Skip to content

පටුනට යන්න

අධ්‍යයනය තව රසවත් කරගන්නේ කොහොමද?

අධ්‍යයනය තව රසවත් කරගන්නේ කොහොමද?

ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට අරන් යන වගකීම පැවරුණේ යොෂුවාට. ඒ පැවරුමේදී එයාට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසයි දෙවි යොෂුවාව දිරිගැන්නුවේ “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න” කියලා. නීතියේ සඳහන් දේවල් කියවලා ඒවාට කීකරු වුණොත් යොෂුවාට ඥානවන්ත තීරණ ගන්න වගේම ඔහුගේ පැවරුම සාර්ථකව කරන්න පුළුවන් වෙනවා කියලා දෙවි කිව්වා.—යොෂු. 1:7, 8.

අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” නිසා අපිටත් හුඟක් ප්‍රශ්න, අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. (2 තිමෝ. 3:1) ඒවා ජය ගන්න නම් දෙවි යොෂුවාට කරන්න කියපු දේ අපිත් කරන්න ඕනේ. ඒ කියන්නේ දිනපතාම බයිබලය කියවලා ඒකෙන් ඉගෙනගන්න දේවල් අපි අදාළ කරගන්න ඕනේ.

ඒත් අපෙන් සමහරදෙනෙක් අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. තවත් අය අධ්‍යයනය කරන්න ආස නැහැ. ඒ කොහොමවුණත් අධ්‍යයනය කියන්නේ අපි කරන්නම ඕනෙ දෙයක්. ඔයාට ප්‍රයෝජනවත් වෙන විදිහට, රසවත් විදිහට බයිබලය අධ්‍යයනය කරන්න “ මේ යෝජනා අත්හදා බලන්න” කියන කොටුවේ තියෙන තොරතුරු උදව් වෙයි.

ගීතිකාකරු මෙහෙම කිව්වා. “ඔබේ ආඥාවලට අනුව ජීවිතය ගත කිරීමට මට උපකාර කරන්න. මන්ද ඔබේ ආඥා පිළිපැදීමෙන් මම මහත් සතුටක් ලබන්නෙමි.” (ගීතා. 119:35) ඔයාටත් පුළුවන් දෙවිගේ වචනය අධ්‍යයනය කරලා සතුටක් ලබන්න. දිගටම එහෙම කරද්දී බයිබලයේ තියෙන වටිනා මැණික් හොයාගන්න ඔයාට පුළුවන් වෙයි.

යොෂුවාට තිබුණා වගේ පැවරුමක් ඔයාට නැතත් ජීවිතේ හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න ඔයාටත් වෙනවා. ඔයාත් යොෂුවා වගේ බයිබලය අධ්‍යයනය කරලා ඒකේ සඳහන් දේවලට කීකරු වෙන්න. එහෙම කරනවා නම් ඥානවන්ත තීරණ ගන්නත් ජීවිතේ සාර්ථක කරගන්නත් ඔයාට පුළුවන්.