ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | යෝබ්
“අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
හිස සිට දෙපතුල දක්වාම හැදිලා තියෙන දරුණු කුෂ්ඨයක් නිසා ඔහු ඉන්නේ ලොකු වේදනාවකින්. දුක ප්‍රකාශ කරන්න අළු ගොඩක් මත ඉඳගෙන ඉන්න ඔහු තමන් වටේ කැරකෙන මැස්සන්ව එළවන්න ලොකු වීර්යයක් දරනවා. වේදනාව අඩු කරගන්න ඔහුට කරන්න පුළුවන් එකම දේ වළං කැබැල්ලකින් ඇඟ කසාගන්න එක විතරයි. කලින් නම් ඔහුට කිසිම දේකින් අඩුවක් තිබුණේ නැහැ. ඒ කාලේ කොයි කවුරුත් ඔහුට සැලකුවේ ලොකු ගෞරවයකින්. ඒත් තිබුණු හැම දෙයක්ම වගේ ඔහුට දැන් අහිමි වෙලා. යාළුවෝ, අසල්වැසියෝ, නෑදෑයෝ හැමෝම ඔහුව අත්හැරලා දාලා. වැඩිහිටියන් විතරක් නෙවෙයි පොඩි දරුවනුත් දැන් ඔහුට අවමන් කරනවා. මේ හැම දේම නිසා ඔහුට හිතෙන්නේ තමන් නමස්කාර කරන යෙහෝවා දෙවියනුත් තමන්ව අත්හැරලා දාලා කියලයි.—යෝබ් 2:8; 19:18, 22.
ඒ මිනිසා වෙන කවුරුත් නෙවෙයි යෝබ්. දෙවියන් යෝබ් ගැන කිව්වේ ‘ඔහු මෙන් කෙනෙක් පොළොවේ තවත් නැත’ කියලයි. (යෝබ් 1:8) සියවස් ගණනාවක් ගියාට පස්සෙත් යෙහෝවා දෙවියන් යෝබ්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා.—එසකියෙල් 14:14, 20.
ඔයාත් පීඩාවලින්, විපත්වලින් බැට කන කෙනෙක්ද? එහෙනම් යෝබ්ගේ කතාව ඔයාට ලොකු සහනයක් වෙයි. ඒ වගේම දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්නත් ඒක ඔයාට උදව් වෙයි. දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කෙනෙක් ඔහුට කොයි තරම් ආදරේ කරනවාද කිව්වොත් ඕනෙම පීඩාවක් මැද වුණත් දෙවියන් කැමති දේ කරන එක ඔහු අත්හරින්නේ නැහැ. ඒ දේ කරන්න පුළුවන් කොහොමද කියලා අපි යෝබ්ගෙන් ඉගෙනගමු.
යෝබ් දැනන් හිටියේ නැත්තේ මොකක්ද?
මෝසෙස් යෝබ්ගේ කතාව ලියලා තියෙන්නේ යෝබ් මිය ගිහින් කාලයක් ගත වුණාට පස්සේ කියලා හිතන්න පුළුවන්. යෝබ් මුහුණ දීපු දේවල් ගැන විතරක් නෙවෙයි ඒ කාලේදී ස්වර්ගයේ වුණු දේවල් ගැන වාර්තා කරන්නත් දෙවියන් මෝසෙස්ට මඟ පෙන්වලා තියෙනවා.
බයිබලයෙන් යෝබ්ගේ කතාව කියවන්න පටන්ගද්දීම පැහැදිලි වෙනවා ඔහු හරිම සතුටින් ජීවිතය ගෙවපු කෙනෙක් කියලා. ඔහුට දරුදැරියන් දහදෙනෙක් හිටියා. ඔහු ජීවත් වුණේ ඌෂ් දේශයේ. ඒ දේශය පිහිටලා තිබුණේ අරාබියට උතුරු දිශාවෙන් වෙන්න ඇති. එහේ හිටපු හැමෝම වගේ ඔහුට ලොකු ගෞරවයකින් සලකලා තියෙනවා. දිලින්දන්ට, අසරණයන්ට ඔහු කැමැත්තෙන්ම පිහිට වුණා. පොහොසතෙක් වුණු ඔහුට කිසිම දේකින් අඩුවක් තිබුණේ නැහැ. හැබැයි තමන්ට තිබුණු හැම දේටම වඩා ඔහු වටිනාම දේ හැටියට සැලකුවේ දෙවියන් එක්ක ඔහුට තිබුණු බැඳීමයි. යෝබ්ටත් ඕන වුණේ ඔහුට ඈතින් නෑ වුණු ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, යෝසෙප් වගේ හැම කාරණයකදීම යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න. ඒ විශ්වාසවන්ත අය වගේ ඔහුත් පවුලේ අයගේ පූජකයෙක් විදිහට කටයුතු කරමින් තම දරුවන් වෙනුවෙන් නිතිපතාම පූජාවන් ඔප්පු කළා.—යෝබ් 1:1-5; 31:16-22.
