16වෙනි පරිච්ඡේදය
‘යේසුස් අවසානය දක්වා ඔවුන්ට ප්‍රේම කළා’
1, 2. යේසුස් තම නියෝජිතයන් සමඟ අවසන් සන්ධ්‍යාව ගත කරන්නේ කෙසේද? එම අවසන් පැය කිහිපය ඔහුට එතරම් වටින්නේ ඇයි?
යේසුස් දැන් සිටින්නේ තම නියෝජිතයන් සමඟ යෙරුසලමේ නිවසක උඩුමහල් කාමරයකයි. තම නියෝජිතයන් සමඟ ගත කරන අවසාන සන්ධ්‍යාව මෙය බව යේසුස් දන්නවා. තව සුළු මොහොතකින් ඔහුව අත්අඩංගුවට ගනු ලබන අතර ඔහුගේ විශ්වාසය උපරිම අන්දමින් පරීක්ෂණයට ලක් වීමට නියමිතයි. තමන් සිටින්නේ මරණය අබියස බව දැන සිටියත් ඔහු සැලකිලිමත් වන්නේ තම නියෝජිතයන්ගේ ශුභසිද්ධිය ගැනයි.
2 මෙලොවින් සමුගෙන තම පියා ළඟට යන බව යේසුස් තම නියෝජිතයන්ට පවසා තිබුණා. එසේවුවත් ඉදිරියේදී මුහුණ දීමට සිදු වන තත්වයන් හමුවේ නොසැලී සිටීම සඳහා ඔවුන්ව ශක්තිමත් කිරීමට පැවසිය යුතු තවත් බොහෝ දේ ඔහුට තිබුණා. එමනිසා මෙම අවසන් පැය කිහිපය ඔහුට හුඟක් වටිනවා. දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසය ශක්තිමත් කිරීමට යේසුස් ඒ කාලය යොදාගන්නවා. ඔහු වෙන කවරදාකටත් වඩා ආදරයෙන් හා ලෙන්ගතුකමින් ඔවුන්ට කරුණු පහදා දෙනවා. යේසුස් තමන් ගැන සිතනවාට වඩා තම නියෝජිතයන් ගැන සිතන්නේ ඇයි? ඔවුන් සමඟ ගත කරන මේ අවසන් පැය කිහිපය ඔහුට එතරම් වටින්නේ ඇයි? ඒ, ඔහු ඔවුන්ට බොහෝ සේ ප්‍රේම කරන නිසයි.
3. යේසුස් තම අනුගාමිකයන්ට තිබෙන ප්‍රේමය පෙන්වීමට මරණය අබියසට පැමිණෙන තෙක් නොසිටි බව අප දන්නේ කොහොමද?
3 දශක කිහිපයකට පසු යේසුස්ගේ නියෝජිතයෙක් වූ යොහන් එම සිද්ධිය මෙසේ වාර්තා කරනවා. “තමා මෙලොවින් සමුගෙන පියාණන් ළඟට යන්න නියමිත කාලය පැමිණ ඇති බව යේසුස් පාස්කු උත්සවයට කලින්ම දැන සිටියේය. ලෝකයේ සිටි තමාට හිතවත් වූ අයට ඔහු බොහෝ සෙයින් ප්‍රේම කළේය. ඇත්තෙන්ම ඔහු අවසානය දක්වා ඔවුන්ට මහත් සේ ප්‍රේම කළේය.” (යොහන් 13:1) යේසුස් “තමාට හිතවත් වූ” අයට ප්‍රේම කළේ මරණය අබියසට පැමිණි පසු නොවෙයි. ඔහු සේවය කළ කාලය පුරාම තම අනුගාමිකයන් කෙරෙහි තිබෙන ප්‍රේමය නොයෙක් ආකාරවලින් පෙන්නුවා. ඔහු මෙන් අපත් අන් අයට ප්‍රේම කරනවා නම් අප ඔහුගේ සැබෑ අනුගාමිකයන් බව පෙන්විය හැකියි. ඒ නිසා ඔහු ප්‍රේමය පෙන්වූ ආකාරය සලකා බැලීම වැදගත්.
ඉවසිලිවන්ත වීමෙන්
4, 5. (අ) තම නියෝජිතයන් සමඟ කටයුතු කිරීමේදී යේසුස්ට ඉවසිලිවන්ත වීමට සිදු වුණේ ඇයි? (ආ) නියෝජිතයන් තුන්දෙනා නිදාගෙන සිටිනවා දුටු විට යේසුස් ක්‍රියා කළේ කොහොමද?
