මුල්ම දැව ප්‍රවාහකයා තවමත් ක්‍රියාශීලීව
මුල්ම දැව ප්‍රවාහකයා තවමත් ක්‍රියාශීලීව
මිනිසා දැව කැපීම සඳහා විවිධ වර්ගයේ ආයුධ නිපදවා ඇත. මේවා අතර පොරව, කැත්ත සහ කියත වැනි ආයුධ දැකිය හැක. එමෙන්ම ට්රැක්ටර්වල සවි කරන ලද මුවහත් දැති මගින්ද දැවැන්ත ගස්වල කඳන් කපා දමනු ලැබේ. එහෙත් දැව කැපීම සඳහා භාවිත කරන ලද පැරණිතම ආයුධ සාදන ලද්දේ මිනිසා විසින් නොවේ. දැව කැපීම සඳහා භාවිත කළ මුල්ම ආයුධ කට්ටලයට අයත් වන්නේ තියුණු මුවහතකින් යුත් දත් ඇන්දකි. මේ දත් ඇන්දේ හිමිකරු වන්නේ දැව කපා ප්රවාහණය කිරීම ආරම්භ කළ බීවරාය.
වැඩුණු බීවරයෙකුගේ උස සාමාන්‍යයෙන් අඩි හතරක් පමණ වන අතර, බර කිලෝග්‍රෑම් 27ක් පමණ වේ. ඌ ලෑටි ගෑමට යොදාගන්නා උගේ උඩ හා යට ඇන්දේ ඉදිරියෙන් පිහිටා තිබෙන කෘන්තක දත් අඛණ්ඩව වැඩේ. මේ දත්වල වැඩීම පාලනය කිරීමට බීවරා නිතරම මෙම දත්වලින් ලෑටි ගායි. උගේ කෘන්තක දත්වල ඉදිරිපස ඝනකම් එනැමලයකින් වැසී තිබෙන අතර, ඇල වී සිටින සේ පිහිටා තිබෙන එම දත් මුවහත්ය. ඇතුළට නෙරා ඇති ඉතා සවිමත් මාංශ පේශිවලින් යුත් හකුවල තිබෙන මෙම දත් මගින් ශක්තිමත් ලීයක් වුවත් පහසුවෙන්ම කපා දැමිය හැක.
උණුසුම් කබාය හා කාර්යයන් රැසක් කරන වලිගය
ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල ජීවත් වන උණුසුම අගයන මිනිස්සු ජලය උරා නොගන්නාවූ කබායක වටිනාකම හොඳින් දනිති. එහෙත් බීවරාට නම් එවැනි කබායක් මිල දී ගැනීමට කවදාවත් සාප්පුවකට යෑම අවශ්‍ය නැත. මන්ද උගේ සිරුර පුරා තිබෙන කබායක් බඳු ඝන ලෝම වැස්ම ඌට ලැබී තිබෙන දායාදයක් වන නිසාය. සමහර බීවරයන්ගේ ලෝම වැස්ම ලා දුඹුරු පැහැයක් ගන්න අතර, තවත් සමහරුන්ගේ ලෝම වැස්ම තද දුඹුරු පැහැයෙන් යුක්තය. මෙම ලෝම වැස්මෙහි ස්තර දෙකක් තිබේ. උගේ සමට ඇලී තිබෙන මුල් ස්තරය සිහින් කෙස් රාශියකින් යුත් ලෝම තට්ටුවකින් සමන්විතය. මෙම සිහින් කෙස්වල ඇමිණෙනසුලු කුඩා කටු පෙළක් තිබෙන අතර, බීවරාට ජලයෙන් හා ශීතලෙන් ආරක්ෂා වීමට හැකි වන පරිදි එම කෙඳිවල පිහිටි ඇමිණෙනසුලු කටු එකිනෙකට සම්බන්ධ වේ. පිටතින් පිහිටි දෙවන ස්තරයේ තිබෙන දිගින් වැඩි ඝනකමට වැඩුණු කෙස් මගින් සමට ඇලී තිබෙන කෙස් තට්ටුව ආරක්ෂා කරන අතර, බීවරාගේ සිරුරට ජලය උරාගැනීමද වළක්වයි. දිදුලන දීප්තියක් හා විල්ලුද වැනි සිනිඳු බවක් බීවරාගේ සමෙහි දක්නට තිබේ. එනිසා උගේ සමෙන් සාදන ලද ඇඳුම් බොහෝදෙනෙකු අධික මිලක් වුවද ගෙවා මිල දී ගැනීම ගැන පුදුම විය යුතු නැත. අතීතයේදී, බීවරාගේ කෙස් සහිත සම මුදල් ඒකකයක් ලෙස කැනඩාවේ භාවිත කරන ලදි.
