යොවුන් සිතේ ගැටලු
යාළුකමක්ද? ආදරයක්ද? - 1වෙනි කොටස: එයා කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද?
ඔයා එයාට ගොඩක් කැමතියි. එයාත් ඔයාට කැමතියි කියලා ඔයාට ෂුවර්. ඔයාට එහෙම දැනෙන එක සාධාරණයිනේ. මොකද කොහේ ගියත් ඔය දෙන්නා ඉන්නේ එකටමයි. හැමදාම වගේ SMS යවාගන්නවා. එයාගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා කියලා එයාගේ මෙසේජ්වලිනුත් තේරෙනවා.
දැන් ඔයාට එයාගෙන්ම අහලා දැනගන්න ඕනෙ එයා ඇත්තටම ඔයාට කැමතියිද කියලා. ඒ ගැන ඇහුවාට පස්සේ එයා මෙහෙම කියනවා. “අපි යාළුවෝ විතරයි.”
කොහොමද ඔයාට ඒක දැනෙන්නේ
“මට මාර කේන්තියි. එයා එක්ක විතරක් නෙමෙයි මට මං ගැනම කේන්තියි. SMS යවයව කොච්චර කාලෙ නාස්ති කරාද! එයා මං ගැන උනන්දුවක් පෙන්නුවා. නැත්නං මට එයා ගැන ආදරයක් ඇති වෙන්නේ නෑනේ.”—ජැස්මින්.
“එයාගේ යාළුවෙකුයි මගේ යාළුවෙකුයි සම්බන්ධයක් පටන්ගත්තාම අපි දෙන්නා තමයි එයාලා එක්ක ගිහින් එයාලාගේ තනියට හිටියේ. ඒත් අපි දෙන්නාත් හැසිරුණේ හරියට ආදරවන්තයෝ වගේ. අපි ගොඩක් කතා කළා. SMS යවාගත්තා. පස්සේ තමයි එයා මට කිව්වේ ‘එයා මාව සලකන්නේ යාළුවෙක් විදිහට විතරයි’ කියලා. ඒ විතරක් නෙමෙයි මට මෙසේජ් යවන කාලෙම එයා වෙන කොල්ලෙක් එක්කත් යාළු වෙලා හිටියාලු.”—රිචඩ්.
“එක පිරිමි ළමයෙක් හැමදාම වගේ මට SMS එව්වා. ආදරයක් ඇති වෙන විදිහේ මෙසේජස් පවා අපි යවාගත්තා. ඒත් මං එයාට ආදරය කරනවා කියලා කිව්වාම එයා හිනා වෙලා ‘මට දැන්මම ඒ වගේ සම්බන්ධයක් පටන්ගන්න බැහැ’ කියලා කිව්වා. කාලයක් යන කල්ම මං හොඳටම ඇඬුවා.”—තමාරා.
මේක මතක තියාගන්න. කෙනෙක් ගැන ඔයාට ආදරයක් ඇති වුණත් එයාට ඔයා ගැන එහෙම හැඟෙන්නේ නැහැයි කියලා දැනගත්තාම දුකක්, ලැජ්ජාවක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ අද්දැකීමකට මුහුණ දුන්න ස්ටීවන් මෙහෙම කියනවා. “එයාට මං ගැන ආදරයක් නැහැ කියලා දැනගත්තාම මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. කාලයක් යන කල් මට කාවවත් විශ්වාස කරන්න බැරි වුණා.”
ඇයි එහෙම වෙන්නේ?
අද කාලේ SMS සහ මිතුරු සමාජ වෙබ් අඩවිවලින් ඔයාට ලේසියෙන්ම යාළුකම් ඇති කරගන්න පුළුවන්. ඒ යාළුකම් ආදරයකට පෙරළෙන්නත් බැරි නැහැ. ඒත් ඔයාට කෙනෙක් ගැන ආදර හැඟීම් ඇති වුණත් එයාට ඔයා ගැන එහෙම කිසිම හැඟීමක් නැති වෙන්න පුළුවන්. මේ යෞවන අය කියන දේ බලන්න.
“සමහරවිට කෙනෙක් නිකං ටයිම් පාස් කරන්න ඔයාට හැමදාම මෙසේජ් එවනවා ඇති. ඒත් ‘එයා මට කැමති නිසා තමයි මෙහෙම මෙසේජ් එවන්නේ’ කියලා ඔයාට හිතෙන්න පුළුවන්.”—ජෙනිෆර්.
“දෙන්නාගෙන් එක් කෙනෙක් ඇත්තටම ආදරය කරනවා වෙන්න පුළුවන්. ඒත් අනිත් කෙනාට ඕනෙ එයාගේ හිතේ තියෙන දුක බෙදාගන්න විතරක් වෙන්න ඇති.”—ජේම්ස්.
