4වෙනි පරිච්ඡේදය
‘බලන්න, යූදා ගෝත්‍රයෙන් පැමිණි සිංහයා’
1-3. යේසුස්ට මුහුණ දීමට සිදු වූ භයානක තත්වය කුමක්ද? ඒ අවස්ථාවේදී ඔහු කටයුතු කළේ කෙසේද?
යේසුස් තම නියෝජිතයන් සමඟ දැන් සිටින්නේ ඔලීව කන්දෙයි. ඔහුව අල්ලාගැනීමට මැර පිරිසක් එනවා. ඔවුන් අතරේ හමුදා භටයන්ද සිටිනවා. ඔවුන් හැමෝටම තිබෙන්නේ කූට අරමුණක්. කඩු මුගුරු රැගත් ඔවුන් අන්ධකාරයෙන් වැසී ගිය යෙරුසලමේ වීථි දිගේ ඇවිත් කිද්‍රොන් නිම්නය හරහා ඔලීව කන්දට නඟිනවා. එදින පුර හඳ පායා ඇති දවසක් වුණත් ඔවුන් එන්නේ පහන් සහ පන්දම් අතැතිවයි. ඊට හේතුව, සඳ වලාකුළුවලට වැසී එහි එළිය නොලැබෙයි කියා ඔවුන් සිතූ නිසාද නැත්නම් ඔවුන් සොයන තැනැත්තා අඳුරේ සැඟවෙයි කියා ඔවුන් සිතූ නිසාද කියා අප දන්නේ නැහැ. නමුත් යේසුස්ගේ චරිතය හොඳින් දන්නා කෙනෙක් නම් ඔහු කෙදිනකවත් බියෙන් සැඟවෙයි කියා සිතන්නේ නැහැ.
2 තමන්ට භයානක තත්වයකට මුහුණ දීමට සිදු වන බව යේසුස් දැන සිටියත් ඔහු පලා නොගොස් එඩිතරව එතැනම රැඳී සිටිනවා. එම මැර පිරිසේ පෙරමුණේ සිටින්නේ යේසුස්ගේ විශ්වාසවන්ත මිතුරෙකුව සිටි යූදස්. ඔහු කිසිදු බියක් හෝ ලැජ්ජාවක් නොමැතිව යේසුස් ළඟට ගොස් ඔහුට ආචාර කර බොරු ආදරයක් මවාපාමින් ඔහුව සිඹගත්තේ මැර පිරිසට ඔහුව හඳුනාගැනීමට හැකි වන පිණිසයි. නමුත් යේසුස් සන්සුන්ව සිටිනවා. ඔහු මැර පිරිස ඉදිරියට ගොස්, “ඔබ සොයන්නේ කාවද” කියා අසනවා. “අපි සොයන්නේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්වයි” කියා ඔවුන් පවසනවා.
3 ආයුධ අතැතිව පැමිණෙන මැර පිරිසක් ඉදිරියේ තැති නොගන්නේ කවුද? ඔවුන් යේසුස් ගැනත් එසේ සිතන්න ඇති. නමුත් යේසුස් බියෙන් සැඟවුණේවත් පලා ගියේවත් බොරුවක් කියා ගැලවීමට තැත් කළේවත් නැහැ. ඔහු සන්සුන්ව, “ඒ මමයි” කියා පවසනවා. ඔහු තුළ තිබූ සන්සුන්කමත් එඩිතරකමත් දුටු විට මැර පිරිස පුදුමයටත් බියටත් පත් වී පස්සෙන් පස්සට ගොස් බිම ඇද වැටෙනවා!—යොහන් 18:1-6; මතෙව් 26:45-50; මාක් 14:41-46.
4-6. (අ) දෙවිගේ පුත්‍රයාව සමාන කර තිබෙන්නේ කාටද? ඒ ඇයි? (ආ) යේසුස් නිර්භීතකම පෙන්වූ ආකාර තුනක් සඳහන් කරන්න.
