පාඩම් ලිපිය 22
ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?
බඳිනවාද නැද්ද කියලා හොඳ තීරණයක් ගන්න නම් . . .
‘බොහෝ සෙයින් වටින්නේ හදවත එනම්, ඇතුළාන්තයයි.’—1 පේතෘ. 3:4.
ලිපියේ අරමුණ
හොඳ තීරණයක් ගන්න නම් යාළු වෙලා ඉන්න කාලේ දෙන්නෙක් කරන්න ඕනෙ මොන වගේ දේවල්ද? සභාවේ අයට එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද? ඒ ගැන අපි බලමු.
1-2. සමහරුන්ට යාළු වෙලා ඉන්න කාලේ ගැන දැනෙන්නේ කොහොමද?
යාළු වෙලා ඉන්න කාලේ කියන්නේ සතුට පිරුණු කාලයක්. ඔයාටත් කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඕනෙ මේ කාලේ සතුටින් ගත කරන්න කියලා කිසිම සැකයක් නැහැ. ඉතියෝපියාවේ ඉන්න සීයොන් a කියන දේ බලන්න. “මගේ ජීවිතේ සතුටින්ම ගෙවුණ කාලයක් තමයි මායි, මහත්තයායි යාළු වෙලා හිටපු කාලේ. අපි බැරෑරුම් දේවල් ගැන කතා කළා. සැහැල්ලුවෙනුත් කාලේ ගත කළා. මං ආදරේ කරන, මට ආදරේ කරන කෙනාව හම්බ වුණා කියලා තේරුණාම මට දැනුණේ පුදුම සතුටක්.”
2 නෙදර්ලන්තයේ ඉන්න ඇලෙස්සියෝ කියන දේ බලන්න. “මගේ නෝනාව අඳුරගත්ත කාලේ හරිම සුන්දරයි. ඒත් අපිට අභියෝගත් ආවා.” යාළු වෙලා ඉන්න දෙන්නෙක් මූණ දෙන සමහර අභියෝග, ඒවාට හොඳින් මූණ දෙන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? එයාලා වෙනුවෙන් සභාවේ අයට කරන්න පුළුවන් මොනවාද? ඒ ගැන අපි බලමු.
යාළු වෙන එකේ අරමුණ
3. දෙන්නෙක් යාළු වෙන්නේ ඇයි? (හිතෝපදේශ 20:25)
3 යාළු වෙලා ඉන්න කාලේ සතුටින් ගෙවන කාලයක් වුණත් ඒක බැරෑරුම් කාලයක් කියලත් දෙන්නා තේරුම්ගන්න ඕනේ. මොකද ඒ කාලේ තමයි අනිත් කෙනාව බඳිනවාද කියන තීරණේ එයාලා ගන්නේ. බඳින දවසේදී එයාලා යෙහෝවා ඉස්සරහා පොරොන්දු වෙනවා ජීවිතේ තියෙන තාක් කල් දෙන්නාට දෙන්නා ආදරෙන්, ගෞරවයෙන් සලකනවා කියලා. ඒක ආවාට ගියාට දෙන පොරොන්දුවක් නෙවෙයි. (හිතෝපදේශ 20:25 කියවන්න.) යාළු වෙලා ඉන්න කාලේ දෙන්නා හොඳට අඳුරගත්තාට පස්සේ එක්කෝ එයාලා බඳින්න තීරණේ කරයි. නැත්නම් එයාලා සම්බන්ධේ නතර කරන්න තීරණේ කරයි. නතර කරන්න තීරණේ කළොත් ඒ කියන්නේ දෙන්නාට වැරදුණා කියලා නෙවෙයි. ඇත්තටම දෙන්නෙක් යාළු වෙන එකේ අරමුණ ඒකෙන් ඉටු වුණා කියලා කියන්න පුළුවන්. මොකද හරි තීරණේ ගන්න ඒ කාලේ එයාලට උදව් වුණා.
4. යාළු වෙන එකේ අරමුණ තේරුම්ගන්න එක වැදගත් ඇයි?