4 ප්‍රේමය හා ඉවසිලිවන්තකම එකිනෙකට අත්වැල් බැඳගන්නා ගුණාංගයන්. බයිබලයේ, 1 කොරින්ති 13:4හි ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයෙක් බොහෝ ඉවසිලිවන්තය’ කියා සඳහන් වෙනවා. ඉවසිලිවන්ත කෙනෙක් අන් අය අතින් සිදු වන අඩුපාඩු දරාගන්නවා. තම නියෝජිතයන් සමඟ කටයුතු කිරීමේදී යේසුස්ට ඉවසිලිවන්තකම අවශ්‍ය වුණාද? ඇත්තෙන්ම ඔව්! ඔවුන්ට නිහතමානීව කටයුතු කරන ආකාරය ඉගෙනගැනීමට කාලයක් ගත වූ බව අප තුන්වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. ඒ නිසා අවස්ථා කිහිපයකදී උතුම් කෙනා කවුද කියා ඔවුන් අතර වාද ඇති වුණා. යේසුස් එවැනි අවස්ථාවලදී කටයුතු කළේ කොහොමද? ඔහු කෝප වුණාද? නැහැ. යේසුස් තම නියෝජිතයන් සමඟ ගත කළ අන්තිම සන්ධ්‍යාවේදී පවා ඒ කාරණය ගැන ඔවුන් අතර “ඉතා උණුසුම් විවාදයක් ඇති” වූ විට ඔහු ඉවසිලිවන්තව කාරණා පහදා දුන්නා.—ලූක් 22:24-30; මතෙව් 20:20-28; මාක් 9:33-37.
5 යේසුස් තම නියෝජිතයන් 11දෙනා සමඟ දැන් ගෙත්සෙමනය නම් උයනට යනවා. එහිදීද ඔහුට සිදු වන්නේ ඉවසිලිවන්තව කටයුතු කිරීමටයි. ඔහු නියෝජිතයන් 11දෙනාගෙන් පේතෘස්, යාකොබ් සහ යොහන් සමඟ උයනේ මදක් ඇතුළට ඇවිද ගොස් ඔවුන්ට පවසන්නේ මෙයයි. “මා තුළ ඇති වී තිබෙන ශෝකය කොතරම්ද කියනවා නම් මට දැනෙන්නේ මා මිය යනවා වගෙයි. ඔබ මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න.” ඔහු තනිව ටික දුරක් ඉදිරියට ගොස් ඉතාමත් ඕනෑකමින් යාච්ඤා කිරීමට පටන්ගන්නවා. දීර්ඝ වේලාවක් යාච්ඤා කළ පසු ඔහු නියෝජිතයන් තිදෙනා ළඟට එනවා. ඒ අවස්ථාවේදී ඔවුන් සිටින්නේ නිදාගෙනයි. මෙවැනි මොහොතකදී පවා යේසුස් ඔවුන්ගෙන් ඉල්ලා සිටි දේ ඔවුන් ඉටු කළේ නැහැ! ඒ ගැන යේසුස් ඔවුන්ට බැණවැදුණාද? නැහැ. ඔවුන්ට දැනුණු මානසික පීඩනයත් ඔවුන්ගේ දුර්වලකමත් යේසුස් තේරුම්ගත්තා. * ඒ නිසා ඔහු ඉවසිලිවන්තව ඔවුන්ට මෙසේ පවසනවා. “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.” ඔවුන් නැවත දෙවතාවක්ම එසේ නිදා සිටිනවා යේසුස් දුටුවත් ඔහු අමනාප නොවී ඉවසීමෙන් කටයුතු කළා.—මතෙව් 26:36-46.
6. අන් අය සමඟ කටයුතු කරන විට අප යේසුස්ව අනුකරණය කරන්නේ කොහොමද?