යෝබ්ගේ කතාවේ ඊළඟට විස්තර කරන්නේ ස්වර්ගයේ වෙන සිද්ධියක් ගැනයි. හැබැයි ඒ සිද්ධිය ගැන යෝබ් දැනගෙන හිටියේ නැහැ. යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු දේවදූතයන් පිරිසක් දෙවියන් ඉදිරියේ රැස් වෙලා හිටියා. දෙවියන්ට විරුද්ධව කැරලිගහපු සාතනුත් එතනට ආවා. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන යෝබ් ගැන සාතන් ඉන්නේ ලොකු කේන්තියකින් කියලා යෙහෝවා දෙවියන් දැනගෙනයි හිටියේ. යෝබ් දිගටම විශ්වාසවන්තව ඉන්න එක ගැන සාතන් එක්ක කතා කරන්න ඔහු පෙලඹුණේ ඒ නිසයි. ඒත් සාතන් උත්තර දුන්නේ මෙහෙමයි. “ඔහු ඔබට ගරුබිය දක්වන්නේ නිකමටද? ඔබ ඔහුගේ නිවස හා ඔහු සතු සියල්ල වටා ආරක්ෂක පවුරක් දමා තිබෙනවා නොවේද?” දිගටම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අය ගැන සාතන්ට තියෙන්නේ නයි වෛරයක්. මොකද ඒ අය මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට කැප වෙලා සේවය කරද්දී සාතන් කියන්නේ තමන් ගැන විතරක් හිතන ද්‍රෝහියෙක් කියලා පැහැදිලිවම ඔප්පු වෙනවා. යෝබ් දෙවියන්ට සේවය කරන්නේ වාසි ප්‍රයෝජන ලබාගන්න මිසක් දෙවියන්ට තියෙන ආදරේ නිසා නෙවෙයි කියලා සාතන් චෝදනා කරන්නේ ඒ නිසයි. යෝබ්ට තියෙන හැම දේම නැති වුණොත් යෝබ් යෙහෝවා දෙවියන්ගේ මුහුණටම ශාප කරයි කියලත් සාතන් කිව්වා.—යෝබ් 1:6-11.
යෝබ් දැනන් හිටියේ නැති වුණත් යෙහෝවා දෙවියන් ලොකු විශ්වාසයකින් යෝබ්ට කදිම වරප්‍රසාදයක් ලබා දීලා තිබුණා. ඒ තමයි සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන එක. යෝබ්ට තියෙන හැම දේම නැති කරලා දාන්න දෙවියන් සාතන්ට අවසර දුන්නත් යෝබ්ගේ ජීවිතේට හානියක් කරන්න අවසර දීලා තිබුණේ නැහැ. සාතන් ඉක්මනින්ම යෝබ්ට විරුද්ධව වැඩ කරන්න පටන්ගත්තා. ප්‍රතිඵලයක් විදිහට හිටිහැටියෙම කඩා හැළෙන මහා වරුසාවක් වගේ එක දවසක් ඇතුළතදී යෝබ්ට වේදනාකාරී දේවල් රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මුලින්ම යෝබ්ට අයිති වෙලා හිටිය ගොනුන් සහ කොටළුවන් විනාශ වුණා. ඊටපස්සේ බැටළුවනුත් අන්තිමට ඔටුවනුත් විනාශ වුණා. ඒ සතුන්ව බලාගෙන හිටිය සේවකයනුත් මැරුණා. බැටළුවන් විනාශ වුණු අවස්ථාවේ සේවකයෙක් ඇවිත් කිව්වා උන්ව විනාශ වුණේ “දෙවි අහසින් ගිනි” එව්ව නිසයි කියලා. සමහරවිට අකුණක් වැදිලා වෙන්න ඇති ඒ සතුන් විනාශ වෙන්න ඇත්තේ. මේ දේවල් වෙන්නේ ඇයි කියලා හිතන්නවත් යෝබ්ට කාලයක් ලැබුණේ නැහැ. ඔහුගේ වැඩිමල් පුතාගේ නිවස තද හුළඟක් නිසා බිමටම සමතලා වෙලා එහෙ හිටිය ඔහුගේ දරුවෝ දහදෙනාම මැරිලා කියලා යෝබ්ට ආරංචි වුණා.—යෝබ් 1:12-19.
