යොවුන් සිතේ ගැටලු
දෙමව්පියන් එක්ක පෑහිලා ඉන්න මට පුළුවන් කොහොමද?
හිතලා බලන්න
නිතරම ගැටෙන්නේ කා එක්කද?
තාත්තා එක්ක
අම්මා එක්ක
කොච්චර කාලෙකට සැරයක්ද?
කලාතුරකින්
සමහර වෙලාවට
නිතරම
ගැටුම කොයි තරම් දුරකට යනවාද?
ඉක්මනින්ම විසඳගෙන සමාදාන වෙනවා.
සෑහෙන වාදයකින් පස්සේ විසඳගන්නවා.
කොච්චර වාද කළත් විසඳෙන්නේ නැහැ.
දෙමව්පියන් එක්ක පෑහිලා ඉන්න ඔයාට බැරි වෙද්දී එයාලා තමයි වෙනස් වෙන්න ඕන කියලා ඔයා හිතයි. ඒත් ගැටුම් අඩු කරගන්නත් ගැටුම් දරුණු වෙන එක වළක්වගන්නත් ඔයාට ගන්න පුළුවන් පියවර කීපයක් දැන් අපි බලමු. මුලින්ම,
ගැටුම් ඇති වෙන්න හේතු
හිතන විදිහ. පොඩි කාලේ ඔයා එච්චර හිතන්නේ බලන්නේ නැතුව කරපු දේවල් ගැන උස් මහත් වෙද්දී ගැඹුරින් හිතන්න පෙලඹෙනවා. ඔයා යම් දේවල් ගැන දරන අදහසට වඩා දෙමව්පියන් ඒ දේවල් ගැන දරන අදහස වෙනස් වෙද්දී ඒවාට එකඟ වෙන්න බැහැ කියලා ඔයාට හිතෙයි. කොහොමවුණත් බයිබලේ කියන්නේ “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියලයි.—නික්මයාම 20:12.
ඇත්ත තත්වය: දෙමව්පියන්ගේ අදහසකට එකඟ වෙන්න බැරි අවස්ථාවක එයාලව තරහා කරගන්නේ නැතුව ඒ දේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ දක්ෂතාව වගේම අවබෝධය තියෙනවා නම් විතරයි.
නිදහස. ඔයා වයසින් වැඩෙද්දී ඔයාගේ දෙමව්පියන් ඔයාට දෙන නිදහස වැඩි කරයි. හැබැයි ඒ නිදහස ඔයාට ඕන කියලා හිතන නිදහසම නොවෙන්න පුළුවන්. එතකොට ගැටුම් ඇති වෙයි. ඒත් බයිබලේ මෙහෙම කියනවා. “ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.”—එෆීස 6:1.
ඇත්ත තත්වය: දෙමව්පියන් ඔයාට කොච්චර නිදහසක් දෙනවාද කියන එක තීරණය වෙන්නේ දැන් ඔයාට ලැබිලා තියෙන නිදහස පාවිච්චි කරන විදිහ අනුවයි.
ඔයාට කරන්න පුළුවන් දේ
ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන දේ ගැන හිතන්න. ගැටුමක් ඇති වෙද්දී සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ට දොස් පවරන්නේ නැතුව සමාදාන වෙන්න ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන දේ ගැන හිතන්න. “හුඟක් වෙලාවට ගැටුම දුර දිග යන්නේ ඔයා ප්රතිචාරය දක්වන විදිහ හින්දා මිසක දෙමව්පියන් කියන දේවල් හින්දාම නෙමෙයි. සන්සුන්ව කතා කෙරුවොත් ගැටුම විසඳගන්න පුළුවන්” කියලා ජෙෆ්රි කියන තරුණයා කියනවා.
බයිබලේ දෙන උපදෙස: “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.”—රෝම 12:18.
