Skip to content

පටුනට යන්න

පියවරුන් දරු පවුල් අත්හැර යෑමට හේතු

පියවරුන් දරු පවුල් අත්හැර යෑමට හේතු

පියවරුන් දරු පවුල් අත්හැර යෑමට හේතු

“අම්මියි තාත්තියි රණ්ඩු වෙනවා නම් මට මතක නැහැ. හදිස්සියේම තාත්ති ගියා විතරයි මට මතක. අද තාත්තා කොහෙද ඉන්නේ කියලවත් මං දන්නේ නැහැ. එයා ගැන මට කිසිම හැඟීමක් නැහැ.”—බෲස්.

“ඉස්කෝලේ යන කාලේදී සාමාන්‍ය ගෙයක ජීවත් වුණේ නැති, අම්මා විතරක් හිටිය එකම ළමයා මමයි . . . ඒ හින්දා මාව කැපිල පෙනුණා. මගේ වයසේ ඉන්න අනිත් අයට වඩා මම ගොඩක් වෙනස් කියලයි මට හැඟුණේ.”—පැට්‍රිෂා.

පියෙකු නොමැති පවුල් බිහිවීමේ උවදුරට කාර්මික විප්ලවය මුල් වූ බව ඇතමුන්ගේ අදහසයි. කර්මාන්ත ශාලාවල රැකියා ප්‍රස්තා විවෘත වීම හේතුවෙන් පුරුෂයෝ තම නිවෙස්වලින් බැහැර වූහ. ප්‍රතිඵලයක් වශයෙන් පවුලක් තුළ පියෙකුගේ බලපෑම එන්න එන්නම අඩු විය. එමනිසා දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් මවකගේ යුතුකම් කොටස වැඩි විය. a කෙසේවෙතත්, පියවරුන්ගෙන් වැඩිදෙනෙක් තම පවුල් අත්හැරියේ නැත. එනමුත්, 1960ගණන්වල මැද භාගයේදී තත්වය සහමුලින්ම වෙනස් විය. එක්සත් ජනපදයේ දික්කසාද වීම් ශීඝ්‍රයෙන් වර්ධනය වීමට පටන්ගත්තේය. දික්කසාදය සම්බන්ධයෙන් තිබූ ආගමික, ආර්ථික සහ සමාජීය බාධක බිඳ වැටීම මීට හේතුවයි. හිතුවක්කාරව අදහස් පළ කළ ප්‍රවීණයන් තරයේ කියා සිටියේ විවාහයක් දෙකඩ වීමෙන් දරුවන්ට හානියක් නොව, යහපතක් සිදු විය හැකි බවයි. මෙයින් දිරියක් ලැබූ වැඩිහිටියන් බොහෝදෙනෙක් දික්කසාද වීමේ තීරණය ගැනීමට පසුබට නොවූහ. ෆ්‍රැන්ක් එෆ්. ෆර්ස්ටන්බර්ග් සහ ඇන්ඩෘ ජේ. චෙර්ලින්ගේ කෘතියක් වන දෙකඩ වූ පවුල්—දෙමාපිය වෙන්වීම දරුවන්ට බලපාන අයුරු (ඉංග්‍රීසියෙන්) යන මැයින් යුත් පොතෙහි සඳහන් දේ සැලකිල්ලට ගන්න. “[1960ගණන්වල සිට], ප්‍රංශයේ, බෙල්ජියමේ සහ ස්විට්සර්ලන්තයේ [දික්කසාද වීම්] දෙගුණ වී ඇත. ඒ අතරම එංගලන්තයේ, කැනඩාවේ සහ නෙදර්ලන්තයේ එය තුන්ගුණයකින් වැඩි වී ඇත.”