සෑම බීවරයෙකුගේම වලිගයේ මුල අසාමාන්‍ය ග්‍රන්ථි යුගළක් තිබේ. මෙහි එක් ග්‍රන්ථියක් මගින් විශේෂ තෙලක් නිපදවන අතර, අනිත් ග්රන්ථියෙන් කැස්ටරම් කියා හඳුන්වන ස්‍රාවයක් නිපදවයි. මෙම ස්‍රාවයෙන් ප්‍රසන්න සුවඳක් විහිදුවාලයි. බීවරා මෙම ද්‍රාවණයෙන් විවිධ ප්‍රයෝජන ගනියි. එනම් මෙම ද්‍රාවණය මගින් උගේ ලොම් අතරින් ජලය සිරුරට උරාගැනීම වළක්වන අතර, වෙනත් බීවරයන්වද ඌ වෙතට ආකර්ෂණය කරවයි. සුවඳ විලවුන් වර්ග නිෂ්පාදනය කරන්නෝ මෙම ද්‍රාවණය සුවඳ විලවුන් සෑදීම සඳහා යොදාගන්න නිසා මිනිස්සුද කැස්ටරම්වලින් ප්‍රයෝජන ගනිති.
බීවරාට තිබෙන්නේ ඌටම ආවේණික වූ වලිගයකි. හබලක හැඩයෙන් යුත් උගේ වලිගය දිගින් අඩියක් පමණ වන
අතර, බොහෝ කාර්යයන් කරගැනීමට එය ඌට බෙහෙවින් උපකාරවත් වේ. උදාහරණයක් හැටියට, ඌ ජලයේ ගමන් කරන විට, උගේ වලිගය සුක්කානමක් මෙන් ක්‍රියා කරයි. එමෙන්ම බීවරා පිටුපස පාද දෙකෙන් සිටගෙන ගස් ලෑටි ගාන විට, නොවැටී සිටීමට ඌට ආධාර කරන්නේද උගේ වලිගයයි. යම් අනතුරක් ළඟම තිබෙන බව දැනෙන විට බීවරා උගේ වලිගයෙන් ජලයට ගසා, එම ශබ්දය ඇසෙන දුර සීමාවේ සිටින අනෙකුත් සියලුම බීවරයන්ට ඒ ගැන කල්පනාකාරි වීමට දැනුම් දෙයි. එමෙන්ම බීවරා උගේ වලිගය මේසන් හැන්දක් මෙන් යොදාගනිමින් ඌ සාදන වේලිවලට මඩ තවරන බව ඇතැම්හු පවසති. නමුත් මෙහි නම් කිසිදු සත්‍යතාවක් නැත.ආහාර සහ ජලය
බීවරා කෑමට ගන්නේ මොනවාද? විලෝ පවුලට අයත් ගස්වල මෘදු ඇතුල් පොත්ත හා අංකුර කන්න ඌ හරිම ආසයි. මේ නිසා වේල්ලක් තැනීමට ගසක් කපන විට බඩ කට පිරෙන්න කන්න අවස්ථාවකුත් ඌට ලැබේ. සමහර අවස්ථාවලදී එක බීවරයෙකු හනි හනිකට කඳක් කපන අතරතුර, තවත් බීවරයෙක් ඌට හොරෙන්ම කඳේ අනිත් පැත්තේ ඇතුල් පොතු ටික කාගෙන කාගෙන යයි.
බීවරා ගබඩා කරගත් ආහාර ශීත කාලයේදී ප්‍රයෝජනයට ගනියි. ඌ ආහාර ගබඩා කරන්නේ පුදුමාකාර ක්රමයකටයි. ඌ මේ දේ කරන්නේ වතුර යට තිබෙන ගැඹුරු වළකයි. එක වතාවකට විනාඩි 15ක් වතුර යට සිටීමට බීවරාට හැකි නිසා මේ පුදුම වැඩය ඌට නම් එතරම් අමාරු දෙයක් නොවෙයි. වළ තුළ කෑම ගබඩා කළාට පසු ඌ ගස්වල අතු ගෙනැවිත් ඒ මත ගොඩගසයි. වැඩි වැඩියෙන් අතු ඒ මත ගොඩගසන විට එම අතු ඒ වළේ පහළටම කිඳා බසියි. ශීත කාලයේදී ජලය මිදී අවට පරිසරය හිමෙන් වැසී යෑම නිසා කෑම සොයාගැනීම අනෙක් සතුන්ට අපහසු වුණත්,
බීවරයන්ට නම් ජලය යට තිබෙන උන්ගේ ආහාර “ගබඩාවේ” කෑම ඇති තරම් තිබේ.කිසිම කරදරයක් නැතුව ජලයේද ජීවත් විය හැක්කේ ගොඩබිම වසන සතුන්ගෙන් කිහිපදෙනෙකුට පමණයි. කලින් සඳහන් කළ ආකාරයට ජලය කාන්දු නොවන තෙල් සහිත ඝන ලොම් තට්ටුවක් බීවරයෙකුගේ සිරුරේ තිබේ. ඒ විතරක් නොවෙයි, අධික ශීතල ජලයේ සිටියත් උගේ සම මතු පිට ඇති මේද තට්ටුව නිසා එම ශීතල ඌට නොදැනෙයි. මේ නිසා ජලය යට පවා බීවරයන් සංසර්ගයේ යෙදීම පුදුමයක්ද! බීවරයන්ට ජලය අත්‍යවශ්‍යය දෙයක් වන නිසා වැව් හා පොකුණු නොමැති ප්‍රදේශවල සාමාන්‍යයෙන් උන්ව දැකිය නොහැක.