6 යේසුස් බලාපොරොත්තු අත් නොහැර ඉවසීමෙන් කටයුතු කිරීම ඇත්තෙන්ම අපට දිරිගැන්වීමක්. අවසානයේදී හොඳ ප්‍රතිඵල ලැබුණා. එම විශ්වාසවන්ත පුරුෂයන් නිහතමානිකමත් සෝදිසියෙන් සිටීමේ ඇති වැදගත්කමත් ඉගෙනගත්තා. (1 පේතෘස් 3:8; 4:7) යේසුස් මෙන් කටයුතු කරන්න අපටත් පුළුවන්ද? ඔබ සභාවේ වැඩිමහල්ලෙක් නම් ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඔබ ඉතා වෙහෙසට පත් වී සිටින විට හෝ යම් ගැටලුවක් නිසා පීඩනයකින් සිටින විට සහෝදරයෙක් හෝ සහෝදරියක් තමන්ට තිබෙන ගැටලුවක් ගැන පැවසීමට ඔබ ළඟට පැමිණිය හැකියි. එසේත් නැත්නම් යම් හික්මවීමක් හෝ උපදෙස් ලබා දුන් අය එම දේවල් ඉක්මනින්ම අදාළ කර නොගන්නවා විය හැකියි. ඒත් ඔබ ඉවසිලිවන්ත කෙනෙක් නම් එවැනි අයට “මෘදුකමින් මඟ පෙන්වීම් ලබා” දෙන අතර ඔවුන්ට ‘ආදරයෙන්’ සලකනවා. (2 තිමෝති 2:24, 25; ක්‍රියා 20:28, 29) දෙමාපියන්ද යේසුස් මෙන් ඉවසිලිවන්ත වීම වැදගත්. දරුවන්ට උපදෙස් හෝ හික්මවීම් ලබා දෙන විට ඔවුන් ඒවා විගස අදාළ කර නොගන්න ඉඩ තිබෙනවා. නමුත් ප්‍රේමයෙන් හා ඉවසීමෙන් කටයුතු කරන දෙමාපියන් තම දරුවන්ව පුහුණු කිරීමේදී බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. එසේ ක්‍රියා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කියා නිම කළ නොහැකියි.—ගීතාවලිය 127:3.
සැලකිලිමත් වීමෙන්
7. යේසුස් තම නියෝජිතයන්ගේ අවශ්‍යතා ඉටු කළේ කෙසේද?
7 යමෙකු තුළ තිබෙන ප්‍රේමය දැකගත හැකි වන්නේ ඔහු අන් අයගේ යහපත උදෙසා කරන ක්‍රියා තුළිනුයි. (1 යොහන් 3:17, 18) ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් ‘තමාගේම වාසිය සොයන්නේ නැහැ’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 13:5) යේසුස් තම නියෝජිතයන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වුණේ ඔහු ඔවුන්ට ප්‍රේම කළ නිසයි. යේසුස් බොහෝවිට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කළේ ඔවුන් ඒවා ඉල්ලන්නත් කලිනුයි. තම නියෝජිතයන් විඩාවෙන් සිටිනවා යේසුස් දුටු විට “එන්න, අපි පාළු තැනකට යමු. අපිට පුළුවන් ටිකකට විවේක ගන්න” කියා ඔවුන්ට පැවසුවා. (මාක් 6:31) ඔවුන් කුසගින්නේ ඉන්නවා කියා ඔහුට තේරුණු විට ඔවුන්ගෙත් එතැනට පැමිණි දහස් සංඛ්‍යාත සෙනඟගෙත් කුසගින්න නිවීමට යේසුස් පියවර ගත්තා.—මතෙව් 14:19, 20; 15:35-37.
8, 9. (අ) යේසුස් තම ගෝලයන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලබා දීමට සැලකිලිමත් වූ බව පෙන්වන්නේ කුමකින්ද? (ආ) වධකණුවේ සිටියදී පවා තම මවගේ ශුභසිද්ධිය ගැන තමා සැලකිලිමත් වූ බව යේසුස් පෙන්වූයේ කෙසේද?
