පිළිසඳරක් | රාජේශ් කලාරියා
මොළය ගැන පර්යේෂණ කරන කෙනෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි
එංගලන්තයේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජේශ් කලාරියා මිනිස් මොළය ගැන අවුරුදු 40කට වැඩි කාලයක් හදාරපු කෙනෙක්. එයා කලින් පරිණාමවාදය විශ්වාස කළත් දැන් එයාට තියෙන්නේ වෙනස් මතයක්. ඒ ගැන එයා අපිට කිව්වේ මෙහෙමයි.
ඔයාගේ ආගමික පසුබිම ගැන කියන්න පුළුවන්ද?
මගේ තාත්තා ඉපදුණේ ඉන්දියාවේ. අම්මාත් ඉන්දියානු ආභාෂයක් තියෙන කෙනෙක්. ඒත් එයා ඉපදුණේ උගන්ඩාවේ. එයාලා ගත කළේ හින්දු චාරිත්‍රත් එක්ක බැඳුණු ජීවිතයක්. පවුලේ දරුවෝ තුන්දෙනාගෙන් දෙවෙනියා මම. අපි ජීවත් වුණේ කෙන්යාවේ නයිරෝබිවල. ඒ පැත්තේ හුඟක් හින්දු අය හිටියා.
විද්‍යාව ගැන ඔයාට උනන්දුවක් ඇති වුණේ ඇයි?
මම පුංචි කාලේ ඉඳන්ම සත්තුන්ට ආසයි. යාළුවෝ එක්ක සත්තු බලන්න යන එක මගේ විනෝදාංශයක් වුණා. මුලදී මට ඕන වුණේ පශු වෛද්‍යවරයෙක් වෙන්න. ඒත් නයිරෝබිවල උසස් අධ්‍යාපන ආයතනයකින් උපාධියක් ගත්තාට පස්සේ ව්‍යාධි විද්‍යාව හදාරන්න මං ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගියා. පස්සේ මං මිනිස් මොළේ ගැන විශේෂඥයෙක් වුණා.
ඉගෙනගත්ත දේවල් ඔයාගේ ආගමික විශ්වාසයන්වලට බලපෑවාද?
ඔව්. විද්‍යාව ගැන ඉගෙනගන්න තරමට හින්දු මිථ්‍යා කතා ගැනත් චාරිත්‍ර ගැනත් මට තිබුණු විශ්වාසය අඩු වුණා. විශේෂයෙන්ම සත්තුන්ට, රූපවලට වන්දනාමාන කරන එක ගැන මට තිබුණු විශ්වාසය නැති වෙලාම ගියා.
ඔයා පරිණාමවාදය පිළිගත්තේ ඇයි?
මං තරුණ කාලේ මාත් එක්ක හිටිය හුඟක් අය පිළිගත්ත දෙයක් තමයි පරිණාමවාදය ආරම්භ වුණේ අප්‍රිකාවෙන් කියන දේ. ඒ ගැන අපි නිතරම වගේ ඉස්කෝලෙදී කතා කළා. ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු අපිට කිව්වේ කීර්තිමත් විද්‍යාඥයන් හැමෝම පරිණාමවාදය විශ්වාස කරනවා කියලයි.
ජීවයේ ආරම්භය ගැන ඔයා ආයෙත් හිතන්න පටන්ගත්තේ ඇයි?
මං ජීව විද්‍යාව ගැනත් ව්‍යූහ විද්‍යාව ගැනත් අධ්‍යයනය කරපු කාලේ මාත් එක්ක ඉගෙනගත්ත කෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න පටන් අරන් තිබුණා. එයා ඒ ගැන මාත් එක්ක කිව්වාම මටත් පොඩි කුතුහලයක් ඇති වුණා. ඒ නිසා සාක්ෂිකරුවන් නයිරෝබිවල පවත්වපු සමුළුවකට මං ගියා. පස්සේ සාක්ෂිකරුවන් මට බයිබලයේ තියෙන දේවල් ගැන පැහැදිලි කරලා දුන්නා. හැම දේටම නිර්මාතෘවරයෙක් ඉන්නවා කියලත් ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ ඔහු ළඟ විතරයි කියලත් එයාලා විශ්වාස කළා. ඒක මිථ්‍යා මතයක් කියලා හිතන්න මට කිසිම හේතුවක් තිබුණේ නැහැ.
වෛද්‍ය විද්‍යාව ගැන ඔයාට තිබුණු දැනුම නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න බාධාවක් වුණාද?
නැහැ. ඇත්තටම වුණේ ඒකේ අනිත් පැත්ත. ව්‍යූහ විද්‍යාව ගැන ඉගෙනගද්දී ජීවයේ සැකැස්ම කොයි තරම් සංකීර්ණද කියලා මට තේරුණා. ඒ තරම් පුදුමාකාර නිර්මාණ ඉබේ ඇති වුණා කියලා කියන්න කිසිම පදනමක් නැහැ කියලයි මට හිතුණේ.
උදාහරණයක් දෙන්න පුළුවන්ද?