4 යාළු වෙන එකේ අරමුණ තේරුම්ගන්න එක වැදගත්. ඒක තේරුම්ගත්තේ නැත්නම් කෙනෙක්ට බඳින්න අදහසක් නැතත් එයා ඔහේ යාළු වෙයි. ඒක තනිකඩ අය විතරක් නෙවෙයි අපි හැමෝම තේරුම්ගන්න ඕනේ. මොකද සමහරු හිතනවා දෙන්නෙක් යාළු වුණොත් අනිවාර්යයෙන්ම බඳින්න ඕනෙ කියලා. සහෝදරි මෙලීසා කියන දේ බලන්න. “සභාවේ දෙන්නෙක් යාළු වුණාම අනිත් අය හිතනවා එයාලා ෂුවර් එකටම බඳියි කියලා. ඒකෙන් වෙන්නේ දෙන්නා ගැළපෙන්නේ නෑ කියලා තේරුණත් සම්බන්ධේ නතර කරන්න එයාලා බය වෙන එක. තවත් අය බයට යාළු වෙන්නෙත් නෑ.”
හොඳට අඳුරගන්න
5-6. යාළු වෙලා ඉන්න කාලේ අනිත් කෙනා ගැන දැනගන්න උත්සාහ කරන්න ඕනෙ මොන වගේ දේවල්ද? (1 පේතෘස් 3:4)
5 යාළු වෙලා ඉන්න කෙනාව බඳිනවාද නැද්ද කියන තීරණේ ගන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? එයාව හොඳට අඳුරගන්න. යාළු වෙන්න කලින් ඔයා එයා ගැන සමහර දේවල් දැනගන්න ඇති. ඒත් දැන් ඔයාට පුළුවන් එයාගේ ‘හදවත, එයාගේ ඇතුළාන්තය’ තේරුම්ගන්න. (1 පේතෘස් 3:4 කියවන්න.) ඒ කියන්නේ යෙහෝවාත් එක්ක එයාට තියෙන්නේ මොන වගේ බැඳීමක්ද, එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද, එයා හිතන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන්. කාලයක් යද්දී මේවාට උත්තර ඔයා ගාව තියෙන්න ඕනේ. ‘මෙයා මට හොඳ නෝනා කෙනෙක්, මහත්තයෙක් වෙයිද? (හිතෝ. 31:26, 27, 30; එෆී. 5:33; 1 තිමෝ. 5:8) මට ඕන ආදරේ, සැලකිල්ල දෙන්න මෙයාට පුළුවන්ද? එයාට ඕන ආදරේ, සැලකිල්ල දෙන්න මට පුළුවන්ද? එයාගේ දුර්වලකම් දරාගන්න මට පුළුවන්ද?’ b (රෝම 3:23) මතක තියාගන්න ඔයාලා ගැළපෙනවාද කියලා තීරණේ වෙන්නේ දෙන්නා කොච්චර දුරට එකම දේවලට ආසයිද කියන එක අනුව නෙවෙයි, වෙනස්කම්වලට හැඩගැහෙන්න ඔයාලට කොච්චර දුරට පුළුවන්ද කියන දේ අනුවයි.
6 යාළු වෙලා ඉන්න කාලේ ඔයා දැනගන්න ඕනෙ තව මොනවාද? හැඟීම්වලට යට වෙන්න කලින් ඔයා කතා කරන්න ඕනෙ වැදගත් දේවල් තියෙනවා. උදාහරණෙකට එයාගේ ඉලක්ක ගැන කතා කරන්න. සෞඛ්‍යය, සල්ලි ප්‍රශ්න, අතීතයේ වුණ අමිහිරි දේවල් වගේ පෞද්ගලික දේවල් ගැනත් කතා කරන්න ඕනෙද? මුල් කාලෙම ඒ හැම දේම කතා කරන්න ඕනෙ නැහැ. (යොහ. 16:12) ඔයා හිතනවා නම් ඒවා කතා කරන්න තාම කල් වැඩියි කියලා ඒක එයාට කියන්න. හැබැයි කොයිම වෙලාවක හරි ඔයා ඒවා ගැන කියන්න ඕනේ. මොකද හරි තීරණයක් ගන්න එයා ඒවා දැනගන්න ඕනේ.
