Skip to content

පටුනට යන්න

විකල්ප ප්‍රතිකාර ක්‍රම හඳුනාගනිමු

විකල්ප ප්‍රතිකාර ක්‍රම හඳුනාගනිමු

විකල්ප ප්‍රතිකාර ක්‍රම හඳුනාගනිමු

“සම්මත වෛද්‍යවරුන් සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම යොදාගන්නා වෛද්‍යවරුන් අතර වෘත්තීය මට්ටමින් අදහස් හුවමාරුවට මඟ සලසා දුන්නොත්, විකල්ප ප්‍රතිකාර තෝරන රෝගීන්ට වඩාත් හොඳ සාත්තුවක් ලැබීමට මඟ විවෘත වනු ඇත.”

මෙම අදහස 1998 නොවැම්බර් 11වන දින අමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයෙහි (JAMA) පළ විය. “දැන් රක්ෂණ ඔප්පුවල විකල්ප ප්‍රතිකාර ක්‍රම ආවරණය කෙරෙන නිසා, [අදහස් හුවමාරුව සඳහා] මෙම අවශ්‍යතාව විකල්ප ප්‍රතිකාර භාවිතයත් සමඟ වර්ධනය වේයයි අපේක්ෂා කළ හැක” යන්න එහි තවදුරටත් සඳහන් විය.

සම්මත ක්‍රමවලින් ප්‍රයෝජන ලබාගන්නා අතරම, දැන් දැන් රෝගීහු වැඩි වැඩියෙන් විකල්ප ප්‍රතිකාර ලබමින් සිටිති. කෙසේවෙතත්, සමහරුන් ඔවුන් කරන දේ සම්මත ක්‍රම භාවිත කරන ඔවුන්ගේ වෛද්‍යවරයාට පවසන්නේ නැත. එමනිසා, ටෆ්ට්ස් සරසවියේ සෞඛ්‍යය සහ පෝෂණ හසුනෙහි (ඉංග්‍රීසියෙන්) 2000 අප්‍රියෙල් මස කලාපය මෙසේ අවවාද කළේය. “පෞද්ගලිකව තනි තීරණ නොගෙන ඔබේ වෛද්‍යවරයා සමඟ වැඩ කිරීම ඔබේ ශුභසිද්ධියට දායක වේ. ඔහු හෝ ඇය ඔබේ තේරීම අනුමත කළත් නැතත්, තොරතුරු බෙදාගැනීම ඔබට ප්‍රයෝජනවත් වේ.”

මෙවන් අවවාදයක් දෙනු ලැබුවේ, ඇතැම් ඖෂධ පැළෑටි සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම සමඟ මිශ්‍ර කිරීමෙන් යම් යම් අවදානම්වලට මුහුණ දිය හැකි නිසාය. ඇතැම් රෝගීන් විකල්ප ප්‍රතිකාර ක්‍රම තෝරාගන්නා බව තේරුම්ගන්නා වෛද්‍යවරුන් බොහෝදෙනෙක්, තමුන්ගේ පෞද්ගලික මතයන් පසෙක ලා, රෝගීන්ගේ යහපත තකා විකල්ප ප්‍රතිකාර කරන්නන් සමඟ එකට වැඩ කිරීමට මැළි නොවෙති.

බොහෝ රටවල වැඩි ජන පිරිසක් විසින් දැන් දැන් භාවිත කරනු ලබන විකල්ප ප්‍රතිකාර ගැන යම් අදහසක් අපගේ පාඨකයන්ට ලබා දීමේ අරමුණෙන් ඉන් කිහිපයක් පිළිබඳ කෙටි විස්තරයක් සැපයීමට කැමැත්තෙමු. එහෙත්, මෙම ප්‍රතිකාර ක්‍රම හෝ වෙනත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කිරීමේ අරමුණෙන් පිබිදෙව්! මෙම තොරතුරු ඉදිරිපත් නොකරන බව කරුණාවෙන් සලකන්න.