දික්කසාදයකින් පසු සාමාන්‍යයෙන් දරුවන් රැඳී සිටින්නේ තම මව්වරුන් සමඟය. කෙසේවෙතත්, අත්හැර ගිය පියවරුන් වැඩිදෙනා තම දරුවන් සමඟ දිගටම සම්බන්ධය තබාගැනීමට ආශාවක් දක්වන බව සඳහන් කළ යුතුය. දරුවන්ට නීත්‍යනුකූලව රැකවරණයක් ලබා දීමට දෙදෙනාම කොටස්කරුවන් වීම මේ සඳහා පොදු විකල්පයකි. කෙසේවෙතත්, දරුවන් සමඟ පියවරුන් වැඩිදෙනෙකුගේ සම්බන්ධය අවම මට්ටමක පවතින බව පැහැදිලි වේ. එක් අධ්‍යයනයකට අනුව පියාව සතිපතා දැකගැනීමට ප්‍රස්තාව ලැබෙන්නේ සෑම දරුවන් හයදෙනෙකුගෙන් එක්කෙනෙකුට පමණි. ඒ දරුවන්ගෙන් අඩක් පමණ තම පියවරුන්ව අවුරුද්දකින්වත් දැක තිබුණේ නැත.

හවුල් රැකවරණය අසාර්ථකය

දරුවා හෝ දරුවන්ට හවුලේ රැකවරණය ලබා දීමට නම්, සෑහෙන සහයෝගයක් සහ විශ්වාසයක් අවශ්‍යය. දික්කසාද වූ යුවළකගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි තරම්ය. ඒ සම්බන්ධයෙන් ෆර්ස්ටන්බර්ග් සහ චෙර්ලින් නමැති පර්යේෂකයන් මෙසේ පැවසීය. “පියවරුන් තම දරුවන් බැහැදැකීම නතර කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ, ඔවුන්ගේ කලින් භාර්යාවන් සමඟ කිසිම අයුරකින් සම්බන්ධ වීමට ඔවුන් මැළිකමක් දැක්වීමය. කාන්තාවන් බොහෝදෙනෙකුට තම කලින් පුරුෂයන් සම්බන්ධයෙන් ඇත්තේද ඒ හා සමාන ආකල්පයකි.”

දික්කසාද වූ පියවරුන් කිහිපදෙනෙකුම තම දරුවන්ව නිතරම පාහේ බැහැදකින බව සැබෑය. කෙසේවෙතත්, දරුවන්ගේ එදිනෙදා වැඩ කටයුතුවලට සම්බන්ධකමක් නැති නිසා ඔවුන් සමඟ කාලය ගත කරන විට පියෙකුගේ කාර්යභාරය දැරීම සමහරුන්ට අසීරුය. වැඩිදෙනෙකු සෙල්ලක්කාර ගතියක් විදහාපෙන්වමින්, ලැබෙන කාලය යොදාගන්නේ දරුවන් සමඟ විනෝද වීමට හෝ තෑගි භෝග මිල දී ගැනීමටය. තම පියා සති අන්ත සඳහා පැමිණි විට සිදු වූ දේ දාහතර හැවිරිදි ආරි මෙසේ විස්තර කළේය: “සීමා තහංචි මොකුත් නැහැ. ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. පුදුම නිදහසක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තාත්තා හැම තිස්සෙම වගේ මට තෑගි අරං එනවා.”—දෙමාපිය දික්කසාදයෙන් උද්ගත වන තත්වය (ඉංග්‍රීසියෙන්). මෙය ජිල් ක්‍රෙමෙන්ට්ස්ගේ පොතකි.

