යොවුන් සිතේ ගැටලු
මං චරිත දෙකක් තියෙන කෙනෙක්ද?
දෙවියන්ට සේවේ කරන සමහර අයට හිතෙන්න පුළුවන් බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න මහන්සි වෙන එකෙන් වැඩක් තියෙනවාද කියලා. (ගීතාවලිය 73:2, 3) එයාලා සමහරවිට දෙවියන් අකමැති දේවල් කරන ගමන් දෙවියන්ගේ සෙනඟ ඉස්සරහා හොඳ මූණ පෙන්නගෙන ඉන්නයි හදන්නේ.
ඔයාත් චරිත දෙකක් තියෙන කෙනෙක් නම්, ඒ දෙකෙන් හරි චරිතේ තෝරගන්න ඔයාට ඕනෙ නම් මේ ලිපිය ලියලා තියෙන්නේ ඔයා වෙනුවෙන්.
මේ ලිපියෙන්
චරිත දෙකක් තියෙනවා කියන්නේ මොකක්ද?
චරිත දෙකක් තියෙන කෙනෙක් යෙහෝවාට ආදරේ නැති යාළුවෝ එක්ක ඉද්දී එයා වැරදියි කියලා දන්න දේ වුණත් කරනවා. හැබැයි සාක්ෂිකරුවන් එක්ක ඉද්දී එයා පෙන්නන්න හදන්නේ යෙහෝවාට සේවේ කරන්න එයාට ලොකු වුවමනාවක් තියෙනවා කියලා.
“ඔයා දෙබිඩි ජීවිතයක් ගත කරද්දී ඒ දෙපැත්තටම ඔයා කවුද කියලා ඔයා හංගනවා. ඇත්තටම ඔයා කරන්නේ ඒ දෙගොල්ලන්වම රවට්ටන එක. ඒ දෙගොල්ලන්ටම ද්‍රෝහි වෙන එක.”—එරින්.
ඔයා දැනගෙන හිටියාද? දෙබිඩි ජීවිතයක් ගත කරන එකට ඔයා තනියම ඉද්දී යෙහෝවා අකමැති දේවල් කරන එකත් ඇතුළත්.
“මට අවුරුදු 14දී තමයි මං ඉන්ටනෙට් එකෙන් නරක දේවල් බලන්න පටන්ගත්තේ. හැබැයි මං අනිත් අය ඉස්සරහා පෙන්නන්න හැදුවේ නං මට ඒ වගේ දේවල් අප්පිරියයි කියලා. ඒත් මගේ හිත දන්නවානේ මං කවුද කියලා.”—නොලාන්.
බයිබල් ප්‍රතිපත්තිය: “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි.”—මතෙව් 6:24.
ඒ වගේ ජීවිතයක් ගත කරනවා කියන්නේ මං නරක කෙනෙක් කියන එකද?
එහෙම කියන්න බැහැ. ඇත්ත, සමහරු බයිබල් ප්‍රතිපත්ති පැත්තකට දාලා එයාලට ඕන විදිහට ජීවත් වෙන්න තීරණය කරලා තියෙනවා. හැබැයි ඔයා එයාලා වගේද? නැත්නම් ඇත්තටම දෙබිඩි ජීවිතයක් ගත කරන්න ඔයාට බලපාලා තියෙන්නේ මේ වගේ හේතුද?
යාළුවෝ ඉස්සරහා ඔයා වෙනස් කියලා පෙන්නන්න තියෙන බය.
සභාවේ අයට වඩා ඉස්කෝලේ යාළුවෝ ඔයා ආස දේවල්වලටම ආසයි කියලා හිතෙන එක.
දෙවියන් කියන හැම දෙයක්ම කරන්න අමාරුයි කියලා හිතෙන එක.
“මං හිතන්නේ දෙබිඩි ජීවිතයක් ගත කරන අය වැඩියෙන්ම ආස ලෝකේ අයත් එක්ක ඉන්න. එයාලට ඕනෙ කා එක්ක හරි කමක් නෑ, සෙට් වෙලා ජොලියේ ඉන්න. මොකද එයාලා කොහේ වුණත් කොන් වෙන්න ආස නෑ.”—ඩේවිඩ්.
