Skip to content

පටුනට යන්න

දෙවියන් මොන වගේ කෙනෙක්ද?

දෙවියන් මොන වගේ කෙනෙක්ද?

කෙනෙක් ළඟ තියෙන ලස්සන ගුණාංග දකිද්දී අපි ටිකෙන් ටික එයාට ළං වෙනවා. යෙහෝවා දෙවියන්ගේ අපූරු ගතිලක්ෂණ ගැන දැනගෙන ඔහුට ළං වෙන්න ඔයා කැමතිද? බලය, ප්‍රඥාව, යුක්තිය සහ ප්‍රේමය කියන්නේ ඔහුගේ ප්‍රධානම ගතිලක්ෂණ හතරයි.

මහත් බලයක් ඇති කෙනෙක්!

“විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.”යෙරෙමියා 32:17.

යෙහෝවා දෙවියන් මොන තරම් බලවත් කෙනෙක්ද කියලා ඔහු නිර්මාණය කරපු දේවලින් පැහැදිලියි. අපේ හිරු ගැන ටිකක් හිතන්න. හිරුගේ උණුසුම අපිට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒත් අපිට ඒ දැනෙන්නේ හිරුගේ උණුසුමෙන් අල්ප මාත්‍රයක් විතරයි. ගණන් බලලා තියෙන විදිහට හිරුගේ මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් විතර වෙනවා. හැම තත්පරයකදීම හිරුගෙන් නිකුත් වන ශක්තිය න්‍යෂ්ටික බෝම්බ මිලියන සිය ගණනක් පුපුරුවා හරිද්දී නිකුත් වන ශක්තියට සමානයි.

හැබැයි විශ්වයේ තියෙන ප්‍රකෝටි ගණන් තරු එක්ක බලද්දී හිරු කියන්නේ හරිම පුංචි තරුවක්. දැනට හොයාගෙන තියෙන විශාලම තරුව වන යූවී ස්කුටි හිරු වගේ 1,700 ගුණයක් විශාලයි. හිරු තියෙන තැනට ඒ තරුව ගෙනත් තිබ්බොත් ඒක අපේ පෘථීවිය විතරක් නෙමෙයි, බ්‍රහස්පතිගේ කක්ෂයත් අභිබවා යනවා. මේ මුළු විශ්වයම දෙවියන් නිර්මාණය කළේ ඔහු සතු අතිමහත් බලයෙන් කියලා බයිබල් ලේඛකයෙක් වුණ යෙරෙමියා කිව්ව දේ මොන තරම් ඇත්තක්ද!

දෙවියන්ගේ බලය ඔයාට බලපාන්නේ කොහොමද? අපේ ජීවිත රඳා පවතින්නේ සූර්යයා ඇතුළුව දෙවියන් තම බලයෙන් නිර්මාණය කරලා තියෙන දේවල් මතයි. ඒ වගේම දෙවියන් අපි එක් එක් කෙනාට උදව් කරන්නත් ඔහුගේ බලය යොදාගන්නවා. උදාහරණෙකට අන්ධ අයව, කොර අයව, බිහිරි අයව, ලාදුරු රෝගීන්ව සුව කරන්න විතරක් නෙමෙයි මිය ගිය අයට නැවත ජීවිතය ලබා දෙන්නත් දෙවියන් යේසුස්ට බලය දුන්නා. (මතෙව් 11:5) අදත් දෙවියන් ඔහුගේ බලය දීලා අපිට උදව් කරනවාද? “දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි” කියලත් “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය” කියලත් බයිබලයේ කියනවා. (යෙසායා 40:29, 31) ජීවිතයේ ඕනෙම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න දෙවියන් ඔහුගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” අපිට දෙනවා. (2 කොරින්ති 4:7) මහත් බලයක් ඇති යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්.

ප්‍රඥාවන්ත කෙනෙක්!

“යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය.”ගීතාවලිය 104:24.

