Skip to content

පටුනට යන්න

අනික් අයට කරන්න පුළුවන් මොනවාද?

අනික් අයට කරන්න පුළුවන් මොනවාද?

“මොනවා හරි උදව්වක් ඕනේ නම් කියන්න.” වියෝදුකින් සිටින මිතුරෙකුට හෝ නෑදෑයෙකුට අප බොහෝවිට පවසන්නේ එයයි. එසේ පවසන්නේ අප ඔවුන් ගැන සැලකිලිමත් වන නිසයි. එහෙත් එවැනි කෙනෙක් කවදා හෝ අපට කතා කර, “අනේ මට මේ උදව්ව කරලා දෙන්න පුළුවන්ද” කියා අසයිද? එවැනි දෙයක් සිදු වෙන්නේ කලාතුරකින්. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය උපකාරය හා සහනය ලබා දීමට පියවර ගත යුත්තේ අපයි.

බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “නිසි කලට කියන වදන් කැටයම් කළ රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි.” (හිතෝපදේශ 15:23; 25:11) වියෝදුකින් සිටින කෙනෙකුට කිව යුතු දේ හා නොකිව යුතු දේ ගැනත් කළ යුතු දේ හා නොකළ යුතු දේ ගැනත් අප කල්පනාකාරී විය යුතුයි. එවැනි අයට සහනයක් ගෙන දුන් යෝජනා කිහිපයක් පහත සඳහන් වෙනවා.

කළ යුතු දේ

සවන් දෙන්න: ‘ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න’ කියා යාකොබ් 1:19හි සඳහන් වෙනවා. දුකින් සිටින අයට සහනයක් දිය හැකි හොඳම ක්‍රමය වෙන්නේ ඔවුන්ට සවන් දීමයි. සමහරවිට ඔවුන්ට මිය ගිය කෙනා ගැන, ඔහු හෝ ඇය මිය ගිය ආකාරය ගැන හෝ තමන්ට දැනෙන දුක ගැන කතා කරන්න කැමැත්තක් ඇති. ඒ නිසා ඔවුන්ගෙන් මෙසේ අසන්න. “ඒ ගැන කතා කරන්න ඔයා කැමතිද?” කැමතිද නැද්ද කියා තීරණය කිරීමට ඔවුන්ට ඉඩහරින්න. තම පියාගේ මරණය ගැන එක් තරුණයෙක් මෙසේ පැවසුවා. “වෙච්ච දේ ගැන මගෙන් අහලා, ඒ ගැන මම කියද්දී අනික් අය හොඳින් ඇහුම්කන් දෙන කොට මට ලොකු සහනයක් දැනුණා.” ඒ නිසා වියෝදුකින් සිටින අය තම වේදනාව ගැන කියන විට ඉවසීමෙන් හා අනුකම්පාවෙන් සවන් දෙන්න. ඔවුන් කියන හැම දේටම ඔබත් යමක් කිව යුතුයි කියා නොසිතන්න. ඔවුන්ගේ සිතේ තිබෙන දේ කියන්න ඉඩහරින්න.

දිරිගැන්වීමක් ලබා දෙන්න: මිය ගිය තැනැත්තා වෙනුවෙන් ඔවුන් තම උපරිමය කළ බව පවසමින් ශෝකයෙන් සිටින අයව දිරිගන්වන්න. (ඔවුන් කළ දේවල් ඔබ දන්නවා නම් ඒ ගැන සඳහන් කරන්න.) ඔවුන්ට දැනෙන දුක, කෝපය හා තමන්ටම දොස් කියාගැනීම වැනි දේ ඕනෑම කෙනෙකුට ඇති විය හැකි බව පවසන්න. එවැනි තත්වයකින් ගොඩ ඇවිත් සිටින ඔබ දන්නා හඳුනන අය ගැන ඔවුන්ට පවසන්න. හිතෝපදේශ 16:24හි පවසන්නේ ‘ප්‍රිය වදන් ගතටත් සිතටත් සුවයක් ගෙන දෙයි’ කියායි.—1 තෙසලෝනික 5:11, 14.

