Skip to content

“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?

“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “රජ තුන් කට්ටුවක්” එහෙමත් නැත්නම් “ශාස්ත්‍රවන්තයන් තුන්දෙනෙක්” යේසුස්ව බලන්න හුඟක් දුර ඉඳන් ආපු එක නත්තල් කාලේදී හුඟක් අය සමරනවා. හැබැයි යේසුස් ඉපදුණාට පස්සේ ඔහුව බලන්න ආපු ඒ අයව බයිබලයේ හඳුන්වලා තියෙන්නේ “රජ තුන්කට්ටුවක්” කියලවත් “ශාස්ත්‍රවන්තයන් තුන්දෙනෙක්” කියලවත් නෙවෙයි. (මතෙව් 2:1) මතෙව් කියන බයිබල් ලේඛකයා ඒ අයව හඳුන්වන්න “මාගොයි” කියන ග්‍රීක වචනය පාවිච්චි කළා. පේන විදිහට ඒ වචනයෙන් යොමු දක්වන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ඇතුළු අද්භූත දේවල් ගැන මනා දැනුමක් තිබුණු අයවයි. a සමහර බයිබල් පරිවර්තනවල යේසුස්ව බලන්න ආපු අයව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් විදිහට හඳුන්වලා තියෙනවා. b

 “ශාස්ත්‍රවන්තයන්” කීදෙනෙක් හිටියාද?

 යේසුස්ව බලන්න කීදෙනෙක් ආවාද කියන එක ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මිනිසුන් අතර ඒ ගැන විවිධ මත තියෙනවා. උදාහරණයකට එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “ආසියාතික රටවල අය විශ්වාස කරන්නේ ශාස්ත්‍රවන්තයන්ගේ ගණන 12ක් කියලයි. ඇමරිකානු සහ යුරෝපීය රටවල අය විශ්වාස කරන්නේ ඒ ගණන 3ක් කියලයි. සමහරවිට එයාලා එහෙම හිතන්නේ ‘රන්, කට්ටකුමංජල්, සුවඳ ලාටු’ (මතෙව් 2:11) කියන තෑගි තුන දරුවාට දීපු නිසා වෙන්න ඇති.”—Encyclopedia Britannica.

 “ශාස්ත්‍රවන්තයන්” රජවරුන්ද?

 යේසුස්ව බලන්න ආවේ රජවරුන් කියලා නත්තල සමරන අය විශ්වාස කළත් බයිබලයේ එයාලව ඒ විදිහට හඳුන්වලා නැහැ. එක විශ්වකෝෂයකට අනුව යේසුස් ඉපදිලා අවුරුදු සිය ගාණක් ගියාට පස්සේ “යේසුස්ගේ උපත සම්බන්ධ සිද්ධියට මිනිසුන් තවත් තොරතුරු එකතු කරන්න පටන්ගත්තා.” (Encyclopedia Britannica) යේසුස්ව බලන්න ආවේ රජවරුන් කියන එකත් ඒ වගේ ගොතපු කතාවලින් එකක්.

 “ශාස්ත්‍රවන්තයන්ගේ” නම් මොනවාද?

 ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගේ නම් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. “ප්‍රබන්ධ කතාවල තියෙන තොරතුරු පදනම් කරගෙන එයාලට නම් දාන්න (උදා. ගැස්පාර්, මෙල්කියෝර් සහ බැල්තසාර්) මිනිසුන් උත්සාහ කරලා තියෙනවා” කියලා එක විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The International Standard Bible Encyclopedia.

 “ශාස්ත්‍රවන්තයන්” යේසුස්ව බලන්න ගියේ කොයි කාලයේද?

 ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න යන්න ඇත්තේ යේසුස් ඉපදිලා මාස ගාණකට පස්සේ කියලා හිතන්න පුළුවන්. මොකද යේසුස්ව මරන්න බලාගෙන හිටිය හෙරොද් රජ අණ කළේ අවුරුදු දෙකක් හෝ ඊට වඩා බාල සියලුම පිරිමි දරුවන්ව මරන්න කියලයි. මරන්න ඕනෙ ඒ වයස් මට්ටමේ ඉන්න අයවයි කියලා එයා නිගමනය කළේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් ලැබුණු තොරතුරු පදනම් කරගෙනයි.—මතෙව් 2:16.

 ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න ගියේ යේසුස් ඉපදුණු දවසේ රෑ නෙවෙයි. මොකද බයිබලයේ කියනවා “දරුවා සිටි නිවසට ඇතුල් වූ ඔවුහු, කුඩා දරුවා සිය මව වූ මරියා සමඟ සිටිනවා” දැක්කා කියලා. (මතෙව් 2:11) ඒකෙන් පැහැදිලි වෙනවා ඒ අවස්ථාවේදී යේසුස්ගේ පවුලේ අය ජීවත් වුණේ නිවසක කියලා. ඒ කියන්නේ ඒ වෙද්දී යේසුස් ගවඔරුවක හිටපු පුංචි ළදරුවෙක් නෙවෙයි.—ලූක් 2:16.