ප්‍රේමනීය පියෙක් ‘තම දරුවන්ට යහපත් දේ දෙන්ට දැනසිටිය’ යුතුය. (මතෙව් 7:11) එනමුත් තෑගි බෝග, දිය යුතු මඟ පෙන්වීම සහ හික්මවීමට හිලව් කළ නොහැක. (හිතෝපදේශ 3:12; 13:1) දෙමාපියෙකු වශයෙන් ඉටු කළ යුතු කාර්යභාරය පසෙක තබා, සෙල්ලක්කාර ගතියක් විදහාපෙන්වයි නම්, පියා සහ දරුවා අතර තිබිය යුතු සම්බන්ධතාව දුර්වල වන බවට සැකයක් නැත. එක් අධ්‍යයනයක් මෙම නිගමනයට එළඹීය: “පියා සහ දරුවා අතර ඇති සම්බන්ධය සම්පූර්ණයෙන් අත්හිටුවීමට දික්කසාදය හේතුවක් විය හැක.”—විවාහ දිවියේ සහ පවුලේ සඟරාව (ඉංග්‍රීසියෙන්), 1994 මැයි කලාපය.

සමහර පුරුෂයෝ තම පවුල් සම්පූර්ණයෙන්ම අත්හැර යති. ඒ තම පවුල සම්බන්ධයෙන් කිසිම තැකීමක් නොමැති නිසා විය හැක. එසේ නැතහොත්, තම දරුවන්ගේ ජීවිතවලින් තමන්ව කපාහැර ඇති නිසා දැනෙන කෝපය සහ වේදනාවට ප්‍රතික්‍රියාවක් වශයෙනි. තවද තවත් සමහරු ඔවුන්ට මූල්‍යමය අතින් කිසිදු උපකාරයක් කිරීමට අපොහොසත් වෙති. b (1 තිමෝති 5:8) කෝපයෙන් මෙන් කතා කරන එක් නහඹර තරුණයෙකු පැවසූ දේ සලකා බලන්න. “මගේ තාත්තා ගැන කියන්න පුළුවන් එකම හොඳක්වත් මගේ හිතට එන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන්ම අපෙන් ඈත් වෙලයි ඉන්නේ. අපිට කිසිම උදව්වක් නැහැ. මට ඒක අදහගන්නවත් බැහැ.”

අවිවාහක දෙමාපියෝ

ඉපදෙන අවජාතක දරු සංඛ්‍යාවෙහි ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ. පියෙකු නොමැති දරුවන් වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ මෙයයි. පියෙකු නොමැති අමෙරිකාව (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි මෙම අදහස පළ විය. “[එක්සත් ජනපදයෙහි] සිදු වන උපත් සියල්ලෙන් තුනෙන් එකක් පමණ විවාහයෙන් පිටත සිදු වේ.” අවුරුදු 15 සිට 19 අතර වයසේ පසු වන අය වාර්ෂිකව ප්‍රසූත කරන බිළිඳුන් 5,00,000න් සියයට 78ක්ම අවිවාහක නහඹරයන්ගේ දරුවන් වෙත්. කෙසේවෙතත්, ගැබ්ගන්නා නහඹර වියේ තරුණියන් හා සම්බන්ධ ගැටලුව සමස්ත ලෝක එකකි. උපත් පාලන ක්‍රම ගැන කියා දෙන හෝ ලිංගික සංවාසයෙන් වැළකී සිටීමට අවවාද කරන වැඩසටහන් තිබුණත්, නහඹරයන්ගේ ලිංගික හැසිරීම වෙනස් කිරීමට ඒවා ඉවහල් වී නැති තරම්ය.

