Skip to content

පටුනට යන්න

11වෙනි පරිච්ඡේදය

යොහන් බව්තීස්ත මාර්ගය සූදානම් කරයි

යොහන් බව්තීස්ත මාර්ගය සූදානම් කරයි

මතෙව් 3:1-12 මාක් 1:1-8 ලූක් 3:1-18 යොහන් 1:6-8, 15-28

  • යොහන් දේශනා කරමින් මිනිසුන්ව බව්තීස්ම කරයි

  • හුඟක් අය බව්තීස්ම වෙනවා, ඒත් හැමෝම නෙවෙයි

යේසුස් දේවමාලිගාවේ හිටිය ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අහලා දැන් අවුරුදු 17ක් විතර ගෙවිලා ඉවරයි. අපි දැන් ඉන්නේ ක්‍රි.ව. 29 වසන්ත කාලයේ. යේසුස්ගේ ඥාති සහෝදරයෙක් වුණු යොහන් යොර්දාන් ගඟ අවට මුළු බස්නාහිර පළාතෙම දේශනා කරන නිසා ඔහු ගැන හැමෝම වගේ කතාබහ වෙනවා.

යොහන්ගේ පෙනුම නිසාත් ඔහු කතා කරන දේවල් නිසාත් ඔහුව කැපිලා පෙනෙනවා. ඔටු රෝමවලින් සාදා තිබුණු ඇඳුමක් ඇඳගෙන ඉන්න ඔහු ඉඟටිය වටා සම් පටියක් බැඳගෙනයි ඉන්නේ. ඔහු කෑමට ගන්නේ පළඟැටියන් සහ වනයේ මීපැණි. “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා” කියලා ඔහු හැමෝටම දැනුම් දෙනවා.—මතෙව් 3:2.

යොහන්ගේ පණිවිඩය මිනිසුන්ගේ හිත්වලට කාවදිනවා. ඒ නිසා හුඟක් අය තේරුම්ගන්නවා පසුතැවිලි වෙන්න ඕනෙ කියලා. ඒ කියන්නේ කලින් ජීවත් වුණු විදිහ වැරදියි කියලා තේරුම් අරන් හිතන විදිහ වෙනස් කරගෙන අලුත් ජීවිත රටාවකට හුරු වෙන්න ඕනෙ කියලා ඔවුන් තේරුම්ගන්නවා. ඔහුට සවන් දෙන්න හුඟක් අය ඇවිත් ඉන්නේ ‘යෙරුසලමෙන්, යුදයෙන් සහ යොර්දාන් ගඟ අවට ප්‍රදේශවලින්.’ (මතෙව් 3:5) හුඟක් අය පසුතැවිලි වෙන නිසා යොහන් ඔවුන්ව යොර්දාන් ගඟේ ගිල්වලා බව්තීස්ම කරනවා. ඒ ඇයි?

යොහන් ඒ අයව බව්තීස්ම කරන්නේ ඔවුන් තමන්ගේ වැරදි ගැන පසුතැවිලි වෙලා තියෙන බව සංකේතවත් කරන්නයි. (ක්‍රියා 19:4) ඒත් සමහර අය බව්තීස්ම වෙන්න සුදුසුකම් ලබන්නේ නැහැ. පරිසිවරුන් සහ සද්දුසිවරුන් කියන ආගමික නායකයන් තමන් ළඟට ආවාම ඒ අයව “පොළඟුන්ගෙන් පැවතෙන්නන්” විදිහට හඳුන්වන යොහන් මෙහෙම කියනවා. “ඔබ ඇත්තටම පසුතැවිලි වී ඇත්නම් ඒ බව ඔබේ ක්‍රියාවලින් ඔප්පු කරන්න. ‘අපේ පියා ආබ්‍රහම්’ කියා සිතාගෙන සිටින්න එපා. දෙවිට අවශ්‍ය නම් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන් ලබා දෙන්න පුළුවන්. ගස කපා දැමීමට සියල්ල සූදානම්. දැනටමත් එහි මුල ළඟ පොරොවක් තබා තිබෙනවා. හොඳ පල නොදරන සෑම ගසක්ම කපා ගින්නෙහි දමනු ලබනවා.”—මතෙව් 3:7-10.

යොහන් ගැන හැමෝම කතාබහ වෙනවා. ඔහු දේශනා කරන්නේ ප්‍රබල පණිවිඩයක්. ඔහු හුඟක් අයව බව්තීස්ම කරනවා. ඒ දේවල් නිසා පූජකයන් සහ ලෙවීවරුන් ඔහු ළඟට ඇවිත් “ඔබ කවුද” කියා ඔහුගෙන් අහනවා.

“මම ක්‍රිස්තුස් නොවෙයි” කියලා යොහන් කියනවා.

“එහෙමනම් ඔබ කවුද? ඔබ එලියාද” කියා ඔවුන් නැවතත් ප්‍රශ්න කරනවා.

යොහන් පිළිතුරු දෙන්නේ “මම එලියා නෙවෙයි” කියලයි.

මෝසෙස් කියලා තියෙන විදිහට “එන්න සිටින අනාගතවක්තෘවරයා ඔබද” කියා ඔවුන් නැවතත් අහනවා.—ද්විතීය කතාව 18:15, 18.

“නැහැ” කියා යොහන් පිළිතුරු දෙනවා.

ඔහු කවුද කියලා කොහොම හරි දැනගන්න අදහසින් ඔවුන් මෙහෙම අහනවා. “එහෙමනම් ඔබ කවුද? අපව එවූ අයට අප පිළිතුරක් දිය යුතුයි. ඔබ ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවාද?” යොහන් ඔවුන්ට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “අනාගතවක්තෘ යෙසායා පැවසූ දේ ඔබට මතකද? ඔහු කිව්වේ, ‘යෙහෝවා දෙවිගේ මඟ සමතලා කරන්න’ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය කියායි. ඒ තැනැත්තා මමයි.”—යොහන් 1:19-23.

“ඔබ ක්‍රිස්තුස්වත් එලියාවත් එන්න සිටින අනාගතවක්තෘවරයාවත් නොවෙයි නම් ඇයි ඔබ මිනිසුන්ව බව්තීස්ම කරන්නේ” කියා ඔවුන් නැවතත් යොහන්ගෙන් ප්‍රශ්න කරනවා. යොහන් ඊට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මම බව්තීස්ම කරන්නේ වතුරෙන්. නමුත් ඔබ තවමත් හඳුනාගෙන නැති කෙනෙක් ඔබ අතරෙහිම සිටිනවා. මට පසුව එන තැනැත්තා ඔහුයි.”—යොහන් 1:25-27.

මාර්ගය සූදානම් කරන කෙනා විදිහට තමන් කරන්නේ, රජ වෙන්න නියමිත ක්‍රිස්තුස්ව පිළිගන්න මිනිසුන්ව සූදානම් කරන එකයි කියලා යොහන් පැහැදිලි කරනවා. ඔහු තවදුරටත් මෙහෙම කියනවා. “මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.” (මතෙව් 3:11) “මට පසුව එන තැනැත්තා මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි” කියලත් ඔහු කියනවා.—යොහන් 1:15.

“පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා” කියලා යොහන් පවසන පණිවිඩය ඒ කාලයට මොන තරම් ගැළපෙනවාද! (මතෙව් 3:2) යෙහෝවා දෙවියන් පත් කළ රජු වන යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ සේවය ළඟදීම ආරම්භ කරන බවට එය හැමෝටම ලකුණක් වුණා.