“දෙවියන් කොහෙද හිටියේ?”
“මෙච්චර දෙයක් වෙද්දිත් දෙවියන් කොහෙද හිටියේ?”—16වන බෙනඩික් පාප්වරයා පෝලන්තයේ ඖෂ්විට්ස්වල ගාල් කඳවුර බලන්න ගිය අවස්ථාවේ කිව්ව දෙයක්.
විපත්ති සිද්ධ වෙද්දී ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? වේදනාකාරී අද්දැකීමකට මුහුණ දෙන්න වුණාම දෙවියන් ඔයාට ආදරේ නැහැ කියලා හිතිලා තියෙනවාද?
ආගමට ළැදි පවුලක හැදුණු ශීලා මෙහෙම කියනවා. “දෙවියන් අපිව නිර්මාණය කරපු නිසා පොඩි කාලේ ඉඳලාම ඔහු ගැන මගේ හිතේ අගයක් තිබුණා. ඒත් මට හිතුණේ නැහැ ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් කියලා. මං හිතුවේ ඔහු ඈත ඉඳන් මං දිහා බලන් ඉන්නවා කියලා විතරයි. ඔහු මට වෛර කරනවා කියලා මං හිතුවේ නැහැ. හැබැයි ඔහු මට ආදරෙයි කියලා දැනුණෙත් නැහැ. අපි එක පිට එක ප්‍රශ්නවලට මුහුණ දුන්නත් දෙවියන්ගෙන් කිසි පිහිටක් නැහැ වගෙයි පේන්න තිබුණේ.”
ඔයාටත් දෙවියන් ගැන විශ්වාසයක් ඇති. ඒත් ඔහු ඇත්තටම ඔයාට ආදරෙයිද කියලා ඔයා කල්පනා කරනවාද? ධර්මිෂ්ඨ මිනිසෙක් වුණු යෝබ්ටත් එහෙම හිතුණා. දෙවියන් සියලු බලැති, ප්‍රඥාවන්ත කෙනෙක් කියන එක ගැන එයා සැක කළේ නැහැ. (යෝබ් 2:3; 9:4) හැබැයි එක පිට එක දරුණු විපත්වලට මුහුණ දෙන්න වුණාම එයා දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. ‘ඔබේ මුහුණ මාගෙන් ඉවතට හරවාගන්නේ මන්ද? මාව සතුරෙකු ලෙස ගණන් ගන්නේ මන්ද?’—යෝබ් 13:24.
විපත්වලට වග කියන්න ඕනෙ දෙවියන්ද? පොදුවේ හැමෝම ගැනත් අපි එක් එක් කෙනා ගැනත් දෙවියන් සැලකිලිමත්ද? ඔහු මං දිහා බලාගෙන ඉන්නවාද? ඔහු මාව තේරුම්ගන්නවාද? මගේ දුක ඔහුට දැනෙනවාද? ප්‍රශ්න විසඳගන්න ඔහු මට උදව් කරනවාද?
දෙවියන් අපිට ආදරෙයි කියලා තේරුම්ගන්න ඔහු නිර්මාණය කරලා තියෙන දේවල් සහ බයිබලය උදව් වෙනවා. (රෝම 1:20) ඒ කොහොමද කියලා ඊළඟ ලිපිවලින් බලමු. ඔයා දෙවියන්ව ‘හඳුනාගන්නා’ තරමටම ඔහු ඔයා ගැන කොයි තරම් ‘සැලකිලිමත්ද’ කියලා ඔයාට පැහැදිලි වෙයි.—1 යොහන් 2:3; 1 පේතෘස් 5:7.