මං මිනිස් මොළය ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තේ 1970 ගණන්වල මුල් කාලේ ඉඳන්. ඒ ගැන ඉගෙනගත්ත හැම තොරතුරකින්ම මං පුදුම වුණා. අපි හිතන්නේ, මතක තියාගන්නේ, ශරීරයේ අවයවවලින් ගොඩක් දේවල් කරන්නේ මොළයේ උදව්වෙන්. අපේ ඉන්ද්‍රියන් පාලනය වෙන්නෙත් මොළයෙන්. ඒ කියන්නේ අපේ සිරුරේ අභ්‍යන්තරයේ වෙන දේවල් ගැනත් බාහිරෙන් වෙන දේවල් ගැනත් අපිව දැනුවත් කරන්නේ මොළෙන්.
අපේ මොළය හොඳින් ක්‍රියාත්මක වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒකේ තියෙන ස්නායු සෛල. ඒවා බිලියන ගාණක් තියෙනවා. ඒ ස්නායු සෛලවලට පුළුවන් තවත් ස්නායු සෛල එක්ක පණිවිඩ හුවමාරු කරගන්න. ඒක කරන්නේ ආවේගවාහක විදිහට හඳුන්වන ස්නායු සම්බන්ධකවලින්. ඒවා හරියට දිග කෙඳි වගෙයි. ඒ ආවේගවාහක හරහා ස්නායු සෛලයක් තවත් ස්නායු සෛල එක්ක දහස් විදිහකින් සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ උපාගම හැටියට හඳුන්වන ස්නායු සම්බන්ධකයන් නිසයි. ඒ ස්නායු සෛල එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ පුදුමාකාර පිළිවෙළකට. හරියට විශාල ගොඩනැඟිල්ලක විදුලි පද්ධතියක පිළිවෙළට සකස් කරලා තියෙන විදුලි රැහැන් වගේ.
තව පැහැදිලි කළොත් . . .
මේ ස්නායු සෛල අතර තියෙන සම්බන්ධය ඇති වෙන්න පටන්ගන්නේ දරුවෙක් මව් කුසේ ඉද්දීමයි. දරුවා ඉපදිලා ටික වෙලාවක් යන තුරුත් ඒ දේ වෙනවා. ඒක වෙන්නේ හරිම පළිවෙළකට. එක සෛලයකින් නිකුත් වෙන සම්බන්ධකවලට පුළුවන් තවත් සෙන්ටිමීටර් කීපයක් එහායින් තියෙන සෛලයක් එක්ක සම්බන්ධ වෙන්න. ඒක අපිට පොඩි දුරක් වුණාට සෛලයකට නම් ඒක ලොකු දුරක්. ඒ සම්බන්ධක ගිහින් තවත් සෛලයක් එක්ක කෙළින්ම සම්බන්ධ වෙනවාට අමතරව ඒ සෛලයේ තියෙන නිශ්චිත කොටසක් එක්කත් සම්බන්ධ වෙනවා.
සෛලයකින් අලුත් සම්බන්ධකයක් පිට වුණාට පස්සේ ඒක කොච්චර දුරක් යන්න ඕනද, හැරෙන්න ඕනෙ කොතනින්ද, නවතින්න ඕනෙ කොතනින්ද කියන මඟ පෙන්වීම් ඒ සම්බන්ධකයට ලැබෙන්නේ DNAවලින්. ඒ මඟ පෙන්වීම් ලැබුණේ නැත්නම් ඒවා පිළිවෙළකට සම්බන්ධ වෙන්නේ නැහැ.
මොළය වර්ධනය වෙන විදිහත් ඒක ක්‍රියාත්මක වෙන විදිහත් හරියටම තේරුම්ගන්න මිනිසුන්ට පුළුවන් වෙලා නැහැ. දේවල් මතක තියාගන්න, හැඟීම් දැනීම් ඇති වෙන්න, සිතුවිලි ඇති වෙන්න මොළය බලපාන්නේ කොහොමද කියලා හරියටම තේරුම්ගන්න මිනිසුන්ට බැහැ. අපේ මොළය ක්‍රියාත්මක වෙන විදිහ ගැන හිතද්දී නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕනෙ කියලා පිළිගන්න මට නම් ඕන තරම් හේතු තියෙනවා.
ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණේ ඇයි?
බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා පිළිගන්න තියෙන සාක්ෂි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මට පෙන්නුවා. උදාහරණෙකට බයිබලය විද්‍යා පොතක් නොවුණත් විද්‍යාවට සම්බන්ධ කාරණා ගැන කතා කරද්දී බයිබලයේ තියෙන දේවල් සියයට සියයක්ම නිවැරදියි. හරියටම ඉටු වුණු අනාවැකිත් ඒකේ තියෙනවා. ඒකේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගද්දී හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. මං 1973දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණු දවසේ ඉඳන් මං ජීවත් වෙන්නේ බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව. ඒ නිසා මං දැන් ගත කරන්නේ හුඟක් තෘප්තිමත් අර්ථවත් ජීවිතයක්.