ඖෂධ පැළෑටි

විකල්ප ප්‍රතිකාර සඳහා වැඩි වශයෙන්ම භාවිත කරන්නේ ඖෂධ පැළෑටි කියා පැවසුවහොත් නිවැරදිය. සියවස් ගණනාවක් පුරා, ඖෂධ පැළෑටි භාවිත කළද, විද්‍යාඥයන්ගේ පරීක්ෂණවලට ලක්ව ඇත්තේ සාපේක්ෂ වශයෙන් පැළෑටි අතළොස්සක් පමණි. ඒ අතළොස්සෙන්ද තවත් කිහිපයක් ඉතා සියුම් පරීක්ෂණවලට භාජන කර ඇති අතර, ඒවායෙහි ගුණ අගුණ සහ ප්‍රයෝජන ගැන තොරතුරු පළ කර ඇත. එනමුත්, ඖෂධ පැළෑටි සම්බන්ධයෙන් කරුණු වැඩි වශයෙන්ම ලැබෙන්නේ අතීතයේදී ඒවා භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් එකතු වී ඇති තොරතුරුවලිනි.

කෙසේවෙතත්, මෑත වර්ෂවලදී කළ විද්‍යාත්මක අධ්‍යයන කිහිපයකින් හෙළි වී ඇත්තේ ඇතැම් ඖෂධ පැළෑටි අසහනය, මහලු වූවන්ගේ අමතක වීමේ ස්වභාවය සහ පුරස්ථික ග්‍රන්ථිය ඉදිමීම වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යෝග්‍ය බවය. බ්ලැක් කෝහොෂ් යනු මෙලෙස පරීක්ෂා කර ඇති එක් පැළෑටියකි. අමෙරිකානු ඉන්දියානුවෝ මෙම පැළෑටියේ මුල තම්බා ඔසප් වීමේදී හා දරු උපතේදී ඇති වන අක්‍රමිකතාවලට ප්‍රතිකාරයක් වශයෙන් යොදාගත්හ. ජර්මනියේ බ්ලැක් කෝහොෂ් මුලෙන් යම් ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කර ඇති සාරයක් “ආර්තවාභාවයේ දක්නට ලැබෙන රෝග ලක්ෂණවලට සහනයක් දීම සඳහා” සාර්ථකව යොදාගත හැකි බව 2000 අප්‍රියෙල් මස පළ වූ සඟරාවකින් (Harvard Women’s Health Watch) හෙළි වේ.

පෙනෙන ප්‍රකාරයට, ස්වාභාවික ඖෂධ සඳහා මෙතරම් ඉල්ලුමක් ඇත්තේ කෘත්‍රිම ඖෂධවලට වඩා ඒවා ආරක්ෂා සහිත බවට මතයක් පවතින නිසාය. මෙම මතය තුළ යම් සත්‍යයක් ගැබ්ව ඇතත්, ඇතැම් ඖෂධ පැළෑටි විශේෂයෙන්ම වෙනත් ඖෂධ සමඟ භාවිත කරන විට, යම් අතුරු ආබාධ හටගන්නා බවට සොයාගෙන තිබේ. නිදසුනකට, ස්වාභාවිකව සෙම බුරුල් කරන නිසාත්, සිරුරේ බර අඩුවීමට දායක වන නිසාත් ජනප්‍රිය වී ඇති ඖෂධ පැළෑටියක් රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය වැඩි කළ හැක.

එමෙන්ම රෝගියෙකුගේ ලේ ගැලීම වැඩි කරන ඖෂධ පැළෑටිද ඇත. මෙවැනි පැළෑටි “රුධිරයේ ඝනත්වය අඩු කරන” ඖෂධ සමඟ භාවිත කෙරේ නම්, බරපතළ ගැටලු පැනනැඟිය හැක. එමනිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝග ඇති හෝ වෙනත් බෙහෙත් හේත් භාවිත කරන උදවිය ඖෂධ පැළෑටි භාවිතය සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතුය.—මේ සමඟ ඇති කොටුව බලන්න.

ඖෂධ පැළෑටි හා බැඳුණු තවත් ගැටලුවකි, නිෂ්පාදනයේදී ඒවාට ස්ථිර ප්‍රමිති පාලනයක් නොතිබීම. මෑතකදී, ඖෂධ පැළෑටිවලින් නිෂ්පාදනය වූ බෙහෙත්වල දැඩි ලෝහ සහ වෙනත් අපද්‍රව්‍ය ඇති බවට වාර්තා වී තිබේ. මීට අමතරව, සමහර පැළෑටි නිෂ්පාදන ඇසුරුම්වල සඳහන් ද්‍රව්‍ය බෙහෙත්වලට ඇතුළත් කරන්නේ නැති තරම්ය. මින් පැහැදිලි වන්නේ, ඖෂධ පැළෑටිවලින් සාදන බෙහෙත් සහ වෙනත් වර්ගයේ ඖෂධ හොඳ නමක් දිනාගෙන ඇති විශ්වාසවන්ත ආයතනවලින් පමණක් ගත යුතු බවය.