බීවරයන් සහ මිනිසුන්
බීවරයන් ඉතා හීලෑ සතුන් වර්ගයක් වේ. මේනිසා උන්ට කරුණාවෙන් සලකන අයත් එක්ක උන් ඉක්මනින්ම යාළු වෙයි. මුන් නිතරම උන්ගේ සිරුරු පිරිසිදුව තබාගන්නා අතර කෙස්ද පිළිවෙළකට සකසාගනියි. ඈත අතීතයේ අමෙරිකාවේ මුල් වැසියන් වාසය කළ කඳවුරු අසල සුරතලුන් හැටියට බීවරයන්ව ඇති කරන ලදි. නමුත් බීවරයන් සැමවිටම කුමක් හෝ දෙයක් සාදන නිසා උන්ට ගේ ඇතුළට එන්න දෙන්න කලින්, දෙවරක් සිතිය යුතුයි. “ගෙවල් ඇතුලේ තියාගන්න විට, උන් මේස හා පුටුවල කකුල් උන්ගේ දත්වලින් කපල, ඒවා අරන් මොනව හරි ගෘහභාණ්ඩ දෙකක් අතර කුඩා වේලි සාදනවා” කියා පාරිසරික ඉන්ජිනේරුවරයෙකු වන ඇලිස් ඕවෞට්වොටර් පවසයි. ඒ වගේම වත්තේ තියෙන ගස්වලට හා වැටවල තියෙන කණුවලට වෙන්නෙත් ඒ ටිකමයි.
බීවරයන් සහ මිනිසුන් අතර ඊට වඩා බරපතළ ගැටලු ඇති වූ අවස්ථාද තිබේ. උදාහරණයක් හැටියට, බීවරයන් තනන බැමි නිසා වැව්වල ජල මට්ටම ඉහළ ගොස් තමන්ගේ දේපොළවලට හානි පැමිණ තිබෙන බවට ඉඩම් හිමියෝ පැමිණිලි කරති. එහෙත් බීවරයන්ගේ වැඩ නිසා සිදු වන ප්‍රයෝජන පෙන්වා දීමෙන් පාරිසරික විද්‍යාඥයෝ එම පැමිණිලිවලට එරෙහිව අදහස් දක්වති. උදාහරණයක් ලෙස, උන් තනන වේලිවල ප්‍රතිඵලයක් හැටියට ජලය එක තැනකට රැස් වන නිසා ජල හිඟයක් ඇති නොවේ. එමෙන්ම මොවුන් සිදු කරන මෙම ක්‍රියාවලිය නිසා එම ජලාශවල ජලය පිරිසිදු වන බවද සොයාගෙන ඇත. මේ හේතුවෙන් බොහෝ ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්මට උන්ගේ මෙම ක්‍රියාවන් බෙහෙවින් උපකාරවත් වේ. බීවරයන් ජීවත් වන පොකුණුවල තිබෙන ජලය උන් සුරැකීම නිසා නියඟවල බලපෑමද අඩු වී තිබෙන බව සමහරු පවසති.
පාරිසරික විද්‍යාඥයන්ගේ ගණන් බැලීම්වලට අනුව එක්සත් ජනපදයේ දැනට බීවරයෝ 1,00,00,000ක් පමණ ජීවත් වෙති. කෙසේවෙතත්, ඇතැම් ගණන් බැලීම්වලට අනුව, මීට අවුරුදු 500කට කලින් එම ප්‍රදේශයේම බීවරයන් 20,00,00,000කට වැඩි ගණනක් ජීවත් වී ඇත. උතුරු අමෙරිකාවට මුලින්ම යුරෝපීයයන් ගොඩබැසීමට කලින් සිටම “දැව ප්රවාහකයන්” කෝටි ගණනක් එම ප්‍රදේශයේ වනාන්තරවල වැඩ කර ඇති ආකාරය නිකමට සිතා බලන්න. මේතරම් විශාල බීවරයන් ගණනක් ගස් කොළන් කපා දැමුවත්, ඔවුන්ගේ පදිංචිය සඳහා ඕනෑ තරම් සශ්‍රික වනාන්තර තෝරාගැනීමට මුල් පදිංචිකරුවන්ට හැකි විය. පරිසර පද්ධතිවල සමතුලිතතාව රැකගැනීමේදී බීවරයා වැදගත් වැඩ කොටසක් ඉටු කරන බව මින් පැහැදිලියි. මේ නිසා මුල්ම දැව ප්‍රවාහකයා තවමත් ක්‍රියාශීලීව සිටීම ගැන අපි ඌට ස්තුතිවන්ත විය යුතුයි!