බ්‍රයන් ඊ. රොබින්සන් රචනා කළ නහඹර පියවරුන් (ඉංග්‍රීසියෙන්) යන පොත මෙසේ පැහැදිලි කරයි: “දැන් ලිංගික සංවාසය සහ විවාහයට පෙර ගැබ්ගැනීම ගැන සමාජයේ තිබෙන්නේ ඉතා ලිහිල් ආකල්පයකි. එමනිසා තරුණියක් විවාහ නොවී ගැබ්ගත් විට, 1960ගණන්වලදී සිදු වූවාක් මෙන් ඇය එතරම් අවමානයකට ලක් වන්නේ නැත. . . . ප්‍රචාරණ දැන්වීම්, සංගීතය, චිත්‍රපටි සහ රූපවාහිනිය තුළින් කාමුකත්වය උලුප්පා දක්වන දේවල් නිතරම යෞවන යෞවනියන්ගේ දෙනෙත් හා ගැටීමෙන් ඇති වන බලපෑමද අමතක නොකළ යුතුය. අමෙරිකානු මාධ්‍යය ගත් කල, එය ලිංගික සංවාසය හැඟීම් දනවන්නක්, සිත්ගන්නක්, විනෝදාත්මක දෙයක් බව නව යොවුන් වියැත්තන්ට කියාපායි. නමුත්, සංයමයකින් තොර, වගකීමේ හැඟීමක් නොමැතිව ලිංගිකව හැසිරීමේ සැබෑ ප්‍රතිඵල මොනවාදැයි ඉන් අවධාරණය නොකෙරේ.”

නොමනා ලිංගික සංවාසයේ ප්‍රතිවිපාක ගැන යෞවනයන්ට අල්පමාත්‍රයක හැඟීමක්වත් නැති බව පෙනේ. උදාහරණයකට, ඉහත සඳහන් කළ පොතේ කර්තෘ වන රොබින්සන්ගේ සවනට යොමු වූ ඇතැම් අදහස් සැලකිල්ලට ගන්න. “‘මං හිතුවේ නැහැ එයාට එහෙම වෙයි [ගැබ්ගනී] කියලා’; ‘අපි එකතු වුණේ සුමානෙට එක සැරයක් විතරයිනෙ’; නැතහොත් ‘එක් වෙච්ච පළවෙනි සැරේම ගැබ්ගනී කියලා මං හිතුවේ නැහැ.’” කෙසේවෙතත්, ඇතැම් තරුණයෝ, ලිංගික සංවාසයේ ප්‍රතිඵලය ගැබ්ගැනීමක් විය හැකි බව අද්දැකීමෙන් දනිති. තරුණ අවිවාහක පියවරුන් (ඉංග්‍රීසියෙන්) නමැති පොත මෙසේ අදහස් දක්වයි. “ලිංගික සංවාසය [නගරයේ වෙසෙන] පිරිමි ළමුන් බොහෝදෙනෙකු විසින් ඔවුන්ගේ සමාජීය තත්වය හුවා දැක්වීමට යොදාගනු ලැබේ. ඔවුන් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම විශිෂ්ට ජයක් ලෙසයි සලකන්නේ. තරුණයෙකුගේ සිත ඇදගැනීමට දරන උත්සාහයේදී බොහෝ තරුණියෝ තම සිරුරු පුද කරති.” ඇතැම් නාගරික පරිසරවල ස්ත්‍රියකව ගැබ්බර කර නොමැති තරුණයෙකුව “නපුංසකයෙක්” කියා සමච්චලයට පවා ලක් විය හැක.

වර්ෂ 1993දී කැලිෆෝර්නියාවේ පාසැල් වියේ මව්වරුන් ගැන කළ අධ්‍යයනයක තොරතුරු සෝදිසි කිරීමෙන් තත්වය කොතරම් භයානකද කියා පැහැදිලි වේ. සෑම ගැබ්ගත් තරුණියන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකුගේම ගැබ්ගැනීමට හේතු වූයේ නහඹර වියේ පෙම්වතෙකු නොව නමුත් අවුරුදු 20 හෝ 20 ඉක්මවූ පුරුෂයෙකි. තවද අවිවාහක නහඹර මව්වරුන් බොහෝදෙනෙකු බාල වයසේදී දූෂණයට හෝ අතවරයකට ලක්වූවන් බව ඇතැම් අධ්‍යයනයන්වලින් හෙළි වේ. නවීන දින සමාජය කොතරම් ප්‍රපාතයකට ඇද වැටී ඇද්දැයි මෙවැනි තැතිගන්වන අධ්‍යයනවලින් හෙළි වේ.—2 තිමෝති 3:13.