කෑමට අතිරේකව ගන්නා දෑ

රක්ත හීනතාව සහ අස්ථි දුබලතාව වැනි සෞඛ්‍ය ගැටලු කිහිපයක් වැළැක්වීමට සහ ඒවාට ප්‍රතිකාර කිරීමට විටමින් සහ ඛනිජ ලවණ වැනි කෑමට අතිරේකව ගන්නා දේවලින් ගුණයක් ඇති බවට වාර්තා වේ. අලුත උපන් දරුවන් තුළ විකලතා ඇතිවීම වැළැක්වීමට පවා මේවා දායක වන බව පැවසේ. ආණ්ඩුව විසින් දෛනිකව ගැනීමට නිර්දේශ කරන විටමින් සහ ඛනිජ ලවණ සාමාන්‍යයෙන් ආරක්ෂා සහිත මෙන්ම ගුණදායකයයි සැලකේ.

අනික් අතට, ඇතැම් රෝගවලට ප්‍රතිකාර කිරීමේදී මෙවැනි දේ අධික ලෙස ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැක. සිරුරට අවශ්‍ය වෙනත් පෝෂ්‍ය පදාර්ථ උරාගැනීමට සහ ඒවායේ ක්‍රියාකාරිත්වයට මෙය බාධකයක් විය හැකි අතර, වෙනත් බරපතළ අතුරු ආබාධ හටගැන්වීමටද තුඩු දිය හැක. මෙවැනි අන්තරාවන් සුළුවට ගණන් නොගත යුත්තේ මල්ටි-විටමින් භාවිතයේ ප්‍රයෝජන ගැනද ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසාය.

සමචිකිත්සාව නොහොත් හෝමියෝපති

සමචිකිත්සාව ලොව එළිය දුටුවේ 1700 ගණන්වලය. එය එවකට පැවති ප්‍රතිකාරවලට වඩා වේදනාව අඩු කරන, සිරුරට අහිතකරව බලනොපාන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නම් දැරීය. සමචිකිත්සාව “රෝග ලක්ෂණ වැඩි කිරීමෙන් ගුණයක් ලැබේ” යන ප්‍රතිපත්තිය මතද, අවම මාත්‍රාවක් නියම කිරීමේ මතය මතද පදනම් වී ඇත. සමචිකිත්සක ප්‍රතිකාර පිළියෙළ කරන්නේ සුවවීමට දායක වන ද්‍රව්‍ය නැවත නැවතත් තනුක කිරීමෙනි. ඇතැම් අවස්ථාවලදී, එය කොතරම් දුරකට තනුක කරනවාද කිවහොත්, මුල් ද්‍රව්‍යයෙහි එක අණුවක්වත් ඉතිරි නොවේ.

කෙසේවෙතත්, මානසික සහනයක් පමණක් ගෙන දෙන ප්‍රතිකාර හා සසඳද්දී, ඇදුම, අසාත්මිකතා (allergies) සහ ළමුන්ට බෝවන පාචනය වැනි රෝගවලට සමචිකිත්සක ප්‍රතිකාරවලින් යම් ගුණයක් ඇති බවට සොයාගෙන තිබේ. සමචිකිත්සක බෙහෙත් හොඳින් තනුක කර ඇති නිසා, ඒවා බොහෝ දුරට ආරක්ෂා සහිත ඒවා ලෙස සැලකේ. JAMA සඟරාවේ 1998 මාර්තු 4වනදා කලාපයේ පළ වූ ලිපියක මෙම අදහස දක්වා තිබිණ. “නිශ්චිත රෝග නිර්ණයක් දීමට අසීරු නිදන්ගත සෞඛ්‍ය ගැටලු සමඟ පොර බදින බොහෝ රෝගීන්ට සමචිකිත්සාව වැදගත් මෙන්ම ප්‍රයෝජනදායක විකල්පයක් විය හැක. සමචිකිත්සාවේ සීමාවන් හොඳින් තේරුම්ගෙන භාවිත කෙරේ නම්, නූතන වෛද්‍ය විද්‍යාවට අත හිත දෙන තවත් ‘මෙවලමක්’ සේ එය සැලකිය හැක.” කෙසේවෙතත්, ජීවිතයට තර්ජනයක් විය හැකි හදිසි අවස්ථාවන්වලදී, සම්මත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම නුවණට හුරු විය හැක.