අන් අය වෙනුවෙන් කාලය දෙන්න: මරණය සිදු වූ මුල් දවස්වල මිතුරන් හා නෑදෑයන් ඔවුන් සමඟ සිටිය හැකියි. නමුත් ඊට පසුව ඔවුන් සිටින්නේ තනිවමයි. එවැනි අවස්ථාවක ඔබට හැකියි ඔවුන්ට සහනයක් වෙන්න. එයින් පෙන්වන්නේ ඔබ “විපතකදී” උපකාර කිරීමට සිටින “සැබෑ මිතුරෙකු” බවයි. (හිතෝපදේශ 17:17) රිය අනතුරකින් තම දරුවා අහිමි වූ මවක් වන තෙරේසා මෙසේ පවසනවා. “අපේ යාළුවෝ නිතරම හවස් කාලයේ අපිව බලන්න ආවා. ඒ නිසා අපිට දැනුණු තනිකම ටිකකට හරි මඟහැරුණා.” වියෝදුකින් සිටින අයට අවුරුද්දේ සමහර දවස්වල විශේෂයෙන්ම විවාහ සංවත්සරය හෝ මරණය සිදු වූ දිනය වේදනාකාරී විය හැකියි. එවැනි දවස් ලියා තබාගෙන හැකි නම් ඔවුන්ව බැලීමට යෑමෙන් හෝ ඔවුන් වෙනුවෙන් යම් දෙයක් කිරීමෙන් ඔවුන්ට සහනයක් වීමට ඔබට හැකියි.

උපකාරයක් අවශ්‍ය නම් ප්‍රමාද නොවී එය ලබා දීමට ඉදිරිපත් වෙන්න

ඔබම ඉදිරිපත් වෙන්න: මරණය සිදු වූ විගස පවුලේ අය සිටින්නේ කම්පනයකින්. ඒ නිසා කරන්නේ කුමක්ද කියා ඔවුන්ට සිතාගත නොහැකියි. යම් උපකාරයක් ලබා දිය යුතුයි කියා ඔබට සිතුණොත් අසන තුරු බලා නොසිට පියවර ගන්න. (1 කොරින්ති 10:24; 1 යොහන් 3:17, 18) උදාහරණයකට නිවසින් පිටතට ගොස් කළ යුතු වෙනත් වැඩ තිබෙනවාද? ළමයින්ව බලාගත යුතුද? නෑදෑයන්ට හා මිතුරන්ට නවාතැන් අවශ්‍ය වෙයිද? ඒ ගැන එක් වැන්දඹුවක් පැවසූ දේ සලකා බලන්න. “හුඟක් අය කිව්වේ ‘මොකක් හරි උදව්වක් ඕනේ නම් කියන්න’ කියලා. ඒත් මගේ එක යාළුවෙක් මගෙන් මුකුත් අහන්නේ නැතුව කාමරේට ගිහිල්ලා මගේ ස්වාමිපුරුෂයා නිදාගත්තු ඇඳේ ඇඳ ඇතිරිලි සෝදලා දැම්මා. තවත් කෙනෙක් ඇවිල්ලා මගේ ස්වාමිපුරුෂයා වමනේ දාපු තැන සෝදලා පිරිසිදු කළා. සති කිහිපයකට පස්සේ සභාවේ වැඩිමහල්ලෙක් ඇවිල්ලා මගෙන් මෙහෙම ඇහැව්වා. ‘ගෙදර කැඩිච්ච දේවල් එහෙම හදන්න තියෙනවාද?’ ඊටපස්සේ එයා කැඩිච්ච දොරකුයි විදුලි උපකරණයකුයි අලුත්වැඩියා කළා. එයාලා මං ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා මට හිතුණා.”—යාකොබ් 1:27.