4 එවැනි භයානක තත්වයකදී යේසුස් සන්සුන්ව සිටියේ කොහොමද? ඒ ඔහු නිර්භීත කෙනෙකු වූ නිසයි. එය නායකයෙකුට තිබිය යුතුම ගුණාංගයක්. එවැනි නායකයෙකුට ජනයා ගරු කරනවා. යේසුස් තරම් නිර්භීත ලෙස කටයුතු කළ කෙනෙක් තවත් නැහැ. කලින් පරිච්ඡේදයේ අපි යේසුස් කොතරම් නිහතමානීද කියා දැනගත්තා. ඇත්තෙන්ම ඔහුව “බැටළු පැටවා” කියා හැඳින්වීම උචිතයි. (යොහන් 1:29) නමුත් ඔහු නිර්භීත කෙනෙකු වූ නිසා “යූදා ගෝත්‍රයෙන් පැමිණි සිංහයා” කියාද බයිබලයේ ඔහුව හඳුන්වනවා.—එළිදරව් 5:5.
5 සිංහයෙක් ගැන සිතන විට නිතැතින්ම අපගේ මනසට නැඟෙන්නේ උගේ නිර්භීතකමයි. ඔබ කිසියම් දිනක කේසර සිංහයෙක් ඉදිරියේ මුහුණට මුහුණලා සිටගෙන තිබෙනවාද? එසේ සිටියා නම් ඒ, සත්තු වත්තක කූඩුවක සිටි සිංහයෙකු ඉදිරියේ විය යුතුයි. එසේ කූඩුවක් තුළ සිටින සිංහයෙකු දෙස වුණත් එක එල්ලේ බලා සිටිද්දී ඔබේ සිතට බියක් දැනෙන බව ස්ථිරයි. නමුත් කවදාවත් සිංහයෙක් ඔබට භය වී ආපස්සට පියවරක් තබයිද? කෙදිනකවත් නැහැ! බයිබලයේ සිංහයා ගැන පවසන්නේ මෙවැනි දෙයක්. “වනසතුන් අතරින් බලවතා සිංහයාය. ඌ කිසිවෙකුට භයෙන් හැරී එන්නේ නැත.” (හිතෝපදේශ 30:30) ක්‍රිස්තුස්ට තිබුණේ එවැනිම නිර්භීතකමක්.
6 අප දැන් සලකා බලන්නේ යේසුස් සිංහයෙකු මෙන් නිර්භීතව ක්‍රියා කළ ආකාර තුනක් ගැනයි. ඔහු සත්‍යය වෙනුවෙන් නිර්භීතව කතා කළ ආකාරයත් යුක්තිය වෙනුවෙන් නිර්භීතව නැඟී සිටි ආකාරයත් නිර්භීතව පීඩාවලට මුහුණ දුන් ආකාරයත් අප සලකා බලමු. අපි නිර්භීත පුද්ගලයන් වුණත් නැතත් අපට යේසුස්ගේ නිර්භීතකම අනුකරණය කළ හැකියි.
සත්‍යය වෙනුවෙන් නිර්භීතව
7-9. (අ) අවුරුදු 12දී යේසුස් කිනම් අද්දැකීමට මුහුණ දුන්නාද? එවැනි අවස්ථාවකදී කුඩා දරුවෙකුට බියක් දැනීම සාධාරණ ඇයි? (ආ) යේසුස් නිර්භීතව කටයුතු කළේ කොහොමද?
7 “බොරුවේ පියා” වන සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකයක සත්‍යය වෙනුවෙන් කතා කිරීමට නම් නිර්භීතකම අවශ්‍යයි. (යොහන් 8:44; 14:30) යේසුස් සත්‍යය වෙනුවෙන් කතා කිරීමට වැඩිහිටියෙක් වන තුරු බලා සිටියේ නැහැ. ඔහු ඒ වෙනුවෙන් පියවර ගත්තේ අවුරුදු 12දීයි. ඒ, පාස්කු උත්සවය සඳහා යෙරුසලමට ගිය අවස්ථාවේදීයි. ඔවුන් ආපසු එමින් සිටියදී යේසුස්ගේ දෙමාපියන් වන යෝසෙප්ට සහ මරියාට යේසුස්ව මඟ හැරුණා. ඔවුන් දවස් තුනක් පුරා උමතුවෙන් මෙන් යේසුස්ව සෙව්වා. අන්තිමේදී ඔවුන්ට යේසුස්ව සොයාගැනීමට හැකි වුණේ දේවමාලිගාවේදීයි. ඔහු ඒ අවස්ථාවේ “සිටියේ දේවමාලිගාවෙහි ගුරුවරුන් සමඟය. ඔහු ඔවුන්ට සවන් දෙමින් ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින්” සිටියා. (ලූක් 2:41-50) දේවමාලිගාවේ සිදු වූ එම සාකච්ඡාවේ පසුබිම සලකා බලමු.
