50වෙනි පාඩම
යෙහෝවා යෙහෝෂපාට් රජට උදව් කළා
යූදා දේශයේ රජ වුණ යෙහෝෂපාට් ඒ දේශයේ තිබුණු බාල් පූජාසන, රූප ඔක්කොම විනාශ කළා. එයාට ඕන වුණේ සෙනඟත් දෙවියන්ගේ නීතිවලට කීකරු වෙනවාටයි. ඒ නිසා එයා දේශයේ හැම තැනටම අධිපතීන්වයි ලෙවීවරුන්වයි යවලා දෙවියන්ගේ නීති ගැන සෙනඟට ඉගැන්නුවා.
යෙහෝවා යූදා දේශයේ අයට උදව් කරනවා කියලා දන්න නිසා ඒ වටේ හිටිය ජාතීන් එයාලා එක්ක සටන් කරන්න බය වුණා. එයාලා යෙහෝෂපාට් රජට හුඟක් තෑගි දුන්නා. ඒත් පස්සේ මෝවබ්වරුයි අම්මොනිවරුයි සේයිර් දේශයේ වැසියනුයි එකතු වෙලා යූදා සෙනඟ එක්ක සටන් කරන්න ආවා. යෙහෝවාගේ උදව් ඕනෙ කියලා යෙහෝෂපාට්ට තේරුණා. ඒ නිසා එයා සෙනඟ හැමෝටම යෙරුසලමට එන්න කියලා මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබ නැතුව අපිට දිනන්න බැහැ. අපි කරන්න ඕනෙ මොනවාද කියලා අපිට කියන්න.’
යෙහෝවා මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ඔයාලට උදව් කරන්නම්. එයාලා ඉස්සරහට ගිහින් සටන් කරන්නේ නැතුව බලාගෙන ඉන්න. මං ඔයාලව බේරගන්න හැටි ඔයාලා දකියි.’
පහුවෙනිදා උදේ යෙහෝෂපාට් ගායක කණ්ඩායමක් තෝරගෙන එයාලට කිව්වා හමුදාවට ඉස්සරහින් යන්න කියලා. එයාලා යෙරුසලමේ ඉඳන් තෙකෝවා කියන තැනට ගියා.
එතනදී ගායක කණ්ඩායමේ අය හයියෙන් යෙහෝවාට ප්රශංසා ගී කියද්දී යෙහෝවා සතුරු හමුදාව එක්ක සටන් කළා. යෙහෝවා ඒ හමුදාවේ හිටපු අයට තමන්ගෙම අයට පහර දෙන්න සැලැස්සුවා. ඒකෙන් හැමෝම මැරුණා. ඒත් යූදා දේශයේ කිසි කෙනෙක්ට මුකුත්ම වුණේ නැහැ. යෙහෝවා එයාලව ආරක්ෂා කළා. ඒක ආරංචි වුණාම ළඟපාත දේශවල හිටපු හැමෝම දැනගත්තා යෙහෝවා තමයි ඔහුගේ සෙනඟව බේරගත්තේ කියලා. යෙහෝවාට පුළුවන් ඕනම විදිහකින් ඔහුගේ සෙනඟව බේරගන්න. ඒක කරන්න ඔහුට මිනිස්සුන්ගේ උදව් ඕන වෙන්නේ නැහැ.
“ඔයාලා සටන් කරන්න ඕනෙ නැහැ. සටනට ගිහින් පෙළ ගැහිලා ඉන්න. නොසැලී ඉන්න. යෙහෝවා වන මම ඔයාලා වෙනුවෙන් මැදිහත් වෙලා ඔයාලව බේරගන්න විදිහ ඔයාලාගේ ඇස් දෙකෙන්ම බලාගන්න.”—2 ලේකම් 20:17