ආගන්තුක සත්කාරය දක්වන්න: “ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 13:2) විශේෂයෙන්ම වියෝදුකින් සිටින අයට ආගන්තුක සත්කාරය දැක්විය යුතුයි. ඕනේ වෙලාවක අපේ ගෙදර එන්න කියා පවසනවා වෙනුවට නිශ්චිත දවසක් හා වෙලාවක් නියම කර ඔවුන්ට ආරාධනා කරන්න. ඔවුන් එන්න අදිමදි කළොත් උත්සාහය අත්හරින්න එපා. සමහරවිට ඔවුන් අදිමදි කරන්නේ අන් අය ඉදිරියේ තමන්ගේ හැඟීම් පාලනය කරගත නොහැකි වෙයි කියා සිතන නිසයි. නැතහොත් මෙවැනි අවස්ථාවක ආහාර වේලක් හෝ ඇසුරක් භුක්ති විඳීම ගැන ඔවුන්ගේ සිත වධ දිය හැකියි. ආගන්තුක සත්කාරයට ළැදි ස්ත්‍රියක් වූ ලිදියා ගැන බයිබලයේ සඳහන් දේ සලකා බලන්න. යේසුස්ගේ ගෝලයෙක් වූ ලූක්ට ඇගේ නිවසට එන මෙන් ඇය ආරාධනා කළේ ‘පෙරැත්ත කරමිනුයි’ කියා ලූක් සඳහන් කරනවා. අපටත් පුළුවන් ඇගේ ආදර්ශය අනුගමනය කරන්න.—ක්‍රියා 16:15.

ඉවසිලිවන්තව හා අවබෝධයෙන් කටයුතු කරන්න: මරණය සිදු වූ මුල් කාලයේදී වියෝදුකින් පෙළෙන අය පවසන දේ ගැන අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා. ඔවුන් එසේ කටයුතු කරන්නේ ඔවුන්ට දැනෙන කෝපය නිසා හෝ තමන් අතින් යම් වරදක් වුණා කියා ඔවුන් සිතන නිසා විය හැකියි. ඒ නිසා ඔබට යම් චෝදනාවක් ඔවුන් කළා නම් ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ ගැන කෝප වෙන්න එපා. බයිබලයේ අපට උපදෙස් දී තිබෙන්නේ මෙසේ කටයුතු කරන්න කියායි. “ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.”—කොලොස්සි 3:12, 13.

ලිපියක් ලියන්න: කාඩ් පතකින් හෝ ලිපියකින් සැනසිලිදායක වදනක් ලියා දුකින් සිටින කෙනෙකුට යැවීම කොයි තරම් ප්‍රයෝජනදායකද කියා බොහෝ අය තේරුම්ගෙන නැහැ. එයින් ලැබෙන ප්‍රයෝජනය කොතරම්ද කියා පිළිකාවකින් තම මව අහිමි වූ සින්ඩි පවසන දෙයින් පැහැදිලි වෙනවා. “මගේ මිතුරියක් මට ලස්සන ලියුමක් එවලා තිබුණා. නැවත නැවත කියවලා බලන්න පුළුවන් නිසා ඒක මට ලොකු සහනයක් වුණා.” එවැනි ලිපියක හෝ කාඩ් පතක ලියන්නේ ‘වචන ස්වල්පයක්’ පමණයි. නමුත් ඒවා අවංක අදහස් විය යුතුයි. (හෙබ්‍රෙව් 13:22) එහි ඔබට යම් සැනසිලිදායක වදනක්, මිය ගිය පුද්ගලයා ගැන සොඳුරු මතකයක් එහෙමත් නැත්නම් ඔහු හෝ ඇය නිසා ඔබේ ජීවිතයට ලැබුණු ප්‍රයෝජනයක් ගැන සඳහන් කළ හැකියි.