තරුණයන් කර අරමින් ඉවත් වීමට හේතු

පියෙකු බවට පත් වන නහඹර තරුණයන් දරුවා සම්බන්ධයෙන් ඇති වගකීම කරට ගෙන දිගු කාලීන සහයෝගයක් දක්වන්නේ කලාතුරකිනි. තම පෙම්වතිය ගැබ්ගත් විට එක් තරුණයෙක් මෙසේ පැවසීය: “මම ‘ටටා’ කියල මාරු වුණා.” කෙසේවෙතත්, පවුල් ජීවිත උපදේශක (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාවේ ලිපියකට අනුව, “තම දරුවන් සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වාගැනීමට බොහෝ තරුණ පියවරු දැඩි ආශාවක් දක්වති.” තරුණ අවිවාහක පියවරුන් ගැන කළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ, ඔවුන්ගෙන් සියයට 70ක්ම සතියට වරක් ගොස් දරුවාව බැහැදුටු බවයි. එනමුත් ඒ ලිපියෙහි මෙම අනතුරු ඇඟවීමද ඇත. “කොහොමවුණත් ඒ තරුණයන් වයසින් මුහුකුරා යද්දී, බැහැදකින අවස්ථා කෙමෙන් කෙමෙන් අඩු වී යයි.”

බොහෝදුරට මෙවැනි දෙයක් සිදුවීමට හේතුව 17 හැවිරිදි පියෙකුගේ මෙම අදහසින් පැහැදිලි වේ. “මේක කොච්චර අමාරු දෙයක් වෙනවාද කියලා මම දැනගෙන හිටියා නම්, මම කීයටවත් මේක වෙන්න දෙන්නේ නැහැ.” දෙමාපියෙකු වීමේ අසීරු වගකීම ඉසිලීමට අවශ්‍ය චිත්තවේගීය මේරූකම හෝ අද්දැකීම් යෞවනයන්ට නැති තරම්ය. ජීවිතය ගැටගසා ගැනීමට අවශ්‍ය අධ්‍යාපනය හෝ සුදුසු රැකියාවක්වත් බොහෝදෙනෙකුට නැත. එමනිසා, අසමර්ථයන් හැටියට හංවඩු ගසනු ලැබීම දරාගත නොහැකිව, බොහෝ තරුණයෝ තම දරුවන් හැර යති. එක් තරුණ පියෙක් මෙසේ තම තත්වය හෙළි කරයි. “මගේ ජීවිතය හරිම අවුල් ජාලයක්.” තවත් කෙනෙක් ශෝකයෙන් මෙසේ පවසයි. “මට බැහැ මගේ අවශ්‍යතාවත් සපුරාගන්න. [මගේ පුතාවත්] බලාගන්න වුණොත් මොනව වෙයිද කියලා මං දන්නේ නැහැ.”