8 ඉතිහාසඥයන් පවසන ආකාරයට, ඉහළ පෙළේ පූජකවරු පුරුද්දක් හැටියට උත්සව අවස්ථාවන්ට පසුව දේවමාලිගා මළුවේ රැඳී සිටිමින් ජනයාට ඉගැන්වූවා. ජනයාද ඔවුන්ගේ පාමුල ඉඳගෙන ඔවුන්ට සවන් දෙමින් ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න ඇසුවා. එම පූජකවරුන් හසළ දැනුමක් තිබූ අයයි. මෝසෙස්ට දුන් නීතිය පිළිබඳවත් මනුෂ්‍යයන් විසින් වසර ගණනාවක් පුරා හඳුන්වා දී තිබූ බොහෝ නීති හා සම්ප්‍රදායන් පිළිබඳවත් ඔවුන්ට පුළුල් දැනුමක් තිබුණා. ඔබ එවැනි අය ඉදිරියේ සිටියා නම් ඔබට යම් චකිතයක් දැනෙන්නේ නැද්ද? ඔබ අවුරුදු 12ක දරුවෙක්ව සිටියා නම් ඔබට ඊටත් වඩා චකිතයක් දැනෙන බව නිසැකයි. මන්ද සාමාන්‍යයෙන් කුඩා දරුවන් ලැජ්ජාශීලීයි. (යෙරෙමියා 1:6) ඔවුන්ව පාසැලේදී ගුරුවරුන් යම් දෙයක් කීමට හෝ කිරීමට තෝරාගනියි යන බිය නිසා ගුරුවරුන්ගේ අවධානයට ලක් වීමට දරුවන් අකමැතියි. අන් අය ඉදිරියේ ලැජ්ජාවට හෝ සමච්චලයට ලක් වීමට එවැනි දරුවන් තුළ බියක් තිබෙනවා.
9 නමුත් යේසුස් එම දැන උගත් පූජකයන් ඉදිරියේ කිසිදු බියක් සැකක් හෝ චකිතයක් නොමැතිව ඉතා බුද්ධිමත්ව ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවා. ඒ විතරක් නොවෙයි, “ඔහුට තිබුණු අවබෝධය ගැන හා ඔහු පිළිතුරු දුන් ආකාරය ගැන ඔහුට සවන් දෙමින් සිටි සියලුදෙනා කොතරම් පුදුම වුණාද කිවහොත් ඔවුන්ට එය අදහාගැනීමටවත් නොහැකි විය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:47) යේසුස් ඒ අවස්ථාවේදී පැවසූ දේවල් ගැන බයිබලයේ සඳහන් නොවුණත් එවකට සිටි ගුරුවරුන් ඉගැන්වූ බොරු දේවල් ඔහුගේ මුවින් පිට නොවූ බව නම් ස්ථිරයි. (1 පේතෘස් 2:22) ඔහු නිර්භීතව කතා කළේ දෙවිගේ වචනයේ තිබූ සත්‍යය ඉගැන්වීම් ගැනයි. එසේනම් අවුරුදු 12ක් තරම් කුඩා දරුවෙක් වූ ඔහුට තිබූ අවබෝධය හා නිර්භීතකම ගැන ඒ අවට සිටි අයට අදහාගත නොහැකි වීම පුදුමයක් නොවෙයි.
10. අද දින සිටින දරුදැරියන් යේසුස් මෙන් නිර්භීතව කටයුතු කරන්නේ කොහොමද?
10 අද දින සිටින සැබෑ ක්‍රිස්තියානි දරුදැරියන් බොහෝදෙනෙක් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරනවා. ඔවුන් යේසුස් මෙන් පරිපූර්ණ නොවුණත් ඔවුන්ද බාල වියේදීම දෙවි ගැන අන් අයට පහදා දීමට උනන්දු වෙනවා. ඔවුන් පාසැලේදී හෝ තම අසල්වැසියන් සමඟ තමන්ගේ විශ්වාසයන් ගැන කතා කරන්නේ ඥානවන්තවයි. ඒ සඳහා ඔවුන් ප්‍රශ්න අසමින් ඒ අයට හොඳින් සවන් දෙමින් ගෞරවනීය ආකාරයෙන් කටයුතු කරනවා. (1 පේතෘස් 3:15) තම පාසැල් මිතුරන්, ගුරුවරුන් හා අසල්වැසියන් අතරින් බොහෝදෙනෙකුට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කරන්න ඒ දරුදැරියන්ට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ නිර්භීතකම ගැන යෙහෝවා දෙවි කොතරම් සතුටු වෙයිද! බයිබලයේ ඔවුන්ව සමාන කර තිබෙන්නේ හිමිදිරියේ පතිත වන පිනි බිඳුවලටයි. මන්ද එවැනි දරුවන් බොහෝදෙනෙක් සිටින අතර ඒ සෑමදෙනාම දෙවිට ප්‍රසන්නයි.—ගීතාවලිය 110:3.
