සියවසකට පෙර - 1914
“වෙන කවරදාකටත් වඩා 1914දී බොහෝදෙනෙක්ට ශුභාරංචිය දැනුම් දීමට අවස්ථාව ලැබෙයි කියලා අපිට විශ්වාසයි.” එසේ සඳහන් වුණේ 1914 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවෙයි. බයිබල් ශිෂ්‍යයන් දශක ගණනාවක සිට උනන්දුවෙන් බලා සිටි සුවිශේෂී වසරක් වන 1914 උදා වුණා. ඒ වෙද්දීත් ඔවුන් වෙහෙස මහන්සි නොබලා සේවයේ නියැලෙමින් සිටියා. ඔවුන් ගත් වෑයමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අවුරුද්දේ මිලියන ගණන් ජනයාට ශුභාරංචියට ඇහුම්කන් දෙන්න අවස්ථාව උදා වුණා. නමුත් ලෝකය ගමන් කරමින් සිටියේ වෙනස්ම දිශාවකටයි.
ප්රචණ්ඩත්වය වැඩි වූ වසරක්
1914 මුල් කාලයේදී ඇමරිකාවේ ගල් අඟුරු ආකාරවල වැඩ කරමින් සිටි සේවකයන් පිරිසක් වර්ජනයක් කළ නිසා සමාගමේ නිල නිවාසවලින් ඔවුන්ව පන්නා දැමුවා. ඒ නිසා ඔවුන්ට ජීවත්වෙන්න සිදු වුණේ කූඩාරම්වලයි. අප්‍රියෙල් 20වෙනිදා ආරක්ෂක නිලධාරීන් සහ සේවකයන් අතර ඇති වූ ගැටුමේදී එම කූඩාරම්වලටද ගිනි තැබුවා. එයින් වියරු වැටුණු සේවකයන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් බොහෝදෙනෙකුව මරා දැමූ අතර එය සමතයකට පත් වුණේ හමුදාවේ මැදිහත් වීමෙනුයි. පුරුෂයන්, කාන්තාවන් සහ දරුවන් බොහෝදෙනෙකුගේ ජීවිත අහිමි වූ එම සිදුවීම ඇමරිකාවේ කම්කරු වැඩ වර්ජන ඉතිහාසයේ එතෙක් සිදු වූ දරුණුතම සිද්ධියයි.
යුරෝපයේ තිබුණේ ඊටත් වඩා දරුණු තත්වයක්. 1914 ජූනි 28වෙනිදා බොස්නියාවේ සර්බියානු ජාතික තරුණයෙක්, ඔස්ට්‍රියාවේ ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාව වෙඩි තබා මරා දැමුවා. එය මුල පිරුවේ පළවෙනි ලෝක මහා යුද්ධයටයි. එම වසර අවසාන වෙද්දී මුළු යුරෝපයම යුද්ධයට පැටලී සිටියා.
දේශනා සේවයට දිරිගැන්වූ සමුළු
මුළු ලෝකයම යුද්ධය නිසා පීඩා විඳිද්දී බයිබල් ශිෂ්‍යයන් එකිනෙකාව දිරිගැන්වූයේ දේශනා සේවයේ කඩිසරව හවුල් වීමටයි. අප්‍රියෙල් 10වෙනිදා පළමු වතාවට දකුණු අප්‍රිකාවේ සමුළුවක් පැවැත්වූවා. එයට සහභාගි වුණේ 34දෙනයි. ඒ ගැන සහෝදර විලියම් ජොන්ස්ටන් මෙහෙම කිව්වා. “එතන හිටියේ හරිම ටිකදෙනයි. එයාලගෙන් සහෝදරයන් 8දෙනෙක් සහ සහෝදරියන් 8දෙනෙක් එදා බව්තීස්ම වුණා.” සමුළුව අවසානයේ, දේශනා සේවය තවත් වැඩි කරන්න පුළුවන් කොහොමද කියා ඔවුන් සාකච්ඡා කළා. අද ඒ කුඩා කණ්ඩායම 90,000ක් දක්වා වර්ධනය වෙලා.
1914 ජූනි 28වෙනිදා එනම් ආදිපාදවරයාව ඝාතනය කළ දවසේ ඇමරිකාවේ බයිබල් ශිෂ්‍යයන් සිටියේ ක්ලින්ටන් නගරයේ සමුළුවකට සහභාගි වෙමින්. එහිදී සහෝදර මැක්මිලන් මෙහෙම කිව්වා. “දෙවිගෙන් තෑග්ග ලබාගන්න කැමති නම් කඩිසරව දෙවිගේ
කැමැත්ත කරමින්, නිතරම ශුභාරංචිය අන් අයට කියන්න සූදානමින් ඉන්න ඕන.”මිලියන ගණනකගේ සිත්ගත් “ෆොටෝ ඩ්‍රාමා”
“ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහනට බයිබල් දේශන, දර්ශන පට සහ වීදුරු කාචවලින් තිරයේ දිස් වන පින්තූර ඇතුළත් වුණා. එම පින්තූරවලට සමගාමීව පටිගත කරන ලද සංගීතයක්ද වාදනය කළා. එය මුලින්ම ප්‍රදර්ශනය කළේ 1914 ජනවාරි 11වෙනිදා නිව් යෝර්ක් නගරයේදීයි. මුල් දර්ශනයට 5,000ක් පැමිණි අතර ශාලාව පිරී තිබූ නිසා බොහෝදෙනෙක්ට ආපසු හැරී යන්න සිදු වුණා.