කශේරු සන්ධිරෝග චිකිත්සාව

අතින් පීඩනයක් යෙදීමෙන්, පිරිමැදීමෙන් හෝ නැවීමෙන් සිරුරට යම් සහනයක් ලබා දෙන විකල්ප ප්‍රතිකාර කිහිපයක්ම ඇත. මෙවන් විකල්ප ප්‍රතිකාරවලින් වඩාත්ම ප්‍රචලිත වී ඇත්තේ කශේරු සන්ධිරෝග චිකිත්සාවය (Chiropractic). මෙය විශේෂයෙන් එක්සත් ජනපදයේ ජනප්‍රිය වී ඇත. කොඳු ඇටවල අක්‍රමිකතා නිවැරදි කළ විට, සුවයක් ලැබිය හැකි බවට ඇති අදහස මත මෙය පදනම්ව ඇත. කශේරු සන්ධිරෝග චිකිත්සකයන් තම රෝගීන්ගේ කශේරුකාව මතට අතින් පීඩනයක් යොදන්නේ එමනිසාය.

කොන්දේ පහළ කෙළවරේ ඇති වන වේදනාවට සම්මත ඖෂධවලින් සැමවිටම සහනයක් නොලැබේ. එනමුත්, කශේරු සන්ධිරෝග චිකිත්සාවෙන් එයට ප්‍රතිකාර ලබන රෝගීහු හොඳ ප්‍රතිඵල අද්දකිති. කෙසේවෙතත්, මෙම චිකිත්සක ක්‍රමය වේදනාව අඩු කිරීමට පමණක් සීමා වී ඇති බව පෙනේ.

දක්ෂ චිකිත්සකයෙකු විසින් මෙම ප්‍රතිකාරය ලබා දෙනවා නම්, අතුරු ආබාධ ඇතිවීමට තිබෙන ඉඩ කඩ අවම කරගත හැක. කෙසේවෙතත්, මෙම ප්‍රතිකාරයට බෙල්ල නැමීම ඇතුළත් වෙද්දී, ආඝාතය (stroke) සහ අංශභාගයද ඇතුළුව බරපතළ ආබාධ ඇතිවීමේ අන්තරාව වැඩි බව පැවසිය යුතුය. මෙවැනි ගැටලු පැනනැඟීමේ අන්තරාව අඩු කරගැනීම සඳහා යම් කශේරු සන්ධිරෝග චිකිත්සක ක්‍රමයක් ආරක්ෂා සහිතද යන්න සෝදිසි කර බැලීමට, රෝගියාව හොඳ පරීක්ෂණයකට ලක් කිරීම සුදුසු බව ඇතැම් ප්‍රවීණයෝ නිර්දේශ කරති.

සම්බාහනය

සම්බාහනයේ ප්‍රයෝජන සෑම සංස්කෘතියකම පාහේ බොහෝ කලක සිට හඳුනාගෙන ඇත. ඒ ගැන බයිබලයෙහි පවා වාර්තා වී ඇත. (එස්තර් 2:12, NW) වර්ෂ 1999 නොවැම්බර් 6වනදා පළ වූ බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලය (BMJ), මෙසේ සඳහන් කළේය. “ගතානුගතික චීන සහ ඉන්දියානු වෛද්‍ය සාත්තුවේදී සම්බාහනය වැදගත් කාර්යයක් ඉටු කරයි. යුරෝපීය සම්බාහන ක්‍රම පේර් හෙන්ඩ්‍රික් ලිං විසින් 19වන සියවසේ මුල් භාගයේදී හඳුන්වා දෙන ලදි. තවද, ඔහු ස්වීඩන සම්බාහන ක්‍රමය ලෙස ප්‍රචලිත වූ ක්‍රමයද හඳුන්වා දුන්නේය.”

