පාඨකයන්ගෙන් ප්‍රශ්න
කෙනෙක් බයිබලේට පටහැනි විදිහට දික්කසාද වෙලා වෙන කෙනෙක්ව විවාහ කරගත්තොත් සභාවේ අය කලින් විවාහයත් අලුත් විවාහයත් සලකන්න ඕනෙ කොයි විදිහටද?
කෙනෙක් ඒ විදිහට දික්කසාද වෙලා ආයෙත් විවාහ වුණාම කලින් විවාහය අවලංගු වෙනවා. ඒ වගේම අලුත් විවාහය නීතිය ඉදිරියේ වලංගු වෙනවා. එහෙම කියන්න තියෙන හේතු තේරුම්ගන්න යේසුස් දික්කසාදය සහ නැවත විවාහ වෙන එක ගැන කියපු දේ බලමු.
ශුද්ධ ලියවිල්ලට අනුව විවාහයක් දික්කසාදයකින් අවසන් කරන්න තියෙන එකම හේතුව ගැන යේසුස් මතෙව් 19:9 මෙහෙම කිව්වා. “වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙනවා.” යේසුස් කියපු දෙයින් කරුණු දෙකක් පැහැදිලියි. (1) ශුද්ධ ලියවිල්ලට අනුව දික්කසාද වෙන්න තියෙන එකම හේතුව වේශ්‍යාකම. (2) ඒ හේතුව ඇරෙන්න වෙන හේතුවක් නිසා කෙනෙක් තමන්ගේ බිරිඳව දික්කසාද කරනවා නම් එයා අනාචාරයේ යෙදෙනවා. *
යේසුස් අදහස් කළේ අනාචාරයේ යෙදුණ සැමියෙක්ට එයාගේ බිරිඳව දික්කසාද කරලා ශුද්ධ ලියවිල්ලට අනුව ආයෙත් විවාහ වෙන්න පුළුවන් කියලාද? අපිට එහෙම්මම හිතන්න බැහැ. අනාචාරයේ යෙදුණ සැමියාට සමාව දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ වරදක් කරලා නැති බිරිඳට. සමහරවිට ඒ වගේ බිරිඳක් තීරණය කරන්න පුළුවන් සැමියාට සමාව නොදී එයාගෙන් දික්කසාද වෙන්න. එහෙම තීරණය කළොත් දික්කසාදයේ නීතික කටයුතු අවසන් වුණාට පස්සේ ඒ දෙන්නාටම ආයෙත් විවාහ වෙන්න නිදහස තියෙනවා.
අනිත් අතට අනාචාරයේ යෙදුණ සැමියාට සමාව දීලා එයාව භාරගන්න බිරිඳ කැමති වෙන්න පුළුවන්. ඒ ගැන එයා සැමියාට කියන්නත් පුළුවන්. ඒත් බිරිඳගේ කැමැත්තට එකඟ වෙන්නේ නැතුව සැමියා තනි කැමැත්තට දික්කසාද වෙනවා නම්? සැමියාට සමාව දීලා එයාව භාරගන්න බිරිඳ කැමති නිසා සැමියාට ආයෙත් විවාහ වෙන්න ශුද්ධ ලියවිල්ලට එකඟව කිසිම අවසරයක් නැහැ. හැබැයි සැමියා තනි කැමැත්තට දික්කසාද වෙලා තව කෙනෙක්ව විවාහ කරගත්තොත් එයා කරන්නේ දෙවෙනි සැරේටත් අනාචාරයේ යෙදෙන එක. ඒ නිසා ආයේ සැරයක් විනිශ්චය කමිටුවකින් ඒ කාරණය හසුරුවන්න සිද්ධ වෙනවා.—1 කොරි. 5:1, 2; 6:9, 10.
