 5 ඡේ. නියුක්ලියෝටයිඩයක (A) ඇඩිනීන්, (C) සයිටොසීන්, (G) ගුඇනීන් හා (T) තයමීන් යන රසායනික ද්‍රව්‍යයන් අඩංගුයි.

^ 11 ඡේ. පරිණාමවාදීන් විශ්වාස කරන්නේ ජීවීන් ඇති වුණේ විකෘති වීමකින් කියායි. එය ඊළඟ ලිපියෙන් සලකා බලනවා.

^ 19 ඡේ. මෑතකදී කරන ලද පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ RNA අණු ඉතා සංකීර්ණ වන අතර ශරීරයේ වර්ධනය සඳහා එය දායක වන බවයි. පර්යේෂකයන් පවසන්නේ RNA අණුවල අක්‍රමිකතා නිසා පිළිකා රෝග, චර්ම රෝග (psoriasis) මෙන්ම අමතක වීමේ රෝගයද (Alzheimer) සෑදෙන බවයි. කිසි වැඩක් නැති දෙයක් ලෙස කලින් හැඳින්වූ මෙම RNA අණුවල උපකාරයෙන් විවිධ රෝග හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කිරීමට හැකි වී තිබෙනවා.

[5වන පිටුවේ කොටුව]

DNA අණුවක් කොතරම් දිගද?

ඔබේ ශරීරයේ එක් සෛලයක ඇති DNA අණුවක් දිගහැරිය විට එය මීටර 2ක් පමණ දිගයි. ඔබේ ශරීරයේ ඇති ට්‍රිලියන ගණන් සෛලවල ඇති DNA අණු සියල්ල දිගහැර එකිනෙකට සම්බන්ධ කළොත් එහි දිග පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් 1340 ගුණයක් පමණ වෙනවා. කෙනෙක් ආලෝකයේ වේගයෙන් එතරම් දුරක් ගමන් කරනවා නම් ඔහුට ඒ සඳහා පැය 185ක් පමණ ගත වෙයි.