8 තම ගෝලයන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලබා දීමේ අවශ්‍යතාව යේසුස් තේරුම්ගත්තා. (මතෙව් 4:4; 5:3) ඔහු උගන්වන අවස්ථාවලදී බොහෝවිට විශේෂ අවධානයක් දුන්නේ තම ගෝලයන්ටයි. කන්ද උඩ දේශනය යේසුස් ඉදිරිපත් කළේ විශේෂයෙන්ම තම ගෝලයන්ගේ ප්‍රයෝජනය සඳහායි. (මතෙව් 5:1, 2, 13-16) ඒ වගේම උපමා යොදාගෙන උගන්වන විටද ‘ඔහු තම ගෝලයන්ට පෞද්ගලිකව ඒ සියල්ල පහදා දුන්නා.’ (මාක් 4:34) අන්තිම කාලයේදී තම ගෝලයන්ට දෙවිගේ මඟ පෙන්වීම් නිසි ලෙස ලබා දීමට යේසුස් ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙක්ව’ පත් කරන බව පොරොන්දු වුණා. එම දාසයාට ඇතුළත් වන්නේ පොළොව මත සිටින යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගෙන් යුත් කුඩා කණ්ඩායමක්. ඔවුන් ක්‍රි.ව. 1919 පටන් විශ්වාසවන්තව “නියම වේලාවට” දෙවිගේ මඟ පෙන්වීම් ඔහුගේ සෙනඟට සපයමින් සිටිනවා.—මතෙව් 24:45.
9 යේසුස් අවසන් සුසුම් හෙළන මොහොතේදී පවා තමා ප්‍රේම කළ අයට දෙවිගේ මඟ පෙන්වීම් ලබා දීමට සැලකිලිමත් වුණා. ඒ සිද්ධිය සිතින් මවාගන්න. යේසුස් වධකණුව මත කියා නිම කළ නොහැකි තරම් මහත් වේදනාවකින් සිටිනවා. ඔහු තම දෙපාවලින් වාරුගෙන හුස්ම ගන්නේ මහත් ආයාසයක් දරමිනුයි. හුස්ම ගන්නා සෑම වාරයකදීම කස පහරට පැළුණු ඔහුගේ පිටේ සම කණුවේ ඇතිල්ලෙන නිසාත් ඇණවලට සිදුරු වූ අත්වල සහ පාදවල තුවාල පෑරෙන නිසාත් ඔහුට අසීමිත වේදනාවක් දැනෙනවා. එතරම් අමාරුවකින් හුස්ම ගන්නා විට මුවින් වදනක් පිට කිරීමට කොතරම් වෑයමක් දැරිය යුතුද කියා සිතා බලන්න. එසේවුවත් යේසුස් මිය යෑමට පෙර පැවසූ දෙයින් තම මවට ඔහු කොතරම් ප්‍රේම කළාද කියා තේරුම්ගත හැකියි. වධකණුව අසල තම මවද නියෝජිතයන්ගෙන් කෙනෙකු වූ යොහන්ද සිටිනවා දැක, ඔහු ඒ අසල සිටින අනිකුත් අයටත් ඇසෙන සේ “මේ සිටින්නේ ඔබේ පුතා” කියා තම මවට පවසනවා. ඉන්පසු “මේ සිටින්නේ ඔබේ මව” කියා ඔහු යොහන්ට පවසනවා. (යොහන් 19:26, 27) එම විශ්වාසවන්ත නියෝජිතයා තම මවගේ ශාරීරික අවශ්‍යතා ගැන පමණක් නොව දෙවි කෙරෙහි ඇයට තිබෙන විශ්වාසය සැමදාටම ශක්තිමත්ව තබාගැනීමටද උපකාර කරයි කියා යේසුස් හොඳින් දැන සිටියා. *
10. තම දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේදී දෙමාපියන්ට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?
10 දෙමාපියෙනි, යේසුස්ගේ ආදර්ශය සලකා බැලීමෙන් ඔබට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි. තම පවුලට සැබවින්ම ප්‍රේම කරන පියෙක් පවුලේ අවශ්‍යතා සපයනවා. (1 තිමෝති 5:8) ඒ වගේම ඔහු පවුලේ අයට විවේක ගැනීමට හා විනෝද වීමට කාලය අවශ්‍ය බවත් තේරුම්ගන්නවා. නමුත් ඒ සියලු දේට වඩා දෙමාපියන් සැලකිලිමත් වන්නේ තම දරුවන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලබා දීමටයි. ඒ සඳහා ඔවුන් නිතිපතා පවුලේ සාමාජිකයන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට සැලසුම් කරන අතර එය දරුවන්ට සතුටක් හා දිරියක් වන අයුරින් කිරීමටත් වෑයම් කරනවා. (ද්විතීය කතාව 6:6, 7) දේවසේවයේ හවුල් වීම, රැස්වීම්වලට සූදානම් වීම හා ඊට සහභාගි වීම නමස්කාරයේ වැදගත් අංගයන් බව දෙමාපියන් තම කතාවෙන් පමණක් නොවෙයි තම ආදර්ශයෙන්ද දරුවන්ට පෙන්වනවා.—හෙබ්‍රෙව් 10:24, 25.
