Skip to content

පටුනට යන්න

කාටත් හොරා ගමන් බිමන් යෑමේ ඇති වරද මොකක්ද?

කාටත් හොරා ගමන් බිමන් යෑමේ ඇති වරද මොකක්ද?

යෞවන අය අසති . . .

කාටත් හොරා ගමන් බිමන් යෑමේ ඇති වරද මොකක්ද?

“අපි හෙමින් සැරේ රෑට ගෙදරින් පැනලා, කොල්ලෝ එක්ක ටිකක් කදේ දාගෙන ඉන්න රෙස්ටෝරන්ට් එකකට ගියා. ඊට පස්සේ අපේ ගමේ තියෙන කන්දකට ගිහින් අවට සිරි නරඹන්න පටන්ගත්තා. එතන හිටිය හැමෝම වගේ සිගරට් බිව්වා. ඒත් මම බිව්වේ නැහැ. අපි එතැන ඉඳගෙන එක එක දේවල් ගැන කතා කළා. හෙවි මෙට්ල් සංගීතයටත් සවන් දුන්නා. ඊට පස්සේ පාන්දර 5 විතර වෙනකොට අම්මලා තාත්තලා නැඟිටිගන්න කලින් ගෙදර ආවා.”—ටාරා. a

“මගේ තාත්තා වැඩට ගියාට පස්සේ අම්මත් නිදාගත්තාම මම කාටත් හොරා ඉස්සරහ දොරෙන් එළියට යනවා. ඒක යකඩ දොරක්. ඒක වහනකොට අම්මාට ඇහැරෙන නිසා දොර ඇරලා තියලා තමයි මම යන්නේ. මුළු රෑම යාළුවොත් එක්ක රවුම් ගහලා එළිය වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ගෙදර එනවා. සමහර දවස්වලදී අම්මාට අහු වෙනවා. එතකොට එයා මාව එළියට දාලා දොර වහනවා.”—ජෝසෆ්.

කාටත් හොරා ගෙදරින් පනින එක විනෝදයක් වගේම පොඩි චණ්ඩිකමක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. තනියම ජීවිතය ගැන අද්දැකීම් ලබාගන්න, ඔබ ආස කරන දේවල් කරන්න, ඔබ ප්‍රිය කරන අයත් සමඟ ඉන්න ඔබට ලැබෙන එකම අවස්ථාව එය වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ මිතුරන් කාටත් හොරා ගිහින් කරපු දේවල් සහ විනෝද වුණ ආකාරය ගැන පුරසාරම් දොඩන හැටිත් ඔබ අසා ඇති. මෙවැනි දේවල් ඇහෙනකොට ඔබටත් එවැනි දේවල් කරන්න පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්.

උතුරු අමෙරිකාවේ පාසලක ඉගෙනුම ලබන ප්‍රාථමික සහ උසස් පෙළ සිසුන් 110දෙනෙක්ව යොදාගෙන කළ සමීක්ෂණයකදී, ඔවුන්ගෙන් සිසුන් 55දෙනෙක්, අඩුම තරමින් එක් වතාවක් හෝ හොර රහසේ ගමන් බිමන් ගොස් තිබෙනවා කියා පිළිගත්තා. බොහෝදෙනෙක් පළමු වතාවට එලෙස ගොස් තිබෙන්නේ වයස අවුරුදු දහහතරේදියි. මෙම ගැටලුව කොතරම් උග්‍ර වී ඇද්ද යත්, දරුවන් හොර රහසේ පිටතට යෑම වැළැක්වීමට විදුලි සීනුවක් දොරේ සවි කරන්න කියා ප්‍රවීණයන් දෙමාපියන්ට උපදෙස් දී තිබෙනවා. යෞවනයන් බොහෝදෙනෙක් තම දෙමාපියන්ව කෝපයට පත් කරවමින් හොර රහසේ නිවසෙන් පිට වෙන්නේ ඇයි?

