පියෙකු නොමැති පවුල්—වත්මන් උවදුරකි
පියෙකු නොමැති පවුල්—වත්මන් උවදුරකි
ඔබේ අදහසට අනුව, අද සමාජයේ පවතින ප්රබලතම ගැටලුව කුමක්ද? මේ සම්බන්ධව එක්සත් ජනපදයේ කළ ගැලප් විමසීමකින් හෙළි වූයේ සියයට 80කගේම මතයට අනුව, “නිවසක පියෙකු නොසිටීම” ප්රබලතම ගැටලුව බවය. මෙම ගැලප් විමසීමට අනුව, එක්සත් ජනපදයේ දරුවන් දශලක්ෂ 27ක්ම තම නියම පියාගෙන් වෙන්ව සිටිත්. ඒ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වන බවටද ලකුණු ඇත. වර්ෂ 1980 පටන් එක්සත් ජනපදයේ ඉපද ඇති සුදු ජාතික ළමුන්ගෙන් සියයට 50ක් පමණ “තම ළමා වියෙන් යම් කාලයක් තනි මාපිය පවුලක සාමාජිකයෙකු ලෙස ගත කළ බව” එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් පිළියෙළ කළ වාර්තාවක දැක්වේ. “එම ඉරණම අත් වන කළු ජාතික ළමුන්ගේ ප්‍රතිශතය ඊටත් වඩා වැඩිය. එනම් සියයට 80කි.” එමනිසා USA ටුඩේ යන සඟරාව “පියෙකු නොමැති පවුල් සිටින ප්‍රධානතම රට” ලෙස නම් කළේ එක්සත් ජනපදයයි.
කෙසේවෙතත් දි ඇට්ලැන්ටික් මන්ත්ලි යන සඟරාවේ ලිපියක මෙම අදහස පළ විය: “භේදභින්න වූ පවුල් සංඛ්‍යාව අමෙරිකානු සමාජයට සීමා වූ උවදුරක් නොවේ. එය, ජපානය ඇතුළුව දියුණු වූ සෑම රටකම දක්නට ලැබෙන ලක්ෂණයකි.” දියුණු වෙමින් පවතින රටවල් ගැන කුමක් කිව හැකිද? ඒ පිළිබඳව නිශ්චිත සංඛ්‍යා ලේඛන ලබාගැනීම දුෂ්කර වුවද, එම රටවලත් ඒ හා සමාන උවදුරක් ඇති බවට ලකුණු ඇත. වර්ල්ඩ් වොච් නමැති සඟරාවට අනුව, “[දුප්පත් රටවල වෙසෙන] පුරුෂයන් නිතරම පාහේ තම භාර්යාවන් සහ දරු දැරියන්ව අත්හැර යන්නේ ඔවුන් අද්දකින ආර්ථික පීඩනය දරාගත නොහැකි නිසාය.” මෙම කාරණය සනාථ කරමින්, බටහිර ඉන්දීය කොදෙව් රටක කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, අට හැවිරිදි දරුවන් සිටි පියවරුන් අතුරින් තම දරුවන් සමඟ ජීවත් වූයේ සියයට 22ක් පමණක් බවය.
බයිබල් කාලවලදී පවා පියා නැති දරුවන් පොදු ලක්ෂණයක් විය. (ද්විතීය කථාව 27:19; ගීතාවලිය 94:6) කෙසේවෙතත්, ඒ කාලයේදී දරුවෙකුගේ පියා අහිමි වීමට ප්‍රධාන හේතුව වූයේ පියාගේ මරණයයි. “අදදින” ගැන කියමින් ලේඛක ඩේවිඩ් බ්ලැන්කන්හෝන් මෙසේ පවසයි: “පියෙකු අහිමි වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ දරුවන් අත්හැරීමට පියා විසින්ම ගන්නා තීරණයයි.” ඇත්තෙන්ම පියෙකු නොමැති දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන බවට සාක්ෂි එමටය. අදදින බොහෝ මනුෂ්‍යයන් තුළ “ජන්ම ස්නේහය” නැති කාලයක අප ජීවත් වන බව මෙයින් මනාව පැහැදිලි වේ. බයිබලයට අනුව, අප “අන්තිම දවස්වල” ජීවත් වන බවට මෙය තවත් සාක්ෂියකි.—2 තිමෝති 3:1-3.
කෙසේවෙතත්, කුඩා දරුවන්ට තම පියා අහිමි වන විට, එය ඔවුන්ට පෞද්ගලිකව බලපාන මහත් විපතක් හැටියට නම් කළ හැකිය. එයින් ඉමහත් වේදනාවක් දැනෙන අතර දරුවාද අසරණ විය හැකිය. මෙය ඔවුන්ට දිගු කාලීනවද බලපෑ හැකියි. එමනිසා, මෙම ලිපි මාලාවේදී අප මෙම විෂය ගැන සාකච්ඡා කරන්නේ අපගේ පාඨකයන්ව අධෛර්යයට පත් කරවීමේ අදහසින් නොව, නමුත් මෙම විනාශකාරි ප්‍රවණතාව නතර කර දැමීමට පවුල්වලට උපකාර කළ හැකි තොරතුරු සැපයීමේ අදහසිනි.