ඇඹුල් මිදි ඵල

“පියවරු ඇඹුල් මිදි ඵල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය” යන ප්‍රස්තාව පිරුළ බයිබල් කාලවල විසූ යුදෙව්වන්ට හුරු පුරුදු යමක් විය. (එසකියෙල් 18:2, නව අනුවාදය) අතීතයෙහි සිදු වූ වැරදි නැවතත් ඉදිරියට සිදුවීම මඟහැරිය හැකි බව දෙවි යුදෙව්වන්ට පෙන්නුම් කළේය. (එසකියෙල් 18:3) කෙසේවෙතත්, අදදින දරුවන් දශලක්ෂ ගණනක් තම දෙමාපියන්ගේ ‘ඇඹුල් මිදි ඵලවල’ කටුක ප්‍රතිඵල අද්දකින බවක් පෙනේ. ඔව්, තම දෙමාපියන් වගකීම් කරට ගෙන ක්‍රියා නොකර, නොමේරූ ලෙස විවාහයන් කඩාකප්පල් වන ආකාරයකින් කටයුතු කළ නිසා, මේ ළමුන් සෑහෙන දුකක් විඳින බව පැහැදිලිය. ඇත්තෙන්ම පියෙකු නොමැතිව වැඩෙන ළමුන් ශාරීරික මෙන්ම චිත්තවේගීය අන්තරාවන් රැසකට මුහුණ දෙන බවට ඇති සාක්ෂි අහස උසට නැඟ ඇත. (7වන පිටුවේ කොටුව බලන්න.) පියෙකු නොමැතිව වැඩීමේ ඛේදවාචකය මතු පරම්පරාවටත් බෝවන රෝගයක් මෙනි. එසේ නම්, කනගාටුවට කරුණක් වන්නේ ඇති වන වේදනාව සහ දුක දිගින් දිගටම පැවතීමයි.

පියෙකු නොමැති සෑම පවුලක්ම ගොඩ එන්න බැරි ප්‍රපාතයකට ඇද වැටී ඇති බවක් මින් අදහස් කෙරේද? නැත. පියෙකු නොමැති පවුල් අද්දකින ඛේදවාචකයට පිළියමක් ඇත. මෙය ශුභාරංචියක් නොවේද? ඒ පිළියම කුමක්දැයි මීළඟ ලිපියෙහි සාකච්ඡා කෙරේ.

[පාදසටහන්වල]

a කාර්මික යුගයට පෙර, එක්සත් ජනපදයේ දරුවන් ඇති දැඩි කිරීමේ අත්පොත් බොහෝදුරට මව්වරුන් සඳහා නොව පියවරුන් සඳහා ලියන ලදි.

b සේරා මක්ලැනහන් සහ ගැරි සැන්ඩෆර් යන පර්යේෂකයන්ගේ අදහසට අනුව, එක්සත් ජනපදයේ, “නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් උපකාර ලැබිය යුතු දරුවන්ගෙන් සියයට 40ක් වෙනුවෙන් [අධිකරණයෙන් නියම වූ] උපකාර ලබා දීමේ නියෝගයක් පනවා නැත. එනමුත් එවැනි නියෝගයක පිහිට ඇති අයගෙන් සියයට 25කට කිසිම උපකාරයක් නොලැබේ. උපකාර ලබන අයගෙන් ලැබිය යුතු සම්පූර්ණ උපකාරය තුනෙන් එකකටවත් ලැබෙන්නේ නැත.”

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පියෙකු නොමැතිව වැඩෙන ළමුන් මුහුණ දෙන අන්තරාවන්

පියෙකු නොමැතිව දරුවෙකුට වැඩෙන්න සිදු වන විට, ඔවුන්ට බරපතළ අන්තරාවන් කිහිපයකට මුහුණ දෙන්න සිදු වන බව පැවසිය හැක. මතු දැක්වෙන තොරතුරු කියවීමෙන් ඇතමුන්ට වේදනාවක් ඇති විය හැකි බව දැන්වීම අපගේ යුතුකමයි. කෙසේවෙතත්, අන්තරාවන් මොනවාදැයි තේරුම්ගැනීම, ඇති වන හානි වැළැක්වීමට නැතහොත් අඩුම තරමින් හානි අවම කිරීමට ප්‍රථම පියවර වේ. මෙහි දක්වා ඇති සංඛ්‍යා ලේඛන තනි පුද්ගලයන්ට නොව, සාමූහික වශයෙන් අදාළ වන බවත් මතක තබාගන්න. ඇතැම් දරුවන් පියෙකු නොමැති නිවසක වැඩුණත්, ඔවුන් මෙහි සඳහන් එක ප්‍රශ්නයකටවත් මුහුණ දෙන්නේ නැත. මෙවැනි දුෂ්කරතා අවම කිරීමට දෙමාපියන්ගේ දායකත්වය සහ බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීම මහෝපකාරි වන ආකාරය මෙම ලිපි මාලාවේ අවසන් ලිපියෙහි ගෙනහැර දක්වා ඇත. එසේ නම්, පියෙකු නොමැති දරුවෙකුට මුහුණ දීමට සිදු විය හැකි අන්තරාවන් කිහිපයක් සලකා බලමු.