11, 12. වැඩිහිටියෙක් වූ පසු යේසුස් සත්‍යය වෙනුවෙන් නිර්භීතව කතා කළේ කොහොමද?
11 යේසුස් වැඩිහිටියෙක් වූ පසුවත් සත්‍යය වෙනුවෙන් නිර්භීතව කතා කළා. යේසුස් තම දේවසේවය ආරම්භ කළ විගස ඔහුට මුහුණ දීමට සිදු වුණේ භයානක අද්දැකීමකටයි. යෙහෝවා දෙවිගේ ප්‍රධාන හා බලවත්ම සතුරා වන සාතන් ඔහුව වරදකට හසු කරගන්න තැත් කළා. යේසුස් ඒ තත්වයට මුහුණ දුන්නේ බලවත් අග්‍රදේවදූතයා ලෙස නොව සාමාන්‍ය මිනිසෙකු ලෙසයි. සාතන් දෙවිගේ වදන්වල අදහස විකෘති කිරීමට දැරූ උත්සාහය යේසුස් ප්‍රතික්ෂේප කළා. ඔහු ඒ අවස්ථාවේදී “සාතන්, අහකට යන්න” කියා නිර්භීතව පැවසුවා.—මතෙව් 4:2-11.
12 යමෙකු දෙවිගේ වදන්වල අදහස විකෘති කිරීමට උත්සාහ දරන විට නිර්භීතව එය නිවැරදි කරන ආකාරය සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් තැබුවා. අද මෙන් එදත් නොයෙකුත් ආගමික මත තුළින් මිනිසුන්ව මුළා කිරීම සුලභව දක්නට ලැබුණා. එදා සිටි ආගමික නායකයන්ට යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ සම්ප්‍රදායන් රැකගැනීමට ඔබ දෙවිගේ වචනය අවලංගු කරනවා.” (මාක් 7:13) එම ආගමික නායකයන්ව ජනයා ඉතාමත් ගෞරවයෙන් සැලකුවත් යේසුස් ඔවුන්ට කුහකයන් * හා අන්ධ මඟ පෙන්වන්නන් කියා චෝදනා කිරීමට බිය වුණේ නැහැ. (මතෙව් 23:13, 16) යේසුස් මෙන් නිර්භීතව කටයුතු කරන්න අපට පුළුවන්ද?
13. යේසුස්ව අනුගමනය කිරීමේදී අප අමතක නොකළ යුතු දේ කුමක්ද? අපට ලැබී ඇත්තේ කුමන භාග්‍යයද?
13 යේසුස්ට මෙන් අන් අයගේ සිතේ තිබෙන දේ දැනගැනීමට හැකියාවවත් අන් අයව විනිශ්චය කිරීමට අයිතියවත් අපට නැති බව අප මතක තබාගත යුතුයි. නමුත් අපට ඔහු මෙන් සත්‍යය වෙනුවෙන් නිර්භීතව කතා කරන්න පුළුවන්. උදාහරණයකට, නොයෙක් ආගම්වල දෙවි ගැනත් ඔහුගේ වචනය සහ අරමුණ ගැනත් උගන්වන දේ අසත්‍ය බව අපට පෙන්වා දෙන්න පුළුවන්. එමගින් සාතන්ගේ බොරු ප්‍රචාරයන් නිසා අඳුරු වී තිබෙන මේ ලෝකයට ආලෝකයක් ලබා දීමට අපට හැකියි. (මතෙව් 5:14; එළිදරව් 12:9, 10) බොරු ඉගැන්වීම් නිසා බියෙන් සිටින හා දෙවිගෙන් දුරස් වී සිටින ජනයාට අප දෙවි ගැන හරි අවබෝධයක් ලබා දෙනවා. ඒ නිසා ඔවුන්ට සහනයක් අද්දකින්න හැකි වී තිබෙනවා. “සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” කියා යේසුස් පැවසූ වදන් ඉටු වන ආකාරය දකින්න ලැබීම අප ලැබූ භාග්‍යක්!—යොහන් 8:32.