හැබැයි ඔය මොන හේතුවවත් දෙබිඩි ජීවිතයක් ගත කරන්න නිදහසට කරුණක් කරගන්න බැහැ. ඒ වුණත් ඒ දේවල්වලින් පේනවා හොඳ කෙනෙක් වුණත් ඒ වගේ හේතු නිසා ඒ උගුලට වැටෙන්න පුළුවන් කියලා. ඔයාත් ඒ වගේ කෙනෙක් නම් ඒකෙන් ගොඩ එන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?
ජීවිතේ වෙනස් කරගන්නේ කොහොමද?
1. ඔයාගේ ජීවිතේ ගැන ටිකක් හිතලා බලන්න. ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘ඇත්තටම මට ඕනෙ ගෙදරට එක මූණක් පෙන්නලා පිටට තව මූණක් පෙන්නන කෙනෙක් වෙන්නද? මෙහෙම ගියොත් මගේ ජීවිතේ කොහෙන් නතර වෙයිද?’
බයිබල් ප්‍රතිපත්තිය: ‘බුද්ධිමත් තැනැත්තා අවදානම දුර තියාම හඳුනාගනියි. එහෙත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.’—හිතෝපදේශ 27:12.
2. ඇත්ත හංගන්න එපා. ඔයා ඉන්න තත්වය ගැන ඔයාගේ අම්මායි, තාත්තායි එක්ක නැත්නම් යෙහෝවාගේ ප්‍රතිපත්ති ගැන ලොකු අගයක් තියෙන, අවබෝධයෙන් වැඩ කරන යාළුවෙක් එක්ක කතා කරන්න. ඔයා එයාලා ගාවට ආපු එක ගැන එයාලා අනිවාර්යයෙන්ම ගොඩක් සතුටු වෙයි. ඒ වගේම හරි දේ කරන්න ඔයාට තියෙන වුවමනාව දැකලා එයාලා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි.
“මගේ අතින් වෙච්ච දේවල් ගැන තව කෙනෙක්ට කියන එක තමයි මගේ ජීවිතේ කරන්න වුණ අමාරුම දේ. හැබැයි කොහොමහරි ඒක කළාම මට පුදුම සහනයක් දැනුණේ.”—නොලාන්.
බයිබල් ප්‍රතිපත්තිය: “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.”—හිතෝපදේශ 28:13.
3. ප්‍රතිඵල භාරගන්න. මතක තියාගන්න ඔයා මෙච්චර කල් ඔයාගේ දෙමාපියන්ට, සභාවේ සහෝදරයන්ට ගොඩක් දේවල් හැංඟුවා. ඒ නිසා එයාලාගේ හිතේ ඔයා ගැන තිබ්බ විශ්වාසේ බිඳිලා ඇති. ඉතින් ඔයාගේ අම්මා, තාත්තා නැත්නම් වැඩිමහල්ලෝ ඔයාට සමහර සීමා තහංචි දායි. ඔයා කරපු දේවල්වලට ලැබෙන ඒ ප්‍රතිඵල භාරගන්න. මෙතන ඉඳලා “සෑම දෙයකදීම අවංකව වැඩ කරන්න” අධිෂ්ඨානයක් ගන්න.—හෙබ්‍රෙව් 13:18.
බයිබල් ප්‍රතිපත්තිය: “උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න. එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය.”—හිතෝපදේශ 19:20.
4. දෙවියන් ඔයාට ගොඩක් ආදරෙයි කියලා සහතික කරගන්න. යෙහෝවා අපිට ගොඩක් ආදරෙයි. ඒ වගේම අපි කරන හැම පුංචි දෙයක්ම ඔහු දන්නවා. ඉතින් ඔයාට චරිත දෙකක් තියෙනවා නම් ඔහු ඒකත් දන්නවා. ඒක දකිද්දී ඔහුගේ හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්. හැබැයි ඔහු “ඔයා ගැන සැලකිලිමත් වෙන නිසා” ජීවිතේ වෙනස් කරගන්න ඔයාට උදව් කරන්න ඔහු ගොඩක් ආසාවෙන් ඉන්නවා.—1 පේතෘස් 5:7.
බයිබල් ප්‍රතිපත්තිය: “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.”—2 ලේකම් 16:9.