 “තාරකාවක්” මාර්ගයෙන් “ශාස්ත්‍රවන්තයන්ට” මඟ පෙන්නුවේ දෙවියන්ද?

 සමහර අය විශ්වාස කරනවා යේසුස් හිටිය තැන දැනගන්න දෙවියන් තාරකාවක් මාර්ගයෙන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මඟ පෙන්නුවා කියලා. ඒත් ඒක එහෙම වෙන්න බැහැ. ඒ ඇයි කියලා අපි බලමු.

  •   තාරකාවක් වගේ පෙනුණ දෙය ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මුලින්ම මඟ පෙන්නුවේ යෙරුසලමට යන්නයි. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දිනක් නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ යෙරුසලමට පැමිණ, ‘ඉදිරියේදී යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක් දැන් ඉපදිලා ඉන්නවා. ඔහු ඉන්නේ කොහේද? අපි නැඟෙනහිර දේශවල සිටිද්දී ඔහු වෙනුවෙන් පායා තිබුණු තාරකාවක් දැක්කා. අපි මෙතනට ආවේ ඔහුට ගරුබුහුමන් දක්වන්න අපිට අවශ්‍ය නිසයි’ කියා පැවසූහ.”—මතෙව් 2:1, 2.

  •   බෙත්ලෙහෙමට යන්න ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මුලින්ම මඟ පෙන්නුවේ හෙරොද් රජ මිසක් තාරකාව නෙවෙයි. ඉදිරියේදී “යුදෙව්වන්ව පාලනය කරන රජෙක්” ඉපදිලා ඉන්නවා කියලා දැනගත්තාම ක්‍රිස්තුස් ඉපදෙන්නේ කොහෙද කියලා හෙරොද් හොයලා බැලුවා. (මතෙව් 2:3-6) ක්‍රිස්තුස් ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ කියලා දැනගත්තාම එයා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට කිව්වා එහෙට ගිහින් දරුවා ඉන්න තැන ගැන දැනගෙන ඒ ගැන එයාට දැනුම් දෙන්න කියලා.

     ඊටපස්සේ තමයි ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් බෙත්ලෙහෙමට ගියේ. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “ඔවුහු රජුට කීකරු වෙමින් පිටත්ව ගියහ. ඔවුන් නැඟෙනහිර දේශවල සිටියදී දුටු ඒ තාරකාව ඔවුන්ට ඉදිරියෙන් ගොස් කුඩා දරුවා සිටි ස්ථානයට ඉහළින් නැවතුණේය.”—මතෙව් 2:9.

  •   යේසුස්ගේ ජීවිතය අනතුරේ වැටුණෙත් අහිංසක ළමයින්ගේ ජීවිත නැති වුණෙත් මිනිසුන් “තාරකාව” දැක්ක නිසයි. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් බෙත්ලෙහෙමෙන් පිටත් වුණාට පස්සේ ආපහු හෙරොද් ළඟට යන්න එපා කියලා දෙවියන් එයාලට අනතුරු ඇඟෙව්වා.—මතෙව් 2:12.

 හෙරොද් ප්‍රතිචාර දැක්වුවේ කොහොමද? බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් තමාව රැවටූ බව තේරුම්ගත් හෙරොද් බොහෝ සෙයින් කෝප විය. ඉන්පසු ඔහු බෙත්ලෙහෙමට සහ ඒ අවට සියලු ප්‍රදේශවලට මිනිසුන්ව යවා, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් නිවැරදිව දැනගෙන තිබූ කාලයට අනුව අවුරුදු දෙකක් හෝ ඊට වඩා බාල සියලුම පිරිමි දරුවන්ව මරා දැමුවේය.” (මතෙව් 2:16) දෙවියන් කවදාවත් ඒ වගේ දුෂ්ට දෙයක් වෙන්න සලස්වයි කියලා කොහොමටවත් හිතන්න බැහැ.—යෝබ් 34:10.

a ක්‍රි.පූ. පස්වෙනි සියවසේ හිටිය ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරෝඩටස් කියලා තියෙනවා එයා ජීවත් වුණු කාලේදී මේදිය (පර්සියානු) ගෝත්‍රයකට අයිති, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය සහ සිහිනවල අර්ථය පහදා දීම සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් තිබුණු අයව “මාගොයි” විදිහට හැඳින්නුවා කියලා.

b ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනය බලන්න. ‘පැරණි අනුවාදයේ’ යේසුස්ව බලන්න හුඟක් දුර ඉඳන් ආපු අයව හඳුන්වලා තියෙන්නේ “ශාස්ත්‍රවන්තයෝ” විදිහට. හැබැයි ඒ වගේ අය කීදෙනෙක් ආවාද කියලා ඒකේ සඳහන් වෙලා නැහැ.