සමාව දීමෙන්
11. සමාව දීම සම්බන්ධයෙන් යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූයේ කුමක්ද?
11 සමාව දීමත් ප්‍රේමයේ එක් ලක්ෂණයක්. (කොලොස්සි 3:13, 14) ප්‍රේමණීය කෙනෙක් ‘අමනාපයක් සිතේ තබාගන්නේ නැහැ’ කියා 1 කොරින්ති 13:5හි සඳහන් වෙනවා. සමාව දීමේ ඇති වැදගත්කම යේසුස් තම ගෝලයන්ට නිතර නිතර ඉගැන්නුවා. ඔහු පැවසුවේ, “හත් වරක් දක්වා නොව හැත්තෑහත් වරක් දක්වා සමාව දෙන්න” කියායි. එයින් ඔහු අදහස් කළේ සමාව දීමට සීමාවක් නැති බවයි. (මතෙව් 18:21, 22) යම් පාපයක් කළ අයෙකුව නිවැරදි කළ පසු ඔහු ඇත්තටම තම පාපය ගැන පසුතැවෙනවා නම් ඔහුට සමාව දිය යුතුයි කියා යේසුස් ඉගැන්නුවා. (ලූක් 17:3, 4) එදා සිටි කුහක පරිසිවරුන්ගේ ඉගැන්වීම් සීමා වුණේ වචනවලට පමණයි. නමුත් යේසුස් තමා ඉගැන්වූ දේට අනුව ජීවත් වීමෙන්ද ආදර්ශයක් තැබුවා. (මතෙව් 23:2-4) තම හිතෛෂි මිත්‍රයා තමාට අවිශ්වාසවන්ත වූ අවස්ථාවේදී පවා යේසුස් සමාව දුන් ආකාරය අපි දැන් සලකා බලමු.
12, 13. (අ) යේසුස්ව අත්අඩංගුවට ගත් රාත්රියේදී පේතෘස් යේසුස්ට අවිශ්වාසවන්ත වුණේ කෙසේද? (ආ) යේසුස් තමන් ඉගැන්වූ දෙයට අනුව ක්‍රියා කළ බව තහවුරු වන්නේ කුමකින්ද?
12 පේතෘස් හා යේසුස් අතර තිබුණේ ඉතා කිට්ටු මිත්‍රත්වයක්. පේතෘස් ප්‍රේමණීය පුද්ගලයෙක් වුවත් සමහර අවස්ථාවලදී ඔහු ක්‍රියා කළේ දුර දිග නොබලයි. නමුත් පේතෘස්ගේ යහපත් ගුණාංග යේසුස් දුටුවා. ඒ නිසා ඔහු කළ ඇතැම් ආශ්චර්යවත් ක්‍රියා දැකගැනීමේ අවස්ථාව ලැබූ නියෝජිතයන් තිදෙනාගෙන් කෙනෙකු වීමේ භාග්‍යය යේසුස් ඔහුට ලබා දුන්නා. (මතෙව් 17:1, 2; ලූක් 8:49-55) අප කලින් සලකා බැලූ ලෙස යේසුස්ව අත්අඩංගුවට ගත් රාත්රියේදී ගෙත්සෙමනය නම් උයනේ යේසුස් සමඟ මද දුරක් ඇතුළට ඇවිද ගිය නියෝජිතයන් තිදෙනාගෙන් පේතෘස් එක් අයෙක්. නමුත් යේසුස්ව අත්අඩංගුවට ගත් මොහොතේ පේතෘස් සහ අනිකුත් නියෝජිතයන් ඔහුව අත්හැර පලා ගියා. පසුව යේසුස්ව නීත්‍යනුකූල නොවන නඩු විභාගයකට ගෙන ගිය විට පේතෘස් ශාලාවේ පිටත රැඳී සිටීමට තරම් නිර්භීත වුණා. නමුත් ඉන් සුළු මොහොතකට පසු ඔහු බියට පත් වූ නිසා ඔහු අතින් සිදු වුණේ බරපතළ වරදක්. ඔහු යේසුස්ව හඳුනන්නේ නැති බව තුන් වතාවක්ම පැවසුවා! (මතෙව් 26:69-75) ඔබේ මිත්‍රයෙක් ඔබට අවිශ්වාසවන්ත වුණා නම් ඔබ කෙසේ ක්‍රියා කරයිද?