ඔවුන් සමඟ එකතු වී යාච්ඤා කරන්න: ඔවුන් සමඟ හෝ ඔවුන් වෙනුවෙන් ඔබ කරන යාච්ඤා ප්‍රයෝජනවත් බව අමතක කරන්න එපා. බයිබලයේ සඳහන් වෙන්නේ ‘ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකි’ බවයි. (යාකොබ් 5:16) උදාහරණයකට තමන් අතින් යම් වරදක් වුණා කියා සිතමින් ඔවුන් දුක් වෙනවා නම් ඔබ ඔවුන් සමඟ යාච්ඤා කරද්දී ඔවුන්ට සහනයක් දැනිය හැකියි.—යාකොබ් 5:13-15.

නොකළ යුතු දේ

රෝහලට ගොස් ඔවුන්ව බැලීම වියෝදුකින් සිටින අයට සහනයක් විය හැකියි

එවැනි අවස්ථාවක කියන්නේ හෝ කරන්නේ මොනවාද කියා ඔබ නොදන්නා නිසා ඔවුන්ගෙන් දුරස් වෙන්න එපා: සමහරවිට අප මෙසේ සිතනවා ඇති. ‘මේ වෙලාවේ එයාලට තනියෙම ඉන්න ඕනේ ඇති.’ අප එසේ සිතන්නේ අප ඒ අවස්ථාවේදී වැරදි දෙයක් කියයි හෝ කරයි කියා බිය වන නිසා විය හැකියි. නමුත් මිතුරන් නෑදෑයන් හෝ සෙසු ක්‍රිස්තියානීන් ඔවුන්ව මඟහැරීමෙන් ඔවුන්ට දැනෙන තනිකම හා වේදනාව තවත් වැඩි විය හැකියි. ඇත්තෙන්ම ඔබ කළ යුත්තේ කාරුණික වදනක් පැවසීම හෝ ඔවුන් වෙනුවෙන් සුළු ක්‍රියාවක් කිරීම පමණයි. (එෆීස 4:32) ඔබ ඔවුන් සමඟ සිටීමම ඔවුන්ට දිරිගැන්වීමක්. (ක්‍රියා 28:15) තම දියණිය අහිමි වූ දවසේ සිදු වූ දේ ගැන තෙරේසා මෙසේ පවසනවා. “පැයක් ඇතුළත අපේ යාළුවනුත් සභාවේ වැඩිමහල්ලනුත් එයාලගේ භාර්යාවනුත් අපි හිටපු රෝහලට ආවා. සමහර අය ගෙදර හිටපු විදිහටම ආවා. සමහර අයට ආරංචිය ලැබිලා තියෙන්නේ වැඩපොළේදී. එයාලා වැඩ ටික නවත්වලා අපිව බලන්න ආවා. ඒ ආව හුඟදෙනෙක් කිව්වේ අපිව සනසවන්න මොනවාද කියන්න ඕනේ කියලා එයාලා දැනගෙන හිටියේ නැහැ කියලා. ඒත් එයාලා ආව එකම අපිට ලොකු සහනයක් වුණා.”

අඬන විට එය නතර කරන්න කියා පවසන්න එපා: ‘අඬන්න එපා’ කියා කියන්න අප පෙලඹෙන්න පුළුවන්. නමුත් ඇඬීමෙන් ඔවුන්ට සහනයක් දැනෙයි. තම ස්වාමිපුරුෂයා මිය ගිය අවස්ථාව ගැන සිහි කරමින් කැතරින් නමැති තැනැත්තිය මෙසේ පවසනවා. “වියෝදුකින් ඉන්න කෙනෙකුට තමාගේ හිතේ තියෙන දුක අඬා පිට කිරීමට ඉඩ දෙන්න ඕනේ.” ඔවුන්ට යම් දේවල් කරන්න කියා බල කිරීමෙන් අප වැළකී සිටිය යුතුයි. ඒ වගේම ඔබ ඔවුන් ඉදිරියේ දුක් වුණොත් ඔවුන්ගේ දුක වැඩි වෙයි කියා සිතමින් ඔබේ දුක සඟවන්න උත්සාහ කරන්නත් එපා. බයිබලයේ සඳහන් වෙන්නේ “හඬන අයත් සමඟ හඬන්න” කියායි.—රෝම 12:15.

