අප ක්‍රිස්තියානි රැස්වීම්වලට යා යුතුමද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
අප ක්‍රිස්තියානි රැස්වීම්වලට යා යුතුමද?
“ඉස්සර මම වරද්දන්නේ නැතුව පල්ලි යනවා. දැන් නම් මට හිතුණොත් විතරයි පල්ලියට යන්නේ.” “දෙවියන්ට නමස්කාර කරන්ට පල්ලියටම යන්න අවශ්‍යයි කියලා මට හිතෙන්නේ නෑ. ඕනම කෙනෙක්ට ඕනම තැනකදී පුළුවන් දෙවියන්ට නමස්කාර කරන්ට.” “මම දෙවියන්වයි බයිබලයයි විශ්වාස කරනවා. නමුත් පල්ලියට යන්න අවශ්‍යයි කියලා නම් විශ්වාස කරන්නේ නෑ.” කෙදිනක හෝ ඔබ මෙවැනි වදන් අසා තිබෙනවාද? අද කාලයේ බහුතරයක් පළ කරන්නේ මෙවැනි අදහස්ය. විශේෂයෙන්ම බටහිර ලෝකයේ මිනිසුන් වරද්දන්නේ නැතුව පල්ලියට යන්න පුරුදු වෙලා සිටියත්, ඔවුන් දැන් එය අත්‍යවශ්‍ය දෙයක් ලෙස තවදුරටත් සලකන්නේ නැති බව පැවසිය හැක. කෙසේවෙතත් පල්ලියට යෑම සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ කුමක්ද?
සිංහල බයිබල් පරිවර්තනවල “පල්ලිය” යන වචනය වෙනුවට “සභාව” යන වචනය භාවිත කර ඇත. උදාහරණයක් ලෙස ක්‍රියා 7:38හි, මෝසෙස් “කාන්තාරයේ සභාවෙහි සිටි” බව පවසා ඇති අතර, ඉන් අදහස් කරන්නේ ඔහු එක්රැස්ව සිටි ඉශ්රායෙල් ජාතිය සමඟ සිටි බවය. තවත් ශුද්ධ ලියවිලි පාඨයක ‘සභාවට විරුද්ධව මහත් පීඩාවක් හටගත්’ බවට පවසා ඇත. මෙහිදී යොමු දක්වා ඇත්තේ යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් කණ්ඩායමටය. (ක්‍රියා 8:1) පාවුල්ගේ ලිපි අතරින් එක් ලිපියක පිලෙමොන්ගේ “ගෙදර තිබෙන සභාවට” සුබ පැතුම් එවා තිබූ අතර, ගෙය අවට පළාතේ සිටින ක්‍රිස්තියානි සභා සාමාජිකයන්ට ඉන් යොමු දක්වා ඇත. (පිලෙමොන් 2) එසේ නම්, “සභාව” යන අර්ථය ඇති ග්‍රීක් වචනයෙන් යොමු දක්වන්නේ එක්රැස්ව සිටින සමූහයකට බව පැහැදිලිය.