දෙවියන්ගේ නිර්මාණ ගැන කිට්ටුවෙන් අධ්‍යයනය කළොත් ඔහු මොන තරම් ප්‍රඥාවන්තද කියලා තේරුම්ගන්න පුළුවන්. විද්‍යාඥයන් බොහෝදෙනෙක් අපි අවට තියෙන දේවල් නිර්මාණය කරලා තියෙන විදිහ අනුකරණය කරලා (ජීව අනුකාරී විද්‍යාව) විවිධ දේවල් නිපදවලා තියෙනවා. කැමරාවක කාචයක ඉඳන් ගුවන් යානා වගේ විශාල දේවල් නිර්මාණය කරන්නත් ඒවා වැඩි දියුණු කරන්නත් දෙවියන්ගේ නිර්මාණවල අපූර්වත්වය අනුකරණය කරලා තියෙනවා.

මිනිස් ඇස දෙවියන් නිර්මාණය කරපු විශිෂ්ට නිර්මාණ අතරින් එකක්

දෙවියන් මොන තරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා මිනිස් සිරුර නිර්මාණය කරලා තියෙන විදිහෙන් හොඳින් පැහැදිලි වෙනවා. උදාහරණෙකට මවකගේ ගර්භාෂය තුළ දරුවෙක් වැඩෙන විදිහ ගැන හිතන්න. දරුවෙක්ගේ ජීවිතය ආරම්භ වෙන්නේ සංසේචනය වුණ පුංචි සෛලයකින්. ඒ සෛලයේ දරුවගේ හැඩරුව, ගතිගුණ වගේ හැම තොරතුරක්ම ගබඩා වෙලා තියෙනවා. මේ පුංචි සෛලය ඒ හා සමාන තවත් සෛලවලට බෙදෙනවා. ඊටපස්සේ ඒවා රුධිර සෛල, ස්නායු සෛල, අස්ථි සෛල වගේ විවිධ සෛල වර්ග සිය ගාණකට බෙදී යනවා. පස්සේ මේ සෛල එකතු වෙලා විවිධ අවයව හැදෙනවා. මාස නමයක් ඇතුළත එක සෛලයක් සෛල බිලියන ගාණකට බෙදිලා පුංචි කිරිකැටියෙක් දක්වා වර්ධනය වෙන විදිහ ඇත්තෙන්ම ආශ්චර්යයක්. බයිබල් ලේඛකයෙක් ලියපු මේ දේට ඔයාත් එකඟ වෙයි. “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය.”—ගීතාවලිය 139:14.

දෙවියන්ගේ ප්‍රඥාව ඔයාට බලපාන්නේ කොහොමද? සතුටින් ඉන්න අපිට ඕනෙ මොනවාද කියලා හොඳින්ම දන්නේ අපිව නිර්මාණය කරපු තැනැත්තායි. අතිමහත් ප්‍රඥාවක් සහ අවබෝධයක් ඇති යෙහෝවා දෙවියන් සාර්ථක ජීවිතයක් ගත කරන්න අවශ්‍ය උපදෙස් බයිබලයේ ඇතුළත් කරලා තියෙනවා. උදාහරණෙකට බයිබලයේ කියනවා ‘අන් අයට මුළු හදවතින්ම සමාව දෙන්න’ කියලා. (කොලොස්සි 3:13) පර්යේෂකයන් හොයාගෙන තියෙන විදිහට සමාව දෙන එක රුධිර පීඩනය අඩු කරගන්නත් මානසික අවපීඩනය වගේ රෝගවලින් වැළකිලා ඉන්නත් උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකෙන් සුව නින්දකුත් ලැබෙනවා. අපේ යහපත ගැන හිතලා අපිට අවශ්‍ය හොඳම මඟ පෙන්වීම් දෙන්න පුළුවන් යෙහෝවා දෙවියන් වගේ කෙනෙක් තවත් නැහැ.—2 තිමෝති 3:16, 17.

යුක්තිසහගත කෙනෙක්!

“යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.”ගීතාවලිය 37:28.

