Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

පෙනුම

පෙනුම

කෙනෙක් සතුටින්ද, අසතුටෙන්ද කියන දේට ඒ කෙනා තමන්ගේ පෙනුම ගැන හිතන විදිහත් බලපානවා.

හැමෝම පෙනුම ගැන හිතන්නේ ඇයි?

ප්‍රියමනාප ලස්සන දෙයක් ඉක්මනින්ම හඳුනගන්න මිනිස් මොළයට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒක වෙන්නේ කොහොමද කියලා හුඟක් අයට තේරුම්ගන්න අමාරුයි. ඒක වෙන්නේ මෙන්න මේ හේතුව නිසයි කියලා බයිබලයේ විස්තර කරලා නැහැ. ඒත් ලස්සන දේකට අපේ නෙත් සිත් ඇදිලා යන්නේ අපිව දෙවිට සමාන ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරලා තියෙන නිසයි කියලා බයිබලයේ කියනවා. (උත්පත්ති 1:27; දේශනාකාරයා 3:11) ඒ වගේම දෙවියන් මේ පුදුමාකාර මිනිස් සිරුර ඇසට ප්‍රියමනාප, අලංකාරවත් විදිහට සකස් කරලා තියෙන නිසාත් එහෙම වෙනවා. අතීතයේ හිටිය ගී පද රචකයෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “ඔබ [දෙවියන්] මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි.”—ගීතාවලිය 139:14.

ඒත් අද හුඟදෙනෙක්ට රූමත්කම ගැන සමබර ආකල්පයක් නැහැ. තමන්ගේ පෙනුම මොන විදිහට සකස් කරගන්න ඕනෙද කියලා හුඟදෙනෙක් තීරණය කරන්නේ විලාසිතා ලෝකයට සහ ජනමාධ්‍යට ඕන විදිහටයි. බටහිර සංස්කෘතීන්වල “වෙන කිසිම දේකට වඩා වැදගත් දේ විදිහට සලකන්නේ පුද්ගලයන්ගේ පෙනුමයි” කියලා එක පොතක සඳහන් වෙනවා. (Body Image) ඒ වගේ පටු විදිහට හිතන එකෙන් වෙන්නේ වඩාත්ම වැදගත් දේ ඒ කියන්නේ කෙනෙක් ඇත්තටම ඇතුළතින් මොන වගේ කෙනෙක්ද කියන දේ අමතක වෙන එකයි.—1 සාමුවෙල් 16:7.

හුඟක් සංස්කෘතීන්වල පෙනුමට සහ ලිංගිකත්වයට වැඩි අවධානයක් දෙනවා

පෙනුමත් එක්කම අත්වැල් බැඳගෙන යන තව දෙයක් තමයි ලිංගිකත්වය. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ලිංගිකත්වය. 2007දී ඇමරිකානු මනෝ විද්‍යා සංගමය (APA) නිකුත් කරපු වාර්තාවක මෙහෙම සඳහන් වුණා. “අද තියෙන හැම මාධ්‍යයකින්ම වගේ උත්සාහ කරන්නේ කාන්තාවන්ගේ ලිංගිකත්වය ඉස්මතු කරලා පෙන්වන්න.” ඒත් ඔයාගේ ජීවිතේට බලපෑමක් කරන්න ඒ දේවලට ඉඩ දෙන්න එපා කියලා බයිබලයේ කියලා තියෙන්නේ හොඳ හේතුවක් ඇතුවයි.—කොලොස්සි 3:5, 6.

‘ඔබේ බාහිර අලංකාරයට මුල් තැන නොදෙන්න. ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය අලංකාරවත් කරගන්න. කිසිදා දිරා නොයන තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න. දෙවිට බොහෝ සෙයින් වටින්නේ ඒ ස්වභාවයයි.’1 පේතෘස් 3:3, 4.

සමබරව හිතන එක වැදගත් ඇයි?

පෙනුම ගැන කතා කරද්දී සමහරු කියනවා “ඔයාට ලස්සන රූපයක් තියෙනවා නම් ඒක මුළු ලෝකෙටම පෙන්වන්න” කියලා. ඒ වගේ හිතන මිනිස්සු වැඩිපුර ඉන්න රටවල තරුණියන් වගේම ලාබාල යෞවනියනුත් උත්සාහ කරන්නේ අනිත් අය තමන්ව දැක්කම ‘“ෂා මෙයා නම් මරුනේ” කියලා හිතෙන විදිහට තමන්ගේ පෙනුම සකස් කරගන්නයි’ කියලත් ඒ වාර්තාවේ සඳහන් වුණා. ඒක කොච්චර බරපතළද කියනවා නම් ඒකෙන් කෙනෙක්ගේ ශරීරයට හානියක් වෙන්නත් ඉඩ තියෙනවා. කලින් සඳහන් කරපු වාර්තාවේ කියන්නේ ‘එහෙම කරන එකෙන් කෙනෙක් මානසිකව වැටෙන්න, පෙනුම ගැන හිත හිත ලත වෙන්න, නොකා නොබී ඉඳලා ලෙඩ වෙන්න, පීඩනයෙන් කනස්සල්ලෙන් ඉන්න තියෙන ඉඩ වැඩියි’ කියලයි.

“ඔබේ ජීවිතයට අනවශ්‍ය ලෙස දුක් කරදර හා සිත්තැවුල් ඇති වීමට ඉඩ නොදෙන්න. මන්ද යෞවන කාලය එනම්, ජීවිතයේ හොඳම කාලය වුවද නිෂ්ඵලය.”දේශනාකාරයා 11:10.

සිහිකල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?

“හොඳ සිහිකල්පනාවකින්” වැඩ කරන එකත් විනීතකමත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා බයිබලයේ පෙන්වලා තියෙනවා. (1 තිමෝති 2:9) විනීත වෙන්න උත්සාහ කරන අය තමන්ගේ පෙනුම ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේ අයට වෙන අයගේ ආදරය, ගෞරවය වගේම දෙවියන්ගේ අනුමැතියත් දිනාගන්න පුළුවන් වෙනවා. (මීකා 6:8) ඒ විතරක් නෙවෙයි හොඳ යාළුවන් හොයාගන්නත් පෙනුමට වහල් වෙන්නේ නැති හැමදාම ආදරෙන් ඉන්න සැමියෙක් බිරිඳක් හොයාගන්නත් පුළුවන් වෙනවා.

‘හදවත එනම් ඇතුළාන්තය’ ලස්සන කරගන්න උත්සාහ කරන්න කියලා බයිබලයේ කියන්නේ කොච්චර හොඳ හේතු ඇතිවද! (1 පේතෘස් 3:3, 4) කෙනෙකුගේ පිටත පෙනුම දවසක නැති වෙයි. ඒත් ඇතුළාන්ත ලස්සන නම් දවස ගාණේ වැඩි වෙනවා. හිතෝපදේශ 16:31 ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ධර්මිෂ්ඨ මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි.” ඒ නිසා තරුණ වුණත් මහලු වුණත් බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් අපිට හැමදාටම ලස්සනට ඉන්න පුළුවන් වෙනවා වගේම හැමෝගෙම ගෞරවය දිනාගන්නත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා.

“රූමත්බව නිෂ්ඵලය. ප්‍රියමනාප පෙනුම රැවටෙනසුලුය. එහෙත් ප්‍රශංසාව ලබාගන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දක්වන කාන්තාවයි.”හිතෝපදේශ 31:30.