Skip to content

පටුනට යන්න

17වෙනි පරිච්ඡේදය

සතුටට රහස මොකක්ද?

සතුටට රහස මොකක්ද?

යෙහෝවා දෙවිව “ප්‍රීතිමත් දෙවි” විදිහට හඳුන්වලා තියෙන්නේ ඇයි?

අපි හැමෝම කැමති සතුටින් ඉන්න. එහෙම නේද?— හැබැයි හුඟක් අය ඉන්නේ සතුටින් නෙවෙයි. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— සතුටට රහස මොකක්ද කියලා ඒ අය දන්නේ නැහැ. ඒ අය හිතන්නේ හුඟක් දේවල් තිබුණොත් සතුටින් ඉන්න පුළුවන් කියලයි. ඒත් ඒ දේවල් ලැබුණත් සතුට වැඩි කල් තියෙන්නේ නැහැ.

එහෙමනම් සතුටට රහස මොකක්ද?— අනිත් අයට දේවල් දෙන එකෙනුයි ඒ අය වෙනුවෙන් දේවල් කරන එකෙනුයි තමයි සැබෑ සතුට ලැබෙන්නේ. ඔයා ඒක දැනගෙන හිටියාද?— “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—ක්‍රියා 20:35.

යේසුස් අදහස් කළේ තෑගි ලැබෙන අයට සතුටක් ලැබෙන්නේ නැහැ කියලද?— නැහැ. අනිත් අය ඔයාට තෑගි දෙනවාට ඔයාත් කැමතියි නේද?— අනිත් අය අපිට තෑගි දෙද්දී අපිට සතුටක් දැනෙනවා.

හැබැයි යේසුස් කිව්වේ ගන්නවාට වඩා දෙන එකෙන් වැඩි සතුටක් ලැබෙනවා කියලයි. වෙන කාටත් වඩා වැඩියෙන් අනිත් අයට දේවල් දීලා තියෙන්නේ කවුද?— යෙහෝවා දෙවි.

යෙහෝවා දෙවි තමයි ‘හැමෝටම ජීවිතයත් හුස්මත් අනිත් හැම දෙයක්මත් දෙන්නේ.’ දෙවි වැස්සත් හිරු එළියත් දීලා තියෙන නිසා පැළ හොඳට වැවෙනවා. ඒ නිසා තමයි අපිට කෑම ලැබෙන්නේ. (ක්‍රියා 14:17; 17:25) ඉතිං බයිබලයේ යෙහෝවා දෙවිව “ප්‍රීතිමත් දෙවි” විදිහට හඳුන්වලා තියෙන එක පුදුමයක් නෙවෙයි. (1 තිමෝති 1:11) අනිත් අයට දේවල් දීමෙන් දෙවියන් හුඟක් සතුටු වෙනවා. අපිත් අනිත් අයට දේවල් දෙනවා නම් අපිටත් සතුටු වෙන්න පුළුවන්.

රස කෑමක් තනියම කනවාට වඩා වැඩි සතුටක් ලැබෙන්නේ ඔයා මොනවා කළොත්ද?

අනිත් අය වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?— සමහර දේවලට සල්ලි වියදම් වෙනවා. ඔයා කඩේකින් මොනවා හරි අරන් තෑග්ගක් හැටියට දෙන්න හිතනවා නම් ඔයා ඒකට සල්ලි එකතු කරගන්න ඕනේ.

හැබැයි තෑග්ගක් කඩේකින්ම ගන්න ඕනෙ නැහැ. රස්නේ දවසක ඔයාට පුළුවන් කාට හරි සීතල වතුර එකක් දෙන්න. හොඳටම තිබහෙන් ඉන්න කෙනෙක්ට ඔයා ඒ වගේ තෑග්ගක් දුන්නාම දීමෙන් ලැබෙන සතුට අද්දකින්න ඔයාටත් පුළුවන්.

සමහරවිට ඔයාට පුළුවන් වෙයි අම්මාත් එක්ක මොනවා හරි රස කෑමක් හදන්න. ඒකෙන් ඔයාට සතුටක් දැනෙයි. හැබැයි ඒ ඔක්කොම තනියම කනවා වෙනුවට මොනවා කළොත්ද ඔයාගේ සතුට තවත් වැඩි වෙන්නේ?— ඔයාට පුළුවන් ඒකෙන් ටිකක් ඔයාගේ යාළුවෙක්ට දෙන්න. ඔයා කැමතිද එහෙම කරන්න?—

යේසුස් වගේම යේසුස්ගේ නියෝජිතයනුත් දැනගෙන හිටියා දීමෙන් සතුටක් ලැබෙනවා කියලා. ඔයා දන්නවාද ඒ අය අනිත් අයට දුන්නේ මොනවාද කියලා?— ලෝකෙ තියෙන වටිනාම දේ තමයි ඒ අය දුන්නේ. දෙවි ගැන ඇත්ත තොරතුරු දැනගෙන හිටිය ඒ අය, ඒ ගැන අනිත් අයට කියලා දුන්නේ හරිම සතුටින්. ඒ අය ඒකට සල්ලි කීයක්වත් අය කළේ නැහැ.

දවසක් පාවුල් ලූක් එක්ක ගඟක් ළඟට ගියා. ඒ අය එහෙට ගියේ යාච්ඤා කරන්න වෙන් කරපු තැනක් එතැන තියෙනවා කියලා ආරංචි වුණු නිසයි. එතැනට ගියාම යාච්ඤා කරන්න ඇවිත් හිටිය ගැහැනු අය කිහිපදෙනෙක්වම එයාලාට මුණගැහුණා.

