පාරාදීසයේ ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?
අපි කලින් ලිපිවලින් බැලුවා වගේ දෙවියන් ළඟදීම මේ ලෝකය ඒ කියන්නේ දුෂ්ට සමාජය විනාශ කරනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද දෙවියන්ගේ වචනය වන බයිබලේ මේ විදිහට පොරොන්දු වෙලා තියෙනවා.
‘මේ ලෝකය නැති වී යන්නේය.’—1 යොහන් 2:17.
හැබැයි ඒ විනාශයෙන් බේරෙන අයත් ඉන්නවා කියලා ඒ බයිබල් පදේම ඊළඟට කියන මේ දෙයින් පැහැදිලි වෙනවා.
“සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.”
ඒකෙන් පැහැදිලි වෙනවා පාරාදීසයේ ජීවත් වෙන්න නම් අපි දෙවියන්ගේ කැමැත්ත කරන්න ඕනෙ කියලා. දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා දැනගන්න නම් අපි මුලින්ම දෙවියන්ව දැන හඳුනා ගන්න ඕනේ.
දෙවියන්ව “දැන හඳුනා ගන්න”
“සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් ඔබව දැන හඳුනා ගැනීමයි” කියලා යේසුස් කිව්වා. (යොහන් 17:3) ඒ කියන්නේ විනාශයෙන් බේරිලා හැමදාටම ජීවත් වෙන්න නම් අපි දෙවියන්ව “දැන හඳුනා ගන්න” ඕනේ. ඒකට දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන එක විතරක් මදි. අපි දෙවියන්ව කිට්ටු යාළුවෙක් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක්ව හොඳ යාළුවෙක් කරගන්න නම් එයාත් එක්ක කාලේ ගත කරන එක හරිම වැදගත්. ඒ වගේ කාලේ අරන් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. දෙවියන් එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්න උදව් වෙන ගොඩක් වැදගත් බයිබල් ඉගැන්වීම් කීපයක් අපි දැන් බලමු.
හැම දවසකම බයිබලය කියවන්න
කෑම කියන්නේ අපේ ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතයි” කියලා යේසුස් කිව්වා.—මතෙව් 4:4.
දෙවියන් අපිට කියන්නේ මොනවාද කියලා බයිබලෙන් දැනගන්න පුළුවන්. ඒ ශුද්ධ පොත අධ්‍යයනය කරද්දී දෙවියන් අතීතයේ කරලා තියෙන්නේ මොනවාද, දැන් කරන්නේ මොනවාද, ඉස්සරහට කරන්න යන්නේ මොනවාද කියලා ඔයාට දැනගන්න පුළුවන්.
උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න
දෙවියන්ට කීකරු වෙන්න ඔයාට ඕනෙ වුණත් දෙවියන් අකමැති සමහර දේවල් අත්හරින්න අමාරුයි කියලා ඔයාට හිතෙනවා නම් මොනවාද කරන්න පුළුවන්? දෙවියන්ට තවත් ළං වෙන එක ඒ දේවල් අත්හරින්න ඔයාට ගොඩක් උදව් වෙයි.
අනාචාර ජීවිතයක් ගත කරපු කාන්තාවකගේ අද්දැකීම බලන්න. බයිබලය ගැන ඉගෙනගද්දී “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලා දෙවියන් දීලා තියෙන නීතිය එයා දැනගත්තා. (1 කොරින්ති 6:18) ඒ නිසා ජීවිතේ වෙනස් කරගන්න උදව් ඉල්ලලා එයා දෙවියන්ට යාච්ඤා කළා. දෙවියන්ගේ උදව්වෙන් ඒක කරන්න එයාට පුළුවන් වුණා. හැබැයි තාමත් එයා වැරදි පෙලඹීම් එක්ක සටන් කරනවා. එයා ඒ ගැන කියන්නේ මෙහෙමයි. “මගේ හිතට නරක සිතුවිලි එද්දි මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා හැම දෙයක්ම කියනවා. මොකද මං දන්නවා මට තනියෙන් මේ සටන කරන්න බෑ කියලා. යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙන්න යාච්ඤාව මට හුඟක් උදව් වෙලා තියෙනවා.” එයා වගේ තවත් මිලියන ගාණකට ජීවිතේ වෙනස් කරගෙන ඔහුට ළං වෙන්න දෙවියන් උදව් කරලා තියෙනවා.—ෆිලිප්පි 4:13.
ඔයා දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුට ළං වෙද්දි දෙවියන් ඔයාව ඔහුගේ යාළුවෙක් හැටියට ‘පිළිගන්නවා.’ (ගලාති 4:9; ගීතාවලිය 25:14) එතකොට දෙවියන් පොරොන්දු වෙලා තියෙන ලස්සන පාරාදීසේ හැමදාටම ජීවත් වෙන්න ඔයාට පුළුවන් වෙයි. ඇත්තටම ඒ කාලේ මොන වගේ වෙයිද? ඊළඟ ලිපියෙන් අපි ඒ ගැන බලමු.
a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.