Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

ස්ත්‍රියක් හිස වසාගත යුතු අවස්ථා හා හේතු

ස්ත්‍රියක් හිස වසාගත යුතු අවස්ථා හා හේතු

ඒ විෂය ගැන පාවුල් දෙවිගේ මඟ පෙන්වීමෙන් පැවසූ තොරතුරු සලකා බැලීමෙන් අපට වැදගත් ප්‍රශ්න තුනකට පිළිතුරු සොයාගත හැකියි. දෙවිට ගෞරවයක් ගෙනෙන නිවැරදි තීරණ ගැනීමට එවිට අපට හැකි වෙනවා. (1 කොරින්ති 11:3-16) එම ප්‍රශ්න නම්, (1) ස්ත්‍රියක් තම හිස වසාගත යුත්තේ කුමන දේවල් කරන විටද, (2) ඇය එසේ කළ යුත්තේ කුමන අවස්ථාවලදීද හා (3) ඇය ඊට කීකරු විය යුත්තේ කුමන හේතු නිසාද යන්නයි.

හිස වසාගත යුත්තේ කුමන දේවල් කරන විටද? යාච්ඤා කරන විට හා අනාවැකි පවසන විට ස්ත්‍රියක් තම හිස වසාගත යුතුයි කියා පාවුල් පැවසුවා. (4, 5 පද) යාච්ඤා කිරීම කියා ඔහු පැවසූ විට ඉන් අදහස් කළ දේ පැහැදිලියි. නමුත් අනාවැකි පැවසීම අද දිනට අදාළ වන්නේ කෙසේද? ක්‍රිස්තියානි දේවසේවකයෙකු බයිබලය හා සම්බන්ධව කරන සෑම ඉගැන්වීමේ කටයුත්තක්ම ඊට ඇතුළත් වෙනවා. එසේනම් පාවුල් ඉන් අදහස් කළේ ස්ත්‍රියක් යාච්ඤා කරන හෝ බයිබලය ගැන උගන්වන සෑම අවස්ථාවකදීම තම හිස වසාගත යුතු බවද? නැහැ. එය තීරණය වන්නේ ඇය එම දේවල් කරන්නේ මොන අවස්ථාවේදීද යන්න මතයි.

එසේ කළ යුත්තේ කුමන අවස්ථාවලදීද? “ස්ත්‍රියකගේ හිස පුරුෂයා” නිසා “තම හිස නොවසා යාච්ඤා කරන හෝ අනාවැකි කියන සෑම ස්ත්‍රියක්ම ඇගේ හිසට අගෞරව” කරන බව පාවුල් පැවසුවා. (35 පද) සාමාන්‍යයෙන් පවුලක යාච්ඤා කරන විට හා ඉගැන්වීමේ කටයුතු කරන විට මූලිකත්වය ගත යුත්තේ ස්වාමිපුරුෂයායි. ස්ත්‍රියකට ස්වාමිපුරුෂයාගේ එම වගකීම් ඉටු කිරීමට සිදු වන විට ඔහුට දෙවි දී තිබෙන අධිකාරියට ගෞරව කිරීමක් ලෙස ඇය තම හිස වසාගත යුතුයි. උදාහරණයකට පුරුෂයා නිවසේ සිටින අවස්ථාවකදී ඇයට බයිබල් පාඩමක් පැවැත්වීමට සිදු වෙනවා කියා සිතන්න. පුරුෂයා සිටින ස්ථානයට ඇය පාඩම කරනවා පෙනෙනවා නම් හෝ ඇසෙනවා නම් ඇය තම හිස වසාගත යුතුයි. පුරුෂයා බව්තීස්ම වී සිටියත් නැතත් ඔහු පවුලේ හිස වන නිසා ඇය එසේ කළ යුතුයි. * ඇය එසේ නොකළොත් ඇය කරන්නේ දෙවි පුරුෂයාට දී තිබෙන අධිකාරියට අගෞරව කිරීමක්. එමෙන්ම බව්තීස්ම වූ, බාල වියේ පසු වන පුතෙකු සිටින අවස්ථාවකදී ඇය යාච්ඤාවක් ඉදිරිපත් කරනවා නම් හෝ යම් ඉගැන්වීමේ කටයුත්තක නිරත වෙනවා නම් එවිටත් ඇය තම හිස වසාගත යුතුයි. නමුත් එවැනි අවස්ථාවකදී ඇය ඒ දේ කරන්නේ ඔහු පවුලේ හිස නිසා නොව සභාවේ බව්තීස්ම වූ සහෝදරයෙකු ලෙස ඔහුට ගෞරවය දීමක් ලෙසයි.