7. දෙන්නාට දෙන්නා හොඳට අඳුරගන්න පුළුවන් කොහොමද? (“ යාළු වෙලා ඉන්න කෙනා ඉන්නේ දුර ඈතක නම් . . . ” කියන කොටුවත් බලන්න.) (පින්තූරත් බලන්න.)
7 එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන් කොහොමද? එක විදිහක් තමයි දේවල් හංගන්නේ නැතුව කතා කරන එක. ප්‍රශ්න අහන්න. හොඳට ඇහුම්කන් දෙන්න. (හිතෝ. 20:5; යාකො. 1:19) එයාත් එක්ක එකට කෑමක් ගන්න, මිනිස්සු ඉන්න තැනක ඇවිදින්න යන්න, එකට සේවේ යන්න ප්ලෑන් කරන්න. නිදහසේ කතා කරන්න ඒවා හොඳ අවස්ථා. එයා පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක වැඩ කරන විදිහෙනුත් ඔයාට එයා ගැන ගොඩක් දේවල් තේරුම්ගන්න පුළුවන්. එයා එක එක තත්වයන්වලදී හැසිරෙන විදිහ, එක එක මිනිස්සු එක්ක වැඩ කරන විදිහ තේරුම්ගන්න උදව් වෙන දේවලුත් එකට කරන්න. අෂ්වින් ඒක කළා. එයා මෙහෙම කියනවා. “මායි, ඇලීසියායි එකතු වෙලා කෑම හැදුවා. ගෙදර දොරේ වැඩ කළා. ඒවා අපිට උදව් වුණා අනිත් කෙනාගේ හොඳ පැති වගේම දුර්වල පැතිත් දකින්න.”
8. දෙන්නා එකතු වෙලා අධ්‍යයනය කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
8 බයිබලේ එකට අධ්‍යයනය කරන එකෙනුත් එයා ගැන දැනගන්න පුළුවන්. ඔයාලා බැන්දොත් පවුලේ නමස්කාරයට අනිවාර්යයෙන්ම කාලේ වෙන් කරන්න ඕනේ. එතකොටයි යෙහෝවාව ඔයාලාගේ පවුලට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. (දේශ. 4:12) ඉතින් එකට අධ්‍යයනය කරන්න දැන්ම කාලේ හොයාගන්න එක හොඳ නැද්ද? හැබැයි මතක තියාගන්න ඔයාලා තාම පවුලක් වෙලා නැහැ කියලා. ඔයා සහෝදරයෙක් නම් ඔයා එයාගේ හිසත් නෙවෙයි. වෙලාවක් වෙන් කරගෙන එකට අධ්‍යයනය කරද්දී එයාට යෙහෝවා එක්ක තියෙන්නේ මොන වගේ බැඳීමක්ද කියලා දැනගන්න ඔයාට පුළුවන්. එහෙම කරපු එකෙන් මැක්ස් සහ ලයිසා තව ප්‍රයෝජන ලැබුවා. මැක්ස් මෙහෙම කියනවා. “මුල් කාලේදීම වගේ යාළු වෙන එක, විවාහය, පවුල් ජීවිතය වගේ විෂයන් ගැන අපි අධ්‍යයනය කළා. සාමාන්‍යයෙන් කතා කරන්න ටිකක් අමාරු, හැබැයි කතා කරන්නම ඕන දේවල් ගැන කතා කරන්න ඒකෙන් අපිට පුළුවන් වුණා.”
මේ පැති ගැනත් හිතන්න
9. යාළු වුණ එක ගැන කාටද කියන්නේ කියලා තීරණේ කරද්දී හිතන්න ඕන පැති මොනවාද?
