බලාපොරොත්තුවෙන් ශක්තිමත් වී පීඩා විඳදරාගනී
බලාපොරොත්තුවෙන් ශක්තිමත් වී පීඩා විඳදරාගනී
මිචිකෝ ඔගාවාගේ කතාව
වර්ෂ 1969 අප්‍රියෙල් 29වෙනිදා මට පොලිසියෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. වාහන අනතුරක් වෙලා සේකිචිව, ඒ කියන්නේ මගේ මහත්තයාව රෝහල්ගත කරලා තිබුණා. මම මගේ පුංචි පුතාලා දෙන්නව මිතුරියක් ළඟ තියලා ඉක්මනින් එහෙට ගියා. එදා ඉඳලා සේකිචි අංශභාග රෝගියෙක්. ආපහු සිහිකල්පනාව ආවෙ නැහැ. අපේ පවුල ගැනත්, අපි මේ වෙනකම් හැම දේකටම මුහුණ දුන්නු ආකාරය ගැනත් ඔබට පවසන්න මට අවසර.
මම ඉපදුණේ 1940 පෙබරවාරිවලදී ජපානයේ කෝබේ ළඟ ඇති සාන්ඩාවලයි. අපි එකට ළදරු පාසැලට ගිය කාලයේ පටන්ම මම සේකිචිව දැනගෙන හිටියා. අපි 1964 පෙබරවාරිවලදී විවාහ වුණා. මගේ මහත්තයා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි වුණත් එයා දරුවන්ට ආදරේ කළා. අපිට පුතාලා දෙන්නෙක් හිටියා; ඒගොල්ලෝ රිවුසුකේ හා කෝහේයි.
සේකිචි රැකියාව කළේ ටෝකියෝවල ඉදි කිරීමේ සමාගමක නිසා අපි බැන්දට පස්සේ පදිංචි වෙලා හිටියේ ඒ කිට්ටුව තැනකයි. වර්ෂ 1967 ඔක්තෝබර්වලදී තරුණ ස්ත්‍රියක් අපේ ගෙදර ඇවිත් ඇය බයිබල් ගුරුවරියක් කියලා කිව්වා. “ස්තුතියි මට එපා. මට මගේ බයිබලය තියෙනවා” කියලා මම කිව්වා.
“මට ඒ බයිබලය බලන්න පුළුවන්ද?” කියලා ඇය ඇහැව්වා.
මම අපේ පොත් රාක්කයෙන් බයිබලය අරං ඇයට බලන්න දුන්නා. ඒක සේකිචිගේ බයිබලයයි. ඇය මට ඒකෙන් යෙහෝවා කියන නම පෙන්නුවා. මේක දෙවිගේ නම බව මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ. මගේ පුංචි දරුවෝ දෙන්නව දැක්ක ඒ ස්ත්‍රිය බයිබලයෙන් මෙහෙම කියෙව්වා: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” (හිතෝපදේශ 22:6) මගේ දරුවන්ව හොඳට හදාගන්නේ කොහොමද කියලා තමයි ඇත්තෙන්ම මම කල්පනා කරමින් හිටියේ. ඉතින් ඒ මොහොතේම මට ඕනෙ වුණා බයිබලය පාඩම් කරන්න.
මම ඒ ස්ත්රියව කාමරයට අඬගහගෙන ගියා. ඇය “බලව! මම සියල්ල ම අලුත් කරමි” කියන පොත්පිංචයෙන් සාකච්ඡාවක් පටන්ගත්තා. ‘පවුලක් හැටියට අපිට සතුටෙන් ජීවිතය ගත කරන්න පුළුවන් නම් කොච්චර හොඳද’ කියලා මට කල්පනා වුණා. සේකිචි ගෙදර ආවහම “මට බයිබලේ පාඩම් කරන්න ඕනෙ” කියලා මම කිව්වා.
“කෙල්ලේ, ඔයාට ඔය තරම් ඉගෙනගන්න ඕනෙ නැහැ. ඔයාට දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මම ඔයාට කියලා දෙන්නං” කියලා එයා කිව්වා. කොහොමවුණත්, මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක හැම සතියකම බයිබලය පාඩම් කරන්න පටන් අරං, වැඩි කල් යන්න කලින් ඒගොල්ලන්ගේ රැස්වීම්වලට යන්නත් පටන්ගත්තා.