සම්බාහනය නිසා පේශිවලට සහනයක් ගෙන දීමටද, රුධිර සංසරණය වඩාත් හොඳින් සිදුවීමටද, සිරුරේ පටකවල එකතු වී ඇති විෂකර ද්‍රව්‍ය ඉවත් කිරීමටද හැකි බව විශ්වාස කෙරේ. කොන්දේ අමාරුවට, හිසරදයට සහ ආහාර ජීරණ පද්ධතියේ අක්‍රමිකතාවලට ප්‍රතිකාරයක් වශයෙන් වෛද්‍යවරු දැන් සම්බාහනය නිර්දේශ කරති. සම්බාහනයක් ලබන අය ඉන් සිරුරට සෑහෙන සහනයක් ලැබෙන බව කියා සිටිති. වෛද්‍ය සැන්ඩ්‍රා මක්ලැනහැන් පවසන පරිදි, “ඇති වන රෝගවලින් සියයට අසූවක්ම මානසික පීඩනය නිසා ඇති වේ. සම්බාහනය එම මානසික පීඩනය අඩු කරයි.”

“සම්බාහන ක්‍රමවලින් බහුතරයක අහිතකර ප්‍රතිඵල ඇතිවීමට තිබෙන ඉඩ කඩ බෙහෙවින් අඩු” බව BMJ වාර්තා කරයි. “යම් යම් අවස්ථාවලදී සම්බාහනයේ පිහිට නොපැතීමට හොඳ හේතු තිබේ. (නිදසුනකට, පිලිස්සුම් තුවාල ඇති විටක හෝ නහරවල ලේ කැටි ගැසී ඇති විටක සම්බාහනය යොදා නොගැනේ) . . . පිළිකාවෙන් පෙළෙන රෝගීන්ව සම්බාහනය කිරීම නිසා පිළිකාව තව තවත් වේගයෙන් පැතිරී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැත.”

“සම්බාහනය වැඩි වැඩියෙන් ප්‍රචලිත වෙද්දී, සම්බාහන සේවය ලබාදෙන්නන්ගේ සුදුසුකම් ගැන පාරිභෝගිකයෝ වැඩිමනත් අවධානයක් දෙති. එසේ කිරීම සුදුසු” බව අමෙරිකානු සම්බාහන චිකිත්සක සංගමයේ හිටපු සභාපති ඊ. හියුස්ටන් ලබ්‍රන් පෙන්වා දුන්නේය. සේවාව ලබද්දී, නොහොබිනා දේවල් සිදුවීම වැළැක්වීමට, “සම්බාහන ප්‍රතිකාර ලබාදෙන්නන් යෝග්‍ය ප්‍රමිති පාලන ආයතනයක ලියාපදිංචි වී ඇද්දැයි පරීක්ෂා කර බැලිය යුතු” බවට BMJ අවවාද කළේය. පසුගිය වසරේ පළ වූ වාර්තාවකට අනුව එක්සත් ජනපදයේ ජනපද 28ක මෙවන් චිකිත්සකයන් ලියාපදිංචි කර තිබිණ.

කටු චිකිත්සාව

කටු චිකිත්සාව ලොව පුරාම ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්ව ඇත. “කටු චිකිත්සාවට” නොයෙකුත් ක්‍රම ඇතුළත් වුවද, පොදුවේ ගත් කල, එය යම් සුවයක් බලාපොරොත්තුවෙන් සිරුරේ ඇතැම් නිලවලට ඉතා සියුම් ලෝහමය ඉඳිකටුවලින් විද උත්තේජනයක් ඇති කොට එමගින් මිනිසුන්හට වැළඳෙන රෝග සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමයකි. පසුගිය දශක කිහිපය තුළදී කර ඇති පර්යේෂණවලින් පෙනී යන්නේ වේදනාව සහ ඉදිමුම අඩු කළ හැකි එන්ඩෝෆින වැනි ස්නායුවලට බලපාන රසායන ද්‍රව්‍ය මුදාහැරීමෙන් කටු චිකිත්සාවෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවය.