ලිංගික අතවරයට ලක්වීමේ අවදානම වැඩිය

පියෙකු නොමැති විට ළමුන් අතවරයට ලක්වීමේ අන්තරාව වැඩි බව පර්යේෂණවලින් පැහැදිලිව ඔප්පු වේ. අතවරයට ලක් වූ 52,000ක් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, “ඉන් සියයට 72ක්ම නියම දෙමාපියන් දෙදෙනාම හෝ එක්කෙනෙකු නොමැති නිවහනක ජීවත් වූ” බවයි. පියෙකු නොමැති අමෙරිකාව යන පොතෙහි මතු දැක්වෙන අදහස කාවද්දනු ලැබේ. “අපගේ සමාජයේ ළමුන්ට අතවර කිරීම් ශීඝ්‍රයෙන් වැඩි වී ඇත්තේ විවාහ වූ පියෙකු නිවසේ නොමැති වීම වැඩි වී ඇති නිසාත්, සුළු පියවරුන්, පෙම්වතුන් නැතහොත් කිසිදු නෑකමක් නොමැති, වැඩි කාලයක් නැවතී නොසිටින පුරුෂයන් නිවසේ සිටීමේ අවස්ථා වැඩි වී ඇති නිසාත්ය.”

බාල වයසේ සිටම ලිංගිකව හැසිරීමට තිබෙන අවදානම වැඩිය

එක දෙමාපියෙකු පමණක් සිටින නිවසක බොහෝදුරට දෙමාපිය අධීක්ෂණය අඩුය. එමනිසා දරු දැරියන්ට අනාචාරයෙහි යෙදීමට ලැබෙන අවස්ථාවන්ද වැඩිය. දෙමාපියෙකුගෙන් එතරම් පුහුණුවක් නොලැබීමද මීට දායක විය හැක. එක්සත් ජනපදයේ සෞඛ්‍යය සහ මානව සේවා අංශය මෙම අදහස පළ කරයි. “පියෙකු නොමැති ගැහැනු ළමුන් ගැබ්ගැනීමට ඇති ඉඩ කඩ දෙගුණයකටත් වැඩිය.”

දුගීකම

විවාහ නොවී දරුවන් බිහි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දුගීකම පොදුවේ අද්දැකීමට සිදු වන බව දකුණු අප්‍රිකාවේ කළු ජාතික තරුණියන් ගැන කළ අධ්‍යයනයකින් හෙළි විය. එම අධ්‍යයනයට මුල් වූ දෙදෙනා මෙසේ පවසති. “එවැනි අවස්ථාවන්ගෙන් සියයට 50කදීම ඒ තරුණිය නැවතත් තම අධ්‍යාපනයට යොමු වන්නේ නැත.” තවද අවිවාහක වූ මව්වරුන් බොහෝදෙනෙක් ගණිකා වෘත්තියට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට ඇද වැටෙති. බටහිර ලොවේ රටවල තත්වය මේ හා සමාන බවට ලකුණු ඇත. එක්සත් ජනපදයේ “[1995දී] දෙමාපියන් දෙදෙනාම සිටි පවුල්වල දුගීකමට මුහුණ දුන්නේ දරුවන් සියයට 10ක් පමණි. එනමුත් මව පමණක් සිටි පවුල්වල දරුවන්ගෙන් සියයට 50ක්ම දුගීකමෙන් පෙළී සිටියහ.”—අමෙරිකාවේ දරුවෝ: 1997 ජාතික ජීවන තත්ව දර්ශකය.