අපේ පීඩාවල මුල
මුලින් කිව්ව විදිහට 1969 අප්‍රියෙල්වල එක රාත්‍රියකදී මම ඉස්පිරිතාලෙට ගියහම, සේකිචිගේ යාළුවෙක්, ඒ කියන්නේ මම පුතාලව බලාගන්න කියලා දීලා ගිය ස්ත්‍රියගේ සැමියත් මේ අනතුර වෙද්දී ටැක්සියේ හිටිය බව දැනගත්තහම මට සෑහෙන කම්පනයක් ඇති වුණා. සතියකට පස්සේ මගේ මහත්තයාගේ යාළුවා මියගියා.
සේකිචි ජීවත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි නිසා සේකිචිව බලන්න කැමති හැමෝටම ඒ ගැන කියන්න කියලා ඒ රාත්රියේදී රෝහල් සේවකයන් මට කිව්වා. එයාගේ හිස්කබලේ මුල හරියෙන් කැඩිලා, මොළේ තැලිලා තිබුණා. ඊළඟ දවසේ කෝබේ ප්‍රදේශයේ හිටිය නෑදෑයන් ඉක්මනින්ම ඉස්පිරිතාලෙට ආවා.
රෝහල් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් හදිසි නිවේදනයක් දුන්නා: “සේකිචි ඔගාවාගේ නෑදෑයන් ඉක්මන් කර ඔහුව ගොස් බලන්න.” අපි විදුලි වේගයෙන් දැඩි සත්කාර ඒකකයට ගිහින් එක් එක්කෙනා වාරයෙන් වාරය ගෙන ඔහු දිහා බලලා ඔහුගෙන් සමුගත්තා. නමුත් ඔහුගේ බරපතළ තත්වය මුළු මාසයක් පුරාම පැවතුණා. අන්තිම රෝග විනිශ්චයෙන් මේ තත්වය දීර්ඝ කාලයක් පවතින බව ඇඟෙව්වා.
එනිසා ටෝකියෝවල ඉඳලා කෝබේවලට සේකිචිව කිලෝමීටර් 650ක පමණ දුරක් ගිලන් රථයකින් අරගෙන ගියා. මම එයාව පිටත් කරලා යැව්වට පස්සේ, එයාව බේරලා දෙන්න කියලා යාච්ඤා කර කර ශීඝ්‍රගාමී දුම්රියකින් කෝබේ බලා ගියා. ඊට පස්සේ හවස් වරුවේ කෝබේවල ඉස්පිරිතාලෙක එයා පණපිටින් ඉන්නවා දැකීමෙන් මට ලොකු සතුටක් දැනුණා. ‘වස්තුව, ඔයා දිගටම ජීවත් වෙන්න ඕන’ කියලා මම එයාට මිමිණුවා.
මගේ දෙමාපියන් එක්ක නැවතීම
මගේ පුතාලවත් අරගෙන මම සාන්ඩාවල මගේ දෙමාපියන්ගේ ගෙදරට ගියා. දරුවන් ළදරු පාසැලට යන්න පටන්ගත්තේ එහෙදියි. කිලෝමීටර් 40ක් විතර දුර කෝබේවලට මම වාර ප්‍රවේශ පත්‍රයක් අරගෙන, මගේ නැන්දම්මයි මමයි මාරුවෙන් මාරුවට ඊළඟ අවුරුද්දේ හැම දවසකම ඉස්පිරිතාලෙට ගියා. ‘අද සේකිචිට සිහිය එයිද? එයා මට ඉස්සෙල්ලම මොනවා කියයිද? මම කොහොමද උත්තර දෙන්න ඕනෙ?’ කියලා මම කල්පනා කළා. විශේෂයෙන්ම සතුටෙන් ඉන්න පවුලක් දකින්න ලැබුණහම ‘සේකිචිට සනීප වෙනවනං කොච්චර හොඳද? එතකොට අපේ පුතාලටත් සතුටෙන් ඉන්න කාලයක් තියෙයි’ කියලත් මම හිතුවා. එතකොට මගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙන්න පටන්ගන්නවා.