13 යේසුස්, පේතෘස්ට සමාව දුන්නා. ඔහු තමා කළ වරද නිසා ඉමහත් වේදනාවකින් සිටින බව යේසුස් දැනගත්තා. පේතෘස් ‘එයින් ඇති වූ ශෝකය දරාගත නොහැකිව බොහෝ සෙයින් හැඬූ’ බව වාර්තාවේ සඳහන් වෙනවා. (මාක් 14:72) යේසුස් මරණයෙන් නැවත නැඟිටුණු පසු පේතෘස් ඉදිරියේ පෙනී සිටියේ සමහරවිට ඔහුව සනසා, දිරිමත් කිරීමට විය හැකියි. (ලූක් 24:34; 1 කොරින්ති 15:5) ඉන් මාස දෙකක් ගත වීමටත් පෙර පෙන්තකොස්ත දවසේදී යෙරුසලමේ රැස්ව සිටි සමූහයට සාක්ෂි දැරීම සඳහා යේසුස් ඔහුව තෝරාගත්තා. එයින් යේසුස් පෙන්නුවේ තවමත් පේතෘස් ඔහුට වටිනා පුද්ගලයෙකු වූ බවයි. (ක්‍රියා 2:14-40) අනිකුත් සියලුම නියෝජිතයන් තමන්ව අත්හැර ගියත් යේසුස් ඔවුන් සමඟද අමනාප වුණේ නැහැ. නැවත නැඟිටීමෙන් පසුවත් ඔහු ඔවුන්ව “මගේ සහෝදරයන්” කියා ඇමතීමෙන් ඒ බව තහවුරු වෙනවා. (මතෙව් 28:10) යේසුස් තමන් ඉගැන්වූ දෙයට අනුව ක්‍රියා කළ බව ඉන් මනාව පැහැදිලියි.
14. අන් අයට සමාව දිය යුත්තේ ඇයි? සමාව දීමට අප කැමති බව පෙන්වන්නේ කොහොමද?
14 අප යේසුස්ගේ අනුගාමිකයන් නම් අන් අයට සමාව දීමට අපත් පුරුදු විය යුතුයි. අපි සෑමදෙනා අතින් නොයෙක් අවස්ථාවල වැරදි සිදු වෙනවා. මන්ද අපි පරිපූර්ණ අය නොවෙයි. ඒ නිසා එකිනෙකාට සමාව දීමට අප බැඳී සිටිනවා. (රෝම 3:23; යාකොබ් 3:2) අන් අය අපට කරන වැරදිවලට අප සමාව දුන්නොත් පමණයි අප අතින් සිදු වන වැරදිවලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ. (මාක් 11:25) අප සමාව දීමට කැමති අය බව පෙන්වන්නේ කොහොමද? අන් අය අතින් සිදු වන අතපසු වීම් හා වැරදි අමතක කර දැමීමෙනුයි. ඒ සඳහා අපට උපකාරවත් වන්නේ ප්‍රේමයයි. (1 පේතෘස් 4:8) අපට වැරදි කළ කෙනෙකු පේතෘස් මෙන් පසුතැවිලි වෙනවා නම් යේසුස් මෙන් අපත් ඔහුට සමාව දීමට කැමති විය යුතුයි. අමනාපය සිතේ තබාගන්නවාට වඩා එය අමතක කර දැමීම ඥානවන්ත දෙයක්. (එෆීස 4:32) එසේ කිරීමෙන් සභාවේ සාමය රැකෙන අතර අපටත් සාමකාමී මනසක් ඇතුව ජීවත් වීමට හැකි වෙයි.—1 පේතෘස් 3:11.
විශ්වාස කිරීමෙන්
15. තම ගෝලයන් අතින් අඩුපාඩු සිදු වුණත් යේසුස් ඔවුන්ව විශ්වාස කළේ ඇයි?