නොසලකා හැරීම

තනිව ජීවිත ගැටගසා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන තනි දෙමාපියන්ට තම වගකීම් දරාගත නොහැකි තරම්ය. එමනිසා තම දරුවන් සමඟ ප්‍රමාණවත් කාලයක් ගත කිරීමට ඔවුහු අපොහොසත් වෙති. දික්කසාද වූ එක් තැනැත්තියක් ඇගේ ජීවිතය මෙසේ මතකයට නඟයි. “දිවා කාලයේ මම රැකියාවක් කරනවා. රාත්‍රි කාලය මගේ අධ්‍යාපනයට වෙන් කළා. එතකොට සෑහෙන මහන්සියක් දැනෙනවා. ළමයි එක්ක කොහොමටවත්ම කාලය ගත කරන්න හම්බ වුණේ නැහැ.”

චිත්තවේගීය හානි

දික්කසාදයකින් සිදු වන කම්පනයෙන් පසු දරුවන් ඉක්මනින් යථා තත්වයට පැමිණෙන බව ඇතැම් විශේෂඥයෝ කියා සිටිති. මෙය අසත්‍යයක් බව ඔප්පු කරමින් ආචාර්ය ජූඩිත් වොලර්ස්ටයින් වැනි පර්යේෂකයන්ගේ සොයාගැනීම්වලින් හෙළි වී ඇත්තේ, දික්කසාදයක් දරුවන්ට ඉතා ගැඹුරු ලෙස චිත්තවේගීයව බලපාන බවය. ඇය මෙසේ පවසයි. “දෙමාපියන් දික්කසාද වී අවුරුදු දහයක් ගත වූ පසුවත් අවුරුදු දහනවයත් විසි නවයත් අතර තරුණ තරුණියන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවකගේ ජීවිතවලට කිසිම දිශාවක් නොමැති තරම්ය. නිශ්චිත ඉලක්කයන් නොමැතිව ඔවුන් ජීවිතය ගත කරන්නේ ඔහේ ඈත මෑත විසි වන රළ පෙළක් මෙනි. ඔවුන්ගේ මුහුණුවල දිස් වන්නේ අසරණබවකි.” (සෙකන්ඩ් චාන්සස්, ආචාර්ය ජූඩිත් වොලර්ස්ටයින් සහ සැන්ඩ්‍රා බ්ලේක්ස්ලි විසිනි) නොවටිනාභාවයේ හැඟීම්, අසහනය, නොමනා හැසිරීම, නිතරම කෝපාවිෂ්ට වීම වැනි ලක්ෂණ දික්කසාදයක් අද්දුටු දරුවන් බොහෝදෙනෙකු තුළ දැකිය හැකි විය.

තනි මාපිය පවුල (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි මෙසේ පැවසේ. “හොඳ පුරුෂ බලපෑමක් නොමැතිව වැඩුණු පිරිමි ළමයින්ට තම පෞරුෂත්වය ගැන ආත්ම-විශ්වාසයක් නොමැත. තමා නොවටිනා බවට වූ හැඟීම් පහළ වේ. වැඩිහිටිභාවයට පා තබද්දී, කුලුපග සබඳතා ඇති කිරීම ඔවුන්ට ගැටලුවකි. බොහෝ අධ්‍යයනවලින් ඉහත කරුණු හෙළි වී ඇත. පුරුෂයෙකුගේ බලපෑම නොමැතිව වැඩෙන ගැහැනු ළමුන් අද්දකින ගැටලු පැනනඟින්නේ නව යොවුන් වියේදී හෝ ඊට පසුවය. වැඩිහිටියෙකු වූ විට පුරුෂයන් සහ ස්ත්‍රීන් සමඟ සාර්ථක සබඳතා ගොඩනඟා ගැනීමට අපොහොසත් වීම මින් එක් ගැටලුවකි.”