5වන පාඩම
දෙවි ආබ්‍රහම්ට හා ඔහුගේ පෙළපතට ආශීර්වාද කරයි
ආබ්‍රහම්ගේ පෙළපත ගණනින් වැඩි වෙයි. ඊජිප්තු දේශයේදී දෙවි යෝසෙප්ට ආරක්ෂාව ලබා දෙයි
දිනක් යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කතා කර ඔහුගේ ආදරණීය පුත් ඊසාක්ව පූජාවක් ලෙස ඔප්පු කරන්න කියා පැවසුවා. දෙවි ඒ වගේ දෙයක් පැවසුවේ ඇයි? ඊට හේතුව අනාගතයේ යම් දවසක දෙවිට ඉතා කිට්ටු කෙනෙකුවත් පූජාවක් ලෙස ඔප්පු කිරීමට නියමිතව තිබූ නිසයි. ඒ බව දෙවි ඒදන් උයනේදී පැවසූ දෙයින් එනම්, උත්පත්ති 3:15හි සඳහන් දෙයින් පැහැදිලි වෙනවා. ආබ්‍රහම්ට කරන්න කියා පැවසූ දෙයින් දෙවි පෙන්වීමට උත්සාහ කළේ තමන් හුඟක් ආදරය කරන කෙනෙක්ව පූජාවක් හැටියට ඔප්පු කිරීම කොතරම් වේදනාකාරී දෙයක්ද යන්නයි.
දෙවි පැවසූ දෙයට ආබ්‍රහම් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙන්නේ ඊසාක්ගේ පෙළපතින් කියා දෙවි ආබ්‍රහම්ට කලින්ම පවසා තිබූ බව ඔබට මතක ඇති. ඒ පොරොන්දුව කෙරෙහි ඔහුට දැඩි විශ්වාසයක් තිබූ නිසා ඊසාක්ව පූජාවක් ලෙස ඔප්පු කළත් අවශ්‍ය නම් ඔහුව නැවත නැඟිටුවන්න දෙවිට හැකි බව ආබ්‍රහම් දැන සිටියා. ඔහු දෙවිට කීකරු වෙමින් තම පුත් ඊසාක්ව පූජා කරන්න සූදානම් වුණා. නමුත් දෙවි ඒ අවස්ථාවේ දේවදූතයෙකුව එවා එසේ නොකරන ලෙස ඔහුට පැවසුවා. ආබ්‍රහම් තමාට තිබූ වටිනාම දෙය දෙවිට ඔප්පු කරන්න කැමති වූ නිසා දෙවි ඔහුට ප්‍රශංසා කළ අතර දෙවි ඔහුට දී තිබූ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු කරන බවට සහතික වුණා.
කල් යත්ම ඊසාක්ගේ භාර්යාවට පුතුන් දෙදෙනෙක් ඉපදුණා. ඔවුන් නම් ඒසව් සහ යාකොබ්. ඒසව්ට වෙනස්ව යාකොබ්ට දෙවිගේ පොරොන්දු කෙරෙහි අගයක් මෙන්ම දැඩි විශ්වාසයක් තිබුණා. ඒ නිසා දෙවි ඔහුට ආශීර්වාද කර ඔහුගේ නම ඊශ්‍රායෙල් ලෙස වෙනස් කළා. පසුව ඔහුගෙන් පැවත ආ පුතුන් 12දෙනාගෙන් ඊශ්‍රායෙල් නම් ජාතියේ ගෝත්‍ර 12 බිහි වුණා. ඔහුගේ පවුල විශාල ජාතියක් බවට පත් වුණේ කෙසේද?
එම ප්‍රශ්නයට පිළිතුර දැනගැනීමට යාකොබ්ගේ පුතුන් අතර සිදු වූ දෙයක් සලකා බලමු. යාකොබ්ගේ පුතුන් ඔවුන්ගේ බාල සහෝදරයා වූ යෝසෙප්ට ඊර්ෂ්‍යා කළ නිසා ඔහුව දාසයෙකු ලෙස විකුණූ අතර ඔහුව ඊජිප්තුවට ගෙන යනු ලැබුවා. එහිදී ඔහු කටුක අද්දැකීම් රැසකට මුහුණ දුන්නා. නමුත් යෝසෙප් ඒ සෑම අවස්ථාවකදීම විශ්වාසවන්තව හා නිර්භීතව ක්‍රියා කළ නිසා දෙවි ඔහුට ආශීර්වාද කළා. ඒ බව තේරුම්ගත් ඊජිප්තුවේ පාලකයා වූ පාරාවෝ යෝසෙප්ට ඉතා උසස් තනතුරක් ලබා දුන්නා. කල් යත්ම ඊජිප්තුවේ හා ඒ අවට ප්‍රදේශවල ඉතා දරුණු සාගතයක් හටගත්තා. ඒ නිසා යාකොබ් ඔහුගේ පුතුන් කිහිපදෙනෙකුව ආහාර ලබාගැනීම සඳහා ඊජිප්තුවට යැව්වා. ඒ වන විට ඊජිප්තුවේ ආහාර ගබඩා භාරව සිටියේ යෝසෙප්. තම සහෝදරයන්ව දුටු යෝසෙප් පුදුමයට පත් වුණා. ඔවුන් තමන් කළ වරද ගැන අවංකවම කනගාටු වන බව තේරුම්ගත් යෝසෙප්, ඔවුන්ට සමාව දී ඔහුගේ පියාගේ මුළු පවුලම ඊජිප්තුවට ගෙන ඒමට පියවර ගත්තා. ඔවුන්ට ජීවත් වීමට ඊජිප්තුවේ ඉතා සරු ප්‍රදේශයක් ලබා දුන් අතර ඔවුන් දිගින් දිගටම ගණනින් වැඩි වුණා. සියලු දේවල් එලෙස සිදු වූයේ දෙවිගේ මැදිහත් වීමෙන් බවත් දෙවි එසේ කළේ තම අරමුණු ඉටු කිරීමට බවත් යෝසෙප් තේරුම්ගත්තා.
යාකොබ් මිය යන තුරුම ඔහුගේ පවුලේ අයත් සමඟ ඊජිප්තුවේ ජීවත් වුණා. ඔහු මිය යෑමට පෙර අනාගතය ගැන යම් තොරතුරු හෙළි කළා. ඔහුගේ පුතෙක් වූ යූදාගේ පෙළපතින් පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණීමට නියමිත බවත් ඒ විශේෂ තැනැත්තා ඉතා බලවත් පාලකයෙක් වන බවත් ඔහු පැවසුවා. එමෙන්ම තමන් මිය යෑමට පෙර දෙවි යම් දවසක යාකොබ්ගේ පවුලේ අයව ඊජිප්තුවෙන් පිටතට ගෙන යන බව යෝසෙප් පැවසුවා.