රෝගී තත්වයන් කිහිපයකටම ප්‍රතිකාර කිරීමට කටු චිකිත්සාව භාවිත කළ හැකි බව ඇතැම් පර්යේෂණවලින් පෙනී යන අතර, නිර්වින්දනය වෙනුවට ආරක්ෂා සහිත විකල්පයක් හැටියටද යොදාගත හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය කටු චිකිත්සාව රෝගී තත්වයන් 104ක් සඳහා යොදාගත හැකි බව පිළිගනී. ශල්‍යකර්මයකින් පසුව ඇති වන වේදනාව, පේශිවල වේදනාව, ඔසප් වීමේ වේදනාව සහ රස චිකිත්සාව, ගැබ්ගැනීම නිසා ඇති වන ඔක්කාර ගතිය හෝ වමනය සඳහා ප්‍රතිකාරයක් වශයෙන් කටු චිකිත්සාව යොදාගත හැකි බවට, එ.ජ. ජාතික සෞඛ්‍ය ආයතන මගින් තෝරාගත් කමිටුවක් සාක්ෂි ඉදිරිපත් කළේය.

කටු චිකිත්සාවට සම්බන්ධ බරපතළ අතුරු ආබාධ දුර්ලභ වුවද, ඇතැම් පුද්ගලයන්ට සිරුරේ හිරි වැටුණු ගතියක්, වේදනාවක් හෝ පුපුරුගහන ගතියක් දැනිය හැක. ආසාදන වීමේ අවදානම අවම කිරීමට ඉඳිකටු නිසි ලෙස ජීවානුහරණය කළ යුතුය. එසේ නැතහොත්, භාවිතයෙන් පසුව ඉවත ලෑ යුතුය. නිසියාකාර රෝග නිර්ණයක් කිරීමට හෝ වෙනත් යෝග්‍ය ප්‍රතිකාරයක් නිර්දේශ කිරීමට කටු චිකිත්සකයන්ගෙන් වැඩිදෙනෙකුට තිබෙන වෛද්‍ය දැනුම ප්‍රමාණවත් නොවේ. මේ නිසා යම් නිදන්ගත රෝගී තත්වයන් හා බැඳුණු රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමේදී කටු චිකිත්සාවේ පිහිට පතන විට, මෙම දැනුම අඩුකම නොසලකා හැරීම නුවණට හුරු දෙයක් නොවේ.

නොයෙකුත් විකල්පයන්

දැන් ඔබ ඉදිරියෙහි තැබූ මේ ඉහත සඳහන් තොරතුරු ඇතැම් රටවල විකල්ප ලෙස පොදුවේ පිළිගැනෙන ප්‍රතිකාර රැසෙන් කිහිපයක් පමණි. මින් සමහරක් මෙන්ම මෙම ලිපියෙහි සඳහන් නොකළ තවත් ඒවා දැනට ඇතැම් රටවල කරන්නාක් මෙන්, අනාගතයේදී සම්මත ප්‍රතිකාර ලෙස වඩාත් පුළුල්ව පිළිගැනීමට ඉඩ තිබේ. වෙනත් ඒවා අතුරුදහන් වීමට හෝ අපකීර්තියට පවා ලක්වීමට ඉඩ ඇත.

අභාග්‍යයකට, ලෙඩ දුක් මිනිසාගේ ජීවිතයෙහි අනිවාර්ය කොටසක් බවට පත්ව ඇත. බයිබලය එම තත්වය නිවැරදි ලෙස මෙසේ දැක්වීය. “මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමු.” (රෝම 8:22) එසේ නම්, ජනයා සහනය සඳහා යම් මඟක් සෙවීම අපේක්ෂා කළ යුතු වේ. යම් මඟක් ඇත්නම්, ඒ කුමක්ද? ගත යුතු වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව තීරණ ගනිද්දී ඔබට උපකාරවත් විය හැකි අදහස් කිහිපයක් සලකා බලන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඖෂධ පැළෑටි සහ සාමාන්‍ය ඖෂධ එකට ගැනීම—අන්තරා සහිතද?

වෛද්‍ය වට්ටෝරුවක සඳහන් ඇතැම් ඖෂධ මත්පැන් සමඟ නොගැනීමට මහජනයාට නිතරම පාහේ අවවාද කෙරේ. බෙහෙත් වට්ටෝරුවේ ඇති ඖෂධ සමඟ ඇතැම් ඖෂධ පැළෑටි එකට ගැනීමෙහි යම් අන්තරාවක් ඇද්ද? මෙම පුරුද්ද කොතරම් දුරට පැතිර ඇද්ද?

අමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයෙහි පළ වූ ලිපියක “බෙහෙත් වට්ටෝරුවකින් ලබාගන්නා ඖෂධ, ඖෂධ පැළෑටි සමඟ ගැනීම” ගැන සඳහන් විය. “වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුවකට අනුව ඖෂධ ලබාගන්නා බව පැවසූ වැඩිහිටියන් සියයට 44දෙනාගෙන් සියයට 18.4ක් (5දෙනෙකුගෙන් 1කෙනෙක්) ඒත් සමඟම අඩුම තරමින් යම් ඖෂධ පැළෑටියකින් සෑදූ යමක් හෝ විටමිනයක් නැත්නම් ඒ දෙවර්ගයම ගන්නා බවට කියා සිටිති” යයි එහි සඳහන් විය. මේ නිසා, එසේ කිරීමෙන් සිදු විය හැකි අනතුරු ගැන දැනුවත් වීම වැදගත්ය.

ඖෂධ පැළෑටිවලින් සාදන ලද ඇතැම් බෙහෙත් ගන්නා අය, නිර්වින්දනයක් අවශ්‍ය වන වෛද්‍ය සැත්කමකට භාජන වීම ගැනත් සැලකිලිමත් විය යුතුය. අමෙරිකාවේ නිර්වින්දකයන්ගේ සමාජයේ සභාපති වෛද්‍ය ජොන් නීල්ඩ් මෙසේ පැහැදිලි කළේය. “ජින්සෙං සහ සේන්ට්-ජොන්ස්-වෝට් වැනි ඖෂධ පැළෑටි රුධිර පීඩනය භයානක ලෙස අඩු වැඩි කිරීමට හේතු විය හැකි බව අසන්නට ලැබී තිබේ. රෝගියා නිර්වින්දනයකට ලක් වෙද්දී මෙවන් දෙයක් අනතුරුදායක විය හැක.”

මෙම වෛද්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය. “ජින්කෝ බිලෝබා, ඉඟුරු සහ ෆීවර්ෆියු වැනි තවත් ඖෂධ ලේ කැටිගැසීමට බාධාවක් විය හැක. කොඳු ඇට පෙළට සම්බන්ධ නිර්වින්දනයන් කරද්දී මෙය විශේෂයෙන් අවදානම් සහිත විය හැක. මෙහිදී කොඳු ඇට පෙළ ළඟ ලේ ගැලීමක් සිදු වේ නම්, අංශභාගය පවා ඇති විය හැක. සේන්ට්-ජොන්ස්-වෝට්වලට ඇතැම් මත්ද්‍රව්‍ය හෝ නිර්වින්දන ඖෂධවල බලපෑම තවත් තියුණු කළ හැක.”

එසේ නම්, ඇතැම් ඖෂධ පැළෑටි සහ සාමාන්‍ය ඖෂධ එකට ගැනීමෙන් ඇති විය හැකි අන්තරාවන් දැනගැනීම ඉතා වැදගත්ය. ඇතැම් ඖෂධ පැළෑටි සමඟ සමහර බෙහෙත් වර්ග ගැනීමෙන් දරුවන්ට සිදු විය හැකි හානි ගැන ගැබිනි සහ කිරි දෙන මව්වරුන් විශේෂයෙන්ම දැන සිටිය යුතුය. එමනිසා, රෝගීන්ට සාත්තු කරන අය සමඟ තමන් ලබන ප්‍රතිකාරය (විකල්ප හෝ සම්ප්‍රදායික) සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රෝගී පුද්ගලයන්ට දිරිගන්වා ඇත.

[7වන පිටුවේ පින්තූර]

බ්ලැක් කෝහොෂ්

රෝගාබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා ඇතැම් ඖෂධ පැළෑටි ප්‍රයෝජනවත් වී තිබේ

සේන්ට්-ජොන්ස්-වෝට්

[හිමිකම් විස්තර]

© Bill Johnson/Visuals Unlimited

[7වන පිටුවේ පින්තූරය]

හොඳම ප්‍රතිඵල ලැබීමට, රෝගීන් සහ සාත්තු සේවා නිලධාරීන් එකට වැඩ කළ යුතුය