සියවසකට පෙර - 1922
‘අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්ට ස්තුතිවේවා.’ (1 කොරි. 15:57, ‘පැරණි අනුවාදය’) ඒක තමයි 1922 වාර්ෂික පදය. ඒ වචන කොච්චර ඇත්තක්ද කියලා ඒ අවුරුද්ද පුරාම බයිබල් ශිෂ්‍යයන් අද්දැක්කා. මොකද ඒ අවුරුද්දේ එයාලට පුළුවන් වුණා එයාලගෙම මුද්‍රණාලයක පොත් පත් මුද්‍රණය කරන්න සහ අලුතෙන්ම ගුවන්විදුලි සේවයක් පටන්ගන්න. 1922 අගභාගය වෙද්දීත් යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය බයිබල් ශිෂ්‍යයන්ට තියෙනවා කියලා හොඳටම පැහැදිලි වුණා. ඒ කාලේ ඇමරිකාවේ ඔහයෝ, සීඩා පොයින්ට්වල ඓතිහාසික සමුළුවක් පැවැත්තුවා. ඒ සමුළුව සංවිධානයේ වැඩවලට ලොකු බලපෑමක් ඇති කළා.
“ඒක නම් නියම අදහසක්!”
හුඟක් අය ශුභාරංචියට උනන්දු වුණ නිසා පොත් පත්වල ඉල්ලුමත් වැඩි වුණා. ඒ වෙද්දී බෘක්ලින් බෙතෙල් එකේ සඟරා මුද්‍රණය කළත් ගනකම් කවර තියෙන පොත් මුද්‍රණය කළේ වෙන ආයතනවලට දීලා. සැරයක් මාස ගාණක් යන කල් සේවේ බෙදාහරින්න පොත් තිබුණේ නැහැ. ඒ නිසා දවසක් සහෝදර රදෆර්ඩ් අපේ ෆැක්ටරියේ කළමනාකරු වුණ සහෝදර රොබර්ට් මාර්ටින්ගෙන් ඇහුවා “අපිටම පොත් නිෂ්පාදනය කරන්න බැරිද” කියලා.
ඒක අහපු ගමන් සහෝදර මාටින් මෙහෙම කිව්වා. “ඒක නම් නියම අදහසක්! ඒ කියන්නේ අපිට මුල ඉඳන් හැම දේම ගන්න වෙනවා නේද” කියලා. කොහොමහරි අන්තිමට නොම්බර 18, කොන්කෝඩ් වීදිය, බෘක්ලින් කියන තැන ගොඩනැඟිල්ලක් කුලියට අරගෙන අවශ්‍ය උපකරණත් මිල දී ගත්තා.
ඒකට හැමෝම සතුටු වුණේ නැහැ. කලින් අපේ පොත් නිෂ්පාදනය කරපු ආයතනයක සභාපතිවරයෙක් දවසක් අලුත් ෆැක්ටරියට ආවා. එයා මෙහෙම කිව්වා. “අලුත්ම උපකරණ නං තියෙනවා. ඒත් මේවා පාවිච්චි කරන විදිහ ඔයාලා කවුරුත් දන්නේ නෑ. බලන්නකෝ මාස හයක් යද්දී මේවා කැඩිලා යන්නේ නැද්ද කියලා!”
සහෝදර මාටින් මෙහෙම කිව්වා. “බැලූ බැල්මට එයා කියපු දේ ඇත්ත. හැබැයි එයාට අමතක වුණා අපේ දෙවියන් අපිත් එක්ක ඉන්නවා කියලා.” ඒක ඔප්පු වෙන්න වැඩි කල් ගියේ නැහැ. බයිබල් ශිෂ්‍යයන් හැම දවසකම පොත් 2,000 ගාණේ මුද්‍රණය කළා.
