අතීතයෙන් සටහනක්
ඉග්නේට්ස් සෙමල්වයිස්
සමහරවිට ඔයාලා ඒ නම අහලා නැතුව ඇති. ඒත් ඔහු කරපු සේවය නිසා අද ලෝකෙ පුරාම හුඟදෙනෙක් ප්‍රයෝජන ලබනවා. ඉග්නේට්ස් සෙමල්වයිස් ඉපදුණේ හංගේරියාවේ බුඩාපෙස්ට්වල. 1844දී වෛද්‍ය උපාධියක් ලැබූ ඔහුට 1846දී වියානා මහ රෝහලේ මහාචාර්යවරයෙක්ගේ සහයක විදිහට පත්වීමක් ලැබුණා. ඔහුට සේවය කරන්න වුණේ ඒ රෝහලේ මුලින්ම පිහිටුවපු මාතෘ සායනයේ. ඒ වෙද්දී එහේ සිදු වෙමින් තිබුණු දේකින් ඔහු කම්පනයට පත් වුණා. මොකද ඒ රෝහලේ දරුවන් බිහි කරපු මව්වරුන්ගෙන් 13%කට වඩා පසු ප්‍රසව සූතික උණ කියන රෝගය වැලඳිලා මිය ගියා.
මේ රෝගයට හේතුව හොයාගන්න හුඟක් අය විවිධ උපක්‍රම යෙදුවත් ඒ එකක්වත් සාර්ථක වුණේ නැහැ. ඒත් මව්වරු වේදනා විඳලා මැරෙනවා සෙමල්වයිස්ට බලාගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා කොහොමහරි මේ රෝගයට හේතුව හොයාගන්න ඕනෙ කියලා ඔහු හිතුවා.
ඔහු සේවය කරපු රෝහලේ මාතෘ සායන දෙකක් තිබුණා. මිය ගිය මව්වරු අතරින් වැඩිදෙනෙක් පළවෙනි සායනයට ආපු අය. මේ සායන දෙකේ වෙනසකට කියලා තිබුණේ එක දෙයයි. ඒ තමයි පළවෙනි සායනයේ වෛද්‍ය ශිෂ්‍යයන් වැඩ කළත් දෙවෙනි එකේ වින්නඹුවරියන් වැඩ කරපු එක. ඒත් ඇයි එක සායනයක විතරක් මව්වරු වැඩිදෙනෙක් මිය යන්නේ කියන එක සෙමල්වයිස්ට ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඔහු මේ රෝගය වැලඳෙන්න හේතු වෙන්න ඇති කියලා හිතපු දේවල් එකින් එක පරීක්ෂා කළා. ඒත් ඒ රෝගය වැලඳෙන්න හේතුව ඒ එකක්වත් නෙමෙයි.
හැබැයි 1847දී සිදු වුණ යාකොබ් කොලෙච්කාගේ මරණය ඒ දරුණු රෝගයට හේතුව හොයාගන්න උදව් වුණා. එයා සෙමල්වයිස්ගේ යාළුවෙක්. මරණ පරීක්ෂණයක් කරමින් ඉද්දී යාකොබ්ට තුවාලයක් වෙලා තිබුණා. ඊටපස්සේ ලේ විෂ වීමක් වෙලයි ඔහු මිය ගිහින් තිබුණේ. ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවෙයි, පසු ප්‍රසව සූතික උණ හැදිලා මිය ගිය මව්වරුන්ගේ මරණ පරීක්ෂණ වාර්තාවලයි යම් සමානකම් තිබුණා. ඒ නිසා දරුවන් බිහි කරන මව්වරුන්ට මේ රෝගය වැලඳෙන්නේ මළ සිරුරුවලින් නික්මෙන
“විෂබීජවලින්” වෙන්න ඇති කියලා සෙමල්වයිස් තේරුම්ගත්තා. මොකද සාමාන්‍යයෙන් වෛද්‍යවරු මරණ පරීක්ෂණයක් කළාට පස්සේ ප්‍රසූතිකාගාරයට ගිහින් මව්වරුන්ව පරීක්ෂා කළා. ඒ වගේම දරු උපත්වලටත් හවුල් වුණා. ඒත් දෙවෙනි සායනයේ මරණ අනුපාතය අඩු වුණේ ඒකේ වින්නඹුවරියන් සේවය කළ නිසයි. ඔවුන් මරණ පරීක්ෂණ සිදු කළේ නැහැ.ඒ නිසා මව්වරුන්ව පරීක්ෂා කරන්න ප්‍රසූතිකාගාරයට යන්න කලින් විෂබීජ නාශක පාවිච්චි කරලා අත් හෝදන්න කියලා සෙමල්වයිස් නීතියක් දැම්මා. ප්‍රතිඵල නම් හරි පුදුමයි. අප්‍රියෙල් මාසයේදී 18.27% ක්ව තිබුණ මරණ ප්‍රතිශතය අවුරුද්ද අවසන් වෙද්දී 0.19% දක්වා පහළ බැස්සා.
