Skip to content

පටුනට යන්න

ප්‍රශ්නයකට මැදි වූ ශිෂ්‍යයෙක්

ප්‍රශ්නයකට මැදි වූ ශිෂ්‍යයෙක්

පීටර්, පාසැල් ශිෂ්‍යයෙක්. එදා ඔහුගේ පන්තියේ සාකච්ඡා කළේ පරිණාමවාදය ගැනයි. චාල්ස් ඩාවින් ඉදිරිපත් කළ මතය විද්‍යාවේ දියුණුවට විශාල රුකුලක් වූ බවත් ජීවයේ ආරම්භය ගැන මිනිසා තුළ තිබූ වැරදි අදහස් නිවැරදි කිරීමට එය දායක වූ බවත් ගුරුවරිය පැවසුවා. එමෙන්ම ශිෂ්‍යයන්ටද ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඇය අවස්ථාව දුන්නා.

නමුත් පීටර්ගේ දෙමාපියන් ඔහුට උගන්වා තිබුණේ පොළොවත් එහි ඇති ජීවමාන සියල්ලත් දෙවි නිර්මාණය කළා කියායි. ඒ ගැන බයිබලයේ සඳහන් වාර්තාව නිවැරදි බවත් පරිණාමය යනු තවමත් ඔප්පු කිරීමට සාක්ෂි නැති වාදයක් බවත් ඔවුන් පවසා තිබෙනවා. දැන් ඔහු පිළිගත යුත්තේ කවුරුන් පවසන දෙයද?

සෑම වසරකම ශිෂ්‍යයන් දහස් ගණනක් පීටර් හා සමාන තත්වයකට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවකදී ඔවුන් කළ යුත්තේ කුමක්ද? හොඳම දෙය වන්නේ කෙනෙක් කියූ පමණින් විශ්වාස නොකර ජීවය පරිණාමය වුණා යන මතයට තිබෙන සාක්ෂි හා ජීවය දෙවිගේ නිර්මාණයක් බවට තිබෙන සාක්ෂි සලකා බලා නිගමනයකට එළඹීමයි. ඔබත් ඊට එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ.

බයිබලයේ මෙවැනි අදහසක් සඳහන් වී තිබෙනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” (හිතෝපදේශ 14:15) එහි සියලුදෙනාටම දිරිගන්වන්නේ “බුද්ධිමත් ලෙස” තොරතුරු සොයා බලා තීරණයක් ගන්න කියායි.—රෝම 12:1, 2.

මෙම සඟරාවේ අරමුණ වන්නේ පරිණාමවාදය විශ්වාස කරන අය ඉදිරිපත් කරන මත කිහිපයක් ගැන සාකච්ඡා කිරීමයි. දෙවි විසින් සියල්ල නිර්මාණය කළ බවට බයිබලයේ ඇති වාර්තාව මිථ්‍යාවක් කියා ඔවුන් කරන ප්‍රකාශයද ඉන් එකක්. නමුත් මැවීම යන විෂය පාසැල්වල ඉගැන්විය යුතුයි කියා පවසන ආගමික කණ්ඩායම්වලට රුකුල් දීම මෙහි අරමුණ නොවෙයි.

මෙහි වැඩි අවධානය දී තිබෙන්නේ ජීවයේ මූලික ඒකකය වන සෛලයටයි. එහි සැකැස්ම හා ක්‍රියාකාරිත්වය ගැන තොරතුරු දැනගැනීමෙන් ඔබ පුදුම වෙයි. එමෙන්ම මෙහි සඳහන් පරිණාමවාදී මත ගැනද හොඳින් කල්පනා කර බලන්න.

ජීවය ඇති වුණේ අහම්බෙන්ද නැත්නම් එය කවුරුන් හෝ නිර්මාණය කළාද යන ප්‍රශ්නයට අප සියලුදෙනාටම යම් දිනෙක පිළිතුරු දීමට සිදු වෙයි. සමහරවිට ඔබ දැනටමත් ඒ ගැන හොඳින් කල්පනා කර ඇති. ජීවය, බුද්ධිමත් කෙනෙකු නිර්මාණය කළ බව බොහෝදෙනෙකු පිළිගන්නේ ඊට හොඳ සාක්ෂි තිබෙන නිසයි. ඒ ගැනද මෙහි සාකච්ඡා කරනවා.