විනිශ්චයකරුවෝ 20:1-48
-
බෙන්ජමින්වරුන්ට විරුද්ධව යුද්දෙට යයි (1-48)
20 ඉතින් දාන්+ ඉඳන් බෙයර්ෂෙබා වෙන කල් වගේම මුළු ගිලියද්+ දේශයේ හිටපු ඊශ්‍රායෙල් පුරුෂයන් හැමෝම එකතු වෙලා මිෂ්පාවලට+ ගියා. එයාලා එකා වගේ යෙහෝවා දෙවියන් ඉස්සරහා රැස් වුණා.
2 ඊශ්‍රායෙල් සෙනඟගේ හැම ගෝත්‍රයකම ප්‍රධානීන් එතන රැස් වෙලා හිටියා. පාබළ හමුදාවට අයිති සෙබළු ලක්ෂ හතරක් එතන හිටියා. එයාලා හැමෝගෙම අත්වල කඩු තිබුණා.+
3 ඊශ්‍රායෙල්වරු මිෂ්පාවල රැස් වෙලා ඉන්නවා කියලා බෙන්ජමින්වරුන්ට ආරංචි වුණා.
රැස් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරු එතන හිටපු අයගෙන් මෙහෙම ඇහුවා. “මේ දරුණු අපරාධය වුණේ කොහොමද කියලා අපිට කියන්න.”+
4 එතකොට මරලා දාපු ස්ත්‍රියගේ සැමියා වුණ ලෙවීවරයා+ මෙහෙම පැහැදිලි කළා. “මමයි, මගේ උපභාර්යාවයි රෑ නවාතැන් ගන්න බෙන්ජමින්වරුන්ට අයිති ගිබෙයාවලට ගියා.+
5 එදා රෑ ඒ නගරේ හිටපු කට්ටියක්* ඇවිල්ලා අපි නවාතැන් ගත්ත ගේ වට කළා. එයාලට ඕනෙ වුණේ මාව මරලා දාන්න. ඒත් අන්තිමට එයාලා මගේ උපභාර්යාවව දූෂණය කළා. ඒකෙන් එයා මැරුණා.+
6 ඊශ්‍රායෙල් දේශයේදී එයාලා කරපු ඒ දේ හරිම දුෂ්ට, පහත් දෙයක්. ඒ නිසා මං මගේ උපභාර්යාවගේ මළ සිරුර කෑලිවලට කපලා ඊශ්‍රායෙල් දේශයේ හැම පළාතකටම යැව්වා.+
7 ඊශ්‍රායෙල්වරුනි, දැන් මේ ගැන කතා කරලා මොනවාද කරන්න ඕනෙ කියලා තීරණය කරන්න.”+
8 හැමෝම නැඟිටලා එක හඬින් මෙහෙම කිව්වා. “මේ ප්‍රශ්නේ විසඳන කල් අපි කවුරුත් අපේ ගෙවල්වලට යන්නේ නැහැ.
9 අපි මෙහෙම කරමු. දාදු දාලා+ කට්ටියක්ව තෝරගෙන ගිබෙයාවලට විරුද්ධව සටන් කරන්න යමු.
10 සටනට යන අයට ඕනෙ කරන කෑම බීම එකතු කරන්න අපි ඊශ්‍රායෙල්වරුන්ගේ හැම ගෝත්‍රයකින්ම 100කින් 10ක්, 1,000කින් 100ක්, 10,000කින් 1,000ක් ගාණේ පුරුෂයන්ව තෝරගමු. එතකොට හමුදාවට පුළුවන් ගිබෙයාවල ඉන්න බෙන්ජමින්වරුන්ට විරුද්ධව පියවර ගන්න. මොකද එයාලා ඊශ්‍රායෙල් දේශයේ කළේ හරිම පහත් දෙයක්.”
11 ඒ විදිහට මුළු ඊශ්‍රායෙල් සෙනඟම එකා වගේ ගිබෙයාවලට විරුද්ධව සටන් කරන්න ලෑස්ති වුණා.
12 ඊශ්‍රායෙල් සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ පුරුෂයන් හැමෝටම මිනිස්සු කීපදෙනෙක් අතේ පණිවිඩයක් යවලා මෙහෙම දැන්නුවා. “ඔයාලාගේ මිනිස්සු කට්ටියක් කරපු මේ දරුණු අපරාදේ ගැන ඔයාලට මොනවාද කියන්න තියෙන්නේ?
