Skip to content

පටුනට යන්න

“කියා නිම කළ නොහැකි දීමනාව” අගය කරමු

“කියා නිම කළ නොහැකි දීමනාව” අගය කරමු

“දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි ඒ දීමනාව ගැන ඔහුට ස්තුති වේවා!”—2 කොරි. 9:15.

ගීතිකා: 121, 63

1, 2. (අ) “දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි දීමනාවට” ඇතුළත් වෙන්නේ මොනවද? (ආ) මේ ලිපියේ බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

යෙහෝවා දෙවි ඔහුගේ එකම පුතාව පොළොවට එවලා ඔහුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග අපි වෙනුවෙන් දුන්නා. (යොහ. 3:16; 1 යොහ. 4:9, 10) පාවුල් ඒ තෑග්ග හැඳින්නුවේ “දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි දීමනාව” කියලයි. (2 කොරි. 9:15) පාවුල් එහෙම කිව්වේ ඇයි?

2 යෙහෝවා දෙවි දීලා තියෙන හැම පුදුමාකාර පොරොන්දුවක්ම ඉටු වෙනවා කියන එකට යේසුස්ගේ ජීවිත පූජාව සහතිකයක් කියලා පාවුල් දැනගෙන හිටියා. (2 කොරින්ති 1:20 කියවන්න.) ඒ කියන්නේ “දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි දීමනාව” කියද්දී යේසුස්ගේ ජීවිත පූජාව විතරක් නෙමෙයි අනාගතයේදී යෙහෝවා දෙවි, යේසුස් මාර්ගයෙන් අපිට දෙන හැම යහපත් දෙයක්ම ඒකට ඇතුළත්. ඒ වගේම දෙවි අපිට පෙන්නන සදා නොමියන ආදරෙත් ඒකට ඇතුළත්. ඇත්තටම ඒ තෑග්ගේ වටිනාකම වචනවලින් විස්තර කරන්න බැහැ. දෙවි දුන්න ඒ තෑග්ග ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? 2016 මාර්තු 23වෙනි බදාදා පැවැත්වෙන යේසුස්ගේ මරණය සිහි කිරීමට සූදානම් වෙන්න දෙවි දුන්න ඒ තෑග්ග අපි තුළ පෙලඹීමක් ඇති කරන්නේ කොහොමද?

දෙවි දුන්න වටිනාම තෑග්ග

3, 4. (අ) කෙනෙක් ඔයාට තෑග්ගක් දුන්නම ඔයාට හැඟෙන්නේ කොහොමද? (ආ) මිල කරන්න බැරි තෑග්ගක් කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්නේ කොහොමද?

3 කවුරු හරි තෑග්ගක් දුන්නම අපි ඒක කොච්චර අගය කරනවද! ඔය අතරේ සමහර තෑගි තියෙනවා ඒවා මිල කරන්න බැහැ. ඒ වගේ තෑග්ගක් නිසා ඒක ලබන කෙනාගේ ජීවිතේම වෙනස් වෙනවා. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා අතින් දරුණු අපරාධයක් වෙනවා. ඒ වරදට දඬුවම විදිහට ඔයාට මරණ දණ්ඩනය නියම වෙනවා. ඔයා ඉන්නේ කොයි තරම් බයෙන්ද දුකෙන්ද! ඒත් නාඳුනන කෙනෙක් කියනවා ඔයා වෙනුවෙන් ඒ දඬුවම විඳින්න එයා කැමතියි කියලා. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් මැරෙන්න එයා ඉදිරිපත් වෙනවා. එයාගේ පරිත්‍යාගය ගැන ඔයාට කොහොම දැනෙයිද? ඒක මිල කරන්න බැරි තරම් වටින තෑග්ගක් නෙමෙයිද?

4 ඒ වගේ තෑග්ගක් ලැබුණම ඔයා පෙලඹෙයි ජීවිතේ ගැන ආයෙත් හිතන්න. ජීවිතේ වෙනස් කරගන්න. ඒ වගේම පරිත්‍යාගශීලී, අනිත් අයට ආදරේ කරන කෙනෙක් වෙන්න. ඔයාට අකාරුණිකව සලකන අයට සමාව දෙන්නත් ඔයා පෙලඹෙයි. ඔයා වෙනුවෙන් ජීවිතේ දීලා ඒ කෙනා කරපු පරිත්‍යාගයට ණයගැතියි කියලා පෙන්නන්න ජීවිතේ තියෙන කල්ම කරන්න පුළුවන් හැම දේම කරන්න ඔයා අධිෂ්ඨාන කරගනියි.