බයිබලය “සභාව” යන වචනය නමස්කාර කරන ස්ථානය ගැන නොව නමස්කාර කරන සමූහයක් ගැන සඳහන් කිරීමට භාවිතා කර ඇත. දෙවන ශතවර්ෂයේ සිටි ආගමික ගුරුවරයෙකු වන ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් පැවසුවේ, “මා සභාව යනුවෙන් හඳුන්වන්නේ ගොඩනැඟිල්ලක් නොව, නමුත් තෝරාගත් සමූහයක එකතුවකට” කියාය. එසේ නම් අද දෙවිට පිළිගත හැකි ආකාරයට නමස්කාර කිරීමට ක්‍රිස්තියානීන්
විශේෂ ස්ථානයකට හෝ ගොඩනැඟිල්ලකට එකතු වීමට අවශ්‍යමද?ඉශ්රායෙල් ජාතිය නමස්කාර කළ ආකාරය
මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, වාර්ෂිකව පවත්වනු ලබන මංගල්‍යයන් තුනකට සහභාගි වීම සඳහා, සියලු යුදෙව් පුරුෂයන් යම් නියමිත ස්ථානයකට අනිවාර්යයෙන්ම එක්රැස් විය යුතුව තිබිණි. තවද සමහර ස්ත්‍රීන් හා දරුවන්ද මෙම අවස්ථාවට සහභාගි විය. (ද්විතීය කථාව 16:16; ලූක් 2:41-44) ඇතැම් අවස්ථාවලදී එක්රොක් වන සමූහයාට පූජකයන් හා ලෙවීවරුන් දෙවිගේ ව්‍යවස්ථාව කියවා ඉගැන්වීය. ඔවුහු එය “පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්නෝය.” (නෙහෙමියා 8:8) තවද සෑම සබත් අවුරුද්දක් සම්බන්ධයෙන්ම දෙවි පවසා තිබුණේ, ‘පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද නුඹේ දොරටු ඇතුලෙහි සිටින විදේශිකයාද අසා ඉගෙනගෙන නුඹලාගේ දෙවි වූ යෙහෝවාට භය වී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිස සෙනඟ රැස් කරන්න’ කියාය.—ද්විතීය කථාව 31:12, 13.
යම්කිසි පුද්ගලයෙකුට දෙවිට පූජා ඔප්පු කිරීමට හා පූජකයන්ගෙන් උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යා යුතු එකම ස්ථානය වූයේ යෙරුසලමේ පිහිටි දේවමාළිගයයි. (ද්විතීය කථාව 12:5–7; 2 ලේකම් 7:12) තවද කාලයාගේ ඇවෑමෙන් ඉශ්රායෙල්වරු නමස්කාරය සඳහා සිනගෝග වැනි වෙනත් මධ්‍යස්ථාන ගොඩනැඟූ අතර, එහිදී ශුද්ධ ලියවිලි පාඨ කියවීම හා යාච්ඤා කිරීම වැනි දේවල් කළහ. එහෙත් ඒ කාලයේදීත් නමස්කාරය සඳහා රැස් වන ප්‍රධාන ස්ථානය වූයේ යෙරුසලමෙහි පිහිටි දේවමාළිගාවය. මේ බව ලූක්ගේ වාර්තාවේ මනාව පැහැදිලි කර තිබිණි. ඔහු මහලු ස්ත්‍රියක් වන ආනා ගැන සඳහන් කළේය. ඇය “දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය.” (ලූක් 2:36, 37) දෙවිට කැප වූ ආනාගේ ජීවිතය සත්‍ය නමස්කාරය වටා ගෙතී තිබිණි. නමුත් මෙය ඇගේ ජීවිතයට පමණක් සීමා වූ දෙයක් නොවේ. දේවභය ඇති වෙනත් යුදෙව් මනුෂ්‍යයන් තුළද එය දක්නට ලැබුණි.
ක්‍රිස්තුස්ගේ මරණයෙන් පසු සත්‍ය නමස්කාරය
දේවමාළිගයට ගොස් නමස්කාර කිරීම මෝසෙස්ගේ ව්‍යවස්ථාවට, අනුව අනිවාර්යයෙන් කළ යුතු යමක් ලෙස සැලකීය. යේසුස්ගේ මරණයෙන් පසු ඔහුගේ අනුගාමිකයන් තවදුරටත් එසේ කිරීම අවශ්‍ය වූයේ නැත. (ගලාති 3:23-25) නමුත් ඔවුහු එකට එකතු වී යාච්ඤා කිරීම හා දේවවචනය අධ්‍යයනය කිරීම සඳහා දිගටම කාලය මිඩංගු කළහ. තවද මේ දේවල් කිරීමට ඔවුන්ට අලංකාර මන්දිර තිබුණේ නැත. ඒ වෙනුවට ඔවුහු පුද්ගලික නිවාස හා පොදු ස්ථාන ඒ සඳහා පාවිච්චි කළෝය. (ක්‍රියා 2:1, 2; 12:12; 19:9; රෝම 16:4, 5) පළවන ශතවර්ෂයේ ක්‍රිස්තියානි රැස්වීම් නැවුම් හා චාම්බවින් යුක්ත වූ අතර, එහි පුද පූජා හා පුහු අලංකාරය දක්නට නොතිබිණි.