9 ඔයාලා යාළු වුණා කියලා කාටද කියන්න ඕනේ? ඒ තීරණේ තියෙන්නේ ඔයාලාගේ අතේ. මුල් කාලේ ඒ ගැන ටිකදෙනෙක්ට විතරක් කියන්න ඔයාලා තීරණේ කරයි. (හිතෝ. 17:27) හැමෝටම ඒ ගැන කියන්න ගියොත් ඔයාලට ප්‍රශ්න වැලකට උත්තර දෙන්න වෙයි. පීඩනයකුත් දැනෙයි. හැබැයි කට්ටිය දැනගනියි කියන බයට ඒ ගැන කාටවත් කියන්නේ නැතුව හිටියොත් හැම දේම ඔයාලා තනියම කරන්න පෙලඹෙයි. ඒක භයානකයි! ඔයාලා අතින් වරදක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් පවුලේ කීපදෙනෙක්, අවබෝධයෙන් වැඩ කරන යාළුවන්, වැඩිමහල්ලන් වගේ අයට ඒ ගැන කියන්න. එයාලා ඔයාට හොඳ මඟ පෙන්වීම් දෙයි.—හිතෝ. 15:22.
10. යෙහෝවාට අගෞරවයක් නොවෙන විදිහට යාළු වෙලා ඉන්න කාලේ ගෙවන්නේ කොහොමද? (හිතෝපදේශ 22:3)
10 දෙවියන්ට අගෞරවයක් නොවෙන විදිහට යාළු වෙලා ඉන්න කාලේ ගෙවන්නේ කොහොමද? ඔයාලාගේ බැඳීම වැඩි වෙද්දී දෙන්නා අතරේ තියෙන ආකර්ෂණයත් වැඩි වෙනවා. ඒ නිසා ලිංගික හැඟීම් ඇවිස්සෙන දේවල් ගැන කතා කරන එක, තනියම ඉන්න එක, වෙරි වෙන කල් බොන එක වගේ දේවල්වලින් වළකින්න. (එෆී. 5:3) ඒවා ගැන එච්චර හිතුවේ නැත්නම් ඔයාලාගේ හැගීම් ඇවිස්සිලා යෙහෝවාව සතුටු කරන්න අරන් තියෙන අධිෂ්ඨානය කැඩෙන්න පුළුවන්. (1 කොරි. 6:18) ඒ නිසා යාළු වෙලා ඉන්න මේ කාලේ යෙහෝවා සතුටු වෙන විදිහට ගත කරන්න පුළුවන් කොහොමද කියලා දෙන්නා එක්ක නිතරම කතා කරන්න. (හිතෝපදේශ 22:3 කියවන්න.) ඉතියෝපියාවේ ඉන්න දවිත් සහ අල්මාස් කියන දේ බලන්න. “අපි හැම වෙලාවෙම හම්බ වුණේ අනිත් අය ඉන්න තැන්වල. කවදාවත් කාර් එකේ, ගෙදර තනියම හිටියේ නෑ. ඒ නිසා වැරදි දේකට වැටෙන්න තිබුණ ඉඩකඩ මඟ අරින්න අපිට පුළුවන් වුණා.”
11. ආදරේ පෙන්නන්න කරන දේවල් ගැන ඔයාලා දෙන්නා හිතලා බලන්න ඕනෙ මොනවාද?