5. යේසුස්ගේ ජීවිත පූජාව වෙන කිසිම තෑග්ගකට වඩා වටින්නේ ඇයි?

5 යෙහෝවා දෙවි ඔහුගේ එකම පුතාගේ ජීවිතේ අපි වෙනුවෙන් දීලා අපිට දුන්නේ වෙන කිසිම තෑග්ගකට වඩා ශ්‍රේෂ්ඨ තෑග්ගක්. (1 පේතෘ. 3:18) මේ ගැන හිතන්න. ආදම්ගෙන් උරුම වුණු පාපයට දඬුවම විදිහට හැම මිනිසෙකුටම මරණයත් උරුම වුණා. (රෝම 5:12) ඒත් “සෑම මිනිසෙකු වෙනුවෙන්ම මරණයට පත් වෙන්න” යෙහෝවා දෙවි යේසුස්ව පොළොවට එව්වේ අපි ගැන ඔහුට තියෙන සදා නොමියන ආදරේ නිසයි. (හෙබ්‍රෙ. 2:9) අපිට උරුම වුණු දඬුවමින් අපි නිදහස් වෙනවා විතරක් නෙමෙයි ජීවිත පූජාව නිසා මරණය සදහටම නැති කරන්න දෙවිට පුළුවන්. (යෙසා. 25:7, 8; 1 කොරි. 15:22, 26) යේසුස්ගේ ජීවිත පූජාව පිළි අරන් ඒ ගැන විශ්වාසය තියන හැමෝටම ලැබෙන්නේ සතුට, සාමය පිරුණු සදාකාල ජීවිතයක්. සමහරුන්ට ස්වර්ගයේ රජවරුන් විදිහටත් තවත් විශාල පිරිසකට දේවරාජ්‍යයේ යටත්වැසියන් විදිහටත් ඒ ජීවිතය ලැබෙනවා. (රෝම 6:23; එළි. 5:9, 10) දෙවි දුන්න ඒ වටිනා තෑග්ගට තවත් ආශීර්වාද ඇතුළත්.

6. (අ) ඔයා බලාගෙන ඉන්නේ දෙවි දුන්න තෑග්ගට ඇතුළත් මොන ආශීර්වාද අද්දකින්නද? (ආ) ඒ තෑග්ග අපිව පොලඹවන්නේ මොනවා කරන්නද?

6 පොළොව පාරාදීසයක් වෙන එක, අසනීප සදහටම නැති වෙන එක, මිය ගිය අය නැවත නැඟිටින එක දෙවි දුන්න තෑග්ගට ඇතුළත් තවත් ආශීර්වාද. (යෙසා. 33:24; 35:5, 6; යොහ. 5:28, 29) “දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි දීමනාව” දුන්න එක ගැන යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් අපිට තියෙන්නේ පුදුමාකාර ආදරයක්. ඒ තෑග්ග නිසා (1) යේසුස්ව කිට්ටුවෙන් ආදර්ශයට ගන්න, (2) සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න, (3) මුළු හිතින්ම අනිත් අයට සමාව දෙන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙන්න ඕනේ.

‘ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ පෙලඹීමක් ඇති කරයි’

7, 8. අපි වෙනුවෙන් ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ඒක අපිව පොලඹවන්න ඕනෙ මොකක් කරන්නද?

7 දෙවිගේ ආදරේ අපිව පොලඹවන මුල්ම විදිහ ගැන දැන් බලමු. ඒ යේසුස් වෙනුවෙන් ජීවත් වෙන්න අපි තුළ ඇති කරන පෙලඹීමයි. “ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි” කියලා පාවුල් කිව්වා. (2 කොරින්ති 5:14, 15 කියවන්න.) යේසුස් අපි වෙනුවෙන් පෙන්නලා තියෙන ආදරේ ගැන ලොකු අගයක් අපේ හිතේ තියෙනවා නම් ඔහුට ආදරේ කරන්න, ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙනවා කියලා පාවුල් දැනගෙන හිටියා. යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කරපු දේ ගැන අපිට තියෙන අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න යේසුස් කියපු විදිහට ජීවත් වෙන්න අපි තුළ තියෙන ආසාවත් තව වැඩි වෙනවා.

