Skip to content

යොවුන් සිතේ ගැටලු

අනිත් අයත් එක්ක මීට වඩා හොඳට කතාබහ කරන්න පුළුවන් කොහොමද?

අනිත් අයත් එක්ක මීට වඩා හොඳට කතාබහ කරන්න පුළුවන් කොහොමද?

 හම්බ වෙලා කතා කරන එක වටින්නේ ඇයි?

 “හම්බ වෙලා කතා කරද්දී දැනෙන පීඩනේ වැඩියි, ඒක හරි අමාරුයි. ඊට වඩා ලේසියි කියන්න තියෙන දේ මෙසේජ් එකකින් කියන එක” කියලා ගොඩක් අය කියනවා.

 “ඔයා කෙනෙක්ට දෙයක් කිව්වොත් කිව්වාම තමයි. ඒක ආයේ එඩිට් කරන්නවත් ඩිලීට් කරන්නවත් බෑ. ඒ නිසා හම්බ වෙලා කතා කරන එක මාර පීඩනයක්.”—ඇනා.

 “මෙසේජ් එකක් හරියට කලින් රෙකෝඩ් කරපු වැඩසටහනක් වගේ. හැබැයි මූණට මූණ කතා කරනවා කියන්නේ සජීවී වැඩසටහනක් වගේ. ඒ නිසා කාට හරි කතා කරන්න කලින් මං මටම කියාගන්නවා ‘කට වරද්දගන්න එපා’ කියලා.”—ජීන්.

 හැබැයි ඔය කොහොම හිතුවත් අනිත් අයත් එක්ක හොඳට කතාබහ කරන එක දියුණු කරගන්නම වෙනවා. උදාහරණෙකට ඒක ඔයාට උදව් වෙයි අලුත් යාළුවෝ හොයාගන්න, රස්සාවක් හොයාගෙන ඒක දිගටම තියාගන්න. ඒ වගේම බඳින වයසට ආවාම කෙනෙක් එක්ක යාළු වෙලා ඒ සම්බන්ධේ දිගටම තියාගන්න.

 හැබැයි “මට නම් කීයටවත් කෙනෙක් එක්ක මූණට මූණ බලලා කතා කරගන්න බැරි වෙයි” කියලා හිතලා බය වෙන්න එපා. මොකද ඔයා කොච්චර ලැජ්ජාශීලී වුණත් ඔයාටත් පුළුවන් ඒක කරන හැටි ඉගෙනගන්න.

 “සමහරවිට කතා කරන්න ගියාම හිතෙයි ‘කට කැඩිච්ච කතාවක්වත් කියවෙයිද’ කියලා. නැත්නං හිතෙයි ‘අපරාදේ මං මේක කිව්වේ’ කියලා. හැබැයි ඒ ගැන හිතහිත දුක් වෙන්න එපා. මොකද අපි කවුරුත් සම්පූර්ණ නෑනේ.”—නීල්.

 කතාව කොහෙන්ද පටන්ගන්නේ?

  •   ප්‍රශ්න අහන්න. අනිත් අය මොන වගේ දේවලට කැමති වෙයිද කියලා හිතන්න. ඊටපස්සේ ඒ වගේ දේකින් කතාව පටන්ගන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් මෙහෙම අහන්න.

     “මොකෝ වෙන්නේ මේ දවස්වල?”

     “ළඟදී කොහෙවත් ගියේ නැද්ද?”

     “නියම ෆිල්ම් එකක් තියෙනවා. ඔයා ඒක බැලුවාද?”

     දෙන්නාම ආස, දෙන්නාම කරලා තියෙන දෙයක් ගැන කතා කරන්න. උදාහරණෙකට දෙන්නාම ගියේ එකම ඉස්කෝලෙටද, ඔයාලා කරන්නේ එකම ජොබ් එකද? ඉතින් ඒ වගේ දේකින් ප්‍රශ්න ඇහුවොත් ඒක හොඳ කතාබහකට පාර කපයි.

     “ඔයා උත්තර දැනගන්න කැමති ප්‍රශ්න අනිත් අයගෙන් අහන්න.”—මාරිට්සේ.