අයුක්තිය ඉදිරියේ නිර්භීතව
14, 15. (අ) ‘යුක්තිය යනු කුමක්ද’ කියා යේසුස් පෙන්වූයේ කෙසේද? (ආ) යේසුස් සමරිතානු ස්ත්‍රිය සමඟ කතා කිරීමෙන් වැරදි බව පෙන්වා දුන්නේ කුමන මතයද?
14 ‘යුක්තිය යනු කුමක්ද’ කියා යේසුස් ජාතීන්ට පැහැදිලි කර දෙන බව බයිබලයේ පුරෝකථනය කර තිබුණා. (මතෙව් 12: 18; යෙසායා 42:1) යේසුස් ගැන සඳහන් වූ ඒ දේ ඔහු පොළොවේ ජීවත් වූ කාලයේදී ඉටු වුණා. එනම් ඔහු ජනයා සමඟ සාධාරණව කටයුතු කිරීමෙන් යුක්තිය විදහාපෙන්නුවා. උදාහරණයකට, අන් අයව පහත් කොට සැලකීම වැනි දේවල් එදා සමාජයේ දක්නට ලැබුණා. දේවවචනය හෙළාදකින එවැනි දේවල් ඔහු කිසිසේත් අනුමත කළේ නැහැ.
15 එක් අවස්ථාවකදී සිකාර් නම් නුවරේ ළිඳක් අසල යේසුස්, සමරිතානු ස්ත්‍රියක් සමඟ කතා කරමින් සිටිනවා දුටු ගෝලයන් පුදුමයට පත් වුණා. ඔවුන් පුදුමයට පත් වුණේ යුදෙව්වරු සමරිතානුවන්ව පිළිකුල් කොට සැලකූ නිසයි. ඔවුන් අතර කාලාන්තරයක් පුරා වෛරයක්ද තිබුණා. (එස්රා 4:4) ඒ වගේම සමහර රබ්බිවරු ස්ත්‍රීන්ව පහත් කොට සැලකූ අතර පසුව එවැනි වැරදි මත ඔවුන් ලිඛිත නීති බවට පත් කළා. ඒ නීතිවල පුරුෂයෙක් ස්ත්‍රියෙකු සමඟ ප්‍රසිද්ධියේ කතා කිරීමත් ස්ත්‍රියෙකුට දෙවිගේ නීතිරීති ඉගැන්වීමත් සුදුසු නැති බව සඳහන් වුණා. විශේෂයෙන්ම සමරිතානු ස්ත්‍රීන්ව ඒ කාලයේ සැලකුවේ අපවිත්‍ර අය ලෙසයි. යේසුස් එම අයුක්තිසහගත නීති නොතකමින් ප්‍රසිද්ධියේම සමරිතානු ස්ත්‍රියට ඉගැන්වූ අතර තමා පැමිණීමට සිටි මෙසියස් හෙවත් ගැලවුම්කරු බව ඇයට හෙළි කළා. ඇය අනාචාර ජීවිතයක් ගත කළ ස්ත්‍රියක් වුවත් යේසුස් ඇය සමඟ කතා කිරීමට පසුබට වුණේ නැහැ.—යොහන් 4:5-27.
16. යමෙකු අන් අයව පහත් කොට සලකන විට අපට නිර්භීතකම අවශ්‍ය වන්නේ ඇයි?
16 ඔබ අන් අයව පහත් කොට සලකන අය සමඟ කෙදිනක හෝ ඇසුරු කර තිබෙනවාද? ඔවුන් සමහරවිට වෙනත් ජාතියක අයව අවමානයට ලක් කරමින් විහිළු තහළු කරන්න හෝ විරුද්ධ ලිංගයේ අය ගැන නින්දාසහගත ලෙස කතා කරන්න හෝ අඩු ආර්ථික මට්ටමක සිටින අයව පහත් කොට සලකන්න හෝ පෙලඹෙනවා ඇති. නමුත් යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් එවැනි ආකල්ප අනුමත නොකරන අතර තමන්ගේ සිතේ එවැනි හැඟීමක් පවා තබා ගන්නේ නැහැ. (ක්‍රියා 10:34) එලෙස සාධාරණව කටයුතු කිරීමට නම් අපට නිර්භීතකම තිබිය යුතුයි.
