නික්මයාම 34:1-35

  • අලුත් ගල් පුවරු දෙකක් ලබා දෙයි (1-4)

  • මෝසෙස් යෙහෝවාගේ තේජස දකියි (5-9)

  • ගිවිසුමට ඇතුළත් වෙන දේවල් ආයෙත් පැහැදිලි කරයි (10-28)

  • මෝසෙස්ගේ මූණෙන් ලොකු දීප්තියක් විහිදෙයි (29-35)

34  ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයාට කලින් දුන්න ගල් පුවරු දෙක වගේ තවත් ගල් පුවරු දෙකක් කපාගන්න.+ ඔයා කඩලා දැම්ම+ ගල් පුවරුවල ලියලා තිබුණ වචනම මම ඒ පුවරු දෙකෙත් ලියන්නම්.+  ඔයා හෙට උදේ සීනයි කන්ද මුදුනට ඇවිත් මගේ ඉස්සරහට එන්න.+  ඔයාත් එක්ක වෙන කාටවත් එන්න දෙන්න එපා. කාටවත් කන්දේ කිසිම තැනක ඉන්න දෙන්නත් එපා. එළුවන්ටවත් බැටළුවන්ටවත් ගවයන්ටවත් කන්ද ළඟ තණකොළ කන්න දෙන්න එපා.”+  ඉතින් මෝසෙස් කලින් තිබුණ ගල් පුවරු දෙක වගේම තවත් ගල් පුවරු දෙකක් කපාගත්තා. යෙහෝවා එයාට අණ කරපු විදිහටම එයා උදෙන්ම නැඟිටලා ඒ ගල් පුවරු දෙකත් අරගෙන සීනයි කන්දට නැග්ගා.  ඊටපස්සේ යෙහෝවා මෝසෙස් හිටපු තැනට වලාකුළකින් බැහැලා ඇවිත්+ යෙහෝවා කියන තමන්ගේ නම ගැන මෝසෙස්ට කියලා දුන්නා.*+  ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්.  මම පරම්පරා දහස් ගාණකට නොසැලෙන ආදරයක් පෙන්නනවා.+ මගේ නීති කඩ කරන, වැරදි කරන, මට අකීකරු වෙන අයට මම සමාව දෙනවා.+ ඒත් දුෂ්ට අයට ලැබෙන්න ඕනෙ දඬුවම මම නොදී ඉන්නේ නැහැ.+ ඒ වගේම පියවරුන්ගේ වැරදි නිසා* එයාලාගේ දරුවන්ටත් එයාලාගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් මං දඬුවම් කරනවා.”+  මෝසෙස් ඒක අහපු ගමන්ම බිම දිගා වෙලා දෙවියන්ට නමස්කාර කළා.  ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, ඔයා මං ගැන සතුටු වෙනවා නම් මං කියන දේ අහන්න. මේ ගමන යන්න අපිත් එක්ක එන්න.+ මං දන්නවා අපි හරිම මුරණ්ඩු සෙනඟක් කියලා.+ ඒත් අපේ අතින් වුණ වැරදිවලටයි, පව්වලටයි සමාව දෙන්න.+ අනේ යෙහෝවා, ඔයාගේ සෙනඟ* විදිහට අපිව පිළිගන්න.” 10  එතකොට දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම දැන් ඔයාත් එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා. මීට කලින් කවදාවත් මේ පොළොවේ කොහෙවත් කරලා නැති පුදුම දේවල් මම ඔයාගේ සෙනඟ ඉස්සරහා කරනවා. වෙන කිසිම ජාතියක් ඉස්සරහා මං ඒ වගේ දේවල් කරලා නැහැ.+ යෙහෝවා වන මං ඔයාලා වෙනුවෙන් කරන පුදුමාකාර දේවල් ඔයාලා අවට ඉන්න ජාතීන් දකියි.+ 11  “අද මං අණ කරන මේ හැම දෙයක්ම ඒ විදිහටම කරන්න.+ අමෝරිවරුන්ව, කානානිවරුන්ව, හිත්තීවරුන්ව, පෙරිස්සිවරුන්ව, හිවීයවරුන්ව සහ යෙබූසිවරුන්ව මම දේශයෙන් පන්නලා දානවා.+ 12  ඔබ යන දේශයේ ජීවත් වෙන අය එක්ක කිසිම ගිවිසුමක් ඇති කරගන්න එපා.