ක්‍රිස්තියානි සභාවේ මූලිකත්වය දෙවි දී තිබෙන්නේ බව්තීස්ම වූ පුරුෂයන්ටයි. (1 තිමෝති 2:11-14; හෙබ්‍රෙව් 13:17) දෙවිගේ රැළ රැකබලා ගැනීමේ වගකීම ඉටු කිරීම සඳහා වැඩිමහල්ලන් හා සහායක සේවකයන් ලෙස බව්තීස්ම වූ පුරුෂයන්ව පමණක් පත් කරන්නේ ඒ නිසයි. (ක්‍රියා 20:28) යම් අවස්ථාවලදී සුදුසුකම් ඇති බව්තීස්ම වූ සහෝදරයෙකු විසින් ඉටු කළ යුතු වගකීමක් ක්‍රිස්තියානි සහෝදරියකට ඉටු කිරීමට සිදු විය හැකියි. උදාහරණයකට සේවයේ යෑම සඳහා රැස් වන අවස්ථාවකදී එය මෙහෙයවීමට සුදුසුකම් ඇති බව්තීස්ම වූ සහෝදරයෙකු නොසිටිනවා නම් බව්තීස්ම වූ සහෝදරියෙකුට එය මෙහෙයවීමට සිදු විය හැකියි. එසේ නැතහොත් බව්තීස්ම වූ සහෝදරයෙකු සමඟ බයිබල් පාඩමකට යෑමට සහෝදරියකට අවස්ථාවක් උදා විය හැකියි. * ඒ සෑම අවස්ථාවක්ම ක්‍රිස්තියානි සභාවේ සැලැස්ම යටතේ සිදු වන දේවල් නිසා සහෝදරිය ඇගේ හිස වසාගත යුතුයි. තමන් ඉටු කරන්නේ සාමාන්‍යයෙන් සහෝදරයෙකු විසින් ඉටු කළ යුතු වගකීමක් බව ඇය පිළිගන්නා බවට එය සංකේතයක්. යම් කෙනෙකු ඊට එකඟව කටයුතු නොකළොත් එය සභාවේ සැලැස්මට කරන අගෞරවයක්. “යම් පුරුෂයෙක් එම සම්මතයට පටහැනි දෙයක් අනුගමනය කරන්න උත්සාහ කරනවා නම් එය අනුමත කරන්න අපටවත් දෙවිගේ කිසි සභාවකටවත් නුපුළුවන” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි.—16වෙනි පදය.

නමුත් නමස්කාරය හා සම්බන්ධ වෙනත් බොහෝ අවස්ථාවලදී ස්ත්‍රියක් තම හිස වසාගත යුතු නැහැ. උදාහරණයකට රැස්වීම්වලදී තම අදහස් ඉදිරිපත් කරන විට හෝ තම පුරුෂයා නැත්නම් වෙනත් බව්තීස්ම වූ සහෝදරයෙකු සමඟ ගෙයින් ගෙට සේවයේ නිරත වන විට හෝ පුරුෂයා නැති අවස්ථාවක බව්තීස්ම නොවූ තම දරුවන්ට බයිබල් පාඩම් කරන විට හෝ ඔවුන් සමඟ යාච්ඤා කරන විට එසේ කිරීම අනවශ්‍යයි. කෙසේවෙතත් යම් අවස්ථාවලදී තම හිස වසාගත යුතුද නැද්ද යන්න ගැන ප්‍රශ්නයක් මතු වුණොත් ඒ ගැන අපේ සඟරා පොත් පත්වලින් තොරතුරු සොයාගත හැකියි. * කළ යුත්තේ කුමක්ද කියා තවමත් ඇය දන්නේ නැත්නම් ඇයට කළ හැක්කේ කුමක්ද? ඇගේ හෘදය සාක්ෂිය ඇයව පොලඹවන්නේ හිස වසාගන්න කියා නම් එසේ කිරීමෙහි වරදක් නැහැ. (පින්තූරය බලන්න.)

