සියවසකට පෙර - 1915
1915 මාර්තු 1වෙනිදා ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “අපි දැන් ඉන්නේ විශ්වාසය සෝදිසියට ලක් වෙන කාලයක. අපි මේ වෙන තුරු සේවය කළේ 1914දී අපිට ලැබෙනවා කියලා බලාපොරොත්තු වුණු ආශිර්වාදය නිසාද, නැත්නම් ස්වාමීන්ට ඔහුගේ පණිවිඩයට වගේම සහෝදරයන්ට තියෙන ප්‍රේමය හා පක්ෂපාතකම නිසාද?” 1915දී සමහර බයිබල් ශිෂ්‍යයන් තමන්ට ඇති වුණු කලකිරීම් එක්ක සටන් කරද්දී මුළු ලෝකයම යෙදී හිටියේ වෙනම සටනකයි.
ඒ වෙද්දී 1වෙනි ලෝක මහා යුද්ධය මුළු යුරෝපයම වෙළාගෙනයි තිබුණේ. යුද්ධයේදී භාවිත කළ යන්ත්‍ර උපකරණවලට මිනිස් ජීවිත හුඟක් බිලි වුණා. උදාහරණයකට 1915දී ජර්මානු සබ්මැරීන දිවා රෑ බ්‍රිතාන්‍යය අවට මුහුදේ සැරිසැරුවේ බ්‍රිතාන්‍ය නැව් මුහුදු බත් කරන්නයි. 1915 මැයි 7වෙනිදා ඔවුන් මඟී නැවකට එල්ල කළ ප්‍රහාරයෙන් 1,100කට වඩා වැඩිදෙනෙක්ගේ ජීවිත මුහුදට බිලි වුණා.
යුද්ධයේදී පැති නොගැනීම
සාක්ෂිකරුවන් යුද්ධ කරන්න කැමති වුණේ නැහැ. ඒත් මොනම විදිහකින්වත් යුද්ධවලට සම්බන්ධ වෙන එක වැරදියි කියලා ඔවුන් තේරුම් අරන් හිටියෙත් නැහැ. ඒ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් හමුදාවට බැඳුණේ නැති වුණත් බලෙන් බඳවාගනිද්දී ඒකට විරුද්ධ වුණෙත් නැහැ. යුධ පිටියට නොයා හමුදාවේ වෙනත් වැඩ කරන්න ඔවුන් කැමති වුණා. යුද්ධ පිටියට යැව්වොත් සතුරාට වෙඩි තියන්නේ නැතුව වෙන කොහේට හරි වෙඩි තියන්න සමහරු තීරණය කරලා තිබුණා.
හංගේරියානු සොල්දාදුවෙක් ගැන විස්තරයක් 1915 ජූලි 15වෙනිදා ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණා. ඔහුට සත්‍යය දැනගන්න ලැබුණේ යුද්ධයෙන් තුවාල වෙලා ප්‍රතිකාර ලබද්දියි. බව්තීස්ම වුණු ඔහු සුව වුණාට පස්සේ නැවතත් යුද්ධයට ගියා. ඔහු මුහුණු දුන් තත්වයක් ගැන සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “හංගේරියානු හමුදාව *
හා රුසියානු හමුදාව අතර තිබුණේ අඩි 800ක පමණ දුරක්. ඒ අවස්ථාවේදී ‘බයිනෙත්තුව (තුවක්කුව අගට සවි කරන උලක් වැනි ආයුධයක්) ලෑස්ති කරගන්න’ කියා හංගේරියානු සෙබළුන්ට අණක් ලැබුණා. අනිත් අය සතුරන්ට ප්‍රහාර එල්ල කළත් හංගේරියානු සහෝදරයාට ඕන වුණේ සතුරාගෙන් ආරක්ෂා වෙන්න විතරයි. ඒ නිසා ඔහු රුසියානු සොල්දාදුවාගේ අතේ තියෙන බයිනෙත්තුව වට්ටන්න උත්සාහ කරද්දී ඔහු දැක්කා රුසියානු සොල්දාදුවත් ඒකම කරන්න හදනවා. කැමැත්තෙන්ම බයිනෙත්තුව බිමට දාපු රුසියානු සොල්දාදුවා අඬන්න පටන්ගත්තා. හංගේරියානු සහෝදරයා ටිකක් ළං වෙලා බලද්දී ඔහු දැක්කා රුසියානු සොල්දාදුවාගේ යුධ ඇඳුමේ ‘කුරුසය සහ ඔටුන්න තිබුණු බැජ් එකක්’ ගහලා තියෙනවා. එතකොට ඔහුට තේරුණා මේ සොල්දාදුවාත් සහෝදරයෙක් කියලා.”“යුද්ධය හා ක්‍රිස්තියානියෙකු සතු වගකීම” යන මාතෘකාවෙන් ලිපියක් 1915 සැප්තැම්බර් 1වෙනිදා ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණා. ඒ ලිපියේ මේ වගේ අදහසක් කියලා තිබුණා. “හමුදාවට බැඳිලා ඒ අය අඳින නිල ඇඳුම අඳිනවා නම් ඒකෙන් පෙන්නන්නේ අපි ඒ අය කරන දේ අනුමත කරනවා කියලයි. ක්‍රිස්තියානියෙක් එහෙම කරන එක හරිද?” ක්‍රිස්තියානීන් මොනම විදිහකින්වත් හමුදා සේවයට සම්බන්ධ වීම සුදුසු නැහැ කියලා කාලයක් යද්දී සාක්ෂිකරුවන් තේරුම්ගත්තා.