ගුවන්විදුලිය හරහා දහස් ගාණක් හදවත්වලට ශුභාරංචිය
ශුභාරංචිය ව්‍යාප්ත කරන්න දෙවියන්ගේ සෙනඟ තවත් ක්‍රමයක් පාවිච්චි කළා. ඒ තමයි ගුවන්විදුලිය. 1922 පෙබරවාරි 26වෙනි ඉරිදා හවස සහෝදර රදෆර්ඩ් පළවෙනි වතාවට ගුවන්විදුලිය හරහා දේශනයක් දුන්නා. ඒකේ මාතෘකාව “දැන් ජීවත් වෙන මිලියන ගණනක් කිසිදා මිය යන්නේ නැහැ.” එයා ඒක දුන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල තිබුණ KOG කියන ගුවන්විදුලි සේවය හරහා.
ඒකට 25,000ක් විතර ඇහුම්කන් දුන්නා. සමහරු ඒක අගය කරලා ලියුමුත් එව්වා. ඒ අයගෙන් කෙනෙක් තමයි විලර්ඩ් ඈෂ්ෆර්ඩ්. එයා මෙහෙම කිව්වා. “ඔබතුමාගේ දේශනය හරිම රසවත්. අහං ඉන්න ආස හිතෙනවා. බැරි වෙලාවත් ඔබතුමා මගේ ගෙවල් ගාවට ඇවිත් දේශනය දුන්නා නම් මට ඒක අහන්න වෙන්නේ නෑ. මොකද අපේ ගෙදර අසනීප තුන්දෙනෙක් ඉන්නවා. රේඩියෝ එකෙන් දුන්න නිසා තමයි ඒක අහන්න ලැබුණේ.”
ඊළඟ සතිවල ඒ වගේ වැඩසටහන් කීපයක්ම විකාශනය වුණා. ඒ අවුරුද්ද අන්තිමේදී පළ වුණ ‘මුරටැඹ’ සඟරාවක කියනවා “ඒ නිසා ලක්ෂ තුනක් විතර ශුභාරංචිය දැනගත්තා” කියලා.
ලැබුණ හොඳ ප්‍රතිචාර නිසා බයිබල් ශිෂ්‍යයන් තීරණය කළා එයාලගෙම ගුවන්විදුලි සේවයක් පටන්ගන්න. ඒ නිසා බෘක්ලින් බෙතෙල් එකට කිට්ටුවෙන් තිබුණ ස්ටැටන් අයිලන්ඩ්වල එයාලා ඒක පටන්ගත්තා. ඊළඟ අවුරුදු ගාණ පුරා එයාලට පුළුවන් වුණා WBBR කියන ගුවන්විදුලි සේවය හරහා ශුභාරංචිය හුඟදෙනෙක් අතරට ගෙනියන්න.
“ADV”
1922 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ කිව්වා ඒ අවුරුද්දේ සැප්තැම්බර් 5-13 වෙන කල් ඔහයෝ, සීඩා පොයින්ට්වල සමුළුවක් තියෙනවා කියලා. එදා ඒ සමුළුවට හැමෝම ආවේ ගොඩක් කුතුහලෙන්.
සහෝදර රදෆර්ඩ්ගේ පළවෙනි දේශනයේදී එයා මෙහෙම කිව්වා. “මේ සමුළුවට ස්වාමීන් අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. වෙන කවදාවත් කරපු නැති විදිහට පොළොව පුරාම ශුභාරංචිය පතළ කරන්න ඔහු ආශීර්වාද කරනවා කියලා කිසිම සැකයක් නෑ.” ඒ සමුළුවේ දේශන දීපු අය කීපවතාවක්ම සහෝදරයන්ව දිරිගැන්නුවා දේශනා සේවේ උපරිමයෙන් හවුල් වෙන්න කියලා.