ආත්මික අන්ධකාරය මුළු රෝම අධිරාජ්‍යයම වසාගනිද්දී, බයිබල් ප්‍රතිපත්ති උගන්වන ක්‍රිස්තියානි රැස්වීම් දියමන්ති මෙන් බැබළෙන්ට විය. මෙය සක්සුදක් සේ පැහැදිලිව පෙනුණේ ක්‍රිස්තියානි රැස්වීම්වලට පළමුවරට පැමිණි නොඅදහන්නන්ටය. ඔවුහු ‘සැබවින්ම දෙවි නුඹලා අතරෙහිය’ කියා පුදුමයෙන් පැවසූහ. (1 කොරින්ති 14:24, 25) ඔව්, ඇත්තටම දෙවි ඔවුන් සමඟ සිටියේය. “මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි ස්ථිරව, දවස්පතා ගණනින් වැඩිවූහ.”—ක්‍රියා 16:5.
ඒ කාලයේදී මිථ්‍යා දෘෂ්ටික දේවස්ථානවල හෝ පෞද්ගලිකව නමස්කාර කිරීමෙන් ක්‍රිස්තියානියෙකුට දෙවිගේ අනුමැතිය ලබාගත හැකි වූවාද? මෙයට බයිබලයේ පැහැදිලි පිළිතුරක් සපයයි. නමස්කාරකයන්ට දෙවිගේ අනුමැතිය ලබාගත හැකි වූයේ අව්‍යාජ නමස්කාරකයන්ගෙන් සෑදී තිබූ ‘එක ශරීරයක’ එනම් සැබෑ ක්‍රිස්තියානි සභාවේ කොටසක් වීම තුළින් පමණයි. එම සභාව සෑදී තිබුණේ ක්‍රිස්තියානීන් වශයෙන් හඳුන්වනු ලැබූ යේසුස්ගේ ගෝලයන්ගෙනි.—එපීස 4:4, 5; ක්‍රියා 11:26.
වර්තමාන තත්වය ගැන කුමක් කිව හැකිද?
පල්ලියක් වැනි අලංකාර ගොඩනැඟිල්ලක නමස්කාර කරන ලෙස අපව දිරිගන්වනවා වෙනුවට, බයිබලය සභාව සමඟ එකතු වී නමස්කාර කරන ලෙස අපට උනන්දු කරයි. ඇත්තෙන්ම මෙම සභාව “ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර” කරන මනුෂ්‍යයන්ගෙන් සෑදී ඇති අතර, එය ‘ජීවමාන දෙවිගේ සභාව’ ලෙස හැඳින්වේ. (යොහන් 4:24; 1 තිමෝති 3:15) දෙවිගේ අනුමැතිය ඇතුව පවත්වන ආගමික රැස්වීම් තුළින් ජනයාට ‘ශුද්ධ වූ හැසිරීම සහ භක්තිවන්තකම’ සම්බන්ධයෙන් උපදෙස් ලබා දිය යුතුය. (2 පේතෘස් 3:11) මෙය අපව ආත්මිකව මේරූ පුද්ගලයන් බවට පත් කරනු ඇති අතර, එමගින් “යහපත සහ අයහපත විමසාබලන්ට” අපට හැකියාව ලැබෙනු ඇත.—හෙබ්‍රෙව් 5:14.
පළවන ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් පරිශ්‍රමයක් දරයි. ඒ නිසා ලොව පුරා සභාවන් 91,400ක ජනකායක් නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමට හා එකිනෙකාව දිරිගැන්වීමට රාජ්‍ය ශාලාවල, පුද්ගලික නිවාසවල හෝ වෙනත් ස්ථානවල එක්රැස් වේ. ඔවුන් පාවුල් පැවසූ දෙයට එකඟව කටයුතු කරනවා කියා පැවසිය හැක. ඔහු මෙසේ පැවසුවේය. “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර [සිටිමු].”—හෙබ්‍රෙව් 10: 24, 25.