17. දේවමාලිගාවේදී යේසුස් කළේ කුමක්ද? ඔහු එසේ ක්‍රියා කළේ ඇයි?
17 දෙවිගේ සෙනඟව දූෂ්‍ය කරවන බලපෑම්වලින් ආරක්ෂා කිරීමටත් සැබෑ නමස්කාරය පවිත්‍රව තබාගැනීමටත් යේසුස් නිර්භීතව ක්‍රියා කළා. යේසුස් තම දේවසේවය ආරම්භ කළ මුල් කාලයේදී යෙරුසලමේ දේවමාලිගාවේ සිදු වෙමින් තිබූ දේ දැක පුදුමයට පත් වුණා. එය වෙළෙන්දන්ගෙන් හා මුදල් මාරු කරන්නන්ගෙන් පිරී තිබෙනවා දුටු විට ඔහුට දැනුණේ ඉමහත් කෝපයක්. එය සාධාරණ කෝපයක්. යේසුස් ඒ ගිජු වෙළෙන්දන්ව ඔවුන්ගේ වෙළඳ භාණ්ඩ සමඟ එම ස්ථානයෙන් පන්නා දැමුවා. (යොහන් 2:13-17) ඔහුගේ සේවයේ අවසාන කාලයේදීද ඔහු ඒ ආකාරයෙන්ම ක්‍රියා කළා. (මාක් 11:15-18) එලෙස ක්‍රියා කිරීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වන බව යේසුස් දැන සිටියත් ඔහු පසුබට වුණේ නැහැ. ඔහු නිර්භීත ලෙස ක්‍රියා කළේ සැබෑ නමස්කාරය වෙනුවෙන් ඔහුට තිබූ උද්යෝගය නිසයි. ඊට හේතුව ඔහු කුඩා අවදියේ පටන්ම දේවමාලිගාව සැලකුවේ තම පියාගේ ගෘහය ලෙසයි. ඒ කෙරෙහි ඔහුට ඉමහත් ඇල්මක් තිබුණා. (ලූක් 2:49) එහිදී කරනු ලැබූ සැබෑ නමස්කාරයට සිදු වන කැළැල ඔහුට කිසිසේත් දරාගත නොහැකි වුණා.
18. දෙවිගේ නමස්කාරය පවිත්‍රව තබාගැනීම සඳහා අද දින ක්‍රිස්තියානීන් නිර්භීතව කටයුතු කරන්නේ කොහොමද?
18 අද දිනත් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් දෙවිගේ සෙනඟව දූෂ්‍ය කරවන බලපෑම්වලින් ආරක්ෂා කිරීමටත් සැබෑ නමස්කාරය පවිත්‍රව තබාගැනීමටත් වෙහෙස මහන්සි වෙනවා. සෙසු ක්‍රිස්තියානියෙකු අතින් යම් බරපතළ වරදක් සිදු වෙනවා නම් ඔවුන් එය සුළුවට තකන්නේ නැහැ. ඔවුන් නිර්භීතව ඒ ගැන අදාළ පුද්ගලයාට කතා කිරීමට හෝ වැඩිමහල්ලන්ට දැනුම් දීමට නිසි පියවර ගන්නවා. (1 කොරින්ති 1:11) එවිට දෙවිගෙන් දුරස් වී සිටින එම සහෝදරයාට හෝ සහෝදරියට නැවත දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හැකි වෙනවා.—යාකොබ් 5:14, 15.
19, 20. (අ) යේසුස්ගේ කාලයේ සිදු වූ අයුක්තිසහගත දේවල් මොනවාද? යේසුස්ට තිබුණේ කුමන බලපෑමද? (ආ) ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් දේශපාලනයට හා සැහැසික ක්‍රියාවන්ට හවුල් නොවන්නේ ඇයි? එසේ කළ නිසා ඔවුන් අත් කරගත්තේ කුමක්ද?
