යොවුන් සිතේ ගැටලු
අම්මා හරි තාත්තා හරි අසනීපෙන් නම් . . .
දෙමව්පියන් ලෙඩ වුණොත් එයාලාව බලාගන්න එක ගැන ඔයා හිතලා තියෙනවාද? ගොඩක් යෞවන අය කියන්නේ “ඒකට තව කල් තියෙනවා” නැත්නම් “ලෙඩ වුණාට පස්සේ ඒ ගැන හිතන්න පුළුවන්” කියලයි.
ඒත් ඔයා බලාපොරොත්තු වුණේ නැති විදිහට ඔයාගේ අම්මා හරි තාත්තා හරි අසනීප වුණොත් මොකද කරන්නේ? ඒ වගේ දේකට මුහුණ දුන්න දෙන්නෙක් තමයි එමලීන් සහ එමලි.
එමලීන්ගේ කතාව
මගේ අම්මාට හැදුණේ සුව කරන්න බැරි දරුණු ලෙඩක්. ඒ නිසා එයාගේ හන්දිපත් ගොඩක් රිදෙන්න ගත්තා. ඒක රුධිර නාළවලටත්, හමටත් බලපෑවා.
දැන් අවුරුදු දහයක් තිස්සේ අම්මා ඒ ලෙඩේ නිසා දුක් විඳිනවා. සමහර වෙලාවට අම්මාගේ ඇඟේ ලේ හොඳටම අඩු වෙලා ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් තියන්න බැරි වෙලාවල් තිබුණා. දැනුණ වේදනාව නිසා මැරුණා නම් හොඳයි කියලයි අම්මා නිතරම කිව්වේ.
අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. අපේ සභාවේ අය අපිට ගොඩක් උදව් කළා. එයාලා අපේ ළඟින්ම ඉඳලා අපිව සැනසුවා. දවසක් මගේ වයසේ යාළුවෙක් කාඩ් එකක් මට එව්වා. අපේ පවුලේ අය ගැන එයා ගොඩක් හිතනවා කියලත් ඕන වෙලාවක උදව් කරන්න කැමතියි කියලත් ඒකේ ලියලා තිබුණා. ඒ වචන මට ලොකු සැනසිල්ලක් වුණා.
බයිබලය කියවපු එකත් මට ලොකු උදව්වක් වුණා. මම ආසම බයිබල් පදයක් තමයි ගීතාවලිය 34:18. ඒ පදයේ කියන්නේ “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි” කියලයි. තවත් එකක් තමයි හෙබ්‍රෙව් 13:6. එතන කියන්නේ “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි” කියලයි.
හෙබ්‍රෙව් පොතේ ඒ කියන දේ මට ලොකු ශක්තියක්. මොකද මගේ අම්මාව මට නැති වෙයි කියලා මම ඉන්නේ ලොකු බයකින්. හෙට මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් ඒ බයිබල් පදයේ තියෙන දේ නිසා මොන දේ වුණත් ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියලා මට විශ්වාසයි. මම අම්මාට ගොඩක් ආදරෙයි. අම්මාට ජීවත් වෙන්න ලැබෙන හැම දවසක් ගැනම මම යෙහෝවා දෙවිට ස්තුති කරනවා.
මේ ලෙඩේ පරම්පරාවෙන් පරම්පරාවට යන එකක්. මටත් මගේ අම්මාගෙන් මේ ලෙඩේ උරුම වෙලා. ඒත් මම දන්නවා මම තනි වෙලා නැහැ කියලා. හෙබ්‍රෙව් 13:6 කියන විදිහට මට උපකාර කරන්න යෙහෝවා දෙවියන් හැම තිස්සෙම මාත් එක්ක ඉන්නවා.
හෙට දවස ගැන මම ඕනෑවට වඩා හිතලා කරදර වෙන්නේ නැහැ. අද ජීවත් වෙන්න ලැබුණු දවස ගැන මම සතුටු වෙනවා. ඉස්සර අම්මා හිටිය විදිහයි දැන් අම්මා ඉන්න අසරණ තත්වය ගැනයි හිතනකොට මට ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් බයිබලයේ කියන්නේ අපි මුහුණ දෙන්නේ “සුළු පීඩාවන්ටය. ඒවා පවතින්නෙත් කෙටි කලකටය” කියලයි. ඒක ඇත්ත. අපිට අනාගතයේදී ලැබෙන්න යන සදාකාලික ජීවිතයත් එක්ක බලද්දී දැන් අපි මුහුණ දෙන පීඩා එච්චර දෙයක් නෙමෙයි.—2 කොරින්ති 4:17; එළිදරව් 21:1-4.