15 ප්‍රේමණීය පුද්ගලයෙක් “සියල්ල විශ්වාස කරයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. * (1 කොරින්ති 13:7) තම ගෝලයන් අතින් අඩුපාඩු සිදු වුණත් ඔවුන්ට තිබූ ප්‍රේමය නිසා යේසුස් ඔවුන්ව විශ්වාස කළා. ඔවුන් මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කරන බවත් දෙවිගේ කැමැත්ත කිරීමට ඔවුන් තුළ ආශාවක් තිබෙන බවත් යේසුස් දැන සිටියා. වැරදි කළත් ඔවුන් එසේ කළේ වැරදි චේතනාවකින් කියා ඔහු සැක කළේ නැහැ. යාකොබ්ගේ සහ යොහන්ගේ මව යේසුස්ගෙන් ඉල්ලීමක් කළ අවස්ථාව ගැන සිතා බලන්න. සමහරවිට ඇය එම ඉල්ලීම කළේ ඔවුන්ගේ පෙලඹීම නිසා විය හැකියි. ඇය ඉල්ලා සිටියේ යේසුස් දේවරාජ්‍යයේ රජු වූ විට ඇගේ පුතුන් දෙදෙනාට ඔහුගේ දෙපැත්තේ ඉඳගැනීමට අවසර දෙන්න කියායි. ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන්ගේ චේතනා සැක කරමින් තම නියෝජිතයන් ලෙස සේවය කිරීමේ පැවරුම ඔවුන්ගෙන් ඉවත් කළේ නැහැ.—මතෙව් 20:20-28.
16, 17. යේසුස් තම ගෝලයන්ට පැවරුවේ කුමන වගකීම්ද?
16 යේසුස් තම ගෝලයන්ට විවිධ වගකීම් පැවරීමෙන් ඔවුන් කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය පෙන්නුවා. උදාහරණයකට යේසුස් අවස්ථාවන් දෙකකදී සෙනඟගේ කුසගින්න නිවීම සඳහා ආශ්චර්යවත් ලෙස ආහාර සැපයූ විට ඒවා සෙනඟට බෙදා දීමේ වගකීම පැවරුවේ ගෝලයන්ටයි. (මතෙව් 14:19; 15:36) ඒ වගේම ඔහු සැමරූ අවසන් පාස්කුව සඳහා යෙරුසලමට ගොස් අවශ්‍ය දේවල් සූදානම් කිරීමේ වගකීම ඔහු භාර දුන්නේ පේතෘස්ට හා යොහන්ටයි. ඒ සඳහා බැටළු පැටවෙකු, වයින්, මුහුන් නොදැමූ රොටි, තිත්ත පලා වැනි දේවල් සූදානම් කිරීමට ඔවුන්ට සිදු වුණා. එය සුළුපටු කාර්යයක් වුණේ නැහැ. මන්ද පාස්කුව නිසි ආකාරයෙන් පැවැත්විය යුතු බව දෙවි විසින් මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වී තිබුණා. ඒ නීති එලෙසින්ම ඉටු කිරීමේ වගකීම යේසුස්ට තිබුණා. ඒ විතරක් නොවෙයි, එදින සවස ගෝලයන්ට තම මරණය සිහි කළ යුතු ආකාරය පෙන්වා දීම සඳහාත් එම මුහුන් නොදැමූ රොටි සහ වයින්ම යේසුස් සංකේත ලෙස භාවිත කළා.—මතෙව් 26:17-19; ලූක් 22:8, 13.
17 තම ගෝලයන්ට ඊට වඩා බැරෑරුම් වගකීම් දැරීමට හැකි බවත් යේසුස් තේරුම්ගත්තා. අප කලින් සලකා බැලූ ලෙස දෙවිගේ මඟ පෙන්වීම් ඔහුගේ නමස්කාරකයන්ට ලබා දීමේ වගකීම යේසුස් පැවරුවේ තම අභිෂේක ලත් සහෝදරයන්ගෙන් යුත් කුඩා කණ්ඩායමකටයි. (ලූක් 12:42-44) ඒ වගේම ඔහු දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය පැවරුවෙත් ඔවුන්ටයි. (මතෙව් 28:18-20) යේසුස් දැන් ස්වර්ගයේ තම පාලනය ආරම්භ කර තිබුණත් පොළොවේ තිබෙන තම සභාව රැකබලා ගැනීමේ වගකීම ඔහු ‘තෑගි වශයෙන් දී තිබෙන පුරුෂයන්ට’ පවරා තිබෙනවා.—එෆීස 4:8, 11, 12.