පාවුල් ඒ අයට යෙහෝවා දෙවි ගැනත් දෙවිගේ රාජ්‍යය ගැනත් කියන්න පටන්ගත්තා. ඒ අය අතරේ හිටිය ලිදියා හරිම උනන්දුවෙන් ඇහුම්කන් දුන්නා. අහන්න ලැබුණු දේවල් ගැන එයා ඇත්තටම සතුටු වුණා. ඒ නිසා එයා පාවුල්ටත් ලූක්ටත් කිව්වා ‘මං යෙහෝවා දෙවිට විශ්වාසවන්ත කෙනෙක් කියලා ඔයාලා හිතනවා නම් මගේ ගෙදරට ඇවිත් නතර වෙන්න’ කියලා. අන්තිමේදී ඒ දෙන්නා ලිදියාගේ ගෙදරට ගියා.—ක්‍රියා 16:13-15.

ලිදියා පාවුල්ටත් ලූක්ටත් කියන්නේ මොනවාද?

දෙවිගේ සේවකයන් තමන්ගේ ගෙදරට ආපු එක ගැන එයාට හුඟක් සතුටු හිතුණා. ඒ අය යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් හැමදාටම ජීවත් වෙන්න නම් කරන්න ඕන දේ ගැනත් කියලා දීපු නිසා ලිදියාට ඒ දෙන්නා ගැන ලොකු ආදරයක් ඇති වුණා. පාවුල්ටත් ලූක්ටත් කෑම දීලා නවතින්න තැනක් දෙන්න පුළුවන් වුණු එක ගැන එයා හුඟක් සතුටු වුණා. එයා ඒ හැම දෙයක්ම කැමැත්තෙන්ම දීපු නිසා තමයි ඒකෙන් එයාට ලොකු සතුටක් දැනුණේ. අපි ඒ දේ මතක තියාගන්න ඕනේ. කවුරු හරි අපිට කියයි කාට හරි තෑග්ගක් දෙන්න කියලා. හැබැයි අපි ඒක දෙන්නේ කැමැත්තෙන් නෙවෙයි නම් ඒකෙන් සතුටක් ලැබෙන්නේ නැහැ.

පාවුල්ටත් ලූක්ටත් ඕන කරන දේවල් දෙන්න ලිදියා කැමති වුණේ ඇයි?

ඔයා ආස කෑම ජාතියක් ඔයා ළඟ තියෙනවා කියලා හිතන්න. මං කිව්වොත් ඒකෙන් ටිකක් වෙන දරුවෙක්ට දෙන්න කියලා ඔයා ඒක සතුටින් කරනවාද?— ඔයා ආස කෑම ජාතියක් ඔයා ළඟ තියෙද්දී ඔයාගේ හොඳ යාළුවෙක්ව මුණගැහුණොත් මොකද කරන්නේ? ඔයාම හිතලා ඒකෙන් ටිකක් යාළුවාට දුන්නොත් ඒකෙන් ඔයාට සතුටක් ලැබෙන එකක් නැද්ද?—

අපි ආදරේ කරන කෙනෙක්ට අපි ළඟ තියෙන හැම දෙයක්ම දෙන්න ඕනෙ කියලා අපිට හිතෙනවා. ඒ වගේ අපි යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කරද්දී අපි ළඟ තියෙන හැම දෙයක්ම දෙවිට දෙන්න අපි පෙලඹෙනවා.

මේ ගැහැනු කෙනා කාසි දෙකම සතුටින් දැම්මේ ඇයි?

එහෙම කරපු දුප්පත් ගැහැනු කෙනෙක් ගැන යේසුස් දැනගෙන හිටියා. එයා යෙරුසලමේ දේවමාලිගාවට ඇවිත් පුංචි කාසි දෙකක් සම්මාදම් කළා. එයා ළඟ තිබුණේ එච්චරයි. එහෙම කරන්න කියලා කවුරුත් එයාට බල කළේ නැහැ. එතැන හිටිය හුඟක් අය එයා කරපු දේ දැක්කෙත් නැහැ. එයා ළඟ තිබුණු කාසි දෙකම එයා සම්මාදම් කළේ එයා යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කරපු නිසයි. ඒකෙන් එයාටත් ලොකු සතුටක් දැනුණා.—ලූක් 21:1-4.

අපිටත් අනිත් අයට දෙන්න පුළුවන් විදි හුඟක් තියෙනවා. ඒ කොහොමද කියලා ඔයාට කියන්න පුළුවන්ද?— අපි ඕනම දෙයක් දෙන්නේ කැමැත්තෙන්ම නම් අපිට හුඟක් සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ‘දෙන්න පුරුදු වෙන්න’ කියලා යේසුත් කියලා තියෙන්නේ. (ලූක් 6:38) අපි අනිත් අයට දේවල් දෙද්දී ඒකෙන් ඒ අය සතුටු වෙනවා. හැබැයි ඒකෙන් අපිට ඊටත් වඩා සතුටක් අද්දකින්න පුළුවන්.

දේවල් දෙන එකෙන් ලැබෙන සතුට ගැන දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. මතෙව් 6:1-4; ලූක් 14:12-14; 2 කොරින්ති 9:7.