ඒ දේවල් ගැන යෝබ්ට කොහොම හැඟෙන්න ඇද්ද? ඔහු තමන්ගේ සළුව ඉරාගෙන හිසකෙස් කපාගෙන බිම ඇද වැටුණා. යෝබ් හිතුවේ දෙවියන් තමන්ට ලබා දීපු ඒ හැම දේම දෙවියන් ආපහු අරගෙන කියලයි. සාතන් හරිම කපටි විදිහට ඒ හැම දෙයක්ම වෙන්න සැලැස්සුවේ ඒ දේවල් කරන්නේ දෙවියන් කියලා ඇඟවෙන විදිහටයි. එහෙම කරපු එකෙන් යෝබ් දෙවියන්ට ශාප කරයි කියලා සාතන් බලාපොරොත්තු වුණත් ඒ දේ නම් වුණේ නැහැ. මොකද යෝබ් කිව්වේ “යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා” කියලයි.—යෝබ් 1:20-22.
“ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න”
ලොකු කේන්තියකින් හිටිය සාතන් උත්සාහය අත්හැරියේ නැහැ. යෙහෝවා දෙවියන් සහ දේවදූතයන් ස්වර්ගයේ රැස් වෙලා ඉන්න වෙලාවක සාතන් ආයෙත් වතාවක් දෙවියන් ඉදිරියට ගියා. සාතන්ගේ පීඩා මැද වුණත් දිගටම විශ්වාසවන්තව හිටිය එක ගැන මේ වතාවෙත් යෙහෝවා දෙවියන් යෝබ්ව අගය කළා. එතකොට සාතන් මෙහෙම කිව්වා. “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි. ඔහු තම ජීවිතය රැකගන්න වෙනත් ජීවිතයක් වුණත් දෙන්න සූදානම්. එහෙත් දැන් ඔහුට විරුද්ධව ඔබේ බලය පාවිච්චි කර ඔහුගේ ශරීරයට පහර දෙන්න. එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න.” යෝබ්ගේ ශරීරයට පහර දුන්නොත් නම් යෝබ් අනිවාර්යයෙන්ම දෙවියන්ට ශාප කරයි කියලා සාතන් හිතුවා. ඒත් මොන දේ වුණත් යෝබ් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා කියන එක ගැන යෙහෝවා දෙවියන්ට නම් පුංචිම සැකයක්වත් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු යෝබ්ගේ ශරීරයට පහර දෙන්න සාතන්ට අවසර දුන්නා. හැබැයි යෝබ්ව මරන්න අවසර දුන්නේ නැහැ.—යෝබ් 2:1-6.
මේ වෙලාවේ තමයි මුලින් සඳහන් වුණු විදිහට සාතන් යෝබ්ට කුෂ්ඨ රෝගයකින් පහර දුන්නේ. ටිකකට හිතන්න සිද්ධ වුණු දේවල් යෝබ්ගේ බිරිඳට කොහොම බලපාන්න ඇද්ද කියලා. ආදරෙන් හදාවඩා ගත්ත දරුවන් දහදෙනාගේ මරණය ගැන වැලපෙමින් ඉන්න ඇයට ආදරණීය සැමියා කුෂ්ඨ රෝගයකින් වේදනා විඳිනවා දකිද්දී මොන තරම් නම් අසරණකමක් දැනෙන්න ඇද්ද! හිතේ තියෙන වේදනාව තවත් දරාගන්න බැරුව ඇය යෝබ්ට මෙහෙම කිව්වා. “ඔබ තවමත් දෙවිට විශ්වාසවන්තව සිටිනවාද? ඊට වඩා හොඳයි දෙවිට ශාප කර මිය ගියා නම්.” ඇය කවදාවත් ඒ විදිහට කතා කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි යෝබ් කිව්වේ ඇය කතා කරන්නේ හරියට අඥාන ස්ත්‍රියක් වගේ කියලා. මේ හැම දේම වෙද්දීත් යෝබ් කිසිම විදිහකින්වත් දෙවියන්ට ශාප කළේ නැහැ. එක වචනයකින්වත් දෙවියන්ට විරුද්ධව පව් කළේ නැහැ.—යෝබ් 2:7-10.