සැප්තැම්බර් 8වෙනි සිකුරාදා සමුළුවට 8,000ක් විතර ඇවිත් හිටියා. සහෝදර රදෆර්ඩ් දේශනය දෙන කල් හැමෝම බලන් හිටියේ නොඉවසිල්ලෙන්. මොකද එයාලට ඕනෙ වුණා ආරාධනා පත්‍රයේ තිබුණ “ADV” කියන එකේ තේරුම දැනගන්න. එදා ආපු හුඟක් අය වේදිකාවේ උඩින් අකුළලා තිබුණ කැන්වස් එක දැක්කා කියලත් කිසිම සැකයක් නැහැ. එදා ඇමරිකාවේ ටුල්සාවල ඉඳන් ආතර් ක්ලවුස් කියලා සහෝදරයෙක් ඒ සමුළුවට ආවා. දේශනය හොඳට ඇහෙන තැනක් බලලා එයා වාඩි වුණා. ඒ වගේ තැනක් හොයාගන්න ලේසි වුණේ නැහැ. මොකද ඒ කාලේ ලවුඩ්ස්පීකර්, මයික් තිබුණේ නැහැනේ.
“එදා හැමෝම සහෝදර රදෆර්ඩ්ගේ කට දිහාම බලාගෙන හිටියා”
මතෙව් 4:17 තියෙන මේ වචනත් එක්ක දේශනය පටන්ගත්තා. “ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය.” (‘පැරණි අනුවාදය’) ඊටපස්සේ ශුභාරංචිය මිනිස්සු අතරට යන විදිහ ගැන එයා පැහැදිලි කළා. එයා මෙහෙම කිව්වා. “යේසුස් පැහැදිලි කළා ඔහු පැමිණ සිටින කාලයේදී ඔහුට විශ්වාසවන්තව, ළැදිව සේවය කරන සෙනඟව අස්වැන්නක් විදිහට එකතු කරගන්නවා කියලා.”
එදා සභාපති නිවේදනය කළා රදෆර්ඩ්ගේ දේශනයට බාධාවක් නොවෙන්න ඒක අතරතුරේදී පරක්කු වෙලා එන අයට ශාලාවට ඇතුල් වෙන්න අවසර නැහැ කියලා. උදේ 9:30ට සහෝදර රදෆර්ඩ්දේශනය අහන් හිටපු සහෝදර ක්ලවුස් කියනවා “එදා හැමෝම රදෆර්ඩ්ගේ කට දිහාම බලාගෙන හිටියේ වචනයක්වත් මඟහරින්න අකමැති වුණ නිසා” කියලා. හැබැයි හදිස්සියේම එයාට අසනීප ගතියක් දැනුණ නිසා එළියට යන්න වුණා. ඒත් එයා දැනන් හිටියා එළියට ගියොත් එයාට ආපහු එන්න බැහැ කියලා. අන්තිමේදී අකමැත්තෙන් වුණත් එයාට යන්න වුණා.
ටික වෙලාවකින් ක්ලවුස්ට දැනුණා එයාට හොඳයි කියලා. ඒ නිසා එයා ආයෙත් සමුළුව තිබ්බ තැනට ඇවිදගෙන ආවා. එතකොට එයාට ඇහුණා කට්ටිය හයියෙන් අත්පුඩි ගහනවා. ඉතින් එයාට දේශනය අහන කල් ඉවසිල්ලක් තිබුණේ නැහැ. පස්සේ එයා හිතුවා වහලෙට නැඟලා හරි ඒක අහනවා කියලා. ඒ වෙද්දී එයා අවුරුදු 23ක ශක්තිමත් තරුණයෙක්. වහලේ උඩ ඉර එළිය එන්න හදලා තියෙන කවුළු තිබුණා. එතන ඉඳලා තමයි එයා දේශනය ඇහුවේ. එයා කිව්වා “එතනට නං හොඳටම ඇහුණා” කියලා.
ඒ වෙලාවේ වහලේ හිටියේ ආතර් විතරක් නෙවෙයි. එයාගේ යාළුවෝ කීපදෙනෙකුත් හිටියා. එයාලගෙන් කෙනෙක් තමයි ෆ්රෑන්ක් ජොන්සන්. එයා ආතර් ගාවට ඇවිල්ලා ඇහුවා “ඔයා ගාව හොඳට කැපෙන පිහියක් තියෙනවාද” කියලා.
ආතර් කිව්වා “ඔව්” කියලා.