11 ඔයාලා අතරේ තියෙන ආදරේ ටිකෙන් ටික වැඩි වෙද්දී ඒක පෙන්නන්න ඔයාලා සමහර දේවල් කරයි. හැබැයි හැඟීම් ඇවිස්සුණොත් ඔයාට පැහැදිලිව හිතන්න බැහැ. අනිත් කෙනාගේ අඩුපාඩු පේන එකකුත් නැහැ. (සල. 1:2; 2:6) ආදරේ පෙන්නන වෙලාවලදී හැඟීම් ඇවිස්සිලා ඔයාට ඔයාව පාලනය කරගන්නත් බැරි වෙයි. ඔයාලා අතින් වැරදි දෙයක් වුණත් වෙයි. (හිතෝ. 6:27) ඒ නිසා යාළු වුණ මුල් කාලෙම බයිබල් ප්‍රතිපත්ති ගැනත් හිතලා ආදරේ පෙන්නන්න ඔයාලා කරන්නේ මොනවාද, නොකරන්නේ මොනවාද කියලා කතා කරන්න. c (1 තෙස. 4:3-7) මේ පැති ගැනත් හිතන්න. ‘අපි ආදරේ පෙන්නන්න මේ වගේ දෙයක් කළොත් අපේ පැත්තේ ඉන්න අය ඒක කොහොම දකීද? මේ කරන දේ නිසා මං යාළු වෙලා ඉන්න කෙනාගේ හැඟීම් ඇවිස්සෙයිද?’
12. දෙන්නා අතරේ ප්‍රශ්න, එකඟ නොවීම් ඇති වෙනවා නම් මතක තියාගන්න ඕන මොකක්ද?
12 එකඟ නොවෙන තැන් එද්දී වැඩ කරන්න පුළුවන් කොහොමද? ඉඳලා හිටලා එකඟ නොවීම් ඇති වෙනවා නම් ඒ කියන්නේ “මේක නං හරියන්නේ නෑ” කියන එකද? එහෙම කියන්න බැහැ. මොකද ඕනම දෙන්නෙක් අතරේ ප්‍රශ්න, එකඟ නොවීම් ඇති වෙනවා. ශක්තිමත් විවාහ බැඳීමක් කියන්නේ දෙන්නා අතරේ වෙනස්කම් නැහැ කියන එක නෙවෙයි. කොච්චර හොඳට ඒවාට හැඩගැහෙන්න පුළුවන්ද කියන එකට. දැන් ඔයාලා ප්‍රශ්න විසඳගන්න විදිහෙන් පේනවා ඔයාලාගේ විවාහ ජීවිතේ සාර්ථක වෙයිද නැද්ද කියලා. ඒ නිසා මේ පැතිත් හිතන්න. ‘තරහ ගන්නේ නැතුව සන්සුන්ව අපිට දේවල් ගැන කතා කරන්න පුළුවන්ද? අපේ අඩුපාඩු පිළි අරන් ඒවා හදාගන්න අපි උත්සාහ කරනවාද? මං අනිත් කෙනාගේ අදහස්වලට ගරු කරනවාද? වැරැද්දක් වුණාම සමාව ඉල්ලනවාද? සමාව දෙනවාද?’ (එෆී. 4:31, 32) හැබැයි ඔයාලා හැම තිස්සේම කැත්තට පොල්ල වගේ නම්? කතාවක් ඉවර වෙන්නේ වාදයකින් නම්? ‘බැන්දාට පස්සේ ඔව්වා හරි යයි’ කියලා හිතන්න එපා. එයා ඔයාට හරියන්නේ නැහැ කියලා හිතෙනවා නම් හොඳම දේ සම්බන්ධේ නතර කරන එක. ඒක ඔයාලා දෙන්නාටම හොඳයි. d
13. යාළු වෙලා කොච්චර කාලයක් ඉන්න ඕනෙද කියලා තීරණේ කරන්න උදව් වෙන්නේ මොනවාද?
13 කොච්චර කාලයක් යාළු වෙලා ඉන්න ඕනෙද? කතාවට කියනවා “ඉක්මන් කොටයි” කියලා. ඉතින් තීරණයක් ගන්නත් ඉක්මන් වෙන්න එපා. (හිතෝ. 21:5) දෙන්නාට දෙන්නා හොඳට අඳුරගන්න ඇති තරම් කාලයක් දෙන්න ඕනේ. හැබැයි යාළු වෙලා ඉන්න කාලේ ඕනෑවට වඩා ඇදඇද ඉන්න එකේ තේරුමක් නැහැ. මොකද බයිබලෙත් කියනවා. “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය” කියලා. (හිතෝ. 13:12) අනිත් අතට, යාළු වෙලා ඉන්න කාලේ දික් වෙන්න දික් වෙන්න ලිංගික හැඟීම් පාලනය කරගන්න අමාරු වෙන්න පුළුවන්. (1 කොරි. 7:9) ‘අපි දැන් යාළු වෙලා මෙච්චර කාලයක් ගිහිං’ කියලා හිතනවා වෙනුවට ඔයා හිතන්න ඕනෙ ‘තීරණයක් ගන්න නං මං තව මොනවාද මෙයා ගැන දැනගන්න ඕනෙ’ කියලා.
උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද?
14. යාළු වෙලා ඉන්න දෙන්නෙක්ට උදව් කරන්න පුළුවන් මොන වගේ විදිවලින්ද? (පින්තූරයත් බලන්න.)
14 යාළු වෙලා ඉන්න දෙන්නෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? පොඩි කෑමකට, පවුලේ නමස්කාරයට නැත්නම් විනෝද වෙන වෙලාවලදී එයාලටත් එන්න කියන්න. (රෝම 12:13) ඒ වගේ අවස්ථාවලදී ඒ දෙන්නාට එයාලව තව හොඳට අඳුරගන්න පුළුවන්. එයාලා ගමන්බිමන් යද්දී එයාලාගේ තනියට යන්න කාව හරි ඕනෙද? එයාලට කොහේ හරි යන්න ඕනෙ නම් එයාලව එක්කන් යන්න පුළුවන්ද? එයාලට හම්බ වෙලා කතා කරන්න තැනක් ඕනෙද? එහෙමනම් ඒ පැතිවලින් එයාලට උදව්වක් දෙන්න. (ගලා. 6:10) ඇලීසියා මෙහෙම කියනවා. “සමහර සහෝදරයෝ මටයි, අෂ්වින්ටයි කිව්වා ‘ඔයාලට හම්බ වෙලා කතා කරන්න තැනක් නැත්තං අපේ දිහා එන්න, අපිත් ගෙදර ඉන්නවනේ’ කියලා. ඒක අපිට ලොකු උදව්වක් වුණා.” යාළු වෙලා ඉන්න දෙන්නෙක් ඔයාට කිව්වොත් එයාලාගේ තනියට එන්න කියලා ඒක වධයක් කියලා හිතන්නේ නැතුව එයාලට උදව් කරන්න. හැබැයි එහෙම ගියාම එයාලා දෙන්නාට තනි වෙන්න දෙන්න එපා. එයාලාගේ නිදහසට බාධා කරන්නත් එපා.—ෆිලි. 2:4.
15. යාළු වෙලා ඉන්න දෙන්නෙක් වෙනුවෙන් තව මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? (හිතෝපදේශ 12:18)
15 අපේ කට පරෙස්සම් කරගන්න එකෙනුත් යාළු වෙලා ඉන්න දෙන්නෙක්ට උදව් කරන්න අපිට පුළුවන්. (හිතෝපදේශ 12:18 කියවන්න.) දෙන්නෙක් යාළු වෙලා කියලා දැනගත්තාම අනිත් අයට ඒ ගැන කියන කල් ඔයාට ඉවසිල්ලක් නැති වෙයි. හැබැයි එයාලා ආස එයාලම ඒ ගැන අනිත් අයට කියන්න වෙන්න ඇති. යාළු වෙලා ඉන්න දෙන්නෙක් ගැන කටකතා පතුරන්නවත් එයාලාගේ තීරණ විවේචනය කරන්නවත් අපිට අයිතියක් නැහැ. (හිතෝ. 20:19; රෝම 14:10; 1 තෙස. 4:11) ‘එයාලා බඳියි’ නැත්නම් ‘එයාලා අනිවාර්යයෙන්ම බඳින්න ඕනෙ’ කියලා හිතලා ඒක අඟවන විදිහේ ප්‍රශ්න අහන එකෙන්, දේවල් කියන එකෙන් අපි වළකින්න ඕනේ. සහෝදරි එලිස් මෙහෙම කියනවා. “අපි යාළු වෙලා ඉන්න කාලේ අනිත් අය අපේ වෙඩින් ප්ලෑන් ගැන අහද්දී අපිට අප්සෙට් ගියා. ඒ වෙද්දී අපිවත් ඒ ගැන කතා කරලා තිබුණේ නෑ.”