බයිබලයේ මෙහෙම කියනවා. “සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.” (යෝබ් 34:10) දෙවියන් “ධර්මිෂ්ඨකමින් සියල්ලන්ව විනිශ්චය කරන්නෙහිය” කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 67:4) දෙවියන්ට මිනිසුන්ගේ “සිතේ තිබෙන දේ” දකින්න පුළුවන් නිසා ඔහුව රවට්ටන්න කාටවත් බැහැ. (1 සාමුවෙල් 16:7) ඇත්ත මොකක්ද කියලා තේරුම් අරන් නිවැරදි, සාධාරණ තීන්දුවක් දෙන්න ඔහුට පුළුවන්. අද ලෝකයේ වෙන දුෂ්ට, අසාධාරණ දේවල් දිහා ඔහු බලාගෙන ඉන්නවා. ළඟදීම “දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනවා” කියලා දෙවියන් පොරොන්දු වෙනවා.—හිතෝපදේශ 2:22.

ඒ වුණත් ඔහු මිනිසුන්ට දඬුවම් කරන්න බලාගෙන ඉන්න දරුණු කෙනෙක් නෙමෙයි. බයිබලයේ කියන්නේ ඔහු ‘දයාන්විත, කරුණාවන්ත’ කෙනෙක් කියලයි. (ගීතාවලිය 103:8) තමන්ගේ වැරදි ගැන පසුතැවිලා ඒවා හදාගන්න අයට දෙවියන් සමාව දෙන්න සූදානමින් ඉන්නවා. (2 පේතෘස් 3:9) යෙහෝවා දෙවියන් මොන තරම් යුක්තිසහගත කෙනෙක්ද කියලා ඒකෙන් පැහැදිලි වෙන්නේ නැද්ද?

දෙවියන්ගේ යුක්තිය ඔයාට බලපාන්නේ කොහොමද? බයිබල් ලේඛකයෙක් වුණ පේතෘස් මෙහෙම කිව්වා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’ (ක්‍රියා 10:34, 35) දෙවියන් යුක්තිසහගත කෙනෙක් නිසා අපේ ජාතිය, අධ්‍යාපන මට්ටම, සමාජ මට්ටම මොකක් වුණත් ඔහුගේ යාළුවෙක් වෙන්න අපි හැමෝටම පුළුවන්.

දෙවියන් යුක්තිසහගත කෙනෙක් නිසා හැමෝටම සලකන්නේ එකම විදිහටයි

දෙවියන් කැමතියි අපිත් ඔහු වගේ යුක්තියට ප්‍රිය කරනවාට. එහෙම කරන්න නම් අපි හරි වැරද්ද අතර වෙනස හඳුනාගන්න ඕනේ. ඒ නිසයි ඔහු අපිට හෘදය සාක්ෂිය කියන තෑග්ග දීලා තියෙන්නේ. බයිබලයේ හෘදය සාක්ෂිය හඳුන්වලා තියෙන්නේ අපේ හදවත්වල ලියා තිබෙන නීතියක් විදිහටයි. වරදක් කරන්න කලින් ඒ ගැන අපිට අනතුරු අඟවන්නත් අපි අතින් වරදක් වුණොත් ඒ වැරැද්ද හදාගන්න අපිව පොලඹවන්නත් පුහුණු කරපු හෘදය සාක්ෂියකට පුළුවන්. (රෝම 2:15) ඒත් ඒකෙන් ප්‍රයෝජන ගන්න නම් අපි අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරගන්න ඕනේ. යෙහෝවා දෙවියන් මොන තරම් යුක්තිසහගත කෙනෙක්ද කියලා දැනගන්න තරමට ඔහුට ළං වෙන්න අපිට තියෙන ආසාවත් වැඩි වෙනවා.

ප්‍රේමණීය කෙනෙක්!

“දෙවි ප්‍රේමයයි.”1 යොහන් 4:8.