සමහර අය කාටත් හොරා නිවසින් පිටවීමට හේතු

යෞවනයන්ට පාළුවක් දැනීම හේතුවෙන් සමහර අවස්ථාවල ඔවුන් විනෝද වීමට තම මිතුරන් සොයාගෙන යනවා. එක් ග්‍රන්ථයක් (Adolescents and Youth) සඳහන් කළේ, “දෙමාපියන් තම යෞවන වියේ පසු වන දරුවන්ට තහංචි දැමීම” ඔවුන් හොරෙන් ගමන් බිමන් යෑමට එක හේතුවක් බවයි. “උදාහරණයකට සමහර දෙමාපියන් දඬුවමක් වශයෙන් ගමන් බිමන් යෑම තහනම් කරනවා. එහෙමත් නැත්නම් දවසේ යම් නියමිත වේලාවකට පසුව ගමන් බිමන් යන්න ඉඩ නොදෙනවා වෙන්න පුළුවන්. ඒත් යෞවනයන් කොහොම හරි තමන්ට යෑමට අවශ්‍ය තැනට යන අතර දෙමාපියන්ට නොදැනෙන්න ආපසු නිවසට පැමිණෙනවා” කියා එහි තවදුරටත් විස්තර කර තිබෙනවා. දහසය හැවිරිදි යෞවනියක් විසින් ඇය හොර රහසේ ගෙදරින් පිටවීමට හේතු පැහැදිලි කළා. “මට හිතෙන්නේ මම තාම බබෙක් වගේ කියලා. මට ඕන විදිහට මගේ ජීවිතය ගත කරන්න කිසිම නිදහසක් නැහැ. වෙන ළමයි එක්ක බලද්දී මට තමයි වේලාසනින්ම ගෙදර එන්න කියලා නීතියක් දාලා තියෙන්නේ. අනික මගේ යාළුවන් එක්ක ගමනක් බිමනක් යන්නවත් මට මගේ දෙමව්පියන් ඉඩ දෙන්නේ නැහැ . . . ඒ නිසා මම බොරුවක් කියලා කොහොම හරි පැනගන්නවා.” ලිපිය මුලදී සඳහන් කළ ජෝසෆ් හොර රහසේ ගමන් යෑමට පටන්ගත්තේ ඔහුගේ දෙමාපියන් රැප් සංගීත සංදර්ශනයකට යන්න එපා කියපු අවස්ථාවෙයි. එතකොට ඔහුට වයස අවුරුදු දහහතරයි.

කාටත් හොරා ගමන් බිමන් යන යෞවනයන්ගෙන් බොහෝදෙනෙකුට නරක චේතනා තිබෙන බවක් අදහස් වෙන්නේ නැහැ. මුලදී සඳහන් කළ ටාරා මෙසේ පවසයි. “ඇත්තටම මට ඕන වුණේ යාළුවොත් එක්ක විනෝද වෙවි හිටිය මගේ නංගිගේ තනියට ඉන්න මිසක්, ගිහිල්ලා නරක වැඩක් කරන්න නෙමෙයි.” ජෝසෆ් මෙසේ පවසනවා. “අපි යාළුවොත් එක්ක එකතු වෙලා එහෙ මෙහේ රවුම් ගැහැව්වා. මට ඕන වුණේ යාළුවෝ එක්ක කතා කර කර ඉන්න විතරයි.” මිතුරන් සමඟ රංචු ගැසී අනවශ්‍ය ගමන් බිමන් යන යෞවනයන්ව බරපතළ අපරාධවලට පටලැවෙන්නේ කලාතුරකින් වුවත්, මෙසේ ගොස් තිබෙන බොහෝ යෞවනයන් බැරෑරුම් ප්‍රශ්නවලට මුහුණ දී තිබෙන බව පැවසිය යුතුයි.