13 ගිබෙයාවල ඉන්න ඒ නැහැදිච්ච මිනිස්සු කට්ටියව අපිට භාර දෙන්න.+ එතකොට අපිට පුළුවන් එයාලව මරලා දාලා ඊශ්‍රායෙල් දේශයෙන් මේ දුෂ්ටකම අයින් කරන්න.”+ ඒත් බෙන්ජමින්වරු එයාලාගේ සහෝදරයන් වුණ ඊශ්‍රායෙල්වරුන් කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ.
14 බෙන්ජමින්වරු ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කරන්න තීරණය කළා. ඉතින් එයාලා එයාලාගේ නගරවලින් පිටත් වෙලා ගිබෙයාවලට ගියා.
15 එදා එයාලා බෙන්ජමින් ගෝත්‍රයට අයිති නගරවලින් කඩු අරන් සටන් කරන පුරුෂයන් 26,000ක් එකතු කරගත්තා. ගිබෙයාවලිනුත් යුද්දෙට දක්ෂ පුරුෂයන් 700ක්ව තෝරගත්තා.
16 එයාලාගේ හමුදාවේ හිටපු යුද්දෙට දක්ෂ 700දෙනෙක්ම වමත හුරු අය. ඒ හැමෝටම හරිම දක්ෂ විදිහට ගල්පටිවලින් විදින්න පුළුවන්. එයාලා කොච්චර දක්ෂද කියනවා නම් කෙස්ගහක්වත් එහා මෙහා වෙන්නේ නැති විදිහට ඉලක්කයටම විදින්න එයාලට හැකියාව තිබුණා.
17 බෙන්ජමින්වරු ඇරෙන්න ඊශ්‍රායෙල්වරුන්ගේ අනිත් ගෝත්‍රවලින් සෙබළු ලක්ෂ හතරක් එකතු වුණා. ඒ හැමෝම යුද්ධ කරන්න හොඳ පළපුරුද්දක් තිබුණ, කඩු අරන් හිටපු අය.+
18 ඊශ්‍රායෙල්වරු හැමෝම දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න බෙතෙල්වලට ගිහින්+ මෙහෙම ඇහුවා. “බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටන් කරන්න මුලින්ම යන්න ඕනෙ කවුද?” එතකොට යෙහෝවා මෙහෙම උත්තර දුන්නා. “මුලින්ම යන්න ඕනෙ යූදා ගෝත්‍රයේ අය.”
19 ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු උදෙන්ම ගිහිල්ලා ගිබෙයා නගරයට විරුද්ධව කඳවුරු බැඳගත්තා.
20 ඊශ්‍රායෙල් සෙනඟ ගිහින් ගිබෙයාවල හිටපු බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටන් කරන්න පෙළ ගැහිලා හිටියා.
21 එතකොට බෙන්ජමින්වරු ගිබෙයා නගරයෙන් එළියට ඇවිල්ලා ඊශ්‍රායෙල්වරුන්ට පහර දුන්නා. එදා ඊශ්‍රායෙල්වරු 22,000ක් මැරුම් කෑවා.
22 ඒත් ඊශ්‍රායෙල් හමුදාව අධෛර්යය වුණේ නැහැ. මුල් දවසේ සටන් කරපු තැනම එයාලා ආපහු සටන් කරන්න පෙළ ගැහුණා.
23 ඊටපස්සේ ඊශ්‍රායෙල්වරුන්ගෙන් සමහරදෙනෙක් යෙහෝවා ඉස්සරහට ගිහින් අඬා වැලපුණා. එයාලා යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා මෙහෙම ඇහුවා. “දෙවියනි, අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටන් කරන්න අපි ආයෙත් යන්නද?”+ එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “එයාලට විරුද්ධව සටනට යන්න.”
24 ඉතින් ඊශ්‍රායෙල්වරු දෙවෙනි දවසෙත් බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටන් කරන්න ගියා.
25 එදාත් බෙන්ජමින්වරු ගිබෙයාවලින් එළියට ඇවිල්ලා ඊශ්‍රායෙල්වරුන්ට පහර දීලා 18,000ක් මරලා දැම්මා.+ මැරුම් කාපු ඒ හැමෝම කඩුවලින් සටන් කරපු අය.
