Skip to content

පටුනට යන්න

අසාත්මිකතා සහ දිරවීමේ අපහසුතා

අසාත්මිකතා සහ දිරවීමේ අපහසුතා

එමලි: “මම කෑම කකා ඉද්දී එකපාරටම මගේ දිව ඉදිමෙනවා වගේ දැනුණා. කට කසන්න පටන් අරන් කලන්තෙ ගතියකුත් දැනුණා. හුස්මගන්නත් අමාරු වුණා. ඊටපස්සේ මගේ අත්වලයි බෙල්ලෙයි පලු දැම්මා. කලබල වෙන්නේ නැතුව ඉන්න මං උත්සාහ කළත් ඉක්මනින්ම ඉස්පිරිතාලෙට ගියේ නැත්නම් මං මැරෙයි කියලා මට හිතුණා.”

ප්‍රණීත කෑමක රස බලන්න අපි හැමෝම කැමතියි. ඒත් කෑම නිසා අසාත්මිකතා ඇති වෙන අයට සමහර කෑම කන්න බැහැ. එමලිත් ඒ වගේ කෙනෙක්. එයාට තියෙන්නේ අසංරක්ෂත්වය (ඇනෆිලැක්සිස්) කියලා හඳුන්වන දරුණු අසාත්මික තත්වයක්. ඒත් හුඟක් අයට ඇති වෙන අසාත්මිකතා ඒ තරම් දරුණු නැහැ.

මෑත අවුරුදු කිහිපය තුළ ආහාර අසාත්මිකතා සහ දිරවීමේ අපහසුතා තියෙන අයගේ ගණන වැඩි වෙලා තියෙනවා. ඒත් තමන්ට ආහාර අසාත්මිකතා තියෙනවා කියලා හිතපු අය අතරින් ඇත්තටම අසාත්මිකතා තියෙන්නේ කිහිපදෙනෙක්ට විතරයි කියලා හොයාගෙන තියෙනවා.

ආහාර අසාත්මිකතා කියන්නේ මොනවාද?

ඒ ගැන විවිධ අය විවිධ නිර්වචන දීලා තියෙනවා කියලා වෛද්‍යවරු කණ්ඩායමක් සඟරාවක පළ කරලා තිබුණා. (The Journal of the American Medical Association) ඒත් ප්‍රවීණයන් හුඟදෙනෙක් විශ්වාස කරන්නේ ආහාර අසාත්මිකතා ඇති වෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදු වෙන ප්‍රතික්‍රියාවක් නිසා කියලයි.

අපි කන කෑමක තියෙන ප්‍රෝටීනයක් ශරීරයට අහිතකර දෙයක් කියලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරදියට තේරුම්ගන්න නිසයි අසාත්මිකතා ඇති වෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉමියුනෝග්ලොබියුලින් E (IgE) කියන ප්‍රතිදේහය නිපදවනවා. එහෙම කරන්නේ ශරීරයට ඇතුල් වුණ ප්‍රෝටීනය අක්‍රියාශීලී කරන්න. ආයෙත් වෙලාවක ඒ ප්‍රෝටීනයම අපේ ශරීරයට ඇතුල් වුණොත් මේ ප්‍රතිදේහය විවිධ රසායනික සංයෝග මුදාහරිනවා. හිස්ටමින් ඒ අතරින් එකක්.

අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙන්න හිස්ටමින් උදව් වෙනවා. හැබැයි ඉමියුනෝග්ලොබියුලින් E ප්‍රතිදේහයෙන් මුදාහරින හිස්ටමින් නිසා සමහර ප්‍රෝටීනවලට ගොඩක් සංවේදී අය තුළ ආහාර අසාත්මිකතා ඇති වෙනවා. එහෙම වෙන්න හේතුව තාම හොයාගෙන නැහැ.

සමහර කෑම මුල් වතාවට කද්දී අසාත්මිකතාවක ලක්ෂණ ඇති වුණේ නැතත් දෙවෙනි වතාවේදී ඒ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ වතාවේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය හිස්ටමින් මුදාහරින නිසයි.

ආහාර දිරවීමේ අපහසුතා කියන්නේ මොනවාද?

දිරවීමේ අපහසුතා (ආහාර අපත්‍යවීම) සහ අසාත්මිකතා අතර ලොකු වෙනසක් නැහැ කියලා බැලූ බැල්මට පෙනෙන්න පුළුවන්. ඒත් ආහාර අපත්‍යවීමකදී ක්‍රියාත්මක වෙන්නේ ජීරණ පද්ධතිය. ඒ වගේ වෙලාවට අපේ ශරීරය ප්‍රතිදේහ නිපදවන්නේ නැහැ. ආහාර දිරවන්න උදව් වෙන එන්සයිම අඩුවෙන් නිපදවෙන නිසා හරි ආහාරවල තියෙන රසායනික ද්‍රව්‍යක් නිසා හරි කෙනෙක්ට ආහාර දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. උදාහරණෙකට සමහර අයට කිරිවලින් හදන ආහාර දිරවීමේ අපහසුතා ඇති වෙනවා. ඒ එයාලාගේ ශරීරය ඒ ආහාර දිරවන්න උදව් වෙන එන්සයිම නිපදවන්නේ නැති නිසයි.