+ මොකද එහෙම කළොත් ඒක ඔබේ විනාශයට හේතු වෙයි.*+ 13  ඔබ ඒ අයගේ පූජාසන කඩා දැමිය යුතුයි. නමස්කාර කරන්න ඔවුන් ඉදි කරපු කුලුනුත් කණුත්* කුඩු කරලා දාන්න.+ 14  වෙන කිසිම දෙවි කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්න එපා.+ මොකද යෙහෝවා වන මම බලාපොරොත්තු වෙනවා ඔබ මුළු හිතින්ම මට ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා.*+ ඒක හැමෝම දන්න දෙයක්. මගේ සෙනඟ නමස්කාර කළ යුත්තේ මට විතරයි. 15  ඒ දේශයේ ජීවත් වෙන අය එක්ක කිසිම ගිවිසුමක් ඇති කරගන්න එපා. එහෙම කළොත් ඒ අය ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරමින්* පුදපූජා ඔප්පු කරද්දී ඔවුන් එක්ක එකතු වෙන්න කියලා ඔබටත් කියයි.+ එතකොට ඒ පූජාවලින් කන්න ඔබත් පෙලඹෙයි.+ 16  ඒ වගේම ඔබ ඒ දේශයේ ජීවත් වෙන අයගේ දුවලව ඔබේ පුතුන්ට විවාහ කරලා දෙයි.+ ඒ ස්ත්‍රීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරද්දී ඔවුන් ඔබේ පුතුන්වත් පොලඹවයි ඒ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+ 17  “දෙවිවරුන්ගේ රූප* හදාගන්න එපා.+ 18  “ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මම ඔබට අණ කරපු විදිහට ඔබ දවස් හතක්ම මුහුන් නොදැමූ රොටි කෑ යුතුයි. ආබීබ්* මාසයේ+ මම නියම කරපු දවස්වලදී එහෙම කරන්න. මොකද ඔබ ඊජිප්තුවෙන් පිටතට ආවේ ඒ මාසයෙදියි. 19  “හැම කුලුඳුල් පිරිමි දරුවෙක්ම මට අයිතියි.+ ඒ වගේම ඔබේ ගව රැළේ සහ බැටළු රැළේ ඉන්න හැම කුලුඳුල් පිරිමි සතෙක්ම අයිති මටයි.+ 20  බූරුවන් අතරේ ඉන්න හැම කුලුඳුල් පැටියෙක්වම මුදවගත යුතුයි. ඒ එක් එක් කුලුඳුල් පැටියා මුදවගන්න බැටළුවෙක් ගාණේ දිය යුතුයි. උන්ව මුදවගත්තේ නැත්නම් උන්ගේ බෙල්ල කඩා දැමිය යුතුයි. ඔබේ හැම කුලුඳුල් පුතෙක්වමත් ගෙවීමක් කරලා මුදවගත යුතුයි.+ කවුරුත් මං ඉස්සරහට හිස් අතින් නොපැමිණිය යුතුයි. 21  “ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න. ඒත් හත්වෙනි දවසේදී විවේක ගන්න.*+ හාන කාලයේදීත් අස්වැන්න නෙළන කාලයේදීත් ඔබ හත්වෙනි දවසේදී විවේක ගත යුතුයි. 22  “ඔබ සති උත්සවය පැවැත්විය යුතුයි. ඒ උත්සවයේදී ඔබේ තිරිඟු අස්වැන්නේ මුල්ම පලදාව ඔප්පු කරන්න. ඒ වගේම අවුරුද්ද අවසානයේදී අස්වැන්න නෙළීමේ උත්සවය* පවත්වන්න.+ 23  “අවුරුද්දට තුන් වතාවක් හැම පුරුෂයෙක්ම ඊශ්‍රායෙල්වරුන්ගේ සැබෑ ස්වාමීන් සහ දෙවියන් වන යෙහෝවා ඉස්සරහට පැමිණිය යුතුයි.+ 24  ඔබ යන දේශයේ ජීවත් වෙන ජාතීන් හැමෝවම පන්නලා දාලා+ මම ඔබට හුඟක් ඉඩකඩ තියෙන දේශයක් දෙනවා. ඔබ අවුරුද්දට තුන් වතාවක් ඔබේ දෙවි යෙහෝවා වන මට නමස්කාර කරන්න යද්දී කිසිම කෙනෙක් ඔබේ දේශය අයිති කරගන්න උත්සාහ කරන්නේ නැහැ. 