26 ඒකෙන් පස්සේ ඊශ්‍රායෙල්වරු හැමෝම බෙතෙල්වලට ගිහින් යෙහෝවා ඉස්සරහා ඉඳගෙන අඬා වැලපුණා.+ හවස් වෙන කල් එයාලා නිරාහාරව ඉඳලා+ යෙහෝවා ඉස්සරහා දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කළා.
27 ඊටපස්සේ එයාලා යෙහෝවාගේ මඟ පෙන්වීම් ඉල්ලුවා.+ ඒ දවස්වල සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය තිබුණේ බෙතෙල්වල.
28 ඒ කාලේ ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා සේවය කළේ ආරොන්ගේ පුතා වුණ එලියාසර්ගේ පුතෙක් වුණ පිනෙහාස්.+ එතනට ගිය ඊශ්‍රායෙල් සෙනඟ මෙහෙම ඇහුවා. “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධව ආයේ සැරයක් සටන් කරන්න අපි යන්නද? නැත්නම් අපි මේ සටන නවත්තලා දාන්නද?”+ එතකොට යෙහෝවා මෙහෙම උත්තර දුන්නා. “යන්න, මං හෙට එයාලව පරාජය කරන්න ඔයාලට උදව් කරනවා.”
29 ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු ගිබෙයා නගරය වටේ හැංගෙන්න සෙබළුන්ව යැව්වා.+
30 කලින් දවස්වල වගේම තුන්වෙනි දවසෙත් ඊශ්‍රායෙල්වරු පෙළ ගැහිලා ගිබෙයාවල හිටපු බෙන්ජමින්වරුන්ට විරුද්ධව සටන් කරන්න ලෑස්ති වුණා.+
31 ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්න බෙන්ජමින්වරු නගරයෙන් එළියට ආවා. බෙන්ජමින්වරු පහර දෙද්දී ඊශ්‍රායෙල්වරු පස්සෙන් පස්සට ගිය නිසා බෙන්ජමින්වරු ටිකෙන් ටික ගිබෙයා නගරයෙන් ඈතට ගියා.+ එයාලා කලින් වතාවලදී වගේ ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්න පටන්ගත්තා. බෙතෙල්වලට යන පාර දිගෙත් ගිබෙයාවලට යන අනිත් පාර දිගෙත් ගිහින් එයාලා ඊශ්‍රායෙල්වරු 30දෙනෙක් විතර මරලා දැම්මා.+
32 ඉතින් බෙන්ජමින්වරු මෙහෙම කතා වුණා. “කලින් සැරේ වගේ මේ සැරෙත් එයාලා හොඳටම පරදිනවා.”+ ඒත් ඊශ්‍රායෙල්වරු කලින්ම මෙහෙම කතා වෙලා තිබුණා. “අපි පහුබහිනවා වගේ පෙන්නලා එයාලව නගරෙන් ඈත තියෙන පාරවල්වලට ගෙන්නගමු.”
33 ඉතින් ඊශ්‍රායෙල් සෙබළු බාල්තාමාර්වලට ගිහිල්ලා සටන් කරන්න පෙළ ගැහිලා හිටියා. ඔය අතරේ ගිබෙයා නගරය වටේ හැංගිලා හිටපු සෙබළු ඒ තැන්වලින් එළියට ආවා.
34 ඒ විදිහට යුද්දෙට දක්ෂ ඊශ්‍රායෙල් සෙබළු 10,000ක් ගිබෙයා නගරය ඉස්සරහට ගිහින් පහර දෙන්න පටන්ගත්තා. ඒක හරිම දරුණු සටනක්. එයාලා පරදින්න යනවා කියලා බෙන්ජමින්වරු ඒ වෙද්දී දැනන් හිටියේ නැහැ.
35 බෙන්ජමින්වරුන්ව පරාජය කරන්න එදා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළා.+ ඊශ්‍රායෙල්වරු කඩු අරන් සටන් කරපු බෙන්ජමින්වරු 25,100ක්ව මරලා දැම්මා.+
36 ඊශ්‍රායෙල්වරු පහුබහිද්දී බෙන්ජමින්වරු හිතුවේ ඊශ්‍රායෙල්වරුන්ව ලේසියෙන්ම පරද්දන්න පුළුවන් කියලා.+ ඒත් ඊශ්‍රායෙල්වරු පහුබැස්සේ ගිබෙයා+ නගරය වටේ හැංගිලා හිටපු අය ගැන විශ්වාසය තියලයි.