19 යේසුස් සෑමවිටම සමාජයේ සිදු වෙමින් තිබූ අයුක්තියට එරෙහිව නැඟී සිටියාද? නැහැ. යේසුස් ජීවත් වූ කාලයේදී යුදෙව්වන් සිටියේ රෝම අධිරාජ්‍යය යටතෙයි. ඔවුන්ගේ බලවත් හමුදාව යුදෙව්වන්ට නොයෙකුත් හිංසා පීඩා කළා. රෝමවරුන්ට විශාල බද්දක් ගෙවීමටත් යුදෙව්වන්ට සිදු වුණා. ඒ වගේම ඔවුන්ගේ නමස්කාර කටයුතු නිදහසේ කරගැනීමටවත් ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ නිසා යුදෙව්වන් යේසුස්ව රජෙකු ලෙස පත් කරගැනීමට උත්සාහ දැරුවා. (යොහන් 6:14, 15) යේසුස් ඒ අවස්ථාවේදී කටයුතු කළේ කොහොමද?
20 ඔහුගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැති බව යේසුස් නිර්භීතව පැහැදිලි කළා. ඔහු තම ආදර්ශයෙන් අනුගාමිකයන්ට පෙන්වා දුන්නේ දේශපාලනික ආරවුල්වලට මැදිහත් නොවී දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමට තම සම්පූර්ණ අවධානය යොමු කළ යුතු බවයි. (යොහන් 17:16; 18:36) ඔහුව අත්අඩංගුවට ගැනීමට පිරිසක් පැමිණි අවස්ථාවේදී පේතෘස් ඔවුන්ගෙන් කෙනෙකුට තම කඩුවෙන් පහරක් ගැසුවා. කිසිදු වරදක් නොකළ දෙවිගේ පුත්‍රයාව ආරක්ෂා කිරීමටයි ඔහු එවැනි දෙයක් කළේ. පේතෘස් කළ දේ සාධාරණයි කියා යමෙකුට සිතිය හැකියි. නමුත් යේසුස් තම අනුගාමිකයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද කියා පෙන්වා දුන්නා. ඔහු පේතෘස්ට මෙසේ පැවසුවා. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.” (මතෙව් 26:51-54) අද සිටින යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ටද එවැනි ගැටුම්කාරී අවස්ථාවලදී සාමකාමීව සිටීමට නිර්භීතකම අවශ්‍යයි. ඔවුන් යුද්ධ, සමූලඝාතන, ජාතිවාදී අරගල වැනි සැහැසික ක්‍රියාවල පැති නොගෙන සිටින නිසා සාමකාමී අය ලෙස නම් දරා සිටිනවා. එවැනි කීර්ති නාමයක් ඔවුන්ට ලැබුණේ හරි දේ කිරීමට ඔවුන් තුළ තිබූ නිර්භීතකම නිසයි.
විරුද්ධවාදිකම් හමුවේ නිර්භීතව
21, 22. (අ) යේසුස් මුහුණ දුන් දරුණුතම පීඩාවේදී ඔහුට ලැබුණේ කිනම් උපකාරයද? (ආ) යේසුස් නිර්භීත කෙනෙක් බව අන්තිම මොහොත දක්වා පෙන්නුවේ කොහොමද?
21 තමන් පොළොවට පැමිණි පසු දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වන බව යේසුස් කලින්ම දැන සිටියා. (යෙසායා 50:4-7) ඔහු බොහෝ මරණ තර්ජනයන්ට මුහුණ දුන්නා. මේ පරිච්ඡේදයේ මුලදී විස්තර කරන්නේ ඔහු මුහුණ දුන් අවසාන මරණ තර්ජනය ගැනයි. එවැනි භයානක තත්වයන්වලදී යේසුස් නිර්භීතව ක්‍රියා කළේ කොහොමද? යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු කරමින් සිටියේ කුමක්ද කියා ඔබට මතකද? ඔහු මහත් ඕනෑකමින් යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් සිටියා. “දෙවි ඔහුට සවන් දුන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 5:7) ඒ වගේම යෙහෝවා දෙවි තම නිර්භීත පුත්‍රයාව ශක්තිමත් කිරීමට දේවදූතයෙකුව එව්වා.—ලූක් 22:42, 43.