මිය ගිය තැනැත්තා සතුව තිබූ දේවල් වෙනත් කෙනෙකුට දෙන්න කියා පැවසීමට ඉක්මන් වෙන්න එපා: එම තැනැත්තා සතුව තිබූ දේවල් දකින කොට මතකය අලුත් වන නිසා දුක අඩු වී යෑමට කල් ගත වන බව අපට සිතෙයි. ඒ නිසා එවැනි දේවල් ඉවත් කිරීම සුදුසුයි කියා අපට හැඟෙන්න ඉඩ තිබෙනවා. එසේ කිරීමෙන් දුක අඩු වෙන්නේ නැහැ. එය අඩු වී යන්න කාලයක් ගත වෙනවා. උදාහරණයකට දෙවිගේ සේවකයෙක් වූ යාකොබ්ගේ පුත්‍රයා වන යෝසෙප්ව වනසතුන් මරා දැමුවා කියා බොරු ආරංචියක් ලැබුණු අවස්ථාවේදී යාකොබ් ක්‍රියා කළ ආකාරය ගැන සිතන්න. යෝසෙප්ගේ ලේ තැවුරුණු දිග වස්ත්‍රය යාකොබ් දුටු විට, ඔහු දවස් ගණනාවක්ම තමන්ගේ පුත්‍රයා නිසා ශෝක වුණා. ඔහුගේ දූපුතුන් සියලුදෙනාම ඔහුව සනසන්න උත්සාහ කළත් ඔහුව සනසන්න බැරි වුණා.—උත්පත්ති 37:31-35.

“ඔයාට තව දරුවෙක් හදාගන්න පුළුවන්” කියා පවසන්න එපා: “ඔයාට තව දරුවෙක් හදාගන්න පුළුවන්නේ කියලා කියද්දී මට තරහා ගියා.” එසේ පැවසුවේ දරුවෙක් අහිමි වූ මවක්. සමහරවිට අප එසේ පවසන්නේ හොඳ චේතනාවෙන් විය හැකියි. නමුත් වියෝදුකින් සිටින මවකට තව දරුවෙක් ලැබුණත් නැති වූ දරුවා ගැන තිබෙන දුක මැකෙන්නේ නැහැ. එවැනි දේවල් පැවසීම “කඩුවෙන් අනින්නාක් මෙන්” වේදනාවක් ඔවුන්ගේ සිතට ගෙන දෙයි. (හිතෝපදේශ 12:18) දෙමාපියන්ට කොතරම් දරුවන් සිටියත් ඒ සෑම දරුවෙක්ම ඔවුන්ට විශේෂයි.

මිය ගිය තැනැත්තා ගැන කතා කරන්න පසුබට වෙන්න එපා: තම පුතා අහිමි වූ මවක් මෙසේ පවසනවා. “ගොඩක් අය මගේ පුතා ගැන මාත් එක්ක කතා කළේ නැහැ. මං ඉන්න තැන එයාගේ නමවත් කිව්වේ නැහැ. එහෙම කරන කොට මට දුක හිතුණා.” යම් දෙයක් කතා කරමින් සිටිද්දී, මිය ගිය තැනැත්තා ගැන සඳහන් වුණොත් ඒ කතාව වෙනස් කරන්න එපා. මිය ගිය කෙනා ගැන කතා කිරීමට සතුටුද කියා වියෝදුකින් සිටින කෙනාගෙන් අසන්න ඔබට පුළුවන්. (යෝබ් 1:18, 19; 10:1 බලන්න.) මිය ගිය කෙනාගේ හොඳ ගුණාංග ගැන තම මිතුරන් කතා කරනවාට සමහර අය කැමතියි.—ක්‍රියා 9:36-39.