තිබෙන අවදානම්

ලින් ඊ පොන්ටන් නමැති මානසික සෞඛ්‍ය විශේෂඥවරිය මෙසේ තම අදහස් දක්වනවා. “නහඹරයන් අවදානම් දේවල් කරන එක සාමාන්‍ය දෙයක්.” ස්වාධීනව කටයුතු කිරීමට, අලුත් දේවල් අත්හදා බැලීමට හා නව අද්දැකීම් ලැබීමට යෞවනයන් තුළ ඇති ආශාව සාමාන්‍ය දෙයක් වන අතර, ඇතැම් විට එයින් යහපතක් සිදු විය හැකි බවත් වෛද්‍ය පොන්ටන් තවදුරටත් විස්තර කරනවා. ඇගේ විශ්වාසයට අනුව එය වැඩිවියට පත් වන දරුවෙකු තුළ තිබිය යුතු ලක්ෂණයක්. නමුත් ප්‍රශ්නය වන්නේ බොහෝ යෞවනයන් සීමාව ඉක්මවා අවදානම අතට ගැනීමයි. විශේෂයෙන්ම දෙමාපියන්ගේ අනුදැනුම නොමැති විටදී මෙය සැබෑවක් වෙනවා. “මිතුරන්ගේ පීඩනය, ඒකාකාරිබව, තරුණ ශක්තිය උරගා බලන්න තියෙන ආශාව සහ සමහරවිට බියර් වැනි පානයන්ගෙන් මත්වීමෙන් පසු ඇති වන නොහික්මුණු ගතිය නිසා යෞවනයන් ජීවිතය පරදුවට තබමින් අවදානම්වලට අත පෙවීමට පෙලඹෙන” බව එක් සඟරාවක (Teen) පවසනවා. අධිවේගයෙන් රිය පැදවීම, දේපොළ හානි කිරීම, මත්පැන් පානය කර රිය පැදවීම සහ සොරකමේ යෑම වැනි දේවල් මෙම යෞවනයන් කරන අවදානම් ක්‍රියාවන් අතර වන බව එක් සමීක්ෂණයක් පෙන්වා දුන්නා.

මුලින් සුළු සුළු දේවලදී අකීකරු වීමෙන් කල් යාමේදී දරුණු වැරදි කිරීමට පවා ඔබ පෙලඹිය හැක. ලූක් 16:10හි යේසුස් එය මෙසේ පැහැදිලි කළා. “ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.” එමනිසා කාටත් හොරා මිතුරන් සමඟ ගමන් බිමන් යෑමෙන් දරුණු පාපවලට වැටීමට ඉඩ තිබෙනවා. ටාරා වේශ්‍යාකමේ යෙදීමට පෙලඹුණා. ජෝසෆ් මත්ද්‍රව්‍ය විකුණන්න පටන්ගත් අතර, අන්තිමේදී ඔහුට හිර බත් කන්න සිද්ධ වුණා. ක්‍රිස්තියානියෙකු වූ ජොන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නත් කාර් සොරකම් කරන්නත් පටන්ගත්තා. තවත් බොහෝ යෞවනයන්ට නොමනා හැසිරීම නිසා වෙනත් ප්‍රතිවිපාකයන්, එනම් අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගිකව බෝවන රෝග එසේ නැතහොත් මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැනි දේ අත් විඳින්න සිදු වී තිබෙනවා.—ගලාති 6:7, 8.

සිදු වන පාඩුව

ඔබේ ශරීරයට සිදු වන හානියට වඩා ඔබේ මානසිකත්වයට සිදු වන හානිය ඉතා විශාලයි. මන්ද වද දෙන හෘදය සාක්ෂියකින් පීඩා විඳීම ඉතාමත්ම වේදනාකාරියි. (ගීතාවලිය 38:3, 4) ජෝසෆ් ඒ ගැන මෙසේ පවසනවා. “සාමාන්‍යයෙන් ඔබ ළඟ තියෙන දෙයක වටිනාකම තේරෙන්නේ ඒක නැති වුණාට පස්සේ. මගේ ජීවිතය දිහාත් ආපහු හැරිලා බලනකොට මට තේරෙනවා මම කොයිතරම් මෝඩ විදිහටද කටයුතු කරලා තියෙන්නේ කියලා.”