හිතන්න දෙයක්: මේ වගේ අමාරු අද්දැකීමකට මුහුණ දෙන අතරේ එමලීන් කොහොමද සතුටින් ඉන්නේ? ඔයාටත් මේ වගේ තත්වයකට මුහුණ දෙන්න වුණොත් දිගටම සතුටින් ඉන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?
එමලිගේ කතාව
මම ඉස්කෝලෙ යන කාලයේ තමයි මගේ තාත්තාට මානසික අවපීඩනය මුලින්ම ඇති වුණේ. ඒ ලෙඩේ නිසා තාත්තා හුඟක් වෙනස් වුණා. කොයි වෙලේ බැලුවත් එයා හිටියේ දුකෙන්, කනස්සල්ලෙන්. පොඩි පොඩි දේවල්වලටත් පුදුම විදිහට බය වෙනවා. මේ දේවල් එක්ක එයා දැන් අවුරුදු 15ක් දුක් විඳිනවා. තාත්තා මේ මුහුණ දෙන තත්වය ගැන මට හරිම දුකයි. මානසික අවපීඩනය නිසා කිසිම හේතුවක් නැතුව තාත්තා කොයි වෙලෙත් හිටියේ දුකෙන්. ඒක එයාට කොච්චර අමාරු දෙයක් වෙන්න ඇද්ද!
අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. මේ වගේ තත්වයකට මුහුණ දෙන්න අපිට අපේ සභාවේ අය ගොඩක් උදව් කළා. එයාලා තාත්තාට සැලකුවේ හරිම ආදරයෙන්. මේ වගේ ලෙඩක් තියෙද්දී තාත්තා එක්ක වැඩ කරන එක ලේසි නැහැ. ඒත් එයාලා සභාවේ සමහර වැඩවලට තාත්තාව හවුල් කරගත්තා. හරිම ඉවසීමෙන් එයාත් එක්ක වැඩ කරා. තාත්තා මේ ලෙඩේට හොඳින් මුහුණ දෙන විදිහ දැක්කාම මට එයා ගැන තියෙන ආදරය තවත් වැඩි වෙනවා.
තාත්තා ලෙඩ වෙන්න කලින් හිටපු විදිහ මට මතක් වෙනවා. එයා දැන් වගේ දුකෙන් හිටියේ නැහැ. එයාගේ මුහුණේ කොයි වෙලේ බැලුවත් හිනාවක් තිබුණා. ඒත් දැන් එයාට මේ ලෙඩේ එක්ක ලොකු සටනක් කරන්න වෙලා.
ලෙඩේට හොඳින් මුහුණ දෙන්න මගේ තාත්තා එයාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා. පහුගිය කාලේ ලෙඩේ ගොඩක් දරුණු වුණා. ඒ කාලේ එයා වරද්දන්නේ නැතුව හැමදාම බයිබලයෙන් පොඩි කොටසක් හරි කියෙව්වා. ඒක ඒ දරුණු තත්වයට හොඳින් මුහුණ දෙන්න තාත්තාට පුදුම විදිහට උදව් වුණා.
නෙහෙමියා 8:10 කියන බයිබල් පදයට මං හුඟක් ආසයි. එතන කියන්නේ “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්” කියලයි. සභාවේ අයව ආශ්‍රය කරද්දී, සභාවේ වැඩවලට හවුල් වෙද්දී යෙහෝවා දෙවියන් දෙන ප්‍රීතිය මම ඇත්තටම අද්දකිනවා. මොන තත්වයකට මුහුණ දෙන්න වුණත් යෙහෝවා දෙවි අපිත් එක්ක ඉන්නවා කියන එක අපි හැම තිස්සෙම මතක තියාගන්න ඕනේ. ඒක මම තාත්තාගෙන් ඉගෙනගත්ත දෙයක්.
හිතන්න දෙයක්: ලෙඩින් ඉන්න එයාගේ තාත්තාට උදව් කරන්න එමලි මොන වගේ දේවල් කරන්න ඇද්ද? මානසික අවපීඩනය නිසා ලෙඩින් ඉන්න කෙනෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?