මට හොඳ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?
හැඳින්වීම
මට හොඳ මඟ පෙන්වීම්
හොයාගන්න පුළුවන් කොහෙන්ද?ගැහැනු ළමයිට
පන්තියට අලුතෙන් ආපු පිරිමි ළමයා ගැනමයි ඔයාගේ හිත. ඔයා විතරක් නෙමෙයි, පන්තියේ ඉන්න හැම ගැහැනු ළමයෙක්ම වගේ එයාට ආසයි කියලා ඔයා දන්නවා. මොකද හැමෝම වගේ කතා කරන්නේ ඒ පිරිමි ළමයා ගැනම තමයි. ඔයා වගේ කෙනෙක් පන්තියේ ඉන්නවාද කියලවත් ඒ පිරිමි ළමයා දන්නේ නැතුව ඇති කියලයි ඔයා හිතන්නේ.
හැබැයි දවසක් හිතපු නැති දෙයක් වෙනවා. මේ පිරිමි ළමයා ඔයා දිහා බලලා පොඩි හිනාවක් දානවා. ඒ වෙලාවේ ඔයාගේ ඇඟ සීතල වෙලා යනවා. දන්නෙම නැතුව වගේ ඔයාත් එයාට හිනාවකින් උත්තර දෙනවා. දැන් එයා ඔයා ඉන්න පැත්තට එන්නේ ඔයාත් එක්ක කතා කරන්නයි.
එයා හෙමින්, “ඔයාගේ නම මොකද්ද” කියලා අහනවා.
“මිෂෙල්” කියලා ඔයා කියනවා.
එතකොට එයා කියනවා, “මගේ නම ෂේන්” කියලා.
ඊටපස්සේ ඔයා මෙහෙම අහනවා. “ඔයා මේ ක්ලාස් එකට එන්න පටන්ගත්තේ ළඟදි නේද?”
“ඔව්”
ඔයා මේ ඇත්තටම කතා කරන්නේ ෂේන් එක්ක කියලා ඔයාට අදහගන්නවත් බැහැ.
එතකොටම ෂේන් මෙහෙම අහනවා. “ඒක නෙමෙයි, අපි අද පොඩි පාටියක් දානවා. පන්තියේ සෙට් එකම එනවා. ඔයාත් එන්න කැමතිද?”
ඊටපස්සේ එයා ඔයාට ටිකක් කිට්ටු වෙලා මෙහෙම කියනවා.
“අම්මලගෙන් අහන්න ඕනේ නැහැ. අපිත් අහලා නෙමෙයි එන්නේ. ආවොත් ෆුල් ෆන් එකක් ගන්න පුළුවන්. මොකද කියන්නේ, එනවනේ?”
පන්තියේ වෙන ළමයෙක්ගෙන් ෂේන් එහෙම ඇහුවා නම් එයා එක පයින් පාටියට යන්න කැමති වෙනවා කියලා ඔයා හොඳටම දන්නවා.
හැබැයි ඔයා?
පිරිමි ළමයිට
ඉස්කෝලේ ළමයි දෙන්නෙක් මේ සතියේ දෙපාරක්ම බලෙන් ඔයාට සිගරට් එකක් දෙන්න හැදුවා. අදත් ඒ දෙන්නා ඔයා ඉන්න පැත්තට එනවා. දැන් නම් ඔයාට පොඩි භයකුත් දැනෙනවා.
දෙන්නගෙන් එක් කෙනෙක් මෙහෙම කියනවා. “ආ යාළුවා කොහොමද? අදවත් දුමක් අදිමුද?”
එහෙම කියන ගමන් එයා සාක්කුවට අත දාලා සිගරට් එකක් වගේ ඔතපු දෙයක් අතට අරගෙන ඔයාට දික් කරනවා. එයාගේ අතේ තියෙන්නේ මොකද්ද කියලා ඔයා දන්නවා.