18-20. (අ) සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන බව අප පෙන්වන්නේ කොහොමද? (ආ) අන් අයට වගකීම් බෙදා දීම සම්බන්ධයෙන් අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද? (ඇ) ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලන්නේ කුමක් ගැනද?
18 අන් අය සමඟ කටයුතු කිරීමේදී අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද? අපගේ සහෝදර සහෝදරියන්ව විශ්වාස කිරීමෙන් පෙන්වන්නේ අප ඔවුන්ට ප්‍රේම කරන බවයි. අප ප්‍රේමණීය පුද්ගලයන් නම් අප දකින්නේ යමෙකු තුළ තිබෙන යහපත මිස නපුර නොවෙයි. ඉඳහිට අන් අය අතින් අපට වරදක් සිදු විය හැකියි. නමුත් අපට ඔවුන් කෙරෙහි ප්‍රේමයක් තිබෙනවා නම් ඔවුන් එසේ කළේ වැරදි චේතනාවකින් කියා සිතීමට අප ඉක්මන් වන්නේ නැහැ. (මතෙව් 7:1, 2) නිතරම සහෝදර සහෝදරියන්ගේ යහපත දකින්න වෑයම් කරනවා නම් අප ඔවුන්ට සලකන්නේ ඔවුන්ව දිරිගැන්වෙන ආකාරයටයි. අප කවදාවත් ඔවුන්ව අධෛර්යයට පත් කරන්නේ නැහැ.—1 තෙසලෝනික 5:11.
19 අපටත් හැකිද යේසුස් මෙන් අන් අය සමඟ වගකීම් බෙදාගන්න? වගකීම් දරන සහෝදරයන් සෙසු සහෝදරයන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ට යම් වගකීම් බෙදා දීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙයි. එසේ කිරීමෙන් අද්දැකීම් ලත් වැඩිමහල්ලන්ට හැකි වෙයි සභාවේ “වගකීම් දැරීමට වෑයම් කරන” පුරුෂයන්ව පුහුණු කිරීමට. (1 තිමෝති 3:1; 2 තිමෝති 2:2) එසේ පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. මන්ද යෙහෝවා දෙවි තම නමස්කාරයට අදාළ ක්‍රියාකාරකම්වල වර්ධනය වේගවත් කරන නිසා එහි වගකීම් දැරීමට සුදුසුකම් ලත් පුරුෂයන්ව පුහුණු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා.—යෙසායා 60:22.
20 යේසුස් අන් අයට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් තැබුවේ විශිෂ්ට ආදර්ශයක්. අපට ඔහුව අනුකරණය කළ හැකි හොඳම ආකාරය වන්නේ අපත් ඔහු මෙන් අන් අයට ප්‍රේම කිරීමයි. යේසුස් අප වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කළා. එය අප වෙනුවෙන් ඔහු තුළ තිබෙන ප්‍රේමයේ උතුම්ම ප්‍රකාශයයි. ඊළඟ පරිච්ඡේදයේ අප සලකා බලන්නේ එයයි.
^ 5 ඡේ. යේසුස්ගේ නියෝජිතයන් නිදාගත්තේ විඩාව නිසාම නොවෙයි. ලූක් 22:45හි පවසන්නේ ඔවුන් ‘මහත් ශෝකයකින් සිටි නිසා විඩාබර වී නිදා සිටියා’ කියායි.
^ 9 ඡේ. මරියා ඒ වන විට වැන්දඹුවක්ව සිටියා විය හැකියි. පෙනෙනාකාරයට ඇගේ අනිකුත් දරුවන් තවමත් යේසුස්ගේ ගෝලයන් වී සිටියේ නැහැ.—යොහන් 7:5.
^ 15 ඡේ. ප්‍රේමණීය පුද්ගලයෙක් පහසුවෙන් රැවටෙන පුද්ගලයෙක් කියා ඉන් අදහස් කරන්නේ නැහැ. ප්‍රේමණීය පුද්ගලයෙක් සෑමවිටම අන් අයගේ වැරදි සොයන්නේවත් ඔවුන්ව සැක කරන්නේවත් නැහැ. එවැනි පුද්ගලයෙක් අන් අයගේ චේතනා වැරදියි කියා සිතීමට ඉක්මන් වන්නේ නැහැ.