[22, 23වන පිටුවේ කොටුව⁄පින්තූරය]
“බීවරයෙක් වගේ කඩිසරයි”
ඉහත සඳහන් යෙදුම සකස් කළ තැනැත්තා බීවරයන් ගඟක වේලි බඳිනවා හෝ උන්ගේ නිවෙස් සාදනවා හෝ දැක තිබෙනවා විය හැකියි. ඇත්තෙන්ම, මේ සතුන් ගස් කපා, කුට්ටිවලට වෙන් කර තමන් වේලි සාදන ස්ථානවලට ඇදගෙන යමින් කොතරම් මහන්සි වී වැඩ කළත් වෙහෙසක් නොදැනෙන බවයි උන්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ. ඇතැම් අවස්ථාවලදී, උන් ඉදි කිරීමකට අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට ජලයේ පා කරමින් ගෙන යෑම සඳහා ඇලවල් පවා හාරයි.
බීවරයන් වේලි සාදන්නේ කෙසේද? මුලින්ම උන් කරන්නේ වේල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා ගස්වල අතු ගං පතුලේ පිළිවෙළකින් තැබීමයි. වේල්ල සාදන ගඟේ පළල වැඩි නම්, ජල ධාරාවට ඔරොත්තු දෙන පරිදි උන්ගේ වේල්ල දුන්නක් මෙන් වක ගැසුණු ආකාරයට තනයි. මෙහිදී ලී දඬු වැඩියෙන් භාවිත කරමින් උන් වේල්ල නිසි උසකින් සාදන අතර, වේල්ලේ හිල් අතරින් ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා ගල් හිර කර ඒවා මත මඩ තවරයි. බීවරයෝ වේල්ල ශක්තිමත්ව තනාගැනීම සඳහා ජලය ගලා එන පැත්තට ඇලව සිටින සේ ගං පතුලේ සිට ගස්වල අතු පිළිවෙළින් තබති. මේ කඩිසර සත්තු අවශ්‍ය වූ විට උන්ගේ මේ ඉදි කිරීම නිතිපතාම වුවත් අලුත්වැඩියා කරති.
බීවරයන් සාදන වේලි නිසා වේගයෙන් ජලය ගලා යන ගංගාවක් නිසසල වැවක් බවට පත් වේ. බීවරයන් උන්ගේ නිවෙස් සාදන්නේ ගංගාවලයි. මුලින්ම, උන් වේල්ල බඳින අතරතුර තාවකාලික පදිංචිය සඳහා ගං ඉවුරු අසල බෙනයක් සාදාගනියි. පසුව උන් මඩ හා ලී දඬු යොදාගනිමින් ජලය මතු පිට උන්ගේ නිවස සාදාගනියි. තමන්ව ගොදුරු කරගන්න උත්සාහ කරන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා බීවරයන් උන්ගේ නිවසේ දොරවල් සාදන්නේ ජලය යටින් ඇතුල් විය හැකි ආකාරයටයි. උන් මේ ආරක්ෂා සහිත නිවස ඇතුලේ විවේක සුවයෙන් පසු වෙමින් තම පැටවුන් ඇති දැඩි කරයි.
ඇත්තෙන්ම බීවරයන් කාර්යශූරයි. අමෙරිකා එක්සත් ජනපදයේ වෙයොමින්හි විද්‍යාඥයෝ පිරිසක් බොහෝ කාලයක සිට බීවරයන් වාසය කර නොමැති ප්‍රදේශයකට බීවරයන් ජෝඩු පහක් මුදාහැරියෝය. මේ බීවරයන් දසදෙනා ජනාවාස පහක් හා වේලි 55ක් සාදා තිබෙන බව අවුරුද්දකට පසු එහි ගිය එම විද්‍යාඥයන් පිරිසට දැකගත හැකි විය.
[24වන පිටුවේ පින්තූර]
වැඩවල නිරත වන බීවරයෙක්; බීවරයෙක් ලී ගෙනයමින් වේල්ලක් සාදයි; බීවර පැටියෙක්