මේ දුක්බර කතාව ඔයාගේ ජීවිතේටත් බලපානවා කියලා ඔයා දැනන් හිටියාද? සාතන් නඟපු චෝදනාව යෝබ්ට වගේම අපි හැමෝටමත් අදාළ වෙනවා. මොකද සාතන් කිව්වේ “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ” කියලයි. තව විදිහකින් කිව්වොත් සාතන් චෝදනා කරන්නේ කිසිම මිනිසෙක් දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නේ නැහැ කියලයි. ඔයා දෙවියන්ට සේවය කරන්නේ ඇත්තටම ඔහුට තියෙන ආදරේ නිසා නෙවෙයි කියලත් ජීවිතේට අනතුරක් වෙන්න ගියොත් ඉක්මනින්ම ඔයා දෙවියන්ව අත්හරිනවා කියලත් සාතන් චෝදනා කරනවා. සාතන් නොකියා කියන්නේ ඔයාත් ඔහු වගේ ආත්මාර්ථකාමී කෙනෙක් කියලයි. සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න ඔයා කැමතිද? ඒ වරප්‍රසාදය අපි හැමෝටම තියෙනවා. (හිතෝපදේශ 27:11) දැන් අපි බලමු යෝබ් ඊළඟට මුහුණ දුන්නේ මොනවාටද කියලා.
බොරු සැනසිලිකරුවන්
යෝබ්ගේ කතාවේ ඊළඟට සඳහන් වෙන්නේ යෝබ්ට වුණු දේවල් ගැන ආරංචි වෙලා ඔහුව සනසන්න ආපු තුන්දෙනෙක් ගැන. දුර තියාම ඔවුන් යෝබ්ව දැක්කත් ඔහුව අඳුනගත්තේ නැහැ. මොකද ඇඟ පුරාම තිබුණු කුෂ්ඨ නිසා හම කලු වෙලා යෝබ්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි තිබුණේ. ලොකු වේදනාවකින් ඉන්න යෝබ්ව දැකලා එලිෆස්, බිල්දද් සහ ෂෝපර් මහත් හඬින් වැලපෙමින් තමන්ගේ හිස් මතට දූවිලි දමාගත්තා. ඒත් ඇත්තටම ඔවුන් කළේ බොරු මවාපෑමක් විතරයි. ඔවුන් සතියක් පුරාම යෝබ් ළඟින් ඉඳන් හිටියත් ඔහු එක්ක කිසිම දෙයක් කතා කළේ නැහැ. ඔවුන් එහෙම කළේ යෝබ්ව සනසන්න කියලා නම් හිතන්න බැහැ. මොකද අඩුම තරමින් ඔවුන් යෝබ්ට වුණේ මොනවාද කියලාවත් දැනගන්න උත්සාහ කළේ නැහැ. ඔවුන් දැනන් හිටියේ යෝබ් ලොකු වේදනාවකින් ඉන්නවා කියන එක විතරයි.—යෝබ් 2:11-13; 30:30.
අන්තිමේදී යෝබ්ම කතා කරන්න පටන්ගත්තා. තමන්ට මොන තරම් වේදනාවක් දැනෙනවාද කියා අඟවමින් ඔහු තමන් උපන් දවසට ශාප කළා. තමන්ගේ හිතට වේදනාවක් දැනුණේ ඇයි කියලත් ඔහු පැහැදිලි කළා. ඔහු හිතුවේ මේ හැම දේම වෙන්න සැලැස්සුවේ දෙවියන් කියලයි. (යෝබ් 3:1, 2, 23) ඔහුට දෙවියන් ගැන තියෙන විශ්වාසය අඩු වෙලා නොතිබුණත් ඒ වෙලාවේ ඔහුට දිරිගැන්වීමක් ඕන වෙලයි තිබුණේ. ඒත් ඔහුව බලන්න ආපු තුන්දෙනා කතා කරන්න පටන්ගත්තාම යෝබ්ට හිතුණේ ඔවුන් කතා නොකර සිටියා නම් ඊට වඩා හොඳයි කියලයි.—යෝබ් 13:5.