ඒ මුල් කාලයේදී, අධිමූර්ච්ඡාවක් හැදිලා මාස කීපයකට පස්සේ සිහිය ආපු කෙනෙක් ගැන මම පත්තරේකින් කියෙව්වහම සේකිචිටත් සිහිය එයි කියලා මට හිතුණා. එනිසා මම වතාවක මගේ මහත්තයාගේ මල්ලිට මෙහෙම කිව්වා: “ඊසානදිග හොන්ෂුවල ඉස්පිරිතාලෙට එයාව ගෙනියන්න මට ඕනෙ.” නමුත් ඕකට පිළියමක් නැහැයි කියලා කිව්ව ඔහු, ඉතුරු කරලා තියෙන මුදල් පවුලේ අනිත් අය වෙනුවෙන් යොදවන්න කියලා මට උපදෙස් දුන්නා.
කෝබේහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ජීවත් වුණේ ඉස්පිරිතාලෙ කිට්ටුවකයි. එනිසා මම සේකිචිව බලන්න යන්න ඉස්සෙල්ලා ඔහුගේ ගෙදරට ගොඩ වෙලා යන්න පුරුදු වුණා. සතියකට වතාවක් ඔහුගේ බිරිඳ මාත් එක්ක බයිබල් පාඩමක් කළා. ඒ වගේම ඔවුන්ගේ දරුවන් දෙන්නා ඉස්පිරිතාලේ අපේ කාමරයට ඇවිත් ඔවුන්ගේ සභා රැස්වීම් පටිගත කළ කැසට් පටියක් ලබා දෙනවා. මේ පවුල නිසා මම ලොකු දිරිගැන්වීමක් සහ සැනසීමක් ලැබුවා.
බලාපොරොත්තුවෙන් ශක්තිමත් වී
දවසක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් අපිව බලන්න ඉස්පිරිතාලෙට ඇවිත් මට රෝම 8:18-25 වෙනකම් කියෙව්වා. එහි කොටසක මෙහෙම කියනවා: “මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමානකරනු ලබන්ට නොවටීයයි සිතමි. . . . මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව. . . . තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද? නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.”
යේසුස් පොරොන්දු වෙලා තියෙන, පැමිණෙන්න යන පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ලැබුණහම ඇති වන ප්‍රීතිය එක්ක සසඳලා බලද්දී, වත්මන් දුක් වේදනාවන් මොනවද කියන එක ක්‍රිස්තියානි බලාපොරොත්තුව සම්බන්ධයෙන් අපි කළ සාකච්ඡාව මට සිහිගැන්නුවා. (ලූක් 23:43) බලාපොරොත්තුසහගතව වත්මන් යථාර්ථයන්ට මුහුණ දෙන්නත්, නව ලොවේ ආශීර්වාද සම්බන්ධයෙන් අනාගත යථාර්ථයන් කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නත් මේ සාකච්ඡාව මට උපකාර කළා.—2 කොරින්ති 4:17, 18; එළිදරව් 21:3, 4.
වර්ෂ 1970 ජූනිවලදී, මගේ දෙමාපියනුයි මමයි හිටිය සාන්ඩාවල ඉස්පිරිතාලෙකට සේකිචිව මාරු
කළා. අනතුර නිසා මගේ මහත්තයාට වැඩක් පළක් කරගන්න බැරි වෙනවා කියලා ප්‍රකාශ කළ ලියවිල්ලක් අපේ නීතීඥයාගෙන් ඊළඟ ජනවාරියේදී මට ලැබුණහම මට දරාගන්න බැරි දුකක් ඇති වුණා. මම ඉකි ගගහා අඬන්න පටන්ගත්තා. මගේ නැන්දම්මා නිතරම මට මෙහෙම කිව්වා: “මගේ පුතා නිසා ඔයාට දුක් විඳින්න වෙලා තියෙන එක ගැන මට හරි කනගාටුයි මිචිකෝ.” ඇය මෙහෙමත් කිව්වා: “මට පුළුවන්කමක් තිබුණා නම් මම සේකිචිගේ තැන ගන්නවා.” අපි දෙන්නා එකට දුක් වුණා.පූර්ණ-කාලීන රැකියාවක් හොයාගන්න කියලා මගේ තාත්තා මට බල කෙරුවත් සේකිචිව බලාගන්න ඕන කියන අධිෂ්ඨානයෙනුයි මම හිටියේ. පෙනෙන විදිහට සිහිකල්පනාවක් තිබුණේ නැතත්, එයාට රස්නෙ වගේම සීතල දැනෙනවා; සාත්තු කරන විදිහත් එයාට බලපානවා. තාත්තට ඕන වුණේ මාව ආපහු බන්දල දෙන්න වුණත්, මගේ මහත්තයා තාමත් ජීවතුන් අතර ඉන්දැද්දී එහෙම කරන එක වැරදි බව මට තේරුණා. (රෝම 7:2) ඊට පස්සේ, තාත්තා බීපු වෙලාවට “මම මැරෙනකොට මාත් එක්කම සේකිචිවත් අරගෙන යන්නං” කියලා කියන්න පටන්ගත්තා.
