යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවමංගල්‍ය කටයුතු සලකන්නේ කොහොමද?
අපි අවමංගල්‍ය කටයුතු කරන්නේ බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට එකඟවයි. ඒ ඉගැන්වීම්වලින් කිහිපයක් ගැන දැන් බලමු.
මැරුණු අය ගැන දුක් වෙන එක සාමාන්‍ය දෙයක්. අවමංගල්‍යයක් කියන්නේ වේදනාකාරී අවස්ථාවක්. (දේශනාකාරයා 3:1, 4; 7:1-4) තමන් ආදරේ කරපු අය මැරුණාම යේසුස් සහ ඔහුගේ ගෝලයන් පවා දුක් වුණා. (යොහන් 11:33-35, 38; ක්‍රියා 8:2; 9:39) අපිත් ඒක සලකන්නේ දුක සහ සැලකිල්ල පෙන්නන්න ඕන අවස්ථාවක් විදිහටයි.—රෝම 12:15.
මැරුණු අය කිසිම දෙයක් දන්නේ නැහැ. මරණයෙන් පස්සේ නොපෙනෙන දෙයක් ශරීරයෙන් පිට වෙලා යනවා කියලත් ජීවත් වෙලා ඉන්න අයට හානි කරන්න ඒකට පුළුවන් කියලත් හුඟක් අය විශ්වාස කරනවා. ඒත් ඒක බයිබලයේ ඉගැන්වීම්වලට එකඟ නැහැ. (දේශනාකාරයා 9:5, 6, 10) ඒ නිසා අපි ඒ විශ්වාසයට සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන්නේ නැහැ. මොන සංස්කෘතියකට, ජාතියකට හෝ පසුබිමකට අයිති වුණත් “අපවිත්‍ර දේවලට අත නොගසන්න” කියන ආඥාවට අපි කීකරු වෙනවා. (2 කොරින්ති 6:17) මළ සිරුර තනි කරන්නේ නැතුව නිදි මැරීම, මළ සිරුරේ හිස තියන්න ඕන දිශාව තීරණය කිරීම, ඉටිපන්දම් හෝ පහන් නිවෙන්න නොදී දල්වා තැබීම, ගෙදර තියෙන ඡායාරූප පිටුපස හරවා තැබීම, රෙදි කඩකින් මුහුණ බලන කණ්ණාඩි වසා තැබීම, මළවුන් එක්ක කතා කිරීම, මැරුණු කෙනා වෙනුවෙන් දාන දීම, මැරුණු කෙනාව සිහි කරන්න අවුරුද්දකට වතාවක් චාරිත්‍ර පැවැත්වීම වගේ දේවලට අපි හවුල් වෙන්නේ නැහැ.
මැරුණු අය ගැන අපිට බලාපොරොත්තුවක් තියෙනවා. මැරුණු අයට දෙවියන් ආයෙත් ජීවිතය ලබා දෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම මරණය නැති කාලයක් ගැනත් ඒකේ කියනවා. (ක්‍රියා 24:15; එළිදරව් 21:4) කෙනෙක් මැරුණාම ඒ දුක දරාගන්න පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන්ට ඒ බලාපොරොත්තුව උදව් වුණා. අපිටත් අනවශ්‍ය විදිහට දුක් වෙන්නේ නැතුව ඉන්න ඒ බලාපොරොත්තුව උදව් වෙනවා.—1 තෙසලෝනික 4:13.
බයිබලය උනන්දු කරන්නේ සරල වෙන්න කියලයි. (හිතෝපදේශ 11:2) අපි අවමංගල්‍යයක් අපේ වත්පොහොසත්කම් ‘ප්‍රදර්ශනය කරන,’ අපේ සමාජ මට්ටම පෙන්නන අවස්ථාවක් හැටියට සලකන්නේ නැහැ. (1 යොහන් 2:16) ඒ නිසා එන අයගේ අවධානය ගන්න හිතාගෙන ලොකු මුදලක් වියදම් කරලා කරන දේවලින් ඒ කියන්නේ වටිනා මිනී පෙට්ටි මිල දී ගන්න එක, මිනියට වටිනා ඇඳුම් අන්දන එක වගේ දේවලින් අපි වළකිනවා. අපි අවමංගල්‍ය කටයුතු කරන්නේ බයිබලයට එකඟව සරලව සහ චාම් විදිහටයි.