8 යෙහෝවා දෙවිට ආදරේ කරන අය යේසුස්ව කිට්ටුවෙන්ම අනුගමනය කරන්න පෙලඹෙන්නේ නිතැතින්මයි. (1 පේතෘ. 2:21; 1 යොහ. 2:6) දෙවිටත් යේසුස්ටත් කීකරු වෙනවා නම් අපි ඒ දෙන්නට කොච්චර ආදරේද කියලා පෙන්නන්න අපිට පුළුවන්. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “කෙනෙක් මම ආඥා කරන දේවල් පිළිගෙන ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඒ තැනැත්තායි. ඒ වගේම මට ප්‍රේම කරන තැනැත්තාට මගේ පියාණන් ප්‍රේම කරන අතර මමත් ඔහුට ප්‍රේම කරනවා. ඒ විතරක් නොවෙයි, මම කවුද කියා ඔහුට පැහැදිලිවම පෙන්වා දෙනවා.”—යොහ. 14:21; 1 යොහ. 5:3.

9. සමාජය අපිව පොලඹවන්නේ මොනවා කරන්නද?

9 අපි ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා යේසුස්ගේ මරණය සිහි කරන මේ කාලෙදී හිතලා බලමු. ‘මං දැනටමත් යේසුස්ව ආදර්ශයට ගන්නේ මොන පැතිවලින්ද? මට තව දියුණු වෙන්න පුළුවන් පැති තියෙනවද?’ ඒ ප්‍රශ්න ගැන හොඳට හිතලා බලන එක වැදගත්. මොකද මේ දුෂ්ට සමාජයට ඕනෙ ඒ අයගේ අච්චුවට අපිවත් දාගන්නයි. (රෝම 12:2) පරෙස්සම් වුණේ නැත්නම් විද්වතුන්, නළු නිළියන්, ක්‍රීඩා තරු ආදර්ශයට ගන්න අපිත් පෙලඹෙයි. (කොලො. 2:8; 1 යොහ. 2:15-17) සමාජයේ රැල්ලට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

10. සිහි කිරීමේ කාලෙදී අපිට හිතන්න පුළුවන් මොන ප්‍රශ්න ගැනද? එහෙම හිතද්දී අපි පෙලඹෙන්නේ මොකක් කරන්නද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 අපි අඳින පළඳින විදිහ ගැනත් බලන චිත්‍රපටි ගැනත් අහන සංගීතය ගැනත් අපේ කම්පියුටර් එකේ, ෆෝන් එකේ, ටැබ්ලට් එකේ තියෙන දේවල් ගැනත් හිතලා බලන්න මේ සිහි කිරීමේ කාලය හොඳ අවස්ථාවක්. මෙහෙම හිතලා බලන්න. ‘යේසුස් මං ළඟ හිටියොත් මං අඳින පළඳින විදිහ දැකලා සතුටු වෙයිද?’ (1 තිමෝති 2:9, 10 කියවන්න.) ‘මං යේසුස්ව ආදර්ශයට ගන්න කෙනෙක් කියලා මගේ ඇඳුමෙන් පේනවද? මං බලන චිත්‍රපටි බලන්න, මං අහන සිංදු අහන්න යේසුස් කැමති වෙයිද? යේසුස් මගේ ෆෝන් එක හරි ටැබ්ලට් එක හරි ඉල්ලගත්තොත් ඒකේ තියෙන සමහර දේවල් යේසුස් දකියි කියලා මට බයක් දැනෙයිද? මං ළඟ තියෙන වීඩියෝ ගේම්ස්වලට මං ආස ඇයි කියලා යේසුස්ට පැහැදිලි කරන්න මට පුළුවන්ද?’ කොච්චර මිල අධික වුණත් දෙවිගේ සේවකයෙකුට සුදුසු නැති දේවල් සම්පූර්ණයෙන්ම අයින් කරන්න දෙවි ගැන අපිට තියෙන ආදරේ අපිව පොලඹවන්න ඕනේ. (ක්‍රියා 19:19, 20) අපේ ජීවිත දෙවිට කැප කරපු වෙලාවේ අපි පොරොන්දු වුණා යේසුස්ට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙනවා කියලා. ඔහුව ආදර්ශයට ගන්න අපි දරන උත්සාහයට බාධා කරන ඕනම දෙයක් අපි අයින් කරමු.—මතෙ. 5:29, 30; ෆිලි. 4:8.