එසේ කළ යුත්තේ කුමන හේතු නිසාද? ක්‍රිස්තියානි ස්ත්‍රියක් එම මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කළ යුතු හේතු දෙකක් ගැන 10වෙනි පදයෙහි සඳහන් වෙනවා. එහි පවසන්නේ මෙසේයි. “ස්ත්‍රියක් තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් වන බව පෙන්නුම් කිරීමට තම හිස වසාගත යුතුයි. දේවදූතයන් නිසාත් ඇය එසේ කළ යුතුයි.” එහි මුලින්ම සඳහන් වන්නේ, “මූලිකත්වයට යටත් වන බව පෙන්නුම් කිරීමට” ඇය එසේ කළ යුතු බවයි. ඒ අනුව තම හිස වසාගැනීමෙන් ස්ත්‍රියක් පෙන්නුම් කරන්නේ යෙහෝවා දෙවි, ස්වාමිපුරුෂයාට හා සභාවේ සිටින බව්තීස්ම වූ පුරුෂයන්ට දී තිබෙන අධිකාරිය තමා පිළිගන්නා බවයි. වෙනත් ආකාරයකින් පැවසුවොත් තම හිස වසාගන්නා ස්ත්‍රියක් යෙහෝවා දෙවිට ප්‍රේම කරන, ඔහුට විශ්වාසවන්තව සිටින කෙනෙක්. ඊළඟට “දේවදූතයන් නිසාත්” ඇය එසේ කළ යුතු බව එහි පවසනවා. ස්ත්‍රියක් තම හිස වසාගැනීම දේවදූතයන්ට බලපාන්නේ කෙසේද?

ස්වර්ගයේ හා පොළොවේ යෙහෝවා දෙවිගේ සංවිධානයට අයත් සියලුදෙනාම දෙවිගේ අධිකාරිය පිළිගෙන ඊට යටත්ව සිටිනවා දකින්න දේවදූතයන් කැමතියි. ඔවුනුත් යෙහෝවා දෙවිගේ ඒ සැලැස්මට ගරු කළ යුතු නිසා ඒ සම්බන්ධයෙන් පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින මිනිසුන් තබන ආදර්ශය ඔවුන්ට මහත් දිරිගැන්වීමක්. මන්ද දෙවිගේ අධිකාරියට යටත්ව කටයුතු කිරීමට අතීතයේ සිටි සමහර දේවදූතයන්ටත් නොහැකි වුණා. (යූද් 6) යම් සභාවක සිටින බව්තීස්ම වූ පුරුෂයෙකුට වඩා අද්දැකීම්වලින්, අවබෝධයෙන් හා බුද්ධියෙන් වැඩි ස්ත්‍රියක් එහි සිටින්න පුළුවන්. නමුත් ඇය එම පුරුෂයාගේ අධිකාරියට යටත්ව සිටින ආකාරය දේවදූතයන් දකිනවා. ඇතැම්විට එම ස්ත්‍රිය යේසුස් සමඟ ස්වර්ගයේ රජකම් කිරීමට නියමිත අභිෂේක ලත් කෙනෙකු විය හැකියි. ඇත්තෙන්ම එවැනි ස්ත්‍රියක් ස්වර්ගයට ගිය විට ඇයට ලැබෙන්නේ දේවදූතයන්ටත් වඩා උසස් තනතුරක්. එසේනම් යටත්ව සිටීම සම්බන්ධයෙන් ඇය දේවදූතයන්ට තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද! විශ්වාසවන්ත දේවදූතයන් මිලියන ගණනක් ඉදිරියේ තමන් කීකරුව හා යටත්ව ක්‍රියා කරන බව අභිෂේක ලත් සහෝදරියන්ට පමණක් නොව සියලුම සහෝදරියන්ට පෙන්නුම් කළ හැකියි. එය සහෝදරියන්ට ලැබී තිබෙන උතුම් වරප්‍රසාදයක්!

^ 3 ඡේ. සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි භාර්යාවක් තම ක්‍රිස්තියානි පුරුෂයා ඉදිරියේ ශබ්ද නඟා යාච්ඤා නොකළ යුතුයි. ඉතා දුර්ලභ අවස්ථාවකදී, උදාහරණයකට අසනීපයක් නිසා ඔහුට කතා කළ නොහැකි නම් එසේ යාච්ඤාවක් ඉදිරිපත් කිරීමෙහි වරදක් නැහැ.

^ 1 ඡේ. සහෝදරියකට බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු සමඟ බයිබල් පාඩමකට යෑමට සිදු වුණොත් පාඩම කරන විට ඇය හිස වැසීමට අවශ්‍ය නැත. එහෙත් ඒ ප්‍රචාරකයා ඇගේ ස්වාමිපුරුෂයා නම් ඇය හිස වැසිය යුතුයි.