පේන විදිහට යෝබ්ට වඩා හුඟක් වැඩිමල් කෙනෙක් වුණු එලිෆස් ඇවිත් හිටපු තුන්දෙනාගෙන්ම වැඩිමලා. මුලින්ම කතා කරන්න පටන්ගත්තේ ඔහුයි. ඊටපස්සේ අනිත් දෙන්නාත් ඒ කතාවට හවුල් වුණා. ඔවුන් එලිෆස් කියපු දේවලටම එකඟ වුණා මිසක් යෝබ්ව සනසවන්න කිසිම දෙයක් කිව්වේ නැහැ. බැලූ බැල්මට ඔවුන් කියපු සමහර දේවල වරදක් නැහැ වගෙයි පෙනුණේ. උදාහරණෙකට ඔවුන් කිව්වා දෙවියන් යහපත් අයට ආශීර්වාද කරනවා, නරක අයට දඬුවම් කරනවා කියලා. ඒත් මුල ඉඳලාම ඔවුන් කියපු දේවලින් හොඳින්ම පැහැදිලි වෙන්නේ ඔවුන් යෝබ්ට කාරුණිකව සැලකුවේ නැහැ කියලයි. දෙවියන් නරක අයට දඬුවම් කරන යහපත් කෙනෙක් නම් යෝබ් දුක් විඳින්නේ ඔහු අතින් වුණු වරදකට දෙවියන් දඬුවම් කරන නිසයි කියලා එලිෆස් තර්ක කළා. බැලූ බැල්මට එලිෆස් කියපු දේ තර්කානුකූලයි වගේ පෙනුණත් ඔහු වැදගත් සත්‍යයන් කිහිපයක්ම නොසලකාහැරියා.—යෝබ් 4:1, 7, 8; 5:3-6.
එලිෆස් කියපු ඒ හැම දෙයක්ම යෝබ් කෙළින්ම ප්‍රතික්ෂේප කළා. (යෝබ් 6:25) ඒත් ඒ තුන්දෙනා තරයේම කියා සිටියේ යෝබ් මොකක් හරි පාපයක් කරලා ඒක හංගන්න හදනවා කියලයි. ඒ නිසා යෝබ් මේ විදිහට දුක් විඳින එක සාධාරණයි කියලත් ඔවුන් කිව්වා. එලිෆස් කිව්වා යෝබ් දෙවියන්ට ගරුබියක් නැති, උඩඟු, දුෂ්ට කෙනෙක් කියලා. (යෝබ් 15:4, 7-9, 20-24; 22:6-11) ෂෝපර් ඇඟෙව්වේ යෝබ් වැරදි දේවල් කරලා සතුටක් ලබන දුෂ්ට කෙනෙක් කියලයි. ඒ වගේම ඔහු යෝබ්ට කිව්වා වැරදි දේ කරන එක නතර කරන්න කියලා. (යෝබ් 11:2, 3, 14; 20:5, 12, 13) බිල්දද් කිව්වේ ඒ දෙන්නාටම වඩා දුෂ්ට දෙයක්. යෝබ්ගේ පුතුන් මිය ගියේ ඔවුන් ලොකු පාපයක් කරපු නිසයි කියලා ඔහු කිව්වා.—යෝබ් 8:4, 13.
දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක සැහැල්ලුවට ලක් කරයි
යෝබ්ව සනසන්න ආපු මිනිසුන් ඊටත් වඩා ලොකු වරදක් කළා. මොකද ඔවුන් යෝබ්ගේ විශ්වාසවන්තකම ගැන සැකයක් ඇති කළා විතරක් නෙවෙයි දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක කිසිම තේරුමක් නැති දෙයක් කියලා කිව්වා. එලිෆස් කතා කරන්න පටන්ගද්දීම නොපෙනෙන කෙනෙක් ඒ කියන්නේ භූතයෙක් තමන්ට රහසින් කියපු දෙයක් ගැන විස්තර කළා. ඒ භූතයා කියපු දේ නිසා එලිෆස් ආපු නිගමනය නම් හරිම භයානකයි. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. “දෙවි තම සේවකයන්ව විශ්වාස නොකරන්නේය. ඔහු තම දූතයන්ට විරුද්ධව දොස් කියන්නේය.” ඔහු කියපු ඒ දේ ඇත්තක් නම් ඒකෙන් අදහස් වෙන්නේ මිනිසුන්ට කවදාවත් දෙවියන්ව සතුටු කරන්න බැහැ කියන එකයි. ඒ අදහස කොයි තරම් භයානකද කිව්වොත් ඒ දේ විශ්වාස කරන එකෙන් කෙනෙක්ට දෙවියන් ගැන තියෙන විශ්වාසය දුර්වල වෙන්නත් පුළුවන්. බිල්දද් කිව්වේ පයට පෑගෙන පණුවෙකු වැනි වූ යෝබ්, දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක ගැන දෙවියන්ට කිසිම තැකීමක් නැහැ කියලයි.—යෝබ් 4:12-18; 15:15; 22:2, 3; 25:4-6.
ලොකු හිත් වේදනාවකින් ඉන්න කෙනෙක්ව සනසන්න ඔයාත් උත්සාහ කරලා තියෙනවාද? ඒක ලේසි දෙයක් නෙවෙයි නේද? යෝබ්ව සනසන්න ආපු අයගෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි හිත් වේදනාවකින් ඉන්න කෙනෙක්ව සනසද්දී අපි කියන්න හොඳ නැත්තේ මොන වගේ දේවල් ගැනද කියන එක. ඒ තුන්දෙනා කියපු දේවල් තර්කානුකූලයි වගේ පේන්න තිබුණත් ඒ එක් කෙනෙක්ටවත් යෝබ් ගැන කිසි අනුකම්පාවක් තිබුණේ නැහැ. අඩුම තරමින් ඔවුන් යෝබ්ගේ නම කියලවත් කතා කළේ නැහැ. යෝබ් විඳින වේදනාව දැකලා ඔහුගේ හිත රිද්දන්නේ නැතුව, ආදරෙන් කතා කරන්න ඕනෙ කියලවත් ඔවුන් හිතුවේ නැහැ. * කෙනෙක් මානසිකව වැටිලා ඉන්නවා නම් ඒ කෙනාට ආදරෙන් කතා කරන්න. ළඟින් ඉඳලා උදව් කරන්න. ඒ කෙනාගේ විශ්වාසය ශක්තිමත් කරමින් හිතට ධෛර්යයක් එන විදිහට කතා කරන්න. යෙහෝවා දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නත් ඔහු හුඟක් කරුණාවන්ත, දයාවන්ත, යුක්තිසහගත දෙවි කෙනෙක් කියන දේ තේරුම්ගන්නත් ඒ කෙනාට උදව් කරන්න. යෝබ්ට මුහුණ දෙන්න වුණු දේවලට යෝබ්ව සනසන්න ආපු අයට මුහුණ දෙන්න වුණා නම් යෝබ් අනිවාර්යයෙන්ම ඒ අයව සැනසෙන විදිහට කතා කරයි. (යෝබ් 16:4, 5) යෝබ් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක ගැන ඒ අය දිගින් දිගටම සැක මතු කරද්දී යෝබ් කළේ මොනවාද?
යෝබ් සැලුණේ නැහැ
සනසන්න ආව තුන්දෙනා එක්ක කතා කරන්න පටන්ගන්න කලින් ඉඳන්ම යෝබ් මානසිකව වැටිලයි හිටියේ. යෝබ් පිළිගත්තා ඔහු සමහර අවස්ථාවලදී “වියරු වැටුණු,” “බලාපොරොත්තු සුන් වූ” කෙනෙක් වගේ කතා කළා කියලා. (යෝබ් 6:3, 26) ඒ ඇයි කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. ඔහු හිටියේ ලොකු හිත් වේදනාවකින්. ඒ වගේම ඔහුට ඒ නරක දේවල් අද්දකින්න වුණේ ඇයි කියන එක ගැන කිසිම දෙයක් ඔහු දැනන් හිටියෙත් නැහැ. ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් අද්දකින්න වුණු විපත් ඇති වුණේ හිතාගන්නවත් බැරි තරම් වේගයකින්. ඒ හැම කරදරයක්ම ඔහු පිටට ආපු විදිහ නිසා යෝබ් හිතුවා ඒ දේවල් එහෙම වෙන්න සැලැස්සුවේ යෙහෝවා දෙවියන් කියලා. ඇත්තටම ඒ දේවල් වෙන්න හේතුව ගැන යෝබ් දැනන් හිටියේ නැති නිසයි ඔහු ඒ වගේ වැරදි නිගමනයකට ආවේ.