ඊටපස්සේ ෆ්රෑන්ක් මෙහෙම කිව්වා. “ඔයාව නං එව්වේ යෙහෝවාම තමයි. ඔයාට පේනවා නේද මෙතන තියෙන කැන්වස් රෝල් එක? ඒක බැනර් එකක්. ඔයා දේශනය හොඳට අහගෙන ඉන්න. * ‘ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න’ කියලා කියපු ගමන් මේ ලණු ටික කපන්න.”
විනිසුරුතුමාඉතින් ආතර් පිහියත් අතේ තියාගෙන සංඥාව ලැබෙන කල් බලන් හිටියා. වැඩි වෙලාවක් යන්න කලින් හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ඒ අවස්ථාව ආවා. ඒ වෙලාවේ සහෝදර රදෆර්ඩ් මේක කියන්න ඇත්තේ හරිම උද්යෝගයෙන් වෙන්න ඇති. “ස්වාමියා වෙනුවෙන් විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවන් වන්න. මහා බැබිලෝනිය වැටෙන කල් දිගටම සටන් කරන්න. පණිවිඩය අස්සක් මුල්ලක් නෑර දේශනා කරන්න. යෙහෝවා, දෙවියන් බවත් යේසුස්, රජ්ජුරුවන්ගේ රජු සහ ස්වාමිවරුන්ගේ ස්වාමියා බවත් මුළු ලෝකෙම දැනගන්න ඕනේ. මෙය අතිවිශිෂ්ට කාලයක්. බලන්න! යේසුස් රජු විදිහට පාලනය කරනවා! ඔබ ඔහුගේ නියෝජිතයෝ. ඒ නිසා රජු සහ ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න!”
ඒක ඇහුණ ගමන් ආතර් සහ අනිත් සහෝදරයෝ බැනර් එකේ ලණු කැපුවා. ඒත් එක්කම බැනර් එක හරිම ලස්සනට පහළට දිග ඇරුණා. “ADV” කියන එකේ තේරුම ඒකේ මේ විදිහට සඳහන් වෙලා තිබුණා. “ඇඩ්වටයිස් ද කිං ඇන්ඩ් කිංඩම්.” ඒ කියන්නේ රජු සහ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න කියන එකයි.
වැදගත් පැවරුමක්!
සීඩා පොයින්ට්වල පවත්වපු ඒ ඓතිහාසික සමුළුවෙන් සේවයට අවධානය දෙන එක කොච්චර වැදගත්ද කියලා කාවැද්දුවා. ඒකෙන් පස්සේ හුඟදෙනෙක් උද්යෝගයෙන් සේවේ හවුල් වුණා. ඇමරිකාවේ ඔක්ලහෝමාවල ඉන්න කෝල්පෝටර්වරයෙක් (පුරෝගාමීන්ව ඉස්සර හැඳින්නුවේ ඒ නමින්) මෙහෙම ලියලා එව්වා. “අපි සේවේ කරන්නේ ගල් අඟුරු පතල් තියෙන පැත්තක. එහේ ඉන්න අය හරිම දුප්පත්. ‘ගෝල්ඩන් ඒජ්’ සඟරාවේ තියෙන තොරතුරු එයාලා එක්ක බෙදාගනිද්දී එයාලගේ ඇස්වල කඳුළු පිරෙනවා. ශුභාරංචිය කියලා එයාලට සහනයක් දෙන්න ලැබුණ එක ලොකු ආශීර්වාදයක්.”
ලූක් 10:2 යේසුස් කියපු මේ වචනවල වැදගත්කම බයිබල් ශිෂ්‍යයන් තේරුම් අරන් හිටියා. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි.” ඒ අවුරුද්ද අවසන් වෙද්දී එයාලා ශුභාරංචිය පොළොව පුරාම ප්‍රචාරය කරන්න අරන් තිබුණ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණා.
^ සමහරු සහෝදර රදෆර්ඩ්ට කතා කළේ “විනිසුරුතුමා” කියලා. මොකද කාලයක් එයා ඇමරිකාවේ මිසූරිවල විනිසුරුවරයෙක් විදිහට වැඩ කළා.