“මැරුණ එක එයාට සහනයක්” කියා පවසන්න ඉක්මන් වෙන්න එපා: මරණයෙන් සිදු වුණේ යහපතක් කියා ඇඟවීමට උත්සාහ කිරීමෙන් වියෝදුක නිසා ‘කලකිරීමට පත් වී සිටින කෙනෙකුට සැනසීමක්’ නොලැබෙන්න පුළුවන්. (1 තෙසලෝනික 5:14) තම මව අහිමි වූ අවස්ථාව ගැන සිහි කරමින් එක් තරුණියක් මෙසේ පවසනවා. “සමහර අය මෙහෙම කිව්වා. ‘එයාට දැන් වේදනාවක් නැහැ.’ ‘එයා දැන් සැනසිල්ලේ ඉන්නවා.’ ඒත් ඒ වගේ දේවලින් මට සහනයක් ලැබුණේ නැහැ.” එවැනි දේවල් පැවසීමෙන් අප උත්සාහ කරන්නේ මරණය ගැන ඒ තරම් දුක් විය යුතු නැහැයි කියා හෝ එය එතරම් පාඩුවක් නොවෙයි කියා ඔවුන්ට ඇඟවීමටයි කියා ඔවුන් සිතිය හැකියි. නමුත් තමන් ආදරය කළ කෙනාගේ වියෝව ඔවුන්ට දරාගත නොහැකි වේදනාවක් බව අප අමතක නොකළ යුතුයි.

‘ඔයාගේ දුක මට තේරෙනවා’ කියා පැවසීමෙන් වළකින්න: ඇත්තටම ඔබට ඔවුන්ගේ දුක තේරෙනවාද? උදාහරණයකට ඔබ දරුවෙක් අහිමි වීමේ වේදනාව අද්දැක නැත්නම් දරුවෙක් අහිමි වූ දෙමාපියන්ගේ වේදනාව තේරුම්ගන්නේ කොහොමද? ඔබ ඒ වේදනාව අද්දැක තිබුණත් එක් එක් අයට ඒ වේදනාව දැනෙන ආකාරය වෙනස් බව අමතක කරන්න එපා. (විලාප ගී 1:12) ඒත් සුදුසුයි කියා සිතෙනවා නම් ඔබ දුක නිවාගැනීමට කළ දේවල් පැවසිය හැකියි. ඝාතනයට ලක් වූ තම දියණිය ගැන ශෝකයෙන් පසු වන මවකට, තවත් මවක් පැවසූ දෙයින් සැනසීමක් ලැබුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “‘ඔයාගේ දුක මට තේරෙනවා’ කියලා එයා කිව්වේ නැහැ. එයා කිව්වේ ඒ තත්වයෙන් එයා ගොඩ ආපු විදිහ ගැන විතරයි.”

වියෝදුකින් පෙළෙන කෙනෙකුට උපකාර කිරීමේදී අනුකම්පාවෙන් කටයුතු කිරීම, ඒ පුද්ගලයාව තේරුම්ගැනීම සහ ප්‍රේමණීය සැලකිල්ලක් පෙන්වීම වැදගත්. එවැනි කෙනෙක් ඔබ ළඟට එන තුරු බලා සිටින්න එපා. “මොනවා හරි තියෙනවා නම් කියන්න” කියා පවසන්නත් එපා. ඔබට කරන්න පුළුවන් දේ මොනවාද කියා සොයා බලා ඒ සඳහා මුල් පියවර ගන්න.

පිළිතුරු ලබාගැනීමට ඉතුරුව ඇත්තේ ප්‍රශ්න කිහිපයක් පමණයි. මිය ගිය අය නැවත නැඟිටිනවා කියා බයිබලයේ සඳහන් දෙයින්, ඔබටත් ඔබ ආදරය කළ මිය ගිය අයටත් ඇති ප්‍රයෝජනය කුමක්ද? එම පොරොන්දුව විශ්වාස කළ හැකි බව අප දන්නේ කොහොමද?