හැබැයි යෝබ් කියන්නේ දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් තිබුණු කෙනෙක්. ඒ සංවාදය අතරතුරේදී ඔහු කියපු දේවලින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. ඔහු කිව්වේ සත්‍ය කාරණා. ඒ දේවලින් අද අපිටත් ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා. යෙහෝවා දෙවියන්ගේ අනර්ඝ නිර්මාණ ගැන විස්තර කරද්දී කිසිම මිනිසෙක් දැනගෙන හිටියේ නැති කාරණා යෝබ් සඳහන් කළා. ඒකෙන් පැහැදිලි වෙනවා ඒ කාරණා ඔහුට හෙළි කරලා තියෙන්නේ දෙවියන් විසින්මයි කියලා. උදාහරණෙකට ඔහු කිව්වා යෙහෝවා දෙවියන් ‘පොළොවද හිස් අවකාශයේ එල්ලා තැබුවා’ කියලා. (යෝබ් 26:7) විද්‍යාඥයන් ඒ දේ හොයාගන්න සියවස් ගණනාවකට කලිනුයි ඔහු ඒ දේ කිව්වේ. * ඒ වගේම අනාගතය ගැන තමන්ට තිබුණු බලාපොරොත්තුව ගැනත් යෝබ් කතා කළා. ඔහු කියපු දේවලින් පැහැදිලි වෙනවා අතීතයේ හිටපු වෙනත් විශ්වාසවන්ත සේවකයන්ට වගේ ඔහුටත් දෙවියන්ගේ පොරොන්දු ගැන ස්ථිර විශ්වාසයක් තිබුණා කියලා. තමන් මරණයට පත් වුණොත් දෙවියන් අනිවාර්යයෙන්ම ඔහුව මතකයේ තියාගන්නවා කියලත් නියමිත කාලයේදී ඔහුට ආයෙත් ජීවිතය ලබා දෙනවා කියලත් ඒ දේ කරන්න දෙවියන් බලන් ඉන්නේ හුඟක් ආසාවෙන් කියලත් යෝබ් විශ්වාස කළා.—යෝබ් 14:13-15; හෙබ්‍රෙව් 11:17-19, 35.
මිනිසුන් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක ගැන සාතන් මතු කරපු චෝදනාව ගැන කියන්න පුළුවන් මොනවාද? එලිෆස් සහ ඔහුගේ මිතුරන් දෙන්නා කිව්වේ මිනිසුන් දෙවියන්ට විශ්වාසවන්තව හිටියත් නැතත් දෙවියන්ට ඒ ගැන කිසි ගානක් නැහැ කියලයි. ඒ වැරදි අදහස යෝබ් පිළිගත්තාද? කොහොමටවත් නැහැ. කෙනෙක් තමන්ට විශ්වාසවන්තව ඉන්නවාද නැද්ද කියන එක ගැන යෙහෝවා දෙවියන් සැලකිලිමත් වෙනවා කියලා යෝබ් හොඳින්ම තේරුම් අරන් හිටියා. ඒ නිසයි ඔහු නිසැකවම කිව්වේ දෙවියන් “මාගේ විශ්වාසවන්තකම දැනගනු ඇත” කියලා. (යෝබ් 31:6) සනසන්න කියලා ආපු අයගේ බොරු තර්ක විශ්වාස කරන්න ගියොත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න තමන්ට බැරි වෙයි කියලා යෝබ් තේරුම්ගත්තා. ඒ නිසයි ඒ තුන්දෙනාට දීර්ඝ උත්තරයක් දෙන්න යෝබ් පෙලඹුණේ. යෝබ් කියපු දේවල් නිසා ඒ තුන්දෙනාගේ කටවල් නිකම්ම වැහිලා ගියා.
හැම දවසකම කරන කියන දේවලින් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා කියන දේ පැහැදිලිව පේන්න තියෙන්න ඕනෙ කියලා යෝබ් තේරුම්ගත්තා. ඒ නිසා ඔහු කරපු කියපු හැම දේකදීම දෙවියන්ට විශ්වාසවන්තව හිටියේ කොහොමද කියලා ඔහු විස්තර කළා. උදාහරණෙකට ඔහු බොරු නමස්කාරයට සම්බන්ධ කිසිම දේකට හවුල් වුණේ නැහැ. අනිත් අයට කාරුණිකවත් ගෞරවයෙනුත් සැලකුවා. විවාහ බැඳීම වටිනා දෙයක් විදිහට සලකමින් සදාචාරය අතින් පවිත්‍රව හිටියා. එකම සැබෑ දෙවියන් වන යෙහෝවාට විතරක් නමස්කාර කරමින් ඔහුට කැප වෙලා සේවය කළා. “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි” කියලා මුළු හදවතින්ම කියන්න යෝබ්ට පුළුවන් වුණේ ඒ නිසයි.—යෝබ් 27:5; 31:1, 2, 9-11, 16-18, 26-28.
යෝබ්ගේ විශ්වාසය ආදර්ශයට ගන්න
දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක කොයි තරම් වැදගත්ද කියලා ඔයාත් තේරුම් අරන්ද ඉන්නේ? දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක වචනවලට විතරක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන දේ යෝබ් තේරුම් අරන් හිටියා. අපේ ජීවිතයේ හැම දවසකදීම අභියෝග හමුවේ පවා දෙවියන් ඉදිරියේ හරි දේ කරමින් අපි දෙවියන්ට මුළු හදවතින්ම කැප වෙලා ඉන්නවා කියලා ඔප්පු කරමු. අපි ඒ විදිහට ජීවත් වෙද්දී අපේ දෙවි යෙහෝවාව සතුටු කරන්නත් ඔහුගේ සතුරා වන සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්නත් පුළුවන් වෙනවා. විශ්වාසවන්ත යෝබ්ව අනුකරණය කරන්න පුළුවන් ඊටත් වඩා හොඳ ක්‍රමයක් තියෙනවාද?
යෝබ්ගේ කතාව තාමත් ඉවර නැහැ. යෝබ් තමන් ධර්මිෂ්ඨයි කියලා ඔප්පු කරන එකට කොච්චර අවධානයක් දුන්නාද කිව්වොත් දෙවියන්ව ගෞරවයට පත් කරන්න ඔහුට අමතක වුණා. වඩා වැදගත් වුණේ දෙවියන් කොයි තරම් යහපත් කෙනෙක්ද කියන කාරණය ගැන කතා කරමින් ඔහුගේ නම ගෞරවයට පත් කරන එක මිසක් තමන්ගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරන එක නෙවෙයි. ඒ නිසා ඔහුව නිවැරදි කරන්නත් කාරණා දිහා දෙවියන් බලන විදිහට බලන්න ඔහුට උදව් කරන්නත් ඕන වුණා. ඔහු හිටියේ ලොකු හිත් වේදනාවකින් නිසා ඔහුව සනසන්නත් ඕන වුණා. දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටිය මේ මිනිසා වෙනුවෙන් දෙවියන් මොනවා කරයිද? ඒකට උත්තරේ තවත් ලිපියකින් බලමු.
^ 17 ඡේ. එලිෆස් හිතුවේ ඔවුන් යෝබ්ට හුඟක් කාරුණිකව කතා කළා කියලයි. (යෝබ් 15:11) සමහරවිට එහෙම හිතුවේ ඔවුන් ශබ්ද නඟා කතා කළේ නැති නිසා වෙන්න ඇති. ඒත් ශබ්ද නඟා කතා කරන්නේ නැතුව වුණත් නපුරු, හිත පෑරෙන දෙයක් කියන්න පුළුවන්.
^ 19 ඡේ. ඊට අවුරුදු 3,000කට විතර පස්සේ තමයි පෘථිවිය කිසිම දෙයක් මත පිහිටලා නැහැ කියලා විද්‍යාඥයන් පිළිගන්න පටන්ගත්තේ. යෝබ් කිව්ව දේ මොන තරම් නම් ඇත්තක්ද කියලා සාමාන්‍ය ජනයාට පිළිගන්න පුළුවන් වුණේ අභ්‍යවකාශයේ ඉඳන් පෘථිවියේ ඡායාරූප ගත්තාට පස්සෙයි.