“මට ඕනෙ රෝහල්වල නිකරුණේ සිද්ධ වෙන මාතෘ මරණවලට නිමාවක් ගේන්න. ඒ වගේම සැමියෙක්ට එයාගේ බිරිඳවත් දරුවෙක්ට එයාගේ ආදරණීය මවවත් රැක දෙන්න.”—ඉග්නේට්ස් සෙමල්වයිස්
සෙමල්වයිස් හොයාගත්ත දේ ගැන හැමෝම සතුටු වුණේ නැහැ. ඔහුගේ සොයාගැනීම නිසා ඔහුට ඉහළින් හිටිය මහාචාර්යවරයා ඒ වෙද්දී ඉදිරිපත් කරලා තිබුණ න්‍යායන්වලට පහරක් වැදුණා. තමන් දාපු නීතිය ක්‍රියාත්මක කරන්න කියලා සෙමල්වයිස් නිතරම කිව්ව නිසා මහාචාර්යවරයා හිටියේ කේන්තියෙන්. අන්තිමේදී සෙමල්වයිස්ට රැකියාවත් අහිමි වුණා. නැවතත් හංගේරියාවට ගිය ඔහු සාන්ත රෝකස් රෝහලේ මාතෘ අංශයේ වැඩ භාරව කටයුතු කළා. එහෙදී පසු ප්‍රසව සූතික උණෙන් මිය යන මව්වරුන්ගේ ප්‍රතිශතය 1%ටත් වඩා අඩු කරන්න ඔහුට පුළුවන් වුණා.
මව්වරුන් බිලිගන්නා මේ දරුණු රෝගය ඇති වීමට හේතුව, ඊට විසඳුම් සහ ගන්න පුළුවන් සනීපාරක්ෂක පියවර ගැන සඳහන් කරමින් සෙමල්වයිස් 1861දී පොතක් ලිව්වා. (The Cause, Concept, and Prophylaxis of Childbed Fever) ඒත් අවුරුදු ගාණක් යන කල් හුඟක් අය ඒ පොතේ තොරතුරුවල වැදගත්කම තේරුම්ගත්තේ නැහැ. ඒ දේ තේරුම්ගත්තා නම් නිකරුණේ නැති වුණ ජීවිත විශාල ප්‍රමාණයක් බේරගන්න තිබුණා.
අද තාක්ෂණය හුඟක් දියුණු නිසා විෂබීජ මර්දනය කරන විවිධ උපක්‍රම හොයාගෙන තියෙනවා. ඉග්නේට්ස් සෙමල්වයිස් කියන්නේ ඒ ක්‍රම හොයාගත්ත අය අතර ඉන්න පුරෝගාමියෙක්. ඇහැට පේන්නේ නැති ක්ෂුද්‍ර ජීවියෙකුට ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් කියලා ඔහු කරපු පරීක්ෂණවලින් ඔප්පු වුණා. ඒක “වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සොයාගැනීමක්” විදිහට සලකනවා. ඒත් මළ සිරුරක් ඇල්ලුවාට පස්සේ කරන්න ඕනෙ මොනවද කියලා බයිබලයේ සඳහන් වුණේ මීට අවුරුදු 3,000කටත් කලිනුයි.