වර්ෂ 1971දී සාන්ඩාවල සභාවක් පිහිටුවීම මට ලොකු ප්‍රීතියක් වුණා. ඊට පස්සේ, 1973 ජූලි 28වෙනිදා, වතුර බව්තීස්මයෙන් යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කරන්න මට පුළුවන් වුණා. ඔසාකාවල එක්ස්පෝ පිට්ටනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවේදියි මේක සිද්ධ වුණේ.
ඊට පස්සේ 1973දී, මගේ කෝහේ පුතාට දරුණු වකුගඩු ඉදිමීමේ රෝගයක් හැදිලා මාස පහක් ඉස්පිරිතාලෙ නවත්වන්න සිද්ධ වුණා. මගේ තාත්තත් ක්ෂයරෝගය නිසා ඉස්පිරිතාලෙ නවත්තලා හිටියා. ඒ නිසා 1974 ජනවාරි 1වෙනිදා, මට සිද්ධ වුණා මගේ තාත්තවයි, මහත්තයවයි, පුතාවයි බලන්න ඉස්පිරිතාල තුනකට යන්න. මගේ වැඩිමල් පුතා, රිවුසුකේ එක්ක මම කෝහේව බලන්න ඉරිදා දවස්වල ගියහම ඒගොල්ලෝ එක්ක මම උතුම් ගුරුවරයාට සවන් දීම (ඉංග්‍රීසියෙන්) පොත පාඩම් කළා. ඊට පස්සේ, රිවුසුකේයි මමයි කෝබේවල රැස්වීමකට ගිහින්, හද පිරුණු ප්‍රීතියකින් ආපහු ගෙදර එනවා.
සේකිචිට සාත්තු කරන්න උපකාර කළ අයට මම නිතරම ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලන්ට බයිබල් දැනුම දෙන්නත් මම අමතක කළේ නැහැ. එක සාත්තු සේවිකාවකගේ නංගි කෙනෙක් ගින්නට පිච්චිලා මැරිලා ගිහින් තිබුණ නිසා බයිබලයේ පොරොන්දු කරලා තියෙන නැවත නැඟිටීමේ උතුම් බලාපොරොත්තුව මම ඇයට පෙන්නුවහම ඇය උනන්දුවක් දැක්වුවා. (යෝබ් 14:13-15; යොහන් 5:28, 29) ඉස්පිරිතාලේදී ඇය එක්ක බයිබල් පාඩමක් පටන්ගත් අතර, අන්තිමේදී 1978 පැවැත්තුව සමුළුවකදී ඇය බව්තීස්ම වුණා.
මගේ දරුවන් ප්‍රීතියේ උල්පතක්
මගේ මහත්තයාගේ උපකාරය නැතුව මගේ දරුවන්ව ඇතිදැඩි කිරීම අභියෝගයක් වෙලා තිබුණත් ඒක මොනතරම් විපාකදායක එකක් වෙලා තියෙනවද! මම ඒගොල්ලන්ට හොඳ සිරිත් විරිත් වගේම අන්‍යයන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්නත් ඉගැන්නුවා. රිවුසුකේට වයස අවුරුදු තුනේදී, එයා දඟ කළාම “අම්මේ, මට සමා වෙන්න” කියලා සමාව ඉල්ලුවා. කෝහේ ටිකක් මුරණ්ඩුවයි හිටියේ. සමහර අවස්ථාවලදී මම එයාව හරිගස්සන්න බැලුවහම එයාට තරහා යනවා. එක දවසක් සාප්පුවක් ඉස්සරහදී එයාට ඕන වුණ දෙයක් ඉල්ලලා පොළවේ හැපි හැපි ඇඬුවහම, මම ආදරෙන් කරුණාවෙන් එයාට කරුණු පැහැදිලි කරලා දුන්නා. කල් යද්දී එයා හොඳ කීකරු ළමයෙක් වුණා. ඇත්තෙන්ම බයිබලය දේවවචනයයි කියලා මට ඒත්තුගන්වන්න මේක උපකාර වුණා.—2 තිමෝති 3:15, 16.