එම වැඩසටහන නිෂ්පාදනය කිරීමට අවුරුදු දෙකක කාලයක් වැය වුණා. “ජනවාරි මාසයේ එය ප්‍රදර්ශනය කළේ නිම වූ සැණින්මයි” කියා ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණා. 1914 මුල් කාලයේදී එයට තවත් අංග එකතු කළා. උදාහරණයකට එම වැඩසටහන නිෂ්පාදනය කළේ කවුද කියා පැහැදිලි කරමින් සහෝදර රසල් ඉදිරිපත් කරන කෙටි හැඳින්වීමක් එයට එකතු කළා.
මුල් කාලයේදී එම වැඩසටහන එකවර නගර 80ක ප්‍රදර්ශනය කළා. 1914 ජූලි මාසය වන විට බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ සහ ලන්ඩන් යන නගරවලත් එය ප්‍රදර්ශනය කරන්න පටන්ගත්තා. සැප්තැම්බර් මාසය වන විට එය ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ජර්මනිය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය යන රටවලද ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවලද ප්‍රදර්ශනය කළා. “ෆොටෝ ඩ්‍රාමා” ප්‍රදර්ශනය කළ මුල් වසරේදී පමණක් එය නැරඹීමට මිලියන 9කට වඩා පැමිණ තිබුණා.
“ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහනේ සෑම පිටපතකටම වීදුරු කාච සිය ගණනක්ද දර්ශන පට බොහෝමයක්ද පටිගත කළ තැටි ගණනාවක්ද ඇතුළත් වුණා. ඒ නිසා එම පිටපත් නිපදවන්න අධික මුදලක් වැය වුණු අතර ප්‍රදර්ශනය කිරීමට පුහුණුව ලැබූ සහෝදර සහෝදරියන්ද අවශ්‍ය වුණා. ඒ හේතුව නිසා සම්පූර්ණ “ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන ප්‍රදර්ශනය කළේ විශාල නගරවල පමණයි. ඈත පළාත්වල ප්‍රදර්ශනය කිරීමට එහි කෙටි වැඩසහන් තුනක් නිපදෙව්වා. ඉන් එකක් හැඳින්වූයේ “යුරේකා ඩ්‍රාමා Y” ලෙසයි. එයට
වීදුරු කාච, පටිගත කළ බයිබල් දේශන සහ සංගීතය ඇතුළත් වුණා. “යුරේකා ඩ්‍රාමා X” සහ කෙටිම වැඩසටහන වූ “යුරේකා ෆැමිලි ඩ්‍රාමා” යන අනිත් වැඩසටහන් දෙකට ඇතුළත් වුණේ පටිගත කළ දේශන හා සංගීතය පමණයි. 1914 අවසන් වෙද්දී ඇමරිකාවේ පමණක් 70,000කට වඩා වැඩි පිරිසක් එම වැඩසටහන් නරඹා හෝ අසා තිබුණා.සේවයට කැප වූ කෝල්පෝටර්වරු සහ ස්වේච්ඡා සේවකයන්
“ෆොටෝ ඩ්‍රාමා” වැඩසටහන බොහෝදෙනෙකුගේ සිත් ගත්තත් මුල් තැන දිය යුත්තේ දේශනා සේවයටයි කියා බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා. දැන් පුරෝගාමීන් ලෙස හඳුන්වන එදා සිටි කෝල්පෝටර්වරුන්ට සහෝදර රසල් එවූ ලිපියක මෙහෙම සඳහන් වුණා. “මේ කාලයේදී කරන්න ඕන වැදගත්ම දේ දේශනා සේවය. කෝල්පෝටර්වරුන් දේශනා සේවයට අවධානය දිය යුතු නිසා ඔවුන්ව ‘ෆොටෝ ඩ්‍රාමා’ වැඩසටහනේ වැඩකටයුතුවලින් නිදහස් කරනවා. අනෙක් සහෝදර සහෝදරියන් මේ වැඩසටහනට දායක වෙයි.”
1914 ජනවාරි මාසය වන විට කෝල්පෝටර්වරුන් 850දෙනෙක් සිටියා. ඒ අවුරුද්දේදී ඔවුන් ‘ශුද්ධ ලියවිලි තුළින් අධ්‍යයනය’ (Studies in the Scriptures) යන ප්රකාශනයේ පිටපත් 7,00,000කට වඩා බෙදා හැරියා. එක් ‘මුරටැඹ’ සඟරාවක එහි පාඨකයන්ව මෙසේ උනන්දු කළා. “දුෂ්කරතා මැද්දේ කෝල්පෝටර්වරුන් කරන සේවය අගය කරන්න. ඔවුන්ව දිරිගැන්වෙන විදිහට කතා කරන්න.”