සිදු කළ වෙනස්කම්
අරමුදල්වල හිඟයක් ඇති වුණ නිසා 1915දී නිව් යෝර්ක්වල තියෙන බෙතෙල් එකෙන් සහෝදරයන් 70දෙනෙක්ට යන්න සිදු වුණා. ඔවුන්ට ලැබුණු ලිපියේ මෙහෙම සඳහන් වුණා. “අපි ණය වෙන්න හොඳ නැහැ. ඒ වගේම අපේ සේවයට බාධා වෙන කිසිම දෙයක් කරන එකත් වැරදියි. සේවය දිගටම කරගෙන යන්න නම්
අපි අපිට පුළුවන් හැම පැත්තකින්ම වියහියදම් අඩු කරගන්න ඕනෙ.”සහෝදරයන් 70දෙනා වෙනුවෙන් සහෝදර ක්ලේටන් වුඩ්වර්ත් සහ තවත් දෙන්නෙක් එකතු වෙලා සමිතියට මෙහෙම ලිව්වා. “අපි යන්නේ සතුටින්. අපි බෙතෙල් එකේ ඉන්නකොට අද්දැකපු ආශිර්වාද හා වරප්‍රසාද අපි ගොඩක් අගය කරනවා.” ඒ ලිපිය 1915 මැයි 1වෙනිදා ‘මුරුටැඹ’ සඟරාවේ පළ වුණා.
මේ වෙනසට මුහුණ දෙන එක ඔවුන්ට ලේසි වුණේ නැතත් විශ්වාසවන්තකම ඔප්පු කරන්න ඒක කදිම අවස්ථාවක් වුණා. සහෝදර වුඩ්වර්ත් දිගටම සේවය කළ නිසා ඔහුට නැවතත් බෙතෙල් සේවයට එන්න ලැබුණා. 1919දී ‘පිබිදෙව්!’ ( ඒ කාලයේ හැඳින්නුවේ “ද ගෝල්ඩන් ඒජ්” කියලයි) සඟරාවේ පළවෙනි කර්තෘ විදිහට සේවය කරන්න ඔහුට අවස්ථාව ලැබුණු අතර 1946 දක්වාම ඔහු ඒ සේවය කළා.
දිගටම සේවය කිරීමේ වරප්‍රසාදය
1915 දෙසැම්බර් 15වෙනිදා ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “පොත් පත් ඉල්ලපු හැමෝගෙම විස්තර අපි ළඟ තියෙනවා. දෙවි ගැන හා සත්‍යය ගැන ඒ අයට තියෙන උනන්දුව නැති වෙන්න කලින් ඔවුන්ව බලන්න යන එක හොඳයි.” එයින් සහෝදරයන්ට දිරිගැන්නුවේ ඔවුන්ට මොන අසීරුතා තිබුණත් කලින් සත්‍යයට උනන්දුවක් දක්වපු අයට විශේෂ අවධානයක් දෙන්න කියලයි.
අද වගේම එදාත් සහෝදරයන්ට උනන්දු කළේ දේවරාජ්‍යයට මුල් තැන දෙන්න කියලයි. 1915 පෙබරවාරි 15වෙනිදා ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “ඉදිරියටත් දෙවිගේ සේවයේ දිගටම හවුල් වෙන්න. සෝදිසියෙන් ඉන්න. මේ කාලයේදී සාතන් ගේන උගුල්වලින් ආරක්ෂා වෙන්න නම් අපි හොඳ සෝදිසියෙන් ඉන්න ඕන.”
1916 වාර්ෂික පදය වුණේ ‘විශ්වාසය ශක්තිමත් කරගන්න’ කියලයි. (රෝම 4:20) පීඩාවලට නිර්භීතව මුහුණ දෙන්න ඒ පදය සහෝදරයන්ට ලොකු දිරිගැන්වීමක් වුණා.
^ 6 ඡේ. බයිබල් ශිෂ්‍යයන් තමන්ව හඳුනාගන්න තියෙන සංකේතයක් විදිහට කුරුසය සහ ඔටුන්න තිබුණු බැජ් එකක් අවුරුදු ගණනාවක්ම පැළඳුවා. ‘මුරටැඹ’ සඟරාවේ මුල් පිටුවටත් ඒ සංකේතය යෙදුවා. ඔවුන් 1930 ගණන්වල මුල් කාලය වෙන තුරුම එය භාවිත කළා.