සියරා ලියොන් සහ ගිනියාව
සොල්දාදුවෙක් පුරෝගාමියෙක් වෙයි
මට අවුරුදු 16ක් වෙද්දී කැරලිකරුවන් බලෙන් එයාලගේ හමුදාවට මාව බඳවාගත්තා. එයාලා මට මත්පැන් සහ මත්ද්‍රව්‍ය දුන්නා. ගොඩක් වෙලාවට මම සටන් කළේ ඒවාවලින් මත් වෙලා. කිසිම හිතක් පපුවක් නැති විදිහට මිනිස්සුන්ට සලකපු එක ගැන මම අදටත් දුක් වෙනවා.
දවසක් වයසක සාක්ෂිකරුවෙක් අපේ හමුදා බැරැක්කයට ආවා. හුඟක් අය අපිත් එක්ක කතා කරන්න බයයි. අපිව සැලකුවේ හරිම පහත් විදිහට. ඒත් එයාට ඕන වුණා බයිබලේ තියෙන දේවල් අපිටත් කියලා දෙන්න. එයාලගේ රැස්වීමට එන්න කියලා කිව්වාම, මම කැමති වුණා. එදා රැස්වීමේ කියපු දේවල් නම් මට මතක නෑ. ඒත් එයාලා මාව ආදරෙන් පිළිගත්ත එක නම් හොඳට මතකයි.
යුද්ධය දරුණු වෙද්දී මට සාක්ෂිකරුවන්ව මුණ ගැහෙන්න තිබුණ අවස්ථා මඟහැරුණා. ඊටපස්සේ මට දරුණු විදිහට තුවාල වුණ නිසා සනීප වෙනකල් කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබුණ තැනකට මාව යැව්වා. ඒ කාලයේදීම වගේ මට රජයේ හමුදා පාලනය යටතේ තිබුණ ප්‍රදේශයකට පැනගන්න පුළුවන් වුණා. එහිදී මාව පුනරුත්තාපන කඳවුරකට යැව්වා.
මට දෙවි ගැන දැනගන්න ලොකු වුවමනාවක් තිබුණා. ඒ නිසා මම ගියා පෙන්තකොස්ත සභාවකට. ඒත් ඒ සභාවේ අය මට කිව්වේ “සාතන්” කියලා. ඒ නිසා මම සාක්ෂිකරුවන්ව හොයාගෙන බයිබලය පාඩම් කෙරුවා. එයාලගේ රැස්වීම්වලටත් ගියා. මගේ අතින් වෙච්ච වැරදි ගැන සහෝදරයන්ට කිව්වාම, එයාලා මට යේසුස් කිව්ව මේ වචන ටික පෙන්නුවා. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ . . . මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.”—මතෙ. 9:12, 13.
ඒ වචන ටික මගේ හිතට කොච්චර කාවැදුණාද කිව්වොත් මට බයිබලය කියලා දුන්න සහෝදරයාට මගේ ළඟ තිබුණ කිනිස්ස දීලා මෙහෙම කිව්වා. “මේක තියං හිටියේ මගේ ආරක්ෂාවට. ඒත් දැන් මං
දන්නවා යෙහෝවා දෙවිත් යේසුත් මට කොයිතරම් ආදරේද කියලා. මේක දැන් මට වැඩක් නෑ.”සහෝදරයෝ මට ලියන්න කියවන්නත් ඉගැන්නුවා. පස්සේ මම බව්තීස්ම වුණා. දැන් මම ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවය කරනවා. කලින් මාත් එක්ක හිටපු සෙබළුන්ට දේශනා කරද්දී එයාලා කියනවා මං අද ගත කරන ජීවිතය ගැන එයාලා සතුටු වෙනවා කියලා. මං කලින් හිටිය හමුදා කණ්ඩායමේ නායකයෙකුත් මාත් එක්ක දැන් බයිබලය පාඩම් කරනවා.
මං හමුදාවේ ඉන්න කාලේ මට දරුවෝ තුන්දෙනෙක් හිටියා. මට ඕන වුණා එයාලටත් සත්‍යය කියලා දෙන්න. පුතාලා තුන්දෙනාගෙන් දෙන්නෙක් පාඩම් කරන්න කැමති වුණා. එක පුතෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක්. ලොකු පුතා දැන් සහායක පුරෝගාමියෙක්.