Skip to content

පටුනට යන්න

15වෙනි පරිච්ඡේදය

කරුණාවන්තකම ගැන පාඩමක්

කරුණාවන්තකම ගැන පාඩමක්

කෙනෙක්ව හරියට අඳුනගන්නෙත් නැතුව ඒ කෙනා ගැන වැරදි විදිහට හිතන එක හරිද?— ඒක වැරදියි. අපි එහෙම හිතනවා කියන්නේ අපිට වඩා වෙනස් පෙනුමක් තියෙන අයට, වෙන භාෂාවක් කතා කරන අයට අපි කැමති නැහැ කියන එකයි.

ඒක හොඳ දෙයක් කියලා ඔයා හිතනවාද?— ඒක වැරදියි. අපි එහෙම කරනවා නම් අපි ඒ අයට කරුණාවන්තව සලකනවා කියලා කියන්න බැහැ. කෙනෙක් අපිට වඩා වෙනස් නිසා ඒ කෙනාට කරුණාවන්තව සලකන්නේ නැති එක වැරදියි.

ඔයාගේ හමේ පාටට වඩා වෙනස් පාටක් තියෙන කෙනෙක්ව හරි වෙන භාෂාවක් කතා කරන කෙනෙක්ව හරි ඔයා දන්නවාද?— ඔයාට වඩා වෙනස් පෙනුමක් තියෙන කෙනෙක්වත් සමහරවිට ඔයා දන්නවා ඇති. එයාට එහෙම වෙලා තියෙන්නේ අසනීපයක් හරි අනතුරක් හරි නිසා වෙන්න ඇති. ඒ වගේ අයට ඔයා ආදරෙන්, කරුණාවෙන් සලකනවාද?—

අපිට වඩා වෙනස් අයට අපි සලකන්න ඕනෙ කොහොමද?

අපි යේසුස්ට කීකරු වෙනවා නම් හැමෝටම අපි කරුණාවෙන් සලකනවා. කෙනෙක් ජීවත් වෙන රට, හමේ පාට මොකක් වුණත් අපි ඒ කෙනාට වෙනස් විදිහට සලකන්න හොඳ නැහැ. හැමෝටම කරුණාවෙන් සලකන්න ඕනේ. අද ඉන්න හුඟක් අය ඒ දේ කළේ නැතත් යේසුස් අපිට ඒ දේ ඉගැන්නුවා. අපි දැන් ඒ ගැන බලමු.

වෙන ජාතීන්වලට අයිති අයව පහත් අය විදිහට සලකපු යුදෙව්වෙක් දවසක් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. ‘හැමදාටම ජීවත් වෙන්න නම් මං මොනවාද කරන්න ඕනේ?’ එයා උත්සාහ කරන්න ඇත්තේ තමන්ගේ ජාතියේ අයට විතරක් කරුණාවන්තව සලකන්න ඕනෙ කියන උත්තරේ යේසුස්ගෙන් ගන්න වෙන්න ඇති. යේසුත් ඒ ගැන දැනගෙන හිටියා. ඒ නිසා උත්තරයක් දෙනවා වෙනුවට යේසුස් මෙහෙම ඇහුවා. ‘නීතියේ තියෙන්නේ අපි මොනවා කරන්න ඕනෙ කියලාද?’

එයා උත්තර දුන්නේ මෙහෙමයි. ‘මුළු හිතින්ම යෙහෝවාට ආදරේ කරන්න ඕනේ. ඔයා ඔයාට ආදරේ කරනවා වගේ ඔයාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න ඕනේ.’ එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. ‘ඔයා දීපු උත්තරේ හරි. දිගටම ඒ දේ කළොත් හැමදාටම ජීවත් වෙන්න ඔයාට පුළුවන්.’

හැබැයි තමන්ට වඩා වෙනස් අයට ආදරෙන්, කරුණාවෙන් සලකන්න එයා කැමති වුණේ නැහැ. එයා හරියි කියලා ඔප්පු කරන්න එයා යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. ‘ඇත්තටම මගේ අසල්වැසියා වෙන්නේ කවුද?’ “යාළුවන්” එහෙමත් නැත්නම් එකම “ජාතියට අයිති අය” කියලා යේසුස් කියනවාට එයා කැමති වෙන්න ඇති. එයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න යේසුස් මේ කතන්දරය කිව්වා.

යුදෙව් ජාතියට අයිති මිනිසෙක් දවසක් යෙරුසලමේ ඉඳන් යෙරිකෝවට එමින් හිටියා. අතරමඟදී කොල්ලකාරයන් එයාට හොඳටම ගහලා එයා ළඟ තිබුණු සල්ලියි එයා ඇඳගෙන හිටිය ඇඳුනුයි අරන් ගියා. කොල්ලකාරයන් එයාට මොන තරම් ගහලා තියෙනවාද කියනවා නම් අන්තිමේදී එයා සිහිය නැතුව වැටිලයි හිටියේ.

ටික වෙලාවකට පස්සේ පූජකයෙක් ඒ ළඟින් ගියා. හොඳටම තුවාල වෙලා බිම වැටිලා හිටිය කෙනාව එයා දැක්කා. ඔයා ඒ වෙලාවේ එතැනින් ගියා නම් ඔයා මොනවා කරයිද?— පූජකයා නම් එයාව දැක්කේ නැහැ වගේ පාරේ අනිත් පැත්තෙන් ගියා. වැටිලා හිටිය කෙනාට උදව් කරන්න ඒ පූජකයාට කිසිම උවමනාවක් තිබුණේ නැහැ.

