නිර්මාණයක්ද?
ගිනියම් කතරේ කඩිසරයා
සහරා කාන්තාරයේ ජීවත් වන රිදී කුහුඹුවන් (Cataglyphis bombycina) සත්ව ලෝකයේ වැඩිම උණුසුමක් දරාගන්න පුළුවන් සත්ව විශේෂයක්. උන්ව ගොදුරු කරගන්න එන සතුන් ඉර මුදුන් වෙද්දී දැනෙන තද රස්නය නිසා සෙවණ හොයාගෙන යනවා. ඒ වෙලාවට ගුල්වලින් එළියට ඇදෙන රිදී කුහුඹුවන් රස්නේ දරාගන්න බැරුව මැරුණ කෘමීන්ව කෑමට ගන්නවා.
මේ ගැන හිතන්න: මේ තරම් රස්නයක් දරාගන්න ඌට පුළුවන් කොහොමද? ඒ විශේෂ කෙස් වර්ගයකින් උගේ ඇඟේ මතුපිට සහ දෙපස ආවරණය වෙලා තියෙන නිසයි. ඒ කෙස් පිහිටලා තියෙන්නේ ත්‍රිකෝණාකාර නළ විදිහට. ඌට බැබළෙන රිදී පැහැයක් ලැබෙන්නෙත් ඒ නිසයි. මේ ත්‍රිකෝණාකාර කෙස්වල හිරු එළියට නිරාවරණය වන පෘෂ්ඨ දෙකේ මුල ඉඳන් අගටම දිග අතට හරිම සියුම් රැළි පිහිටලා තියෙනවා. මේ විශේෂ කෙස් නිසා ඌට තියෙන වාසියක් තමයි ශරීරයට පතිත වන හිරු කිරණ පරාවර්තනය වෙන එක. තවත් වාසියක් තමයි ශරීරයට උරාගන්ත තාපය පිට කරලා ශරීරය සිසිල්ව තියාගන්න පුළුවන් වෙන එක. ශරීරයේ යට පැත්තේ කෙස් නැති වුණත් ගිනියම් වුණු වැල්ලෙන් පිට වන කිරණ පරාවර්තය කරන්නත් ඌට පුළුවන්. a
රිදී කුහුඹුවන්ගේ ශරීර සැකැස්ම නිසා 53.6°Cක් දක්වා උපරිම ඌෂ්ණත්වයකදී වුණත් ශරීරය සාමාන්‍ය විදිහට තියාගන්න උන්ට පුළුවන්. උන්ගේ මේ විශේෂ ලක්ෂණ අධ්‍යයනය කරපු පර්යේෂකයන් විදුලි පංකා හෝ වෙනත් ආධාරකයක් නැතුව සිසිල් කරවන විශේෂ ආවරණ නිර්මාණය කරන්න උත්සාහ කරනවා.
ඔයාගේ නිගමනය මොකක්ද? දැඩි උෂ්ණත්වයකදී වුණත් ශරීරය සිසිල්ව තියාගන්න රිදී කුහුඹුවන්ට හැකියාව ලැබිලා තියෙන්නේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි උන්ව නිර්මාණය කළ නිසාද?
a මේ කුහුඹුවන්ට ආවේණික තවත් ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි උන්ගේ ශරීරයේ තියෙන විශේෂ ප්‍රෝටීන. තද උණුසුමකදී වුණත් ඒවා බිඳෙන්නේ නැහැ. තව එකක් තමයි උන්ගේ දිග පාද. රත් වුණු වැලිවල ගෑවෙන්නේ නැතුව හරිම වේගයෙන් දුවන්න ඒ නිසා පුළුවන්. කොච්චර දුරක් ගියත් ආයෙත් ගුල හොයාගෙන එන්න උන්ට තියෙන්නෙත් පුදුම හැකියාවක්.