සමහර කෑම කන මුල් වතාවේදීම වුණත් දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. අපත්‍යවීමක ලක්ෂණ ඇති වෙනවද නැද්ද කියන එක කන ප්‍රමාණය අනුව තීරණය වෙන්න පුළුවන්. ඒත් අසාත්මිකතා ඇති වෙන ආහාරයක් ඉතා සුළු ප්‍රමාණයකින් හරි කෑවොත් ජීවිතය පවා නැති වීමේ අවදානමක් තියෙනවා.

ලක්ෂණ මොනවාද?

අසාත්මිකතා තියෙනවා නම් ශරීරය කැසීම, පලු දැමීම වගේම උගුර, ඇස් සහ දිව ඉදිමීම, ඔක්කාරය, වමනය, බඩ යෑම, රුධිර පීඩනය අඩු වීම, කරකැවිල්ල, ක්ලාන්තය වගේ ලක්ෂණ මතු වෙන්න පුළුවන්. හෘද ස්පන්දනය නතර වෙන තරමටම ඒ තත්වය දරුණු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ තත්වයක් හරිම ඉක්මනින් ඇති වෙලා කෙනෙක් මරණයට පවා පත් වෙන්න පුළුවන්.

ඕනම ආහාරයක් නිසා අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒත් හුඟක් දරුණු අසාත්මිකතා ඇති වෙන ආහාර වර්ග කීපයක් තියෙනවා. කිරි, බිත්තර, මාලු, ඉස්සෝ කකුළුවෝ වගේ මුහුදු ජීවීන්, රටකජු, සෝයාබෝංචි, ගස්වලින් ලබාගන්න ඇට වර්ග සහ තිරිඟු ඒ අතරට අයිතියි. අසාත්මිකතා ඇති වෙන්න කෙනෙක්ගේ වයස බලපාන්නෑ. හැබැයි ජාන බලපානවා. දෙමාපියන්ගෙන් එක්කෙනෙක්ට හරි ආහාර අසාත්මිකතා තියෙනවා නම් ඒක දරුවන්ටත් බලපාන්න පුළුවන්. සමහර දරුවන් වයසින් වැඩෙද්දී ඒ අසාත්මිකතා නැති වෙලා යනවා.

දිරවීමේ අපහසුතාවකදී ඇති වන ලක්ෂණ අසාත්මිකතාවකදී ඇති වන ලක්ෂණ තරම්ම පැහැදිලිව පේන්නේ නැහැ. දිරවීමේ අපහසුතාවකදී කෙනෙක්ට බඩේ කැක්කුම, වාතය පිටවීම, කෙණ්ඩ පෙරලීම, හිසරදය, සමේ ආසාදන, මහන්සිය සහ ඇඟට අමාරු ගතිය ඇති වෙන්න පුළුවන්. විවිධ කෑම නිසා සමහර අයට දිරවීමේ අපහසුතා ඇති වෙනවා. කිරිවලින් හදන ආහාර, තිරිඟු, ග්ලූටන්, ඇල්කොහොල්, සහ ඊස්ට් වගේ ආහාර නිසා තමයි හුඟක් අයට දිරවීමේ අපහසුතා ඇති වෙන්නේ.

හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම

ඔයාට ආහාර අසාත්මිකතා නැත්නම් දිරවීමේ අපහසුතා තියෙනවා කියලා හිතෙනවා නම් විශේෂඥ වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න. ඔයාට හිතෙන විදිහට සමහර කෑම නොකා ඉන්න එකෙන් වෙන්නේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැති වෙන එකයි. ඒක ඔයා ඔයාටම කරගන්න හානියක්.

බරපතල ආහාර අසාත්මිකතාවලට බෙහෙත් නෑ. හොඳම දේ තමයි ඒ වගේ අසාත්මිකතා ඇති වෙන කෑම නොකා ඉන්න එක. * ඒත් ඔයාට තියෙන අසාත්මිකතාව හරි දිරවීමේ අපහසුතාව හරි එතරම් බරපතල නැත්නම් ඒකට බලපාන කෑම වර්ගය කන ප්‍රමාණය අඩු කරන එක ප්‍රයෝජනවත් වෙයි. ඔයාට තියෙන ආහාර දිරවීමේ අපහසුතාවය බරපතල එකක් නම් ඒකට බලපාන කෑම යම් කාලයකට හරි හැමදාටම හරි කන එක නතර කරන්න ඔයාට සිද්ධ වෙයි.

ඔයාටත් ආහාර අසාත්මිකතා සහ දිරවීමේ අපහසුතා තියෙනවා නම් දුක් වෙන්න එපා. පරෙස්සම් වෙන ගමන්ම පෝෂ්‍යදායි, ප්‍රණීත කෑම රස බලලා සතුටු වෙන්න ඔයාටත් පුළුවන්.

^ 19 ඡේ. දරුණු ආහාර අසාත්මිකතා තියෙන අයට ඇඩ්‍රිනලීන් එන්නතක් ළඟ තියාගන්න කියලා ප්‍රවීණයන් නිර්දේශ කරනවා. ඒ වගේ අසාත්මිකතා තියෙන දරුවන් ඒ ගැන ගුරුවරුන්ට නැත්නම් එයාලාව බලාගන්න අයට දැනගන්න උදව් වෙන දෙයක් පළඳින එක නැත්නම් ළඟ තියාගන්න එක හොඳයි කියලත් ඔවුන් කියනවා.