ඒ නිසා ඔයා මෙහෙම කියනවා. “මං එදත් කිව්වානේ ඔයගොල්ලන්ට මං ඕවා බොන්නැහැ කියලා.”
එතකොට අනිත් ළමයා මෙහෙම කියනවා. “ඔයාගේ ආගම නිසානේ ඔයා මේක බොන්නැත්තේ. මේ වගේවත් ෆන් එකක් ගන්න දෙන්නේ නැති ආගමක් මොකටද හලෝ?”
“ඇත්තටම බොන්නැත්තේ ආගම නිසාද නැත්තං භයටද” කියලා අනිත් කෙනා අහනවා.
“මං මොකට භය වෙන්නද” කියලා ඔයා කියනවා.
දෙන්නගෙන් එක් කෙනෙක් ඔයාගේ කරට අත දාන ගමන් “එහෙනං මේක ගන්න” කියලා හෙමීට කියනවා.
එතකොට අනිත් ළමයා මෙහෙම කියන ගමන් එයාගේ අතේ තියෙන දේ ඔයාට ආපහු දෙනවා. “භය වෙන්න එපා, ඔයා මේක බිව්වා කියලා අපි කාටවත් කියන්නේ නැහැ.”
දැන් ඔයා මොකද කරන්නේ?
ලෝකේ හැම රටකම වගේ ඉන්න යෞවනයන් නිතරම ඒ වගේ දේවල්වලට මුහුණ දෙනවා. සමහර යෞවනයන්ට ඒ වගේ අවස්ථාවලදී කෙළින් හිතලා තීරණයක් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒත් තවත් සමහරක් යෞවනයන්ට එහෙම කරන එක ටිකක් අමාරුයි. උදාහරණයකට පළවෙනි සිද්ධියේ හිටපු ගැහැනු ළමයා ගැන ටිකක් හිතන්න. සමහරවිට එයා මෙහෙම හිතන්න පුළුවන්. “එකම එකපාරක් විතරක් ඇයි මට ෂේන් එක්ක යන්න බැරි? එයා කොච්චර ලස්සනද!” දෙවෙනි සිද්ධියේ හිටපු පිරිමි ළමයට හිතෙන්න පුළුවන් මෙහෙම. “දැන් නම් මට ඇති වෙලා. මේක බීලා මාත් එයාලා වගේ තමයි කියලා පෙන්නන්න පුළුවන් නං.”
ඔයාටත් ඒ වගේ අවස්ථාවලදී තීරණයක් ගන්න අමාරුයිද? එහෙමනම් කලකිරෙන්න එපා. මොකද ඒ වගේ අවස්ථාවලදී සැලෙන්නේ නැතුව හරි තීරණයක් ගත්ත යෞවන යෞවනියන් ඉන්නවා. එයාලට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ හරි දේ මොකද්ද කියලා දන්න නිසා විතරක් නෙමෙයි. භය නැතුව හරි දේ පිළිපදින්න ලොකු අධිෂ්ඨානයක් අරගෙන තියෙන නිසයි. ඔයාටත් ඒක කරන්න පුළුවන්.
ඒකට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඉගෙනගෙන ඒවා ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න. බයිබලයේ තියෙන්නේ යෙහෝවා දෙවිගේ වටිනා උපදෙස්. (2 තිමෝති 3:16, 17) ඔයාට මඟ පෙන්වීම් ඕන කරන්නේ ඔයාගේ ජීවිතේ මොන වගේ දේවල්වලටද? පහළ තියෙන විෂයන්වලින් ඔයාට මඟ පෙන්වීම් ඕනේ මොනවටද කියලා බලලා ඒවා ඉස්සරහින් ✔ දාන්න.
