Skip to content

නිර්මාණයක්ද?

ඈත තියාම තොරතුරු දැනගන්න ඩොල්ෆින්

ඈත තියාම තොරතුරු දැනගන්න ඩොල්ෆින්

 ඩොල්ෆින්ලා එක එක විදිහේ ක්ලික් ශබ්ද, විසිල් ශබ්ද නඟනවා සමහරවිට ඔයාත් අහලා ඇති. උන් ඒ ශබ්ද නඟලා ඒකේ දෝංකාරය හොඳට අහගෙනයි ඉන්නේ. මොකද ඌ ඉන්නේ කොයි වගේ තැනකද, අවට තියෙන්නේ මොනවාද කියලා දැනගන්න ඒක ඌට උදව් වෙනවා. බෝතල් නහය ඩොල්ෆින් (“ටර්සිඔප්ස් ට්‍රන්කේටස්”) විදිහට හඳුන්වන ඩොල්ෆින් විශේෂයට තියෙන මේ අපූරු හැකියාව දිහා බලලා විද්‍යාඥයින් දිය යටින් ශබ්ද තරංග යවන පද්ධතියක් වැඩි දියුණු කරනවා. දැනට තියෙන තාක්ෂණයට කරන්න බැරි දේවල් මේ අලුත් පද්ධතිය හරහා කරන්න එයාලා බලාපොරොත්තු වෙනවා.

 මේ ගැන හිතන්න: ශබ්ද තරංගවල දෝංකාරය අහගෙන ඉඳලා මුහුදු පතුලේ වැලි යට හැංගිලා ඉන්න මාළුන්ව හොයාගන්නත් මාළුන් සහ ගල් වෙන වෙනම හඳුනාගන්නත් මේ ඩොල්ෆින්ලාට පුළුවන්. ස්කොට්ලන්තයේ එඩින්බර්ග්වල තියෙන හෙරියට්වට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන කීත් බ්‍රවුන් මෙහෙම කියනවා. “පිරිසිදු ජලය, ලුණු සහිත ජලය, සිරප් වර්ග සහ තෙල් අඩංගු භාජන මුහුද යට තිබුණොත් අඩි 32.8ක් ඈතින් ඉඳලා ඒ එකින් එක වෙන වෙනම හඳුනාගන්න ඩොල්ෆින්ලාට පුළුවන්.” උන්ට තියෙන ඒ හැකියාව අනුකරණය කරලා උපකරණ නිෂ්පාදනය කරන්න විද්‍යඥයන් උත්සාහ ගන්නවා.

භාජනය ඇතුළේ තියෙන්නේ මොනවද කියලා අඩි 32.8ක් දුර ඉඳලා ඩොල්ෆින්ට හොයාගන්න පුළුවන්

 ඩොල්ෆින්ලා ශබ්ද නිකුත් කරලා ඒවාට ඇහුම්කන් දෙන විදිහ නිරීක්ෂණය කරලා, ශබ්ද තරංග නිකුත් කරන හරිම සංකීර්ණ උපකරණයක් හදන්න පර්යේෂකයන් සමත් වුණා. ඒක අඩි 3.3ක් දිග සිලින්ඩරාකාර උපකරණයක්. ඒක දිය යටින් යන මිසයිලයක හැඩයක් තියෙන තවත් උපකරණයකට සවි කරලා මුහුදු පතුල නිරීක්ෂණය කරන්න යැව්වා. මුහුදු පතුලේ වැලි යට සැඟවිලා තියෙන බට, කේබල් වගේ දේවල් ළඟට යන්නේ නැතුව දුර තියාම ඒවා පරීක්ෂා කරන්න ඒක උදව් වෙනවා. තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයටත් මේ තාක්ෂණය උදව් වෙයි කියලා මේ උපකරණය හදපු අය හිතනවා. දැනට තියෙන මේ වගේ උපකරණවලට වඩා ඩොල්ෆින් දිහා බලලා හදපු උපකරණයට තොරතුරු රාශියක් රැස් කරන්න පුළුවන් වෙයි. ඒ නිසා දිය යට ස්ථානගත කරන්න අවශ්‍ය යම් උපකරණ ඒවාට සුදුසුම තැන ස්ථානගත කරන්න කාර්මික ශිල්පීන්ට ඒක උපකාරවත් වෙයි. ඒ වගේම ඒ උපකරණ පලුදු වුණොත්, උදාහරණයකට ජලයේ තෙල් ලිං හාරන උපකරණ රඳවලා තියෙන ආධාරකයක පුංචි කෙස් ගහක් වගේ පිපිරීමක් තිබුණත් මේ තාක්ෂණය හරහා ඒක හොයාගන්න පුළුවන්. ඒ වගේම මුහුද යට තියෙන බටයක අවහිරයක් තිබුණොත් ඒක තියෙන තැනත් හොයාගන්න මේ තාක්ෂණය උදව් වෙනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? ඈත තියාම තොතුරු දැනගන්න හැකියාව බෝතල් නහය ඩොල්ෆින්ට ලැබුණේ පරිණාමය නිසාද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කළාද?