දෙවියන් බලවත්, ප්‍රඥාවන්ත, යුක්තිසහගත කෙනෙක් කියලා අපි දැනගත්තා. දෙවියන් සතු බලය නිසා ඔහුට ඕනෙම දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඔහු ප්‍රඥාවන්තව, යුක්තිසහගතව වැඩ කරන නිසා ඔහු තමන්ගේ බලය පාවිච්චි කරන්නේ හරි විදිහටයි. ඒත් ඒ විදිහට ක්‍රියා කරන්න ඔහුව පොලඹවන්නේ ප්‍රේමයයි. ඒ නිසයි බයිබලයේ කියන්නේ ‘දෙවි ප්‍රේමය’ කියලා. ප්‍රේමය තමයි ඔහුගේ ප්‍රධානම ගුණාංගය.

දෙවියන් දේවදූතයන්ව සහ මිනිසුන්ව නිර්මාණය කළේ තමන්ට කිසිම දේකින් අඩුවක් තිබුණ නිසා නෙමෙයි, ප්‍රේමය නිසයි. අපිව නිර්මාණය කරලා තියෙන විදිහ නිසා දෙවියන්ගේ ආදරය සහ සැලකිල්ල ලබාගෙන සතුටෙන් ජීවත් වෙන්න අපිට පුළුවන්. අපේ පැවැත්මට අවශ්‍ය හැම දෙයක්ම ඇතුව මේ පොළොව නිර්මාණය කළෙත් ඔහු අපිට ආදරේ නිසයි. දෙවියන් අදටත් ඔහුගේ ආදරය හැම කෙනෙක්ටම පෙන්නනවා. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.”—මතෙව් 5:45.

ඒ වගේම ඔහු “ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්.” (යාකොබ් 5:11) දෙවියන්ට ළං වෙලා ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අය ගැන ඔහු පෞද්ගලිකව සැලකිලිමත් වෙනවා. ඒ වගේ කෙනෙක් ගැන ඔහුට ලොකු හැඟීමක් තියෙනවා. ‘ඔහු ඔබ ගැනත් සැලකිලිමත්.’—1 පේතෘස් 5:7.

දෙවියන්ගේ ප්‍රේමය ඔයාගේ ජීවිතේට බලපාන්නේ කොහොමද? හිරු බැස යන මනරම් දර්ශනයක් දකිද්දී, කිරිකැටි හිනාවක් ඇහෙද්දී, කෙනෙක්ගේ ආදරය ලබද්දී අපේ හිත මොන තරම් සතුටින් පිරී යනවාද! ඇත්ත, ඒවා ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දේවල් නෙමෙයි. ඒත් ඒ දේවල් අපේ ජීවිතයට රසයක් එක් කරනවා.

දෙවියන් ඔහුගේ ආදරය පෙන්නන තවත් විදිහක් තමයි යාච්ඤාව. කිසිම කෙනෙක්ට තේරුම්ගන්න බැරි, කියාගන්න බැරි ඔයාගේ හදවතේ තියෙන දේවල් අහන්න යෙහෝවා දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා. බයිබලයේ කියන්නේ “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න” කියලයි. අපි එහෙම කරද්දී “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්” ඔයාට ලබා දෙන්න දෙවියන් පොරොන්දු වෙනවා.—ෆිලිප්පි 4:6, 7.

මේ ලිපියෙන් අපි දෙවියන්ගේ ප්‍රධාන ගතිලක්ෂණ හතර ගැන ඉගෙනගත්තා. දෙවියන්ව තවත් හොඳින් දැන හඳුනාගන්න නම් ඔහු දැනටමත් අපි වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද, අනාගතයේදී කරන්නේ මොනවාද කියලා දැනගන්න එක වැදගත්. ඒ ගැන දැන් අපි බලමු.

දෙවියන් මොන වගේ කෙනෙක්ද? යෙහෝවා දෙවියන් ගොඩක් බලවත්, ප්‍රඥාවන්ත, යුක්තිසහගත කෙනෙක්. ඒත් ප්‍රේමය තමයි ඔහුගේ ප්‍රධානම ගුණාංගය