11. (අ) දෙවි සහ යේසුස් ගැන අපිට තියෙන ආදරේ සේවයට අපිව පොලඹවන්නේ කොහොමද? (ආ) සභාවේ අයට උදව් කරන්න ආදරේ අපිව පොලඹවන්නේ කොහොමද?

11 යේසුස් ගැන තියෙන ආදරේ උද්‍යෝගයෙන් දේශනා කරන්නත් උගන්වන්නත් අපි තුළ පෙලඹීමක් ඇති කරනවා. (මතෙ. 28:19, 20; ලූක් 4:43) මේ සිහි කිරීමේ කාලෙදී සහායක පුරෝගාමි සේවයේ පැය 30ක් හරි 50ක් හරි කරන්න පුළුවන් විදිහට එදිනෙදා වැඩ සකස් කරගන්න ඔයාට පුළුවන්ද? වයස නිසාත් අසනීප නිසාත් සහායක පුරෝගාමි සේවය කරන්න බැරි වෙයි කියලා වයස 84ක සහෝදරයෙක් මුලින් හිතුවා. ඒත් ලේසියෙන්ම ගිහින් සේවය කරන්න පුළුවන් ප්‍රදේශයක් තෝරගන්න සභාවේ හිටපු පුරෝගාමීන් එයාට උදව් කළා. සේවයේ යන්න එන්න ප්‍රවාහන පහසුකම් දුන්නා. ඒ නිසා එයාට පුළුවන් වුණා පැය 30ක් වාර්තා කරන්න. මාර්තු, අප්‍රියෙල් මාසවල පුරෝගාමි සේවය කරන්න සභාවේ කෙනෙක්ට උදව් කරන්න ඔයාටත් පුළුවන්ද? හැමෝටම පුරෝගාමි සේවය කරන්න බැහැ තමයි. ඒත් වැඩි සේවයක් කරන්න අපේ කාලය, ශක්තිය යොදවන්න අපි හැමෝටම පුළුවන්. එහෙම කරද්දී ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අපි තුළත් පෙලඹීමක් ඇති කළා කියලා කියන්න පාවුල්ට වගේ අපිටත් පුළුවන්.

ආදරේ කරන්න අපි බැඳිලා ඉන්නවා

12. දෙවිගේ ආදරේ අපිව පොලඹවන්නේ මොකක් කරන්නද?

12 යෙහෝවා දෙවිට අපි ගැන තියෙන ආදරේ අපිව පොලඹවන දෙවෙනි පැත්ත ගැන දැන් බලමු. ඒ අපේ සහෝදරයන්ට ආදරේ කරන්න අපි තුළ ඇති කරන පෙලඹීමයි. යොහන් මෙහෙම කිව්වා. “ප්‍රේමණීය සහෝදරයෙනි, දෙවි අපට එලෙස ප්‍රේම කර ඇත්නම් අපත් බැඳී සිටින්නේ එකිනෙකාට ප්‍රේම කිරීමටය.” (1 යොහ. 4:7-11) දෙවි පෙන්නලා තියෙන ආදරේ ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නම් අපේ සහෝදරයන්ට අපි ආදරේ කරනවා. (1 යොහ. 3:16) ඒ ආදරේ පෙන්නන්නේ කොහොමද?

13. යේසුස්ට අනිත් අය ගැන තිබුණු ආදරේ පැහැදිලි වුණේ කොහොමද?

13 අනිත් අයට ආදරේ කරන්නේ කොහොමද කියලා අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ඔහු පොළොවේ ඉද්දී අන්ධ, ගොළු, බිහිරි, කොර අයවත් අසනීපයෙන් හිටපු හුඟක් අයවත් සුව කළා. (මතෙ. 11:4, 5) ආගමික නායකයන් වගේ නෙමෙයි දෙවි ගැන ඉගෙනගන්න ආසාවෙන් හිටපු අයට ඔහු ඉගැන්නුවේ හරිම සතුටින්. (යොහ. 7:49) නිහතමානී අයට ඔහු ආදරේ කළා. වෙහෙස මහන්සි නොබලා ඒ අයට උදව් කළා.—මතෙ. 20:28.