“නිකං ගුඩ් නයිට් කියලා යවන මෙසේජ් එකක් වුණත් කෙනෙක් වැරදි විදිහට තේරුම්ගන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක නිකම්ම නිකං ‘ගුඩ් නයිට්’මෙසේජ් එකක් විතරක් වෙන්න ඇති.”—හේලි.
“ස්මයිලි ෆේස් එකක් දාලා යවන මෙසේජ් එකකින් වුණත් ‘එයා මට කැමතියි’ කියලා කෙනෙක් තේරුම්ගන්න බැරි නැහැ.”—ඇලීෂියා.
මේක මතක තියාගන්න. යාළුකමට කියන කරන දේවල් වැරදියට තේරුම්ගන්න එපා.
කියන්න නම් ලේසියි. ඒත් කරන්න තමයි අමාරු නේද? ඒකට හේතුව ගැන බයිබලයේ මෙහෙම කියනවා. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.” (යෙරෙමියා 17:9) හොඳ හේතුවක් නැතුව වුණත් ඔයාගේ හිතේ ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒක හරියට වැල්ලේ හදපු මාලිගාවක් වගේ නිකම්ම කැඩිලා යන්න පුළුවන්.
කරන්න පුළුවන් දේ
හිතලා බලන්න. ආයෙත් ඔයාලාගේ යාළුකම ගැන ටිකක් බලමු. එයා ඔයාට අනිත් අයට වඩා විශේෂ කෙනෙක් විදිහට සලකනවා කියලා හිතන්න සාධාරණ හේතු තියෙනවාද? ඔයාගේ හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව බුද්ධිමත්ව හිතන්න.—රෝම 12:1.
තේරුම්ගන්න. එයා ඔයාට ආදරෙයි කියලා හිතුණේ මොන මොන හේතු නිසාද කියලා මුලින්ම හොඳට හිතලා බලන්න. එච්චරම ෂුවර් නැති හේතු ගැන ආයෙත් හිතලා බලන්න. ඔයාට එයා ගැන ආදරයක් ඇති වුණ පළියට එයාත් එහෙම හිතනවා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා.
ඉවසන්න. ඔයාත් එක්ක ආදර සම්බන්ධයක් පටන්ගන්න කැමතියි කියලා එයා කෙළින්ම කියන කල් ටිකක් ඉවසලා ඉන්න. ඒ වෙන කල් අනවශ්‍ය විදිහට ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා.
අවංක වෙන්න. බයිබලේ කියන්නේ “කතා කිරීමට කාලයක්” තියෙනවා කියලයි. (දේශනාකාරයා 3:7) ඔයා ගැන කවුරු හරි කෙනෙක් විශේෂ සැලකිල්ලක් පෙන්නනවා නම් එයාගෙන් ඒ ගැන කෙළින්ම අහන්න. වැලරි කියන යෞවනිය මෙහෙම කියනවා. “එයාට ඔයා ගැන එහෙම විශේෂ හැඟීමක් නැහැ කියලා කිව්වොත් දුකක් දැනෙයි. හැබැයි මුලදීම ඒක දැනගන්න එක කාලයක් ගිහිල්ලා ඒක දැනගන්න එකට වඩා හොඳයි. නැත්තං ඔයාට එයාව අමතක කරන්න බැරි වෙයි.”
මේක මතක තියාගන්න. “ඔබේ සිත ආරක්ෂා කරගන්න” කියලා හිතෝපදේශ 4:23 කියනවා. කවුරු හරි කෙනෙක්ට ඔයාගේ හිත ඇදිලා යනවා නම් ඒ කෙනාටත් ඔයා ගැන ඒ විදිහට හිතෙනවාද කියලා දැනගන්න. නැත්තං ඉතිං ඔයාගේ ආදරයත් සිමෙන්ති පොළොව උඩ හිටවන්න හදන පැළයක් වගේ වෙයි.
මෙහෙම හිතන්න. එයාත් ඔයාට ආදරෙයි කියලා එයා කියනවා. දැන් මොනවාද කරන්නේ? සම්බන්ධයක් පටන්ගන්න වයසක නම් ඔයා ඉන්නේ ඒ ගැන ඔයාට තීරණයක් ගන්න පුළුවන්. හැබැයි මේක අමතක කරන්න එපා. සතුටින් පිරුණු ශක්තිමත් විවාහ බැඳීමක් ඇති වෙන්නේ යෙහෝවා දෙවිට ගොඩක් ආදරේ, එකම ඉලක්ක තියෙන සැමියෙක් සහ බිරිඳක් අතර විතරයි. (1 කොරින්ති 7:39) එයාලා අතර කිසිම රහසක් තියෙන්න බැහැ. එයාලා අවංකව වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි ආදරයට මුල් වුණ යාළුකම විවාහයෙන් පස්සෙත් දිගටම තියාගන්නවා.—හිතෝපදේශ 5:18.