පනස් වසරකට වසං කළ සත්‍යයක්—මන්ද?
පනස් වසරකට වසං කළ සත්‍යයක්—මන්ද?
රූම් යනු ස්කොට්ලන්තයේ බටහිර වෙරළට එපිටින් පිහිටි අභ්‍යන්තර හෙබ්‍රිඩීස් දූපත් සමූහයට අයත් දූපතකි. වසර 70කට පමණ පෙර, එම දූපතේ අයිතිකාරියගේ අවසරය ඇතුව, බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ රොයල් සොසයටියේ සාමාජිකයෙකු මෙන්ම මහාචාර්යවරයෙකු වූ උද්භිද විද්‍යාඥ ජොන් හෙස්ලප් හැරිසන්, එහි වෘක්ෂලතාදිය අධ්‍යයනය කිරීමට වරම් ලැබීය.
ඉන් අනතුරුව ගෙවී ගිය වසරවලදී, තමා ඉතා දුර්ලභ ගණයේ ශාක කිහිපයක් සොයාගත් බව හැරිසන් වාර්තා කළේය. මීට පෙර මෙවන් ශාක දක්නට තිබුණේ සැතපුම් සියගණනක් ඈතින් දකුණු දෙසට වෙන්නය. මෙම සොයාගැනීමත් සමඟම හැරිසන් ඉමහත් සේ පැසසුමට ලක් වූ අතර, ඔහුගේ කීර්තියද බෙහෙවින් වැඩි විය. එනමුත්, ඔහු තවදුරටත් සොයාගැනීම් කරද්දී, වෙනත් උද්භිද විද්‍යාඥයන්ගේ මනස්වල සැක පහළ විය.
වර්ෂ 1948දී කේම්බ්‍රිජ් සරසවියේ සාහිත්‍යය පිළිබඳ ආචාර්යවරයෙකු මෙන්ම ඉතා උනන්දුවෙන් වැඩ කරන ආධුනික උද්භිද විද්‍යාඥයෙකු වූ ජොන් රේවන්, මෙම සැකයන්වලට හේතු මොනවාදැයි සොයා බැලීමට ඉදිරිපත් විය. එනමුත් ඔහු ලියූ වාර්තාව කිසිදාක ප්‍රසිද්ධ නොවීය. ඒ වෙනුවට එය සඟවනු ලැබීය. එහි අඩංගු තොරතුරු එළිදරව් වූයේ 1999දීය. ඒ මන්ද? හැරිසන් කළේ ප්‍රෝඩාවක් කියා රේවන් ඔප්පු කළ නිසාය. නියූ සයන්ටිස්ට් සඟරාවෙහි පළ වූ වාර්තාවකට අනුව, මෙම ශාකයන් වෙනත් තැනක වගා කොට, රූම් දූපතට රහසිගතව ගෙනෙනු ලැබ ඇත.
රේවන්ට ශාක සහ ඒවා වැඩෙන පරිසරය ගැන මනා අවබෝධයක් තිබිණ. එමනිසා, හැරිසන් “සොයාගත්” ශාක කිහිපයක මුල් අතරේ, රූම්හි දුර්ලභ වූ නමුත් එංගලන්තයේ සුලභව වැඩෙන වල් පැළ සොයාගන්නා ලදි. වෙනත් ශාක කෘමියෙකු මගින් කා දමනු ලැබූ අතර, වාර්තාවලට අනුව එම කෘමි විශේෂය සිටියේ බ්‍රිතාන්‍යයෙහි ස්ථාන දෙකක පමණි. ඉන් එක් ස්ථානයක් වූයේ එංගලන්තයේ තිබෙන හැරිසන්ගේ ගෙවත්තයි! තවත් ශාකයක මුල්වලින් තවදුරටත් සාක්ෂි ලැබිණ. ඒ මුල්වල තිරුවාණ ගල් වර්ගයක අංශු තිබිණ. මෙම අංශු තිබුණේ රූම් දූපතේ ස්වාභාවිකව තිරුවාණ ගල් තිබූ ප්‍රදේශයට සෑහෙන ඈතකිනි.
එම සාක්ෂිවලට අමතරව, රූම් දූපතේ සමනලයන් සහ කුරුමිණියන් පිළිබඳව හැරිසන් පළ කළ දේවල්ද සදොස් බවට සාක්ෂි තිබිණ. ද සන්ඩේ ටෙලිග්රාෆ් මැගසින් නමැති සඟරාව, රූම් වැසියෙකු පැවසූ යමක් මෙසේ වාර්තා කළේය. “මහචාර්යතුමා සමනලයෙක් නැත්තං පැළයක් වගේ මොනවා හරි දෙයක් සඟවාගෙනයි හිටියේ. හැම අවුරුද්දකම එයා මොනවා හරි දෙයක් සොයාගත්තා කියලා කියනවා.” එසේ නම්, හැරිසන්ගේ ප්‍රෝඩාව හෙළි නොවූයේ මන්ද?
ඒ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වූ කාර්ල් සැබැක්ගේ නිගමනයට අනුව, එවන් තීරණයක් ගෙන ඇත්තේ හැරිසන්ගේ පවුල ආරක්ෂා කිරීමේ කාරුණික චේතනාවෙන්ය. එනමුත් හැරිසන් යම් බලපුළුවන්කාරකමක් ඇති, භයානක කෙනෙකුය යන කාරණයද සැලකිල්ලට ගත යුතුය. තවද ප්‍රෝඩාවක් සිදු වූ බවට හෙළිවීමෙන්, “උද්භිද විද්‍යා ක්ෂේත්රයට සම්බන්ධ සියල්ල අපකීර්තියට ලක් වන්න” ඉඩ කඩ තිබුණු බවත් සැබැක් හෙළි කරයි.