     පරෙස්සම් වෙන්න: පොලිසියෙන් වගේ එක දිගට ප්‍රශ්න අහන්න එපා. ඒ වගේම ගොඩක් පෞද්ගලික ප්‍රශ්න අහන්නත් එපා. හරියට “ඔයා වැඩිපුරම බය මොනවාටද, ඇයි ඔයා හැමදාම නිල්ම අඳින්නේ” වගේ ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න අහන එකෙන් එයා අප්සෙට් යන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ වගේ එකක් ඇහුවොත් හිතෙයි ඔයා එයාගේ ඇදම හොයනවා කියලා.

     එයාගෙන්ම ප්‍රශ්න අහඅහා ඉන්නවා වෙනුවට අහපු ප්‍රශ්නේ ගැන ඔයාට දැනෙන විදිහත් එයාට කියන්න. ප්‍රශ්නේ අහන්න කලින් හරි පස්සේ හරි ඒක කරන්න පුළුවන්. නැත්නම් එයාට දැනෙයි එයා සම්මුඛ සාකච්ඡාවකට ඇවිල්ලා ඉන්නවා කියලා.

    ඔයා ප්‍රශ්න අහන්නේ පොලිසියෙන් වගේද?

     බයිබල් ප්‍රතිපත්තිය: “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි.”—හිතෝපදේශ 20:5.

  •   හොඳට අහගෙන ඉන්න. කතාබහ දිගටම ගෙනියන්න නම් ඔයාම කතා කරලා විතරක් බැහැ, ඇහුම්කන් දෙන්නත් ඕනේ.

     “මං හැම තිස්සේම බලනවා මං කතා කරන කෙනා ගැන අලුත් දෙයක් දැනගන්න. මං ඒක මතක තියන් ඉඳලා එයාව ඊළඟ පාර හම්බ වුණාම අහන්න ප්‍රශ්නයක් හදාගන්නවා.”—තමාරා.

     පරෙස්සම් වෙන්න: ඊළඟට කියන්නේ මොකක්ද කියලා හිතහිත ඕනෑවට වඩා කරදර වෙන්න එපා. ඔයා හොඳට අහගෙන ඉන්නවා නම් එයා කියන දේකින්ම දෙයක් අරගෙන ඊළඟට කියන දේ තීරණය කරන්න පුළුවන්.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.

  •    අවංක සැලකිල්ලක් පෙන්නන්න. ඔයා ඇත්තටම අනිත් කෙනා ගැන සැලකිලිමත් නම් එයාත් එක්ක කතා කරන එකෙන් ඔයාට ලොකු සතුටක් ලැබෙයි.

     “සමහර වෙලාවට කතා කරගෙන යද්දී හිර වෙන අවස්ථා එයි. එහෙම වුණත් අනිත් කෙනා කියන දේවල් ගොඩක් වටිනවා කියලා එයාට දැනෙන්න සලස්වද්දී එයාත් එක්ක කතා කරපු එකෙන් ඔයාට ලොකු සතුටක් දැනෙයි.”—මාරි.

     පරෙස්සම් වෙන්න: නැති ප්‍රශ්න අහලා එයාගේ පෞද්ගලික දේවල්වලට ඇඟිලි ගහන්න එපා. උදාහරණෙකට “ෂා! ලස්සන ඔරලෝසුවක්. මාර ගණන් ඇතිනේ, කීයක් ගියාද” වගේ ප්‍රශ්න නම් අහන්න එපා. ඒ වගේ ප්‍රශ්න අහන එක හරියට ඔයාට අහන්න අයිති නැති දෙයක් අහනවා වගේ.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

 එතකොට කතාව ඉවර කරන්නේ කොහොමද? ජෝඩන් මෙහෙම කියනවා. “හොඳ දෙයක් කියලා කතාව ඉවර කරන්න බලන්න. ඔයාට පුළුවන් ‘ඔයාත් එක්ක කතා කරන්න හම්බ වුණ එක නියමයි,’ ‘ආයේ දවසක හම්බ වෙමුකෝ’ වගේ දෙයක් කියන්න. එතකොට එයාව ඊළඟ පාර හම්බ වුණාම ආයෙත් කතාවක් පටන්ගන්න ලේසියි.”