Skip to content

පටුනට යන්න

කඩිසරව වැඩ කරන එකත් හරියට ව්‍යායාම් කරනවා වගේ. දැනුත් අනාගතයේදීත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙනවා

යොවුන් දරුවන්ට

11: කඩිසර වෙන්න

11: කඩිසර වෙන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

කඩිසර කෙනෙක් වැඩ කරන්න අදිමදි කරන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතා සපයාගන්නත් අනිත් අයට උදව් කරන්නත් වෙහෙස නොබලා වැඩ කරනවා. අනිත් අයගේ අවධානයට ලක් වෙන්නේ නැති වැඩක් වුණත් කැමැත්තෙන්ම කරනවා.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

අපි හැමෝටම වගකීම් තියෙනවා. අද හුඟක් අය වෙහෙසිලා වැඩ කරන්න කැමති නැති වුණත් කඩිසරව වැඩ කරන එකෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.—දේශනාකාරයා 3:13.

“ඕනම වැඩක් කරන්න මං ආසයි. මොකද මහන්සි වෙලා වැඩක් කළාම ‘මං ඒක හොඳට කළානේ’ කියලා මට ලොකු සතුටක් දැනෙනවා. හොඳ නමක් දිනාගන්නත් පුළුවන්.”—රෙයොන්.

බයිබල් ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.”—හිතෝපදේශ 14:23.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ආසාවෙන් වැඩ කරන්න මේ දේවල් ඔයාට උදව් වෙයි.

දේවල් හරියට කරලා සතුටක් ලබන්න. රස්සාව, ගෙදරදොරේ වැඩ, ඉස්කෝලේ වැඩ හොඳට මහන්සි වෙලා කරන්න. වැඩක් කරන්න ඉගෙනගත්තාට පස්සෙත් ඒක තව හොඳින්, ඉක්මනින් කරන්න පුළුවන් විදි ගැන හිතන්න. වැඩක් කරද්දී දක්ෂ වෙන තරමට ලැබෙන සතුටත් වැඩි වෙනවා.

බයිබල් ප්‍රතිපත්තිය: “මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය. ඔහු සාමාන්‍ය අය අතරේ නොසිටිනු ඇත.”—හිතෝපදේශ 22:29.

ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. ඔයාට පැවරිලා තියෙන වගකීම් වෙහෙස නොබලා හරියට ඉටු කරද්දී ඒකෙන් ඔයාටත් අනිත් අයටත් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට ඔයාට ගෙදර වැඩක් පවරලා තියෙනවා නම් ඒක හොඳින් කළාම ඒකෙන් පවුලේ අනිත් අයගේ වැඩ අඩු වෙනවා.

බයිබල් ප්‍රතිපත්තිය: “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

බලාපොරොත්තු වෙනවාටත් වඩා කරන්න. භාර දීපු වැඩක් ඕනාවට එපාවට කරනවා වෙනුවට මහන්සි වෙලා හොඳට කරන්න. එහෙම කරද්දී ඔයා වැඩ කරන්නේ අනිත් අය බල කරන නිසා නෙවෙයි, හිතේ කැමැත්තෙන්මයි.—මතෙව් 5:41.

බයිබල් ප්‍රතිපත්තිය: ‘ඔබ යහපත් දෙයක් කිරීමට පෙලඹුණොත් එය සිදු විය යුත්තේ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා නොව ඔබේම කැමැත්තෙනි.’—ෆිලෙමොන් 14.

සමබර වෙන්න. මහන්සි වෙලා වැඩ කරන අය කම්මැලි නැහැ. වැඩට වහල් වෙන්නෙත් නැහැ. කඩිසරව වැඩ කරන එකෙන් වගේම විවේකයක් ගන්න එකෙනුත් එයාලා සතුටක් ලබනවා.

බයිබල් ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”—දේශනාකාරයා 4:6.