16. දෙන්නෙක් සම්බන්ධේ නතර කළා කියලා ආරංචි වුණාම අපි ඒක දිහා බලන්න ඕනෙ කොහොමද?
16 දෙන්නෙක් එයාලාගේ සම්බන්ධේ නතර කරන්න තීරණේ කළොත් අපි මොකද කරන්න ඕනේ? එයාලාගේ පෞද්ගලික දේවල්වලට ඇඟිලි ගහන්නවත් කවුද හරි කවුද වැරදි කියලා තීරණේ කරන්නවත් යන්න එපා. (1 පේතෘ. 4:15) සහෝදරි ලියා මෙහෙම කියනවා. “මායි, මගේ බෝයිෆ්රෙන්ඩුයි සම්බන්ධේ නතර කළේ මෙන්න මේ හේතු නිසා කියලා කට්ටිය කතා වෙනවා කියලා මට ආරංචි වුණා. මට ගොඩක් දුක හිතුණා.” දෙන්නෙක් සම්බන්ධේ නතර කරන්න තීරණේ කළොත් අපි හිතන්න හොඳ නැහැ එයාලා ගත්ත තීරණේ වැරදියි කියලා. ඇත්තටම ඒකෙන් යාළු වුණ ඒකේ අරමුණ ඉටු වුණා. මොකද එයාලා දෙන්නාට හොඳ තීරණයක් ගන්න පුළුවන් වුණා. හැබැයි ඒ තීරණේ නිසා එයාලට දුකක්, තනිකමක් දැනෙනවා ඇති. ඒ වගේ වෙලාවලදී අපි කරන්න ඕනෙ එයාලට හයියක් වෙන එක.—හිතෝ. 17:17.
17. යාළු වුණ දෙන්නෙක් දිගටම කරන්න ඕනෙ මොනවාද?
17 මේ ලිපියෙන් අපි බලපු විදිහට යාළු වෙලා ඉන්න කාලේ අභියෝග තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ කාලේ සතුටින් ගත කරන්න බැහැ කියලා. ජෙසිකා මෙහෙම කියනවා. “යාළු වෙලා ඉන්න කාලේ දෙන්නාගෙම පැත්තෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් දෙන කාලේ, මහන්සිය කවදාවත් අපතේ යන්නේ නෑ.” ඔයා දැනටමත් යාළු වෙලා නම් ඉන්නේ එයාව තව හොඳට අඳුරගන්න පුළුවන් කොහොමද කියලා බලන්න. ඔයාලා එහෙම කරනවා නම් බඳිනවාද නැද්ද කියන තීරණේ ගන්න ඔයාලා දෙන්නාටම ලේසි වෙයි.
ගීතිකාව 49 දෙවිගේ හදවත සතුටු කරමු
a සමහර නම් වෙනස් කරලා තියෙනවා.
b හිතලා බලන්න පුළුවන් තවත් ප්‍රශ්න ගැන දැනගන්න ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වන පොතේ 39-40 පිටු බලන්න.
c තවත් කෙනෙක්ගේ ලිංගික අවයව අත පත ගාන එක ලිංගික දුරාචාරයට අයිති දෙයක්. ඒක විනිශ්චය කමිටුවකින් හසුරුවන්න ඕනෙ කාරණයක්. පියයුරු අතගාන එක, ලිංගික දේවල් ගැන මෙසේජ්වලින්, ෆෝන් එකෙන් කතා කරන එකත් සමහරවිට විනිශ්චය කමිටුවකින් හසුරුවන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක තත්වයන්ට අනුව තමයි තීරණේ කරන්නේ.
d තව විස්තර දැනගන්න 1999 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.