ඒ වගේම ඔබගේ නාමයට සිදු වන හානිය ගැනද සුළුවට හිතන්න එපා. දේශනාකාරයා 10:1හි පවසන්නේ, “මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය” කියායි. පුරාණ කාලයේදී ඉතා වටිනා ආලේපන වර්ගයක් හෝ සුවඳ විලවුන් වර්ගයක් මළ මැස්සෙක් වැනි කුඩා දෙයකින් නාස්ති වීමට හැකියාවක් තිබුණා. ඒ හා සමානවම ඔබ වෑයමක් දරා ඇති කරගත් නාමය ‘සුළු මෝඩකමකින්’ වැනසී යන්න පුළුවන්. ඔබ ක්‍රිස්තියානියෙක් නම් එවැනි හැසිරීමක්, සභාවේ වරප්‍රසාදයන් නොලැබී යාමට හේතුවක් වෙනවා. ඒක සාධාරණයි. මන්ද ඔබ බයිබල් ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්නේ නැත්නම් අනෙක් අයට එලෙස කටයුතු කරන්න කියා උපදෙස් දෙන්නේ කොහොමද?—රෝම 2:1-3.

ඔබ ගෙදර නැහැයි කියා දැනගත් විට ඔබේ දෙමාපියන්ට කොයිතරම් වේදනාවක් දැනේවිද කියාත් මොහොතකට හිතන්න. තම 15 හැවිරිදි දියණිය නිවසෙහි නැහැයි කියා දැනගත් විට තමන්ට හැඟුණු ආකාරය ගැන එක් මවක් මෙසේ විස්තර කළා. ‘මමයි මගේ ස්වාමිපුරුෂයයි හොඳටම භය වුණා.’ තම දරුවා කොහෙද ගියේ කියා නොදන්න විට භයක් නොදැනෙන්නේ මොන දෙමාපියාටද? ඔබේ දෙමාපියන්ට එවැනි වේදනාවක් ගෙන දීමට ඔබට අවශ්‍යද?—හිතෝපදේශ 10:1.

වැඩි නිදහසක්

ඔබේ නිදහස සීමා කිරීමට ඔබේ දෙමාපියන් අනවශ්‍ය ලෙස වැට කඩොලු බඳිනවා නම් කලකිරීමට පත්වීම සාධාරණයි. නමුත් එයට විසඳුම කාටත් හොරා ගමන් බිමන් යෑම නෙමෙයි. එසේ කළහොත් ඔබ කවදා හෝ දවසක ඔවුන්ට අසු වෙයි. ඔබ ඔබේ දෙමාපියන්ගේ ඇස් වහලා ගියත් ඔබ කරන සියල්ලම යෙහෝවා දෙවි දකිනවා. ඔබ රෑ යාමේ කරන දේ පවා යෙහෝවා දකිනවා කියන එක අමතක කරන්න එපා. (යෝබ් 34:21) ඉක්මනින්ම හෝ කාලයක් ගත වීමෙන් පසු හෝ ඔබේ දෙමාපියන්ට ඔබේ කල් ක්‍රියාව ගැන දැනගන්න ලැබෙයි. එවිට ඔවුන් ඔබ ගැන තබා තිබෙන විශ්වාසය බිඳී යන බව නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෙයින් සිදු වන්නේ ඔබ ආසම කරන දෙය, එනම් නිදහස ඔබට අහිමි වීමයි.

ඔබට වැඩි නිදහසක් භුක්ති විඳීමට අවශ්‍ය නම් දෙමාපියන්ගේ විශ්වාසය ඔබ දිනාගත යුතුයි කියන එක මතක තබාගන්න. මෙය කිරීමට හැකි හොඳම ක්‍රමය වන්නේ ඔබේ දෙමාපියන්ට කීකරු වීමයි. (එපීස 6:1-3) ඔබේ දෙමාපියන් සමහර පැතිවලින් අසාධාරණයි කියා ඔබට සිතේ නම් ඒ ගැන විවෘතව මෙන්ම ගෞරවයෙන් යුතුව ඔවුන් සමඟ කතා කරන්න. සමහරවිට ඔබ පවසන දේවල් ගැන ඔවුන් සිතා බලාවි. අනිත් අතට ඔබට තහංචි දැමීමට ඔවුන්ට සාධාරණ හේතු තිබෙන බවත් එවිට ඔබට තේරුම් යාවි. ඔබ ඔවුන් සමඟ එකඟ නොවුණත් මෙය අමතක කරන්න එපා. එනම්, ඔවුන් ඔබට ආදරය කරන බව හා ඔවුන්ගේ එකම පැතුම ඔබට යහපතක් වනවා දැකීම වන බව. ඔබ කෙරෙහි ඔවුන් තබා තිබෙන විශ්වාසය තව තවත් ගොඩනැංවන ආකාරයට කටයුතු කරන්න. එවිට සුදුසු කාලයේදී ඔබට අවශ්‍ය කරන නිදහස ලබාගත හැකි බව ස්ථිරයි. b