37 හැංගිලා හිටපු සෙබළු එළියට ඇවිල්ලා පහර දිදී ඉක්මනින් ගිබෙයා නගරය පැත්තට ගියා. ඊටපස්සේ නගරයට ඇතුල් වුණ එයාලා නගරයේ හැම තැනකටම ගිහිල්ලා එහේ හිටපු හැමෝවම කඩුවෙන් මරලා දැම්මා.
38 හැංගිලා හිටපු අය නගරය අල්ලගත්තා කියලා දැනුම් දෙන්න විදිහක් ඊශ්‍රායෙල්වරු කතා වෙලා තිබුණා. ඒ තමයි නගරයෙන් දුමක් නඟින විදිහට ගින්නක් අවුළුවන එක.
39 පහුබැස්ස ඊශ්‍රායෙල්වරුන්ට බෙන්ජමින්වරු පහර දෙන්න පටන්ගත්තා. එයාලා ඊශ්‍රායෙල්වරු 30දෙනෙක් විතර මරලා දැම්මා.+ එතකොට බෙන්ජමින්වරු මෙහෙම කිව්වා. “කලින් සැරේ වගේ ආයේ සැරයක් එයාලා හොඳටම පරදින්නයි යන්නේ.”+
40 එතකොටම වගේ නගරයෙන් ගන දුමක් නඟින්න පටන්ගත්තා. බෙන්ජමින්වරු හැරිලා බලද්දී එයාලා දැක්කා නගරයෙන් අහස උසට නඟින ගින්නක්.
41 එතකොට පහුබැස්ස ඊශ්‍රායෙල්වරු ආපහු හැරිලා බෙන්ජමින්වරුන්ට පහර දෙන්න පටන්ගත්තා. එයාලා පරදිනවා කියලා තේරුණාම බෙන්ජමින්වරු හොඳටම කලබල වුණා.
42 ඉතින් එයාලා පාළුකරය දිහාවට පලා ගියා. ඒත් ඊශ්‍රායෙල්වරු එයාලා පස්සේ එළවගෙන ගියා. වටේ තිබුණ නගරවල අයත් ඇවිල්ලා බෙන්ජමින්වරුන්ට පහර දෙන්න එකතු වුණා.
43 ඊශ්‍රායෙල්වරු බෙන්ජමින්වරුන්ව හැම පැත්තෙන්ම වට කළා. එයාලා දිගටම බෙන්ජමින්වරු පස්සේ එළවගෙන ගියා. ඊශ්‍රායෙල්වරු බෙන්ජමින්වරුන්ව ගිබෙයා නගරය ඉස්සරහා නැඟෙනහිරට වෙන්න තිබුණ තැනකදී සම්පූර්ණයෙන්ම පරාජය කළා.
44 ඒ සටනේදී බෙන්ජමින්වරු 18,000ක් මැරුණා. එයාලා හැමෝම යුද්දෙට දක්ෂ පුරුෂයන්.+
45 බෙන්ජමින්වරු පාළුකරයේ රිම්මොන්+ පර්වතයට පලා යද්දී ඊශ්‍රායෙල්වරු එයාලාගෙන් 5,000ක්ව පාරවල්වලදී මරලා දැම්මා. ගිදොම් වෙන කල්ම එයාලා පස්සේ එළවගෙන ගිහිල්ලා තව 2,000ක්ව මරලා දැම්මා.
46 එදා බෙන්ජමින්වරු 25,000ක් මැරුණා. එයාලා හැමෝම කඩුවලින් සටන් කරන්න+ දක්ෂ සෙබළු.
47 පාළුකරයට පලා ගිහිල්ලා රිම්මොන් පර්වතයේ හැංගුණ පුරුෂයන්ගේ ගාණ 600යි. එයාලා රිම්මොන් පර්වතයේ මාස හතරක් හැංගිලා හිටියා.
48 එයාලාගේ පස්සෙන් එළවගෙන යන එක නවත්තලා ඊශ්‍රායෙල්වරු බෙන්ජමින්වරු හිටපු හැම නගරයකටම ගිහින් ඒ නගරවල හිටපු හැමෝවම කඩුවෙන් මරලා දැම්මා. පුරුෂයන්ව විතරක් නෙමෙයි එයාලාගේ සත්තු ඇතුළුව නගරවල හිටපු හැම කෙනෙක්වම මරලා ඒ හැම නගරයකටම ගිනි තිබ්බා.
පාදසටහන්
^ හෝ සමහරවිට, “ඉඩම් හිමියෝ.”