යෙසායා 2:4) දවසක් ගුරුවරුන් හුඟදෙනෙක් එක්ක පැවැත්වුණු රැස්වීමකදී ඇහැව්ව ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වුණ නිසා, හරි සතුටෙනුයි එයා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවේ.
රිවුසුකේ කණිෂ්ඨ උසස් පාසැලට ඇතුල් වුණහම සටන් ක්‍රම පුහුණු වෙන්න කැමති නැත්තේ ඇයි කියලා ඔහු ගුරුවරුන්ට පැහැදිලි කළා. (සභාවේ යහපත් ආශ්‍රය මගේ පුතාලට හුඟක් උපකාර වුණා. හුඟක් වෙලාවට ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ඒගොල්ලන්ව රෑ කෑමට කැඳවලා, බයිබල් පාඩම්වලට වගේම විනෝද වීම්වලටත් ඒගොල්ලන්ව සහභාගි කරවගත්තා. නොයෙකුත් ක්‍රීඩාවලට සහභාගි වීම ඇතුළු හිතකර ආශ්රයටත් ප්‍රස්තාවන් තිබුණා. රිවුසුකේ 1979දී වතුර බව්තීස්මය මගින් යෙහෝවා දෙවිට ඔහුගේ කැපවීම සංකේතවත් කළ අතර කෝහේ ඊළඟ අවුරුද්දේදී බව්තීස්ම වුණා.
අපේ පූර්ණ කාලීන දේවසේවය
වතාවක සංචාරක අවේක්ෂකයෙක් ආව වෙලාවක මට පුරෝගාමියෙක් වෙන්න ඕන කියලා මම ඔහුට කිව්වා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන්ව හඳුන්වන්නේ ඒ නමින්. ඒ අවස්ථාවේදී මං හිටිය තත්වයේ හැටියට ඒ වගේ තීරණයක් ගන්න එක ඥානවන්ත දෙයක් නොවූ නිසා, මගේ පුතාලව බයිබල් සත්‍යය තුළ ස්ථිරව ගොඩනැඟීමට ඇති අවශ්‍යතාව ඔහු කරුණාවන්තව මට මතක් කරලා දුන්නා. “වැදගත්ම දේ පුරෝගාමී ස්ප්‍රීතුවක් පවත්වාගන්න එකයි” කියලා ඔහු මට පැවසුවා. ඉතින් මගේ පුතාලගේ ඉස්කෝල නිවාඩු කාලෙදී ඒගොල්ලන්වත් හවුල් කරගෙන මම උපකාරික පුරෝගාමී සේවයේ යෙදුණා. සේකිචිට සාත්තු කරන අතරතුරේ මනසේ ප්‍රීතිය හා සාමය පවත්වගන්න මේ සේවය මට හුඟක් උපකාර වුණා.
අන්තිමේදී, 1979 සැප්තැම්බර්වලදී මට පුළුවන් වුණා ස්ථාවර පුරෝගාමී සේවයට හවුල් වෙන්න. උසස් පාසැලෙන් සමත් වෙලා අවුරුද්දකට විතර පස්සේ 1984 මැයිවලදී රිවුසුකේත් පුරෝගාමී සේවයට ඇතුල් වුණා. වර්ෂ 1984 සැප්තැම්බර්වලදී කෝහේ ඔහු එක්ක පුරෝගාමී සේවයට එකතු වුණා. මේ විදිහට, අපි තුන්දෙනාම මෙම පූර්ණ කාලීන දේවසේවයේ ප්‍රීතියෙන් හවුල් වෙලා තියෙනවා. පුරෝගාමී සේවයේ යෙදුණු අවුරුදු 20 ගැන කල්පනා කරලා බලනකොට, යෙහෝවාට සේවය කරන්න හුඟදෙනෙකුට උපකාර කරන්න ඒ කාලයේදී මට වරප්‍රසාදය ලැබිලා තියෙන අතර, මගේ පීඩාවලදී මාව ශක්තිමත් කරන්න මේ සේවය මට උපකාර වෙලා තියෙනවා කියලා මට හැඟෙනවා.