මහලු සහෝදරයෙකුට, සහෝදරියකට උදව් කරන්න ඔයාට පුළුවන්ද? (14 ඡේදය බලන්න)

14. සභාවේ අයට ඔයාගේ ආදරේ පෙන්නන්න පුළුවන් මොන විදිවලින්ද?

14 සභාවේ ඉන්න අයට විශේෂයෙන්ම මහලු අයට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න මේ සිහි කිරීමේ කාලය හොඳ අවස්ථාවක්. ‘එයාලව බලන්න යන්න පුළුවන්ද? එයාලට කෑම වේලක් ගිහින් දෙන්න පුළුවන්ද? ගෙදර දොරේ වැඩක් කරලා දෙන්න පුළුවන්ද? රැස්වීමට එන්න යන්න උදව් කරන්න පුළුවන්ද? එයාත් එක්ක සේවයේ යන්න පුළුවන්ද’ කියලා හිතන්න. (ලූක් 14:12-14 කියවන්න.) සහෝදරයන්ට ආදරේ කරන්න ඔයා තුළ පෙලඹීමක් ඇති කරන්න දෙවි පෙන්නපු ආදරේට ඉඩ දෙන්න.

හදවතින්ම සමාව දෙන්න

15. අපි හැමෝම පිළිගන්න ඕනෙ මොකක්ද?

15 යෙහෝවා දෙවිට අපි ගැන තියෙන ආදරේ අපිව පොලඹවන තුන්වෙනි පැත්ත තමයි සහෝදර සහෝදරියන්ට සමාව දෙන එක. අපි හැමෝටම පාපය සහ මරණය උරුම වෙලා තියෙන නිසා ‘ජීවිත පූජාව මට ඕනෙ නැහැ’ කියන්න කාටවත් බැහැ. දෙවිට හුඟක් විශ්වාසවන්තව සේවය කරන කෙනෙකුට වුණත් යේසුස්ගේ ජීවිත පූජාව අත්‍යවශ්‍යයි. මොකද ජීවිත පූජාව නිසා අපේ පව්වලට සමාව ලැබෙනවා. ඒක හරියට ලොකු ණයකින් අපිව සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා වගේ. ඒ කාරණය තේරුම්ගන්න එක වැදගත් ඇයි කියලා යේසුස් කියපු උපමාවකින් පැහැදිලි වෙනවා.

16, 17. (අ) යේසුස් කියපු උපමාවෙන් ඉගෙනගන්න පාඩම මොකක්ද? (ආ) ඒ ගැන හොඳින් හිතද්දී ඔයා අදිටන් කරගත්තේ මොකක් කරන්නද?

16 යේසුස් දවසක් රජ කෙනෙක් ගැන උපමාවක් කිව්වා. ඒ කතාවේ හැටියට රජුට ඩිනාරි 6,00,00,000ක් ණය වෙලා හිටපු දාසයෙකුට රජ සමාව දීලා ණය කපාහරිනවා. ඒත් තමන්ට ඩිනාරි 100ක් ණය වෙලා හිටපු වෙන දාසයෙකුට සමාව දෙන්න රජුගෙන් සමාව ලබපු දාසයා කැමති වෙන්නේ නැහැ. ‘රජ මට සමාව දුන්නා නේ, මමත් මට ණය වුණු කෙනාට සමාව දෙන්න ඕනෙ’ කියලා ඔහු හිතුවේ නැහැ. සිද්ධ වුණු දේ ආරංචි වුණාම රජට හොඳටම කේන්ති ගියා. ඒ දාසයාව ගෙන්නලා ඔහු මෙහෙම කිව්වා. “ඔබ ඉතා දුෂ්ට දාසයෙක්! ඔබ මාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටි විට මම ඔබේ මුළු ණයම අහෝසි කර දැමුවා. මා ඔබට අනුකම්පා කළා වගේම ඔබත් ඒ දාසයාට අනුකම්පා කරන්න තිබුණා නේද?” (මතෙ. 18:23-35) ඒ රජු වගේ යෙහෝවා දෙවිත් විශාල ණයක් අපෙන් කපාහැරලා තියෙනවා. එහෙම කළේ අපේ වැරදිවලට සමාව දීලා. දෙවිගේ ආදරේ, දයාව ගැන හිතද්දී අපි පෙලඹෙන්න ඕනෙ මොනවා කරන්නද?