අනිත් බයිබල් ශිෂ්‍යයන්ද භාෂා බොහෝ ගණනකින් පත්‍රිකා බෙදා හැරියා. ඔවුන් 1914 වසර තුළ ‘බයිබල් ශිෂ්‍යයන්ගේ මාසිකය’ (The Bible Students Monthly) සහ වෙනත් පත්‍රිකා මිලියන 47කට වඩා බෙදා හැරියා.
බයිබල් ශිෂ්‍යයන්ගේ මේ ක්‍රියාකාරකම් බොහෝදෙනෙක්ගේ අවධානයට ලක් වුණා. ඔවුන් දේශනා කළෙත් රැස්වීම් පැවැත්වූවෙත් නොමිලේ. ඒ ගැන එක් පූජකයෙක් කළකිරීමෙන් මෙහෙම කිව්වා. “වැඩි කල් යන්න කලින් මිනිස්සු හිතයි අපි සල්ලි එකතු කරන එක අසාධාරණයි කියලා. එහෙම වුණොත් අපිට මොනවා වෙයිද? පාස්ටර් රසල් නිසා මිනිස්සුන්ට අපි ගැන තියෙන ගෞරවය නැති වෙනවා.”
ජාතීන් සඳහා නියමිත වූ කාලය අවසන්
ලූක් 21:24හි සඳහන් “ජාතීන් සඳහා නියමිත වූ කාලය” 1914 ඔක්තෝබර් 1වෙනිදා පමණ වන විට අවසන් වෙයි කියා බයිබල් ශිෂ්‍යයන් විශ්වාස කළා. ඔක්තෝබර් මාසය ළං වෙද්දී ඔවුන් සිටියේ ඇඟිලි ගනිමින්. සමහරුන් ඒ සඳහා දින ලකුණු කිරීමට කාඩ් පතක්ද ළඟ තබාගෙන හිටියා. හුඟදෙනෙක් හිතුවේ ඒ දවසේදී ඔවුන්ව ස්වර්ගයට ගනියි කියලයි.
1914 ඔක්තෝබර් 2වෙනිදා සහෝදර රසල් බෙතෙල් නිවසේ කෑම කාමරයට ඇවිත් “ජාතීන් සඳහා නියමිත වූ කාලය දැන් ඉවරයි. ලෝක පාලකයන්ට හිමි වී තිබුණු කාලය අවසන් වුණා” කියා නිවේදනය කළා. එහි සිටි හුඟදෙනෙක්ට ඔවුන්ගේ ගීතිකා පොතේ 171වෙනි ගීතිකාවේ වදන් සිහියට නැඟෙන්න ඇති. 1879 සිට බයිබල් ශිෂ්‍යයන් ගායනා කළ ඒ ගීතිකාවේ සඳහන් වුණේ “ජාතීන් සඳහා නියමිත වූ කාලවල් අවසානය කරා ළං වෙනවා” කියලයි. ඒත්
දැන් ඒ කාලය අවසන් වෙලා. ඒ නිසා කාලයක් ගිය පසු ගීතිකා පොත්වලත් යම් වෙනස්කම් කිරීමට සිදු වුණා.ඒ අවුරුද්ද අවසාන වෙද්දී යේසුස් ස්වර්ගයේ රජ වූ නිසා සමහර බයිබල් ශිෂ්‍යයන් සිතුවේ ඔවුන්ගේ වැඩ අවසන් කියලයි. පරීක්ෂා රැසකට මුහුණ දීමටත් විශ්වාසය සෝදිසියට ලක් වීමටත් කාලය ඇවිත් කියා ඔවුන් කිසිවිටකත් සිතුවේ නැහැ. 1915 වාර්ෂික පදය වුණේ ‘මා බොන්ට යන කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන්ද?’ යන්නයි. (මතෙව් 20:22 පැරණි අනුවාදය) එහි ‘කුසලානය’ ලෙස යේසුස් අදහස් කළේ මරණය දක්වා ඔහු විඳින්න යන සියලු පීඩායි. බයිබල් ශිෂ්‍යයන්ද ඒ හා සමාන බොහෝ පීඩාවලට මුහුණ දීමට නියමිතව තිබුණා. එයට සංවිධානය තුළින් සහ පිටත ලෝකයෙන් එල්ල වන පීඩා ඇතුළත් වුණා. ඒවාට මුහුණ දෙන ආකාරයෙන් දෙවි කෙරෙහි ඔවුන්ට කොතරම් විශ්වාසයක් තිබෙනවාද කියා පෙන්වීමට අවස්ථාව ලැබුණා.