කාන්සයි එක්රැස්වීම් ශාලාවට යාබදව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ භාවිතය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට රිවුසුකේ ස්වේච්ඡාවෙන් හවුල් වුණා. ඊට පස්සේ හියෝගෝ එක්රැස්වීම් ශාලාවේ භාරකාරයා හැටියට එයා අවුරුදු හතක් වැඩ කළා. දැන්, කෝබේවලට කිට්ටු සභාවක ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් හැටියට සේවය කරමින් එයා මාවත් බලාගන්නවා. වර්ෂ 1985 ඉඳලා එබිනාවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවකයෙක් හැටියට කෝහේ සේවය කරලා තියෙනවා.
ආශීර්වාද රැසකින් ශක්තිමත් වී
අවුරුදු ගානක් තිස්සේ මම සතියකට කීපවතාවක්ම සේකිචිව බලන්න ඉස්පිරිතාලෙට ගිහින්, එයාව නෑව්වා. සාමාන්‍යයෙන් සාත්තු සේවකයෙක් බලාගත්තත්, ඊට අමතරව මම අවශ්‍ය සාත්තුව ලබා දුන්නා. අවුරුදු 27ක් ඉස්පිරිතාලේ හිටියට පස්සේ 1996 සැප්තැම්බර්වලදී සේකිචි ආවා අපි එක්ක නවතින්න; ඔහුගේ උපකාරයට සාත්තු සේවිකාවකුත් හිටියා. නාස් බටයකින් ද්‍රව ආහාර ගන්න එයාට පුළුවන්. එයාගේ ඇස් අරින්න බැරි වුණත් අපි එයාට මොනව හරි කිව්වහම එයා යන්තම් ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. සේකිචි මේ විදිහට ඉන්නවා දකින එක මට වේදනාවක් වුණත්, අනාගතය සම්බන්ධයෙන් ඇති මහඟු බලාපොරොත්තුවෙන් මට ශක්තිය ලැබිලා තියෙනවා.
සේකිචි ගෙදර එන්න ටික දවසකට කලින් සංචාරක අවේක්ෂකටයි එයාගේ බිරිඳටයි මම නවාතැන් පහසුකම් දෙන්න ඉදිරිපත් වෙලා තිබුණ නිසා අවුරුද්දක්ම අපි පස්දෙනා පුංචි නිවසේ එකට හිටියා. සේකිචි එක්ක මට ආයිමත් ඉන්න පුළුවන් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ; ඒ වෙනුවෙන් මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු ගණනාවක් මම සේකිචි ඇස් අරිනකම් ආසාවෙන් බලාගෙන හිටියත් දැන් මම හිතන්නේ යෙහෝවාගේ කැමැත්තක් වුණාවේ කියලයි.
මට අවංකවම මෙහෙම කියන්න පුළුවන්: ‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය, ඔහු ඊට දුක එකතු නොකරන්නේය.’ (හිතෝපදේශ 10:22) සේකිචිට හොඳ සෞඛ්‍යයක් තිබුණේ ටික කාලෙකට වුණත්, ‘අපේ උතුම් මැවුම්කරුව සිහි කළ’ පුතාලා දෙන්නෙක්ගෙන් මට ආශීර්වාද ලැබිලා තියෙනවා. ඒ ගැන මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.—දේශනාකාරයා 12:1.
මේ අතරතුරේදී, “සැබෑ ජීවනය” සොයාගැනීමට අන්‍යයන්ට උපකාර කරමින් දිගටම පුරෝගාමී සේවයේ යෙදෙන්නත්, ඒත් එක්කම සේකිචිව ආදරෙන් බලාගන්නත් මම කැමතියි. (1 තිමෝති 6:19, NW) මගේ අද්දැකීම ගීතිකාකරුගේ මේ වචනවල සත්‍යතාව මට උගන්වලා තියෙනවා: ‘ඔබේ බර යෙහෝවා පිට තබන්න, ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.’—ගීතාවලිය 55:22.
[20වන පිටුවේ පින්තූරය]
රිවුසුකේ එක්ක මගේ සැමියා හා මම
[20වන පිටුවේ පින්තූරය]
අනතුරට හය මාසෙකට කලින් සේකිචි අපේ පුතාලා දෙන්නා එක්ක
[22වන පිටුවේ පින්තූරය]
උතුම් මැවුම්කරුව සිහි කළ රිවුසුකේ හා කෝහේ (ඉහළ) පුතාලව ආශීර්වාදයක් හැටියට අපිට ලැබිලා තියෙනවා