‘ඔවුන් සමඟ නොයන්න’

පුරාණයේ දේවභය ඇති යෞවනයන්ව ඔවුන්ගේ ආශ්‍රිතයන් විසින් වැරදි ක්‍රියා කිරීමට හවුල් කරවාගත්තා. සාලමොන් යෞවනයන්ගෙන් මෙසේ අයදිනවා. “මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න. . . . ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න.” (හිතෝපදේශ 1:10, 15) ඔබේ මිතුරන් හොරෙන් ගමන් බිමන් යෑමට ඔබට කතා කරන විට එම අවවාදය සිහි කරගන්න. සාලමොන් තවදුරටත් මෙසේ පවසනවා. “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.”—හිතෝපදේශ 22:3.

දැනටමත් ඔබ හොරෙන් ගමන් බිමන් යනවා නම් එය නවත්වන්න! එකෙන් වෙන්නේ ඔබටමහානි කරගැනීමක්. ඔබේ දෙමාපියන්ගේ කුමන දඬුවමකට හෝ තහංචියකට මුහුණ දීමට සිදු වුවත් ඔබ කරමින් සිටින දේ ගැන ඔබේ දෙමාපියන්ට දන්වන්න. අලුත් මිතුරන් ඇති කරගත යුතුයි කියා ඔබට සිතේ නම් එසේ කරන්න. නමුත් ඔබ කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරන්න පුළුවන් මිතුරන්ව සොයාගන්න. (හිතෝපදේශ 13:20) ඒ වගේම විනෝද වීමේදී ප්‍රයෝජනදායක මෙන්ම අවදානමක් නැති දේවල්වල නිරත වෙන්න.

වඩාත් වැදගත් දෙයක් වන ඔබේ ආත්මිකත්වය ගොඩනඟාගැනීම සඳහා බයිබලය කියවීමට සහ රැස්වීම්වලට සහභාගි වීමට වෑයම් කරන්න. “තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද” කියා ගීතිකාකරු ඇසුවා. ‘දෙවිගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි’ කියා ඔහුම පිළිතුරු සපයනවා. (ගීතාවලිය 119:9) ඔබ ටිකෙන් ටික නිවැරදි දේවල් කිරීමට පටන්ගන්න විට, හොර රහසේ ගමන් බිමන් යෑම විනෝදයක් වුවත් එහි තිබෙන අවදානම සමඟ සසඳා බලන විට එය ඇත්තෙන්ම මෝඩකමක් බව ඔබට වැටහේවි.

[පාදසටහන්වල]

a මෙහි සඳහන් පුද්ගලයන්ගේ නම් වෙනස් කර ඇත.

b වැඩි නිදහසක් ලබාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෞවනයන් අසන ප්‍රශ්නක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන ප්‍රකාශනයේ තුන්වන පරිච්ඡේදය බලන්න.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මගේ යාළුවන් එක්ක ගමනක් බිමනක් යන්නවත් මට දෙමව්පියන් ඉඩ දෙන්නේ නැහැ . . . ඒ නිසා මම බොරුවක් කියලා කොහොම හරි පැනගන්නවා”

[12වන පිටුවේ පින්තූරය]

කාටත් හොරා ගමන් බිමන් යෑම නිසා බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා