Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

“මං හිටියේ මගේම වළ කපා ගනිමින්”

“මං හිටියේ මගේම වළ කපා ගනිමින්”
  • ඉපදුණ අවුරුද්ද: 1978

  • රට: එල් සැල්වදෝරය

  • අතීතයේදී: කල්ලියක දරුණු සාමාජිකයෙක්

මගේ අතීතය

 “ඔයාට ඇත්තටම දෙවියන් ගැන දැනගන්න ඕන නම් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න.” ඒක ඇහුණාම මට අදහාගන්න බැරි වුණා. ඒ වෙද්දී මං සාක්ෂිකරුවන් එක්ක බයිබලය අධ්‍යයනය කරමින් හිටියේ. මං ඒ තරම් පුදුම වුණේ ඇයි කියලා තේරුම්ගන්න මගේ අතීතය ගැන ටිකක් විස්තර කරන්නම්.

 මං ඉපදුණේ එල් සැල්වදෝරයේ ක්වසාල්ටිපේක් කියන නගරයේ. අපේ පවුලේ ළමයි 15දෙනයි. මං 6වෙනියා. අම්මායි, තාත්තායි උත්සාහ කෙරුවේ අවංක නීතිගරුක අය විදිහට අපිව හදා වඩා ගන්න. ඒ අතරේම යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් වුණ ලියෝනාඩෝ සහ තවත් සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න අපේ ගෙදරටත් ආවා. ඒත් ඉගෙනගත්ත කිසි දෙයක් මං තඹේකට මායිම් කෙරුවේ නැහැ. ඒ නිසා මං නිතරම වැරදි තීරණ ගත්තා. අවුරුදු 14ක් වෙද්දී ඉස්කෝලේ යාළුවන් එක්ක බොන්නයි කුඩු ගහන්නයි පටන්ගත්තා. ටිකෙන් ටික එයාලා ඉස්කෝලෙන් කට්ටි පැනලා කල්ලිවලට බැඳුණා. මාත් ඒ රැල්ලටම ගියා. අපි දවස පුරාම පාරවල්වල රස්තියාදු ගැහුවා. අපි ඇබ්බැහි වෙලා හිටපු දේවල් ගන්න අපිට සල්ලි ඕන වුණා. ඉතිං අපි බලහත්කාරයෙන් මිනිසුන්ගෙන් සල්ලි ගත්තා. හොරකම් කළා.

 කල්ලියේ හිටපු අයව මං සැලකුවේ මගේම පවුලේ අය විදිහට. එයාලා එක්ක මට තිබුණේ පුදුම බැඳීමක්. කොච්චරද කිව්වොත් දවසක් කුඩු ගහලා මත් වෙලා හිටපු කල්ලියේ සාමාජිකයෙක් අපේ ගෙවල් ළඟ මනුස්සයෙකුට ගැහුවා. ඒ මනුස්සයා මගේ යාළුවාව කොහොමහරි මෙල්ල කරලා පොලීසියට කෝල් කෙරුවා. ඒකට මට හොඳටම තරහ ගියා. මම ලොකු පොල්ලක් අරගෙන ඒ මනුස්සයාගේ කාර් එකේ වීදුරු ටික කුඩු කරලා මුළු කාර් එකටම හානි කෙරුවා. එයා එපා කියලා වැඳ වැටුණත් මං නැවැත්තුවේ නැහැ.

 මට අවුරුදු 18ක් වෙනකොට මගේ කල්ලියේ අයයි පොලීසියයි අතර ගැටුමක් ඇති වුණා. අපි හදපු අත් බෝම්බයක් මං ගාව තිබුණා. ඒක පොලීසිය පැත්තට විසි කරන්න හදද්දී ඒක මගේ අතේම පිපිරුණා. මට මතක මගේ අතෙන් ලේ ගලනවා විතරයි. ඊටපස්සේ මට සිහිය නැතුව ගියා. සිහිය එනකොට මං හිටියේ ඉස්පිරිතාලේ. අන්තිමට මගේ දකුණු අතේ කොටසක් අයින් කරන්න වුණා. දකුණු කනේ ඇසීම නැති වෙලා දකුණු ඇහැත් කණ වෙන තරමටම හානි වුණා.

 එච්චර දෙයක් වෙලත් සනීප වෙච්ච ගමන් මොනවාද දන්නවාද මං කෙරුවේ? මං ආපහු කල්ලියට එකතු වුණා. ඒත් වැඩි කල් යන්න කලින් පොලීසියෙන් මාව අත්අඩංගුවට අරන් හිරේ දැම්මා. හිරේදී කල්ලියේ සාමාජිකයන් එක්ක තිබ්බ බැඳීම තව වැඩි වුණා. අපි උදේ ඉඳන් රෑ වෙනකම් එකටමයි හිටියේ. දවස පටන්ගත්තේ ගංජා උරලා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

 හිරේ ඉද්දී ලියෝනාඩෝ මාව බලන්න ආවා. අපි දෙන්නා කතා කරකර ඉද්දී එයා මගේ දකුණු අතේ කොටලා තිබ්බ තිත් තුනක් පෙන්නලා මගෙන් ඇහුවා “මේ පච්චයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද” කියලා. “ඔව්. ලිංගික ඇසුර, මත්ද්‍රව්‍ය සහ රොක් ඇන්ඩ් රෝල්” කියලා මං කිව්වා. “නැහැ, මට නං හිතෙන්නේ ඒ තිත් තුනෙන් අදහස් කරන්නේ ඉස්පිරිතාලෙයි, හිරගේයි, මරණයයි. ඔයා ඉස්පිරිතාලේ හිටියා. දැන් ඉන්නේ හිරේ. ඊළඟට වෙන්නේ මොකක්ද කියලා ඔයා දන්නවානේ” කියලා එයා කිව්වා.

 එයා කියපු දේට මාව ගැස්සුණා. ලියෝනාඩෝ හරියටම හරි. මං හිටියේ මගේම වළ කපාගනිමින්. බයිබලය පාඩම් කරන්න කැමතිද කියලා එයා මගෙන් ඇහුවා. මං ඒකට කැමති වුණා. එතනින් එහාට මම මගේ ජීවිතයේ වෙනස්කම් කරන්න පටන්ගත්තා. උදාහරණයකට, “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියලා බයිබලයේ කියනවා. (1 කොරින්ති 15:33) ඉතිං ඉස්සෙල්ලාම මට කරන්න වුණේ හොඳ යාළුවන් හොයාගන්න එක. ඒ නිසා මං කල්ලියේ අය පවත්වපු රැස්වීම්වලට යන එක නතර කරලා සාක්ෂිකරුවන් හිරේ පවත්වපු රැස්වීම්වලට යන්න පටන්ගත්තා. එතනදී අන්ද්‍රේ කියලා කෙනෙක්ව මට මුණගැහුණා. එයාත් රැඳවියෙක්. ඒත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කළාට පස්සේ එයා හිරේ ඉද්දීම බව්තීස්ම වෙලා තිබුණා. එයාත් එක්ක උදේ කෑම කන්න එයා මට අඬගැහුවා. එදා ඉඳලා උදේට ගංජා උරන එක නතර කරන්න මට පුළුවන් වුණා. අපි දෙන්නා හැමදාම බයිබල් පදයක් සාකච්ඡා කරලා දවස පටන්ගත්තා.

 මේ වෙනස කල්ලියේ සාමාජිකයන්ට ඉක්මනින්ම පෙනුණා. දවසක් කල්ලියේ නායකයෙක් මාත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වා. කල්ලියකින් වෙන් වෙන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා එයා මට මොනවා කරයිද කියලා මට බය හිතුණා. “ඔයා දැන් අපේ රැස්වීම්වලට එන්නේ නැතුව සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යනවා කියලා අපි දන්නවා. ඔයා මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ” කියලා එයා ඇහුවා. දිගටම බයිබලය පාඩම් කරලා මගේ ජීවිතයේ වෙනස් කරගන්න මට ඕනෙ කියලා මං කිව්වා. ඊළඟට එයා කියපු දේ තමයි මට අදහාගන්න බැරි වුණේ. මං ඇත්තටම සාක්ෂිකරුවෙක් වෙන්න අදහස් කරනවා කියලා ඔප්පු වුණොත් කල්ලියේ අය මට ගරු කරයි කියලා එයා මට කිව්වා. ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “ඔයාට ඇත්තටම දෙවියන් ගැන දැනගන්න ඕන නම් යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් එක්ක දිගටම බයිබලය පාඩම් කරන්න. එහෙම කරනකොට ඔයා නරක දේවල් කරන එක නවත්තලා දානවා කියලා අපි දන්නවා. ඔයාට මං සුබ පතනවා. ඔයා යන්නේ හරි පාරේ. සාක්ෂිකරුවන්ට පුළුවන් ඔයාව හොඳ කෙනෙක් කරන්න. ඇමරිකාවේ ඉද්දී මාත් එයාලා එක්ක පාඩම් කළා. මගේ පවුලේ සමහර අය සාක්ෂිකරුවන්. බය වෙන්න එපා. ඔයා කරන දේ අත්හරින්න එපා.” එයා එහෙම කිව්වාම මට ලොකු සහනයක් දැනුණත් හිතේ පොඩි බයකුත් ඉතුරු වුණා. ඒත් මං යෙහෝවා දෙවියන්ට හිතින් ස්තුති කළා. කූඩුවෙන් නිදහස් කරපු කුරුල්ලෙක්ට වගේ මටත් දැනුණේ ලොකු නිදහසක්. ඒ වෙලාවේ යේසුස් කියපු මේ වචන කොච්චර ඇත්තද කියලා මට තේරුණා. “ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”—යොහන් 8:32.

 මගේ පරණ යාළුවන්ගෙන් සමහර අය මට මත්ද්‍රව්‍ය දීලා මාව ආයෙත් අහු කරගන්න බැලුවා. සමහර අවස්ථාවලදී මං අහු වුණා. ඒත් මං දිගටම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලුවා. අන්තිමේදී මට පුළුවන් වුණා මං ගාව තිබුණ ඔක්කොම නරක පුරුදු අත්හැරලා දාන්න.—ගීතාවලිය 51:10,11.

 මං හිරෙන් නිදහස් වුණාම ගොඩක් අය හිතුවා මගේ පරණ ජීවිතේට මං ආපහු යයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. ඒ වෙනුවට මං නැවත නැවතත් හිරගෙදරට ගිහිල්ලා එහේ හිටපු මගේ යාළුවන්ට බයිබලයෙන් මං දැනගත්ත දේවල් කියලා දුන්නා. මං වෙනස් වෙලා කියලා අන්තිමේදී මගේ පරණ යාළුවන්ට පැහැදිලි වුණා. ඒත් මගේ පරණ හතුරන්ට නම් ඒක තේරිලා තිබුණේ නැහැ.

 දවසක් දේශනා සේවයේ යද්දී ඉස්සර මාව මරන්න බලාගෙන හිටපු වෙන කල්ලියක සාමාජිකයන් කට්ටියක් ආයුධ අරන් ඇවිත් මාවයි, මාත් එක්ක හිටපු සහෝදරයාවයි වට කෙරුවා. මං දැන් එයාලගේ හතුරු කල්ලියට අයිති නැහැ කියලා මාත් එක්ක හිටපු සහෝදරයා බය නැතුව ඒත් කාරුණික විදිහට එයාලට තේරුම් කරලා දුන්නා. සන්සුන්ව ඉන්න මට ලොකු උත්සාහයක් දරන්න වුණා. එයාලා මට ගහලා ආපහු ඒ පැත්ත පළාතේ එන්න එපා කියලා තර්ජනය කරලා අපිව යැව්වා. බයිබලය නිසා ඇත්තටම මගේ ජීවිතය වෙනස් වෙලා තිබුණා. ඉස්සර නම් ඒ වගේ දෙයක් වුණාම මං පළිගන්නවා. ඒත් දැන් මං 1 තෙසලෝනික 5:15 තියෙන මේ උපදෙස අදාළ කරනවා. “කිසිවෙකුට තවත් කෙනෙකුට විරුද්ධව එකට එක කිරීමට ඉඩ නොතබන්න. එකිනෙකාටත් අන් සියලුදෙනාටත් නිතරම යහපත් වූ දේවල් කිරීමටද වගබලා ගන්න.”

 සාක්ෂිකරුවෙක් වුණ දා ඉඳලා අවංක කෙනෙක් වෙන්න මං උත්සාහ කෙරුවා. ඒක මට ලේසි වුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන්ගේ උදව්ව නිසාත් බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගත්ත නිසාත් මගේ අලුත් යාළුවන් මට දීපු සහයෝගය නිසාත් මට ඒක කරන්න පුළුවන් වුණා. ආයුබෝවන් කියපු මගේ පරණ ජීවිතයට ආපහු යන්න මට කිසිම උවමනාවක් නැහැ.—2 පේතෘස් 2:22.

මං දැන් අද්දකින ආශීර්වාද

 ඉස්සර මං හරිම දරුණු කෙනෙක්. හැම වෙලේම හිටියේ කේන්තියෙන්. ඒ විදිහටම මං දිගටම හිටියා නම් අද මාව වළලපු තැන්වල ගස් වැවිලා තියෙන්න තිබුණා. ඒත් බයිබලයෙන් මං ඉගෙනගත්ත දේවල් මගේ ජීවිතය වෙනස් කරගන්න මට උදව් වුණා. මං මගේ නරක පුරුදු අත්හැරියා. මගේ හතුරන් වෙලා හිටපු අයත් එක්ක වුණත් සාමාදානයෙන් ඉන්න මං ඉගෙනගත්තා. (ලුක් 6:27) දැන් මං ඇසුරු කරන අය නිසා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. (හිතෝපදේශ 13:20) මං ඉන්නේ සතුටෙන්. දැන් මගේ ජීවිතයට අරමුණක් තියෙනවා. මොකද මං නමස්කාර කරන්නේ මගේ වැරදිවලට සමාව දෙන්න සූදානමින් හිටපු යෙහෝවා දෙවියන්ටයි.—යෙසායා 1:18.

 2006දී මම ශුභාරංචිය ප්‍රකාශ කරන්න තනිකඩ සහෝදරයන්ව පුහුණු කරන්න පවත්වපු විශේෂ පාසැලකට සහභාගි වුණා. අවුරුදු කිහිපයකට පස්සේ මං මට ගොඩක් ආදරේ කරන සහෝදරියක් එක්ක විවාහ වුණා. දැන් අපිට දුවෙක් ඉන්නවා. මගේ කාලයෙන් වැඩි හරියක්ම දැන් යොදවන්නේ ජීවිතය වෙනස් කරගන්න මට උදව් වෙච්ච බයිබල් ප්‍රතිපත්ති අනිත් අයට කියලා දෙන්න. මම සභාවේ වැඩිමහල්ලෙක් විදිහටත් සේවය කරනවා. යෞවන කාලේ මං කරපු වැරදි නොකර ඉන්න සභාවේ ඉන්න යෞවනයන්ට උදව් කරන්න මං ගොඩක් මහන්සි වෙනවා. මං හිටියේ මගේම වළ කපා ගනිමින්. ඒත් දැන් මං ඉන්නේ දෙවියන් පොරොන්දු වෙලා තියෙන සදාකාල ජීවනයට යන පාරේ.