ටික වෙලාවකට පස්සේ යෙරුසලමේ දේවමාලිගාවේ සේවය කරපු ලෙවීවරයෙකුත් ඒ ළඟින් ගියා. වැටිලා ඉන්න කෙනාට එයා උදව් කරයිද?— පූජකයා කරපු දේම තමයි එයාත් කළේ.

ඊටපස්සේ සමරිතානුවරයෙක් ඒ ළඟින් ගියා. සාමාන්‍යයෙන් සමරිතානුවන් යුදෙව්වන්ටවත් යුදෙව්වන් සමරිතානුවන්ටවත් කැමති නැහැ. (යොහන් 4:9) ඒ නිසා මේ සමරිතානුවරයා වැටිලා ඉන්න කෙනාට උදව් කරන එකක් නැද්ද? ‘මං මොකටද මෙයාට උදව් කරන්නේ, මං වැටිලා හිටියා නම් කවදාවත් මෙයා මට උදව් කරන එකක් නැහැනේ’ කියලා එයා හිතන්න ඇද්ද?

සමරිතානුවරයා හොඳ අසල්වැසියෙක් කියලා කියන්නේ ඇයි?

බිම වැටිලා ඉන්න යුදෙව්වාව දැක්කාම සමරිතානුවරයාට හුඟක් දුක හිතුණා. ඒ නිසා එයා ළඟට ගිහින් තුවාලවලට වයිනුයි තෙලුයි දාලා රෙදි කෑල්ලකින් එතුවා.

ඊටපස්සේ සමරිතානුවරයා යුදෙව්වාව හිමීට උස්සලා බූරුවා පිටේ තියාගෙන පුංචි තානායමකට අරන් ගියා. එහෙදීත් සමරිතානුවරයා යුදෙව්වාව හොඳින් බලාගත්තා.

අසල්වැසියා ගැන ප්‍රශ්නය අහපු කෙනාගෙන් යේසුස් ඇහුවා ‘ඒ මිනිසුන් තුන්දෙනාගෙන් හොඳ අසල්වැසියෙක් වුණේ කවුද’ කියලා. ඔයා හිතන්නේ මොකක්ද? පූජකයාද, ලෙවීවරයාද, සමරිතානුවරයාද?—

එයා කිව්වා ‘තුවාල වෙලා හිටිය කෙනාට උදව් කරපු කෙනා තමයි හොඳ අසල්වැසියා වුණේ’ කියලා. එතකොට යේසුස් එයාට මෙහෙම කිව්වා. ‘හරි. ඔයාත් ගිහින් ඒ දේම කරන්න.’—ලූක් 10:25-37.

අපේ අසල්වැසියා කවුද කියලා ඒ කතන්දරයෙන් හොඳටම පැහැදිලි වෙනවා. අසල්වැසියන් කියන්නේ අපේ කිට්ටු යාළුවන්ට, අපේ ජාතියේ අයට, අපි කතා කරන භාෂාව කතා කරන අයට විතරක් නෙවෙයි. ජාතිය, පෙනුම, භාෂාව මොකක් වුණත් හැමෝටම කරුණාවෙන් සලකන්න ඕනෙ කියලයි යේසුස් අපිට ඉගැන්නුවේ.

යෙහෝවා දෙවිත් හැමෝටම කරුණාවෙන් සලකනවා. යේසුස් කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. ‘ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තා නරක මිනිසුන්ටත් හොඳ මිනිසුන්ටත් ඉරෙන් ප්‍රයෝජන ගන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම වැස්සෙන් ප්‍රයෝජන ගන්න හොඳ මිනිසුන්ට වගේම හොඳ නැති මිනිසුන්ටත් ඉඩ දීලා තියෙනවා.’ එහෙමනම් අපිත් දෙවි වගේ හැමෝටම කරුණාවෙන් සලකන්න ඕනේ.—මතෙව් 5:44-48.

හොඳ අසල්වැසියෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

කාට හරි අනතුරක් වෙලා කියලා දැක්කොත් ඔයා මොනවද කරන්න ඕනේ?— එයා වෙන රටක කෙනෙක් නම් ඔයා මොකද කරන්නේ? එයාත් ඔයාගේ අසල්වැසියෙක් නිසා එයාට උදව් කරන්න ඕනේ. එයාට උදව් කරන්න ඔයා තවම පොඩි වැඩි නම් ඔයාට පුළුවන් ලොකු කෙනෙක්ගෙන් අහන්න එයාට උදව් කරන්න පුළුවන්ද කියලා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් පන්තියේ ටීචර්ට හරි පොලිසියේ කෙනෙක්ට හරි ඒ ගැන කියන්න. එහෙම කරනවා නම් ඔයාටත් පුළුවන් සමරිතානුවා වගේ කරුණාවන්ත කෙනෙක් වෙන්න.

අපි කරුණාවන්ත අය වෙනවාටත් අනිත් හැමෝටම උදව් කරනවාටත් යේසුස් කැමතියි. ඒ නිසා තමයි යේසුස් යහපත් සමරිතානුවරයා ගැන කතන්දරේ කිව්වේ.

හැමෝටම කරුණාවන්තව සලකන එක ගැන සඳහන් වෙලා තියෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. හිතෝපදේශ 19:22; ක්‍රියා 10:34, 35; 17:26.