ඇහුම්කන් දෙන්න. “කරන්න අමාරුම දේ ඒක තමයි. ඒත් මම ඇහුම්කන් දෙනවා කියලා දෙමව්පියන්ට තේරුණාම ඒගොල්ලනුත් මට ඇහුම්කන් දෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා” කියලා 17 හැවිරිදි සමැන්තා කියනවා.
බයිබලේ දෙන උපදෙස: “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.
තමන්ගෙම ටීම් එකේ ඉන්න කෙනෙක් කියලා හිතන්න. හිතන්න ඔයා ක්රීඩාවක් කරනවා කියලා. ඔයාගේ දෙමව්පියනුත් ඉන්නේ ඔයාගේ ටීම් එකේ. එයාලා ප්රතිවාදී පිලේ ඉන්නවා කියලා හිතන්න එපා. ඇඩම් කියන තරුණයා මෙහෙම කියනවා. “ගැටෙන අවස්ථාවකදී දෙමව්පියන්ට ඕන යෞවන දරුවාට යහපතක් වෙනවා දකින්නයි. යෞවනයාටත් ඕන තමන්ට යහපතක් වෙයි කියලා හිතෙන දේ කරන්නයි. බලාගෙන ගියාම දෙගොල්ලන්ටම තියෙන්නේ එකම අරමුණක්.”
බයිබලේ දෙන උපදෙස: ‘සමාදානයට දායක වන දේවල් කිරීමට දැඩි උත්සාහයක් දරන්න.’—රෝම 14:19.
දෙමව්පියන්ව තේරුම්ගන්න. යෞවනියක් වන සේරා මෙහෙම කියනවා. “දෙමව්පියන්ට ඒගොල්ලන්ගෙම ප්රශ්න තියෙනවා කියලත් ඒවා අපේ ප්රශ්න තරම්ම බරපතළ ඒවා කියලත් මතක තියාගන්න එක උදව්වක්.” ඒ වගේම කාර්ලා කියන තරුණියත් මෙහෙම කියනවා. “මාව මගේ දෙමව්පියන්ගේ තැනට දාලා බලන්න මම උත්සාහ කරනවා. උස් මහත් වෙන දරුවෙක් මට ඉන්නවා නම් මේ වගේ තත්වයකදී මං මොනවා කරයිද? මගේ දරුවාට යහපතක් වෙන්නේ මොන වගේ දේවල්ද?”
බයිබලේ දෙන උපදෙස: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.
කීකරු වෙන්න. බයිබලයේ කියන්නෙත් ඒ දේ කරන්න කියලයි. (කොලොස්සි 3:20) ඒ අණට කීකරු වෙනවා නම් ඔයාට යහපතක් වෙයි. “දෙමව්පියන් කියන විදිහට වැඩ කරද්දී ගැටුම් ඇති වෙන්නේ නැහැ. දැනටමත් ඒගොල්ලන් මං වෙනුවෙන් සෑහෙන දේවල් කැප කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් වෙන්නේ පුංචි දෙයක් විතරයි” කියලා කැරන් කියන තරුණිය කියනවා. ගැටුමක් ඇති වෙද්දී හොඳම දේ කීකරු වෙන එකයි.
බයිබලේ දෙන උපදෙස: ‘දර නැති විට ගින්න නිවී යයි.’—හිතෝපදේශ 26:20.
යෝජනාවක්. අදහස් හුවමාරු කරන්න අමාරුයි කියලා දැනෙනවා නම් ඔයාගේ අදහස් කොළයක ලියලා හරි SMS එකකින් හරි දන්වන්න. “කතා කරන්න හොඳ මනසක් නැති වෙලාවක මම කරන්නේ ඒකයි. කෑකෝගහන්නේ නැතුව, පසුතැවිලි වෙන්න වෙන වචන පිට කරන්නේ නැතුව මගේ අදහස් ඉදිරිපත් කරන්න ඒක මට උදව් වෙනවා” කියලා යෞවනියක් වන ඇලිසා කියනවා.