කෙනෙක් ශුද්ධ ලියවිල්ලට පටහැනි විදිහට ආයෙත් විවාහ වුණොත් සභාවේ ඉන්න අය කලින් විවාහය සහ අලුත් විවාහය සලකන්න ඕනෙ කොයි විදිහටද? දෙවියන් ඉදිරියේ කලින් විවාහය තාමත් වලංගුද? සැමියා ආයේ විවාහ වුණාට පස්සේ එයාට සමාව දෙන්න හරි සමාව නොදී ඉන්න හරි වරදක් කළේ නැති බිරිඳට තාමත් අයිතිය තියෙනවාද? අලුත් විවාහය සලකන්න ඕනෙ අනාචාරයේ යෙදීමක් විදිහටද? දැන් අපි ඒ ගැන බලමු.
අපි මෙච්චර කල් තේරුම් අරන් හිටියේ වරද නොකරපු කෙනා ජීවත්ව ඉන්න තාක් කල්, එයා තනිකඩව ඉන්න තාක් කල් සහ අනාචාරයේ යෙදුණේ නැති තාක් කල් වරද කරපු කෙනාගේ අලුත් විවාහය අනාචාරයේ යෙදීමක් විදිහටයි. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ එක දෙයක් තියෙනවා. දික්කසාදය සහ නැවත විවාහය ගැන කතා කරද්දී යේසුස් වැරදි නොකරපු කෙනා ගැන සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ ශුද්ධ ලියවිල්ලට පටහැනි විදිහට දික්කසාද වෙලා ආයෙත් විවාහ වෙන කෙනා අනාචාරයේ යෙදෙනවා කියලා විතරයි. යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙනවා දික්කසාද වෙලා නැවත විවාහ වෙද්දී කෙනෙක් අනාචාරයේ යෙදෙන නිසා එයාගේ කලින් විවාහය තවදුරටත් වලංගු වෙන්නේ නැහැ කියලා.
“වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙනවා.”—මතෙ. 19:9
අපි කලින් උදාහරණයෙන් බැලුවේ සැමියා අනාචාරයේ යෙදිලා තනි කැමැත්තට බිරිඳගෙන් දික්කසාද වෙන අවස්ථාවක් ගැන. දැන් මෙහෙම හිතන්න. සැමියා අනාචාරයේ යෙදෙන්නේ නැහැ. හැබැයි හිතුමතේට දික්කසාද වෙලා ආයේ විවාහ වෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම නැත්නම් සැමියා හිතුමතේට දික්කසාද වුණාට පස්සේ අනාචාරයේ යෙදෙනවා. හැබැයි බිරිඳ එයාට සමාව දෙන්න කැමතියි. ඒත් සැමියා ඒකට එකඟ වෙන්නේ නැතුව ආයේ විවාහ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ හැම අවස්ථාවකදීම දික්කසාදයක් සහ නැවත විවාහයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක සලකන්නේ අනාචාරයේ යෙදීමක් විදිහට. ඒ නිසා කලින් විවාහය අවලංගු වෙනවා. ඊටපස්සේ නීතියෙන් වලංගු වෙන්නේ අලුත් විවාහය විතරයි. 1979 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 32වෙනි පිටුවේ මෙහෙම දෙයක් කියලා තියෙනවා. “සැමියා නැවත විවාහ වෙද්දී ඔහු අලුත් විවාහ ගිවිසුමකට ඇතුළත් වෙනවා. ඒ නිසා හිතුමනාපෙට කලින් බිරිඳ සමඟ නැවත ජීවත් වෙන්න ඔහුට බැහැ. දික්කසාදය, අනාචාරයේ යෙදීම සහ නැවත විවාහ වීම කියන කාරණා මත කලින් විවාහය අහෝසි වෙනවා.”
