ආර්ථික ප්‍රශ්නවලට බයිබලෙන් විසඳුම් හොයාගන්න පුළුවන්ද?
බයිබලයේ ඒ ගැන කියන දේ
ඔව්. බයිබලේ තියෙන මේ මඟ පෙන්වීම් හතර ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඔයාට උදව් වෙයි.
ආවාට ගියාට වියදම් කරන්න එපා. බයිබලේ කියන්නේ “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි” කියලයි. (හිතෝපදේශ 21:5) ඒ නිසා මොනවා හරි දෙයක් ලාභෙට තිබුණයි කියලා ඒක ගන්න හදන්න එපා. ඔයාට අත්‍යවශ්‍ය මොනවාද කියලා හිතන්න. ඊටපස්සේ ඒ දේවල් ගන්න ඔයාට කොච්චර වියදම් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඊට වඩා වැඩියෙන් වියදම් කරන්න එපා.
නිකං ණය වෙන්න එපා. “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි” කියලා බයිබලේ කියනවා. (හිතෝපදේශ 22:7) ඔයා දැනටමත් ණය වෙලාද? පොරොන්දු වුණු විදිහට ඒ සල්ලි ගෙවාගන්න ඔයාට අමාරුයිද? එහෙමනම් ණය ගෙවන්න පුළුවන් වෙන පහසු ක්‍රමයක් ගැන ණයහිමියා එක්ක කතා කරන්න. සමහරවිට මුලින් ණයහිමියා ඒකට අකමැති වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ උත්සාහය අත්හරින්න එපා. බයිබලේ මේ වගේ උපදෙසක් දීලා තියෙනවා. “ඔබ යටහත්පහත් ලෙස ඔහු ළඟට ගොස් ඔබේ පොරොන්දුවෙන් නිදහස් කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටිය යුතුයි. ඔබ ඔහුගේ අතින් නිදහස් වන තුරු නිදා නොගන්න. ඔබේ දෙනෙත්වලින් නින්ද පහ කරන්න.”—හිතෝපදේශ 6:1-5.
සල්ලි පස්සේ දුවන්න එපා. “ඊර්ෂ්‍යා කරන තැනැත්තා වස්තුව ලබාගන්න වෙහෙසෙයි. එහෙත් පසුව ඔහුට අගහිඟකම් විඳින්න සිදු වන බව ඔහු නොදනියි” කියලා බයිබලේ කියනවා. (හිතෝපදේශ 28:22) අනිත් අයට තියෙන දේවල්වලට ඊර්ෂ්‍යා කරන කෙනෙක් උත්සාහ කරන්නේ කොහොමහරි සල්ලි හොයාගෙන ඒ දේවල් තමාටත් ලබාගන්නයි. ඒකෙන් එයා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. අන්තිමේදී දෙවියන්ට සේවය කරන්නවත් එයාගේ ජීවිතේ ඉඩක් නැති වෙයි.
නැති දේවල් ගැන හිතන්න එපා. බයිබලේ කියන්නේ “අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු” කියලයි. (1 තිමෝති 6:8) සල්ලිවලින් හැම දෙයක්ම ගන්න බැහැ. සැනසීම, සතුට කියන දේවල් සල්ලිවලට ගන්න බැහැ. මේ ලෝකේ සතුටින්ම ඉන්න සමහර අය ගොඩක් සල්ලි තියෙන අය නෙමෙයි. හැබැයි එයාලා සතුටින් ඉන්නේ එයාලට පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක, දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙන නිසයි.—හිතෝපදේශ 15:17; 1 පේතෘස් 5:6, 7.