22 යේසුස් දේවදූතයාගෙන් ශක්තිය ලැබූ පසු “නැඟිටින්න, අපි යමු” කියා තම නියෝජිතයන්ට පැවසුවා. (මතෙව් 26:46) එසේ පැවසීමට කොතරම් නිර්භීතකමක් ඔහුට තිබෙන්න ඇද්ද! තම මිත්‍රයන්ට කිසිවක් නොකරන්න කියා තමා ඒ මැර පිරිසගෙන් ඉල්ලා සිටින්න යන බවත් මිත්‍රයන් තමන්ව අත්හැර දමා යන බවත් ජීවිතයේ දුෂ්කරතම අවස්ථාවට තමන් තනිවම මුහුණ දිය යුතු බවත් ඔහු දැන සිටියා. ඔහුට අසාධාරණ නීති විරෝධී නඩු විභාගයකට මුහුණ දීමටත් අපහාස හා වධ හිංසා විඳිමින් වේදනාකාරී මරණයක් අද්දැකීමටත් සිදු වුණේ තනිවමයි. මේ සියල්ල හමුවේ ඔහුගේ නිර්භීතකම අබ මල් රේණුවක් තරමින්වත් අඩු වුණේ නැහැ.
23. මරණ තර්ජනයට යේසුස් නිර්භීතව මුහුණ දීම, නොසැලකිලිමත් ක්‍රියාවක් නොවෙයි කියා අප දන්නේ කොහොමද?
23 යේසුස් ක්‍රියා කළේ නොසැලකිලිමත් ආකාරයෙන්ද? නැහැ. නොසැලකිමත් කෙනෙක් නිර්භීත කෙනෙක් කියා පැවසිය නොහැකියි. යේසුස් නොසැලකිලිමත් කෙනෙක් නම් තම අනුගාමිකයන්ට සුපරීක්ෂාකාරී වන්න කියාත් දෙවිගේ කැමැත්ත කිරීමේදී නැණවත්ව ක්‍රියා කරන්න කියාත් උගන්වන්නේ නැහැ. (මතෙව් 4:12; 10:16) නමුත් ඔහු මෙම අවස්ථාවේදී මුහුණ දුන් දෙය අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් බව ඔහු දැන සිටියා. එනම් දෙවිගේ අරමුණ ඉටු වීමට එය සිදු විය යුතු වුණා. යේසුස්ගේ අධිෂ්ඨානය වුණේ අන්තිමය දක්වා දෙවිට විශ්වාසවන්ත වීමයි. ඒ නිසා ඔහු එම අවස්ථාවට නිර්භීතව මුහුණ දුන්නා..
24. ඕනෑම පීඩාවක් හමුවේ නිර්භීතව සිටිය හැකියි කියා අපට නිසැක වෙන්න පුළුවන් කොහොමද?
24 යේසුස්ගේ අනුගාමිකයන්ද බොහෝ අවස්ථාවලදී යේසුස් මෙන් නිර්භීතව ක්‍රියා කර තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට පීඩා, නින්දා අපහාස, අත්අඩංගුවට ගැනීම්, සිරදඬුවම්, වධ හිංසා සහ මරණයට පවා මුහුණ දීමට සිදු වුණත් ඔවුන් දෙවිට දක්වන විශ්වාසවන්තකම රැකගෙන තිබෙනවා. යේසුස් මෙන් පරිපූර්ණ නොවන මිනිසුන් එලෙස නිර්භීතව ක්‍රියා කරන්නේ කෙසේද? ඔවුන් එසේ ක්‍රියා කරන්නේ තමන්ගේම ශක්තියෙන් නොවෙයි. යේසුස්ට ලැබුණා හා සමානව ඔහුගේ අනුගාමිකයන්ටද නිර්භීතකම ලැබෙන්නේ දෙවිගෙන්. (ෆිලිප්පි 4:13) එසේනම් ඔබට ඉදිරියේදී කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් ඒ ගැන බිය නොවන්න. යෙහෝවා දෙවිට සෑමවිටම විශ්වාසවන්තව සිටීමට අදිටන් කරගන්න. එවිට නිර්භීතව සිටීමට ඔහු ඔබට උපකාර කරයි. අපේ නායකයා වන යේසුස්ගේ ආදර්ශය ඔබට සැමදා දිරියක් වේවා! ඔහු පැවසුවේ “කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා” කියායි.—යොහන් 16:33.
^ 12 ඡේ. ඒ කාලයේ සිටි ජනයා අනාගතවක්තෘවරුන්ගේ හා ආදිපියවරුන්ගේ සොහොන් ගෙවල්වලට ගරුබුහුමන් කළා හා සමානව රබ්බිවරුන්ගේ සොහොන් ගෙවල්වලටත් ගරුබුහුමන් කළ බව ඉතිහාසඥයන් පවසනවා.