25  “ඔබ මට සත්තුන්ගේ ලේ ඔප්පු කරද්දී ඒවාත් එක්ක මුහුන් දාපු කිසිම දෙයක් ඔප්පු නොකළ යුතුයි.+ පාස්කු උත්සවය සඳහා ඔප්පු කරන සතාගේ මස් පහුවෙනිදා උදේ වෙන කල් තියාගන්න එපා.+ 26  “මුල්ම පලදාවෙන් නෙළාගන්න හොඳම පල ඔබේ දෙවි යෙහෝවාගේ ගෘහයට ගෙනා යුතුයි.+ “එළු පැටියෙක්ව උගේ මවගේ කිරිවල උයන්න එපා.”+ 27  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “මං ඔයාට කියපු ඒ දේවල් ලියාගන්න.+ මම ඊශ්‍රායෙල් සෙනඟ එක්කත් ඔයා එක්කත් ගිවිසුමක් ඇති කරගන්නවා.+ ඒ ගිවිසුමට මං කියපු ඒ දේවල් ඇතුළත්.” 28  මෝසෙස් දවල් 40කුත් රෑ 40කුත් යෙහෝවා ඉස්සරහා හිටියා. ඒ කාලයේදී මෝසෙස් කෑම කෑවෙවත් වතුර බිව්වෙවත් නැහැ.+ ඔහු* ගල් පුවරු දෙකේ ගිවිසුමට ඇතුළත් ආඥා දහය* ලියලා දුන්නා.+ 29  මෝසෙස් ගල් පුවරු* දෙකත් අරගෙන සීනයි කන්දෙන් බැහැලා ආවා.+ එයා දෙවියන් එක්ක කතා කරපු නිසා එයාගේ මූණෙන් ලොකු දීප්තියක් විහිදුණා. ඒත් මෝසෙස් ඒ ගැන දැනන් හිටියේ නැහැ. 30  මෝසෙස්ගේ මූණ දීප්තියෙන් බැබළෙනවා කියලා දැක්කාම ආරොන් සහ ඊශ්‍රායෙල්වරුන් එයා ළඟට යන්න බය වුණා.+ 31  ඒත් මෝසෙස්, එයා ළඟට එන්න කියලා ඒගොල්ලන්ට කිව්වා. ඉතින් ආරොන් සහ අධිපතීන් හැමෝම මෝසෙස් ළඟට ගියා. මෝසෙස් එයාලා එක්ක කතා කළා. 32  ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟත් මෝසෙස් ළඟට ආවා. යෙහෝවා සීනයි කන්දේදී දුන්න හැම ආඥාවක් ගැනම මෝසෙස් සෙනඟට කියලා දුන්නා.+ 33  එදා ඉඳන් මෝසෙස් සෙනඟ එක්ක කතා කරලා ඉවර වුණ හැම වෙලාවකම එයාගේ මූණ වැස්මකින් වහගත්තා.+ 34  ඒත් එයා යෙහෝවා එක්ක කතා කරන්න යද්දී ඒ වැස්ම මූණෙන් අයින් කළා.+ දෙවියන් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ එයා එළියට ඇවිත් දෙවියන් එයාට අණ කරපු දේවල් ඊශ්‍රායෙල් සෙනඟට දැන්නුවා.+ 35  එතකොට මෝසෙස්ගේ මූණ දීප්තියෙන් බැබළෙනවා සෙනඟ දැක්කා. ඒ නිසා මෝසෙස් ආයෙත් දෙවියන් ඉස්සරහට යන කල් ඒ වැස්මෙන් මූණ වහගත්තා.+

පාදසටහන්

ඒ කියන්නේ තමන් මොන වගේ කෙනෙක්ද කියලා මෝසෙස්ට කියලා දුන්නා.
හෝ, “ඇත්ත කියන.”
ඒ කියන්නේ ඒ දුෂ්ටකම් කරන අයටත්.
මූ.අ., “උරුමය.”
හෝ, “ඔයාලට උගුලක් වෙයි.”
හෝ, “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකිනවා.”
මූ.අ., “දෙවිවරුන් එක්ක අනාචාරයේ යෙදෙමින්.”
හෝ, “ලෝහවලින් රූප.”
උප. B15 බලන්න.
හෝ, “සබතක් පවත්වන්න.”
පැල් (කූඩාරම්) උත්සවය කියලත් කියනවා.
මූ.අ., “වචන දහය.” දසපනත විදිහටත් හඳුන්වනවා.
මෙතන කතා කරන්නේ යෙහෝවා ගැන.
හෝ, “සාක්ෂියක් විදිහට දුන්න ගල් පුවරු.”