අපේ අවබෝධය දැන් වෙනස් වෙලා තියෙන නිසා විවාහ සැලැස්මේ තියෙන පරිශුද්ධකම බාල වෙනවාද? අනාචාරයේ යෙදෙන එකේ තියෙන බරපතළකම සැහැල්ලු වෙනවාද? කොහොමටවත් නැහැ. සැමියෙක් ශුද්ධ ලියවිල්ලට පටහැනි විදිහට දික්කසාද වෙලා ආයෙත් විවාහ වෙද්දී එයා කරන්නේ අනාචාරයේ යෙදෙන එකයි. ඒ වගේ අවස්ථාවකදී විනිශ්චය කමිටුවකින් ඒ කාරණය හසුරුවන්න ඕනේ. (ඒ පුද්ගලයා ආයෙත් විවාහ වෙන්නේ සාක්ෂිකරුවෙක් එක්ක නම් එයාවත් සලකන්නේ අනාචාරයේ යෙදුණ කෙනෙක් විදිහට. එයාවත් විනිශ්චය කමිටුවට කැඳවන්න ඕනේ.) අලුත් විවාහය අනාචාරයේ යෙදීමක් විදිහට සැලකුවේ නැතත් එහෙම කරන පුරුෂයෙක්ට අවුරුදු ගාණක් යන කල් සංවිධානයේ වගකීම් දරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම සිද්ධ වෙච්ච දේ නිසා ඇති වුණ කැළැල මැකෙන කල්, මිනිස්සුන්ගේ හිත්වල ඇති වුණ කැළඹුණු සිතුවිලි නිවිලා යන කල් එයාට වගකීම් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව එයාට වගකීමක් දෙන්න කලින් හිතන්න ඕනෙ තව පැති තියෙනවා. එයා කලින් විවාහය කඩලා දාන්න ඕනෙ නිසා කපටි විදිහට හිතාමතාම ඒ දේ කළා නම්? වගකීම් දෙන්න ඉස්සෙල්ලා එයා ද්‍රෝහි වුණ එක කලින් බිරිඳට, අත්හැරලා ගිය බාල වයසේ දරුවන්ට බලපාලා තියෙන විදිහ වගේ දේවල් ගැනත් හිතලා බලන්න ඕනේ.—මලා. 2:14-16.
ශුද්ධ ලියවිල්ලට පටහැනි විදිහට දික්කසාද වෙලා ආයෙත් විවාහ වෙන එක කොච්චර බරපතළද කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවියන් විවාහය සලකන්නේ බැරෑරුම්, පරිශුද්ධ දෙයක් විදිහට. (දේශ. 5:4, 5; හෙබ්‍රෙ. 13:4) එහෙමනම් අපිත් ඒක ඒ විදිහටම සලකන එක මොන තරම් ඥානවන්තද!
^ 2 ඡේ. මේ ලිපියේ සැමියා අනාචාරයේ යෙදුණ කෙනා විදිහටත් බිරිඳ වරද නොකරපු කෙනා විදිහටත් හඳුන්වලා තියෙනවා. හැබැයි මාක් 10:11, 12 තියෙන විදිහට යේසුස් දීපු මඟ පෙන්වීම සැමියාට වගේම බිරිඳටත් අදාළයි.
^ 1 ඡේ. වැරදි නොකරපු කෙනා ජීවත්ව ඉන්න තාක් කල්, තනිකඩව ඉන්න තාක් කල් සහ අනාචාරයේ යෙදුණේ නැති තාක් කල් වරද කරපු කෙනායි එයා අලුතෙන් විවාහ කරගත්ත කෙනායි දිගටම අනාචාරයේ යෙදෙනවා කියලයි අපි කලින් හිතුවේ. හැබැයි දැන් ඒ අවබෝධය වෙනස් වෙලා තියෙනවා. දැන් අපි ඒ වගේ විවාහ වුණ දෙන්නෙක්ව දිගටම අනාචාරයේ යෙදෙන දෙන්නෙක් විදිහට සලකන්නේ නැහැ. මොකද ඒක දැන් නීත්‍යනුකූල විවාහයක්.