□ යාළුවෝ
□ හැඟීම්
හතරවෙනි පස්වෙනි පිටු දිහා බලද්දී ඔයා දකියි මේ පොත කොටස් නමයකට බෙදලා තියෙනවා කියලා. ඒ කොටස් නමයෙන් සාකච්ඡා කරන්නේ උඩ ලකුණු කරන්න තිබුණු විෂයන් නමය ගැන තමයි. ඔයා ලකුණු කළේ කොයි විෂයන්ද? ඒ විෂයන් ගැන කතා කරන කොටස් මුලින්ම කියවන්න. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගෙන ඔයාට තියෙන අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද කියලා ඒවා කියවද්දී ඔයා දකියි. *
ඔයා කියවන විෂය ගැන ඔයාට හැඟෙන විදිහ ලියන්නත් මේ පොත ඔයාට අවස්ථාවක් දෙනවා. උදාහරණයකට හැම පරිච්ඡේදෙකම අන්තිමට, “ඔයාට වැඩක්!” කියලා කොටුවක් තියෙනවා. ඔයා කියවපු පරිච්ඡේදේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න පුළුවන් විදි ගැන ඒකෙ ලියන්න පුළුවන්. ඒ වගේම සමහර පරිච්ඡේදවල තියෙන තොරතුරු ඔයාට අදාළ කරගන්න උදව් කරන කොටුත් මේ පොතේ තියෙනවා. උදාහරණයකට 132-133 පිටුවල තියෙන, “මිත්රයන්ගෙන් පීඩනයක් එන විට” කියන කොටුව ඔයාට උදව් කරනවා අභියෝග අඳුනගෙන ඒවා ජය ගන්න පුළුවන් විදි ගැන හිතලා බලන්න. මේ පොතේ තියෙන හැම කොටසකම අන්තිමට, “මගේ සටහන” කියලා පිටුවකුත් තියෙනවා. ඒ පිටුව තියෙන්නේ ඒ කොටසෙන් ඔයා ඉගෙනගත්ත දෙයක් අදාළ වෙන විදිහ ගැන ලියන්නයි. ඊට අමතරව මේ පොතේ තැනින් තැන “ඔයාට ආදර්ශයක්” කියලා බයිබල් චරිතයක් ගැන විස්තර කරන පිටුවකුත් තියෙන නිසා ඒකෙනුත් ඔයාට ඉගෙනගන්න දේවල් තියෙනවා.
බයිබලයේ කියන්නේ, “ප්රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාවද දියුණු කරගන්න” කියලයි. (හිතෝපදේශ 4:5) කෙනෙක්ට “ප්රඥාව,” “තේරුම්ගැනීමේ හැකියාව” තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එයා හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා දැනගෙන ඉන්න එක විතරක් නෙමෙයි. එහෙම කෙනෙක් හරි දේ කළාම ලැබෙන ආශීර්වාද ගැනත් වැරදි දේ කළාම මොන වගේ නරක ප්රතිඵලවලට මුහුණ දෙන්න වෙනවාද කියලත් තේරුම් අරගෙන ඉන්නවා. ඒක එයාට උදව් වෙනවා අනිත් අයගෙන් එන නරක බලපෑම්වලට අහු වෙන්නේ නැතුව හරි දේ කරන්න.
යෞවනයෙක් හැටියට ඔයා මුහුණ දෙන ප්රශ්නවලට අනිත් යෞවනයනුත් මුහුණ දෙනවා කියලා මතක තියාගන්න. හුඟක් අය ඔයාට තියෙනවා වගේ ප්රශ්නවලට මුහුණ දීලා ජය අරගෙන තියෙනවා. ඒ නිසා ඔයාටත් පුළුවන් ජය ගන්න! යොවුන් සිතේ ගැටලු ඊට විසඳුම්, 2වන පොත හොඳට කියවලා ප්රයෝජන ගන්න. හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලයේ කියලා එතකොට ඔයාට තේරෙයි.
[පාදසටහන]
^ 40 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම මාසෙම පළ කරන පිබිදෙව්! සඟරාවල යෞවනයන් වෙනුවෙන්ම ආපු ලිපි තමයි මේ පොතේ ගොඩක් පරිච්ඡේදවල තියෙන්නේ.