17 සිහි කිරීමට සූදානම් වෙන මේ කාලෙදී මේ ගැන හිතන්න. ‘කවුරු හරි සහෝදරයෙක් මගේ හිත රිද්දලා තියෙනවද? එයාට සමාව දෙන්න මට අමාරුයිද?’ එහෙමනම් “සමාව දීමට කැමති” යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න මේක හොඳ අවස්ථාවක්. (නෙහෙ. 9:17; ගීතා. 86:5) දෙවිගේ දයාව අපි අගය කරනවා නම් අපි අනිත් අයටත් දයාව දක්වනවා. මුළු හිතින්ම සමාව දෙනවා. එහෙම කළේ නැත්නම් දෙවිගේ ආදරේවත් ඔහුගෙන් සමාවවත් බලාපොරොත්තු වෙන්න බැහැ. (මතෙ. 6:14, 15) අපි සමාව දෙද්දී මොකද වෙන්නේ? අතීතය වෙනස් කරන්න අපිට බැහැ. එයා අතින් වුණු දේ වෙලා ඉවරයි. ඒත් ඒක අපේ අනාගතයට හොඳ විදිහට බලපායි.

18. කැරල්ගේ අඩුපාඩු දරාගන්න දෙවිගේ ආදරේ ලිලීට උදව් වුණේ කොහොමද?

18 අපේ සහෝදරයන්ගේ අතින් අඩුපාඩු වෙද්දී ඒවා දරාගෙන දිගටම ඒ අය එක්ක වැඩ කරන එක එච්චර ලේසි නැහැ. (එෆීස 4:32; කොලොස්සි 3:13, 14 කියවන්න.) ලිලීගේ අද්දැකීම බලන්න. කැරල් කියන මහලු, වැන්දඹු සහෝදරියට ලිලී හුඟක් උදව් කළා. [1] කැරල්ට කොහේ හරි යන්න ඕන වුණාම ලිලී එයාව ඒ තැනට එක්කගෙන ගියා. එදිනෙදා ඕන කරන දේවල් කඩෙන් ගෙනත් දුන්නා. ඒ විදිහට හුඟක් පැතිවලින් එයාට උදව් කළා. ඒ කොච්චර කළත් කැරල් හැම වෙලේම කළේ මොකක් හරි අඩුවක් හොයන එකයි. ඒ නිසා එයාට උදව් කරන එක සමහර වෙලාවට ලිලීට ලේසි වුණේ නැහැ. ඒත් ලිලී උත්සාහ කළා කැරල්ගේ හොඳ ගුණාංග ගැන හිතන්න. කැරල් අසනීප වෙලා මිය යන කල්ම අවුරුදු ගාණක් ලිලී එයාට උදව් කළා. ලිලී මෙහෙම කියනවා. “පාරාදීසයේදී කැරල්ව ආයෙත් හම්බ වෙන්න මං ආසාවෙන් බලාගෙන ඉන්නවා. පරිපූර්ණ කෙනෙක් විදිහට එයාව අඳුනගන්න මං ආසයි.” අපේ සහෝදර සහෝදරියන්ට මොන අඩුපාඩු තිබුණත් ඒවා දරාගෙන එයාලා එක්ක එකට වැඩ කරන්න යෙහෝවා දෙවි පෙන්නලා තියෙන ආදරේ අපිව පොලඹවනවා. ඒ වගේම කිසිම කෙනෙක් අතින් වැරදි, අඩුපාඩුකම් වෙන්නේ නැති කාලේ එන කල් ආසාවෙන් බලාගෙන ඉන්නත් ඒක අපිට උදව් වෙයි.

19. “දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි දීමනාව” ඔයාව පොලඹවන්නේ මොනවා කරන්නද?

19 “දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි දීමනාව” කොයි තරම් වටිනවද! ඒ ගැන අපේ හිතේ තියෙන අගය තව තවත් වැඩි කරගමු. මේ සිහි කිරීමේ කාලය යෙහෝවා දෙවිත් යේසුත් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන ගැඹුරින් හිතන්න හොඳම කාලයයි. ඒ දෙන්නා පෙන්නලා තියෙන ආදරේ යේසුස්ව ආදර්ශයට ගන්න, සහෝදරයන්ට ආදරේ කරන්න, මුළු හිතින්ම අනිත් අයට සමාව දෙන්න අපි තුළ පෙලඹීමක් ඇති කරනවා නිසැකයි.

^ [1] (18 ඡේදය) සමහර නම් වෙනස් කර ඇත.