අවමංගල්‍ය කටයුතු ගැන අපි විශ්වාස කරන දේවල් පිළිගන්න කියලා අපි අනිත් අයට බල කරන්නේ නැහැ. “අප කරන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 14:12) ඒ නිසා අපි විශ්වාස කරන දේවල් පිළිගන්න කියලා අපි කාටවත් කියන්නේ නැහැ. ඒ වුණත් කවුරු හරි අපේ විශ්වාසයන් ගැන දැනගන්න කැමති නම් “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින්” අපි ඒ දේවල් පැහැදිලි කරනවා.—1 පේතෘස් 3:15.
සාක්ෂිකරුවන්ගේ අවමංගල්‍යයකදී වෙන්නේ මොනවාද?
ස්ථානය: අවමංගල්‍ය කටයුතු කරන තැන තීරණය කරන්න පවුලේ අයට පුළුවන්. ඒ සඳහා නමස්කාර මධ්‍යස්ථානයක්, මල් ශාලාවක්, පෞද්ගලික නිවසක්, සුසාන භූමියක්, ආදාහනාගාරයක් වගේ ස්ථාන පාවිච්චි කරනවා.
දේශනය: දුකින් ඉන්න අයට සැනසීමක් ලැබෙන විදිහට මරණය ගැන සහ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන බයිබලයේ සඳහන් තොරතුරු ඇතුළත් කෙටි දේශනයක් ඉදිරිපත් කරනවා. (යොහන් 11:25; රෝම 5:12; 2 පේතෘස් 3:13) ඒ වගේම දේශනයේදී මැරුණු කෙනාගේ හොඳ ගතිගුණ ගැනත් එයා දෙවියන්ට ළැදිව ඉඳලා ජීවත්ව ඉන්න අයට තියපු ආදර්ශය ගැනත් කතා කරන්න ඉඩ තියෙනවා.—2 සාමුවෙල් 1:17-27.
බයිබලයේ තියෙන තොරතුරු මත පදනම් වුණු ගීතිකාවක් ගායනා කරන්න සැලසුම් කරන්නත් ඉඩ තියෙනවා. (කොලොස්සි 3:16) සැනසීමක් ගෙන දෙන යාච්ඤාවකින් වැඩකටයුතු අවසන් කරනවා.—ෆිලිප්පි 4:6, 7.
මුදල් එකතු කිරීම්: අවමංගල්‍ය කටයුතු ඇතුළු කිසිම ආගමික කටයුත්තක් වෙනුවෙන් අපි මුදල් අය කරන්නේ නැහැ. සතිපතා පවත්වන රැස්වීම්වලදීවත් අපි මුදල් එකතු කිරීමක් කරන්නේ නැහැ.—මතෙව් 10:8.
පැමිණෙන අය: කැමති කෙනෙක්ට සාක්ෂිකරුවෙක්ගේ අවමංගල්‍යයකට එන්න පුළුවන්. අවමංගල්‍ය කටයුතු සිද්ධ කරන්නේ නමස්කාර මධ්‍යස්ථානයකදී වුණත් ඕන කෙනෙක්ට ඒකට සහභාගි වෙන්න පුළුවන්.
වෙන ආගම්වල අයගේ අවමංගල්යයන්වලට සාක්ෂිකරුවන් සහභාගි වෙනවාද?
බයිබල් ප්‍රතිපත්ති මත පුහුණු කරපු හෘදය සාක්ෂියට අනුව හැම සාක්ෂිකරුවෙක්ටම ඒ වගේ අවමංගල්‍යයකට සහභාගි වෙනවාද නැද්ද කියලා පෞද්ගලිකව තීරණය කරන්න පුළුවන්. (1 තිමෝති 1:19) ඒත් බයිබලයට එකඟ නැති චාරිත්‍රවලට සහභාගි වෙන එකෙන් සාක